අබෞද්ධ රටවල බෞද්ධ ගති
කැනඩාවේ ප්‍රධාන සංඝනායක,
රාජකීය පණ්‌ඩිත
වැහිහේනේ පඤ්ඤාලෝක නාහිමි
වර්තමාන ලෝකයේ භෞතික දියුණුවෙන් උච්චස්‌ථානයක වැජඹෙන රටවල් අතර ඇමරිකාව කැනඩාව බොහෝ ඉදිරියෙන් සිටින රාජ්‍යයන් ලෙස හැඳින්වීම අසාධාරණයෑයි මම නො සලකමි. ඓතිහාසික සාධක අනුව ඉන්දියාව, ලංකාව වැනි පෙරදිග රටවලට හිමි දියුණු පැරණි සෞභාග්‍ය සම්පන්න කීර්තිමත් අතීතයක් මේ රටවල් සතු නො වූවත්, ශත වර්ෂ දෙකක් තුනක් තරම් මෑත භාගයේ සිට ලබා ඇති සංවර්ධනය හා දියුණුව සැබවින් ම විස්‌මය ජනක බව සඳහන් කළ යුතුය. නවීන විද්‍යාව, තාක්‍ෂණය, කාර්මික ඥානය මනුෂ්‍යයා ගේ ශුභ සිද්ධියට හා භෞතික සැප සම්පත් සඳහා උපයෝගී කරගෙන තිබෙන අන්දම ද පුදුම එළවන සුළුය. මෙලොව ජීවත්වන මනුෂ්‍යයන් මොන තරම් සුව පහසුකම් ඇතිව සුඛෝපභෝගී ජීවිත ගත කරනවාදැයි හොඳින් තේරුම් ගත හැක්‌කේ මේ රටවල වැසියන් ගේ ජීවිත දෙස බැලීමෙනි.
ස්‌වශක්‌තිය කෙරෙහි විශ්වාසය තැබීම, උත්සාහයෙන් හා ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීම මොවුන් ලබා ඇති සීග්‍ර දියුණුවට බෙහෙවින් හේතු වූවාට සැක නැත. එසේ ම රටේ පාලකයන් ගේ දූරදර්ශී ඥානය, යුක්‌ති ගරුක බව හා සාධාරණත්වය ආදී උසස් ගුණ එහිලා විශේෂ අනුබලයක් වූ බව කිව හැකි ය. ඒ නිසාම දක්‍ෂ කම, උත්සාහය, බුද්ධිය ඇති කවර තරාතිරමේ පුරවැසියකුට වුවද බාධාවකින් තොරව අවහිරයක් නැතිව දියුණු විමට උසස්‌වීමට අවස්‌ථාව සැලසී තිබීම ද විශේෂ හේතු ලෙස දැක්‌විය හැකි ය.
මිනිස්‌කමේ අගය තේරුම් ගැනීම
ලෝකයේ විවිධ රටවලින් පැමිණ මේ දෙරටෙහි ස්‌ථිර පදිංචිය ලබා සිටින ජාතීන් ගේ සංඛ්‍යාව අති විශාල ය. ජාති, කුල, ආගම්, භාෂා ආදියෙන් ඔවුන් බෙදී සිටියත් හැම දෙනාට ම සාමයෙන් සමගියෙන් යුතුව සැකෙන් බියෙක් තොරව නිදහසේ සතුටින් ජීවත්වීමට හැකි යහපත් වාතාවරණයක් රට තුළ පැවතීම කාගේ වුව ද ප්‍රසාදයට හේතුවන ශුභ ආරංචියක් වනු නිසැකයි.
1989 අගෝස්‌තු මාසයේ 17 දින ටොරොන්ටෝ නගරයෙහි පිහිටි CIVIC CENTER නම් ස්‌ථානයෙහි පැවැති උත්සවයකට අමුත්තකු වශයෙන් සහභාගි වීමට මට ද අවස්‌ථාව ලැබිණ. කැනඩාවේ පුරවැසිභාවය ලැබීමට සුදුසුකම් ලත් රටවල් 26 කින් තෝරාගත් ස්‌ත්‍රී පුරුෂයන් 76 දෙනකුට මෙදින පුරවැසිභාවය ප්‍රදානය කිරීම මෙහි වැදගත් සිද්ධිය ලෙස සඳහන් කළ යුතු ය. අනතුරුව විනිශ්චයකාරතුමා අභිනව පුරවැසියන් අමතා පවත්වනු ලබූ කෙටි සාරවත් දේශනය හැම දෙනා තුළ ම උසස් හැඟීSම් ඇති කිරීමට සමත් වූ අතර එම දේශනයෙහි ඇතුළත් මූලික අදහස සැකෙවින් මෙහි සඳහන් කිරීමට මා කල්පනා කළේ කවර රටක කෙනකුට වුවද ඉන් ලද හැකි ප්‍රයෝජනය ගැන සැලකීමෙනි. -ලෝකයේ නොයෙක් රටවලින් මෙහි පැමිණි ඔබ හැම විවිධ තරාතිරම්වලට අයත් වුවත් අද සිට කැනඩාවේ සියලු අයිතිවාසිකම්වලට හිමිකාරයන් වන බවත්, ජාති ආගම්, පංති ආදී භේදයෙන් තොරව එක පවුලක පිරිසක් ලෙස ක්‍රියා කිරීමට වගබලා ගැනීම ඔබ හැමගේ මූලික අරමුණ විය යුතු බවත් විනිසුරුතුමා අවධාරණයෙන් ප්‍රකාශ කරන ලදී."
රටවල් වශයෙන් ජාති, කුල, පංති, ආගම් ආදි වශයෙන් මිනිසා බෙදා වෙන් කර ගැනීම නො දියුණු බවේ ප්‍රධාන ලක්‍ෂණයයි. මෙවන් පටු සීමාවක ජීවත්වන්නා මනුෂ්‍යත්වයේ වටිනාකම නො දත්තෙකි. මේ පටු හැඟීමෙන් ඈත්ව පුළුල් ලෙස සිතන උසස් උදාර හැඟීම්වලින් පිරිපුන් මනුෂ්‍යයා මිනිස් වර්ගයා දෙස බලන්නේ එකම පවුලක පිරිසක් හැටියට යි.
-උදාර චරිතානාන්තු - වසුධෛව කුටුම්බකම්"
උදාර උසස් හැඟීම් ඇති තැනැත්තාට මුළු ලොවම එකම පවුලකි.
බුදුරජාණන් වහන්සේ මේ උතුම් උදාර ගුණය ස්‌වකීය චරිතයෙන් ආදර්ශයෙන් හා ධර්මයෙන් ලොවට හෙළි කළ උතුමාණන් වහන්සේ යි. ජාති කුල පංති ආගම් ආදියෙන් පමණක් නොව දුප්පත් පොහොසත් උගත් නූගත් සතුරු මිතුරු නෑ නොනෑ වශයෙන් ද කිසිවකු කෙරෙහි භේදයක් වෙනසක් නො දැක්‌වීමේ උදාර පිළිවෙත උන්වහන්සේ අනුගමනය කළ සේක.
-මේ සසර ගමන් කරන ඔබට මවු නො වූ විරූ කෙනෙක් නැත. පියා නො වූ විරූ කෙනෙක් නැත. සහෝදරයා නො වූ විරූ කෙනෙක් නැත. සහෝදරාදී නොවූ විරූ කෙනෙක් නැත..." ආදී ශ්‍රෙෂ්ඨ බෞද්ධ ඉගැන්වීම් තුළින් ද්වනිත කර ඇත්තේ ද මනුෂ්‍යත්වය පිළිබඳ මේ උතුම් සංකල්පය බව පෙනේ.
එහෙත් මහ පුදුම අවාසනාවකට මෙන් අද පෙරදිග බෞද්ධ රටවල් මෙකී උසස් බෞද්ධ හැඟීම් වලින් පිරිහීමට පත්වුණා පමණක් නොව, මිනිසාට මිනිසා හඳුනාගත නො හැකි තරමට එකිනෙකා ඇන කොටා ගන්නා තරමට ඔවුන් මරා ගන්නා තරමට දරුණු වී ඇති සැටිත් ඇමරිකාව කැනඩාව වැනි රටවල් නිදහසේ සැනසිල්ලේ මිනිසාට විසිය හැකි ක්‍ෂෙමභූමි අභයභූමි බවට පත්වී ඇති සැටිත් දකින විට පැහැදිලි වන්නේ බෞද්ධ හැඟීම් බෞද්ධ ගති මේ රටවල හොඳින් ක්‍රියාත්මක වන බවය. මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය මෙන් ම මනුෂ්‍ය ධර්මයන් ගේ සංවර්ධනය කෙරෙහි බුදු සමය දක්‌වන ආකල්පය අති විශිෂ්ටය. මේ උතුම් හැඟීම් මූර්තිමත් කර දක්‌වන ශ්‍රී ලංකාව වැනි ථෙරවාදී බෞද්ධ රටවල අද මනුෂ්‍ය ජීවිතයට එල්ල වී ඇති තර්ජනය එක අතකින් උතුම් දහමකට කරන නිග්‍රහයක්, සමච්චලයක් ලෙස සැලකිය හැකි ය.
පාරප්‍රාප්තිය සඳහා ක්‍රියා කරන තැනැත්තා අංශ දෙකකින් සංවර්ධනය විය යුතු බව බුදුදහම ඉඳුරාම දක්‌වයි. එනම් බුද්ධිමය අංශය හා භාවමය අංශයයි. මෙහි බුද්ධිමය අංශයට ප්‍රඥාව ඇතුළත් වන අතර භාවමය අංශයට කරුණාව මුල්කොට ඇති ගුණ සමුදාය අන්තර්ගත වේ. භාවමය අංශය ගැන නො තකා බුද්ධිමය අංශය පමණක් වර්ධනය කරන්නා නිර්දය බුද්ධිමතකු වන අතර බුද්ධිමය අංශය ගැන නො සලකා භාවමය අංශය පමණක් වඩන්නා ගුණවත් මෝඩයෙක් වේ. එහෙයින් මේ අංශ දෙක අඩුවැඩි නැතිව සමතාවයෙන් වැඩීමේ දියුණු කිරීමේ වැදගත්කම බුදු දහමින් මතුකර දක්‌වා ඇත. මෙසේ සලකා බලන විට මේ රටවල මිනිසුන් බුද්ධිමය අංශයෙන් මෙන් ම භාවමය අංශයෙන් ද සෑහෙන තරම් ඉදිරියෙන් සිටිනු දැකීම මනුෂ්‍යත්වය අගය කරන සියලු දෙනාගේ ම ඉමහත් ප්‍රසාදයට හේතුවනු නො අනුමාන යි.
ආත්ම විශ්වාසය
ස්‌වභාව ධර්මය පවා මේ රටවල් කෙරෙහි දක්‌වා ඇත්තේ අනුකූලතාවක් හෝ සානුකම්පික භාවයක් නොවේ. අවුරුද්දේ වැඩි කාලයක් තද සීත දේශගුණයෙන් පීඩා විඳීමට මේ රටවල අයට සිදුවී ඇති අතර ඉතිරි කාලයෙන් වැඩි කොටසක් සැඩ හිරුරැසින් තැවෙමින් ගත කිරීමට සිදුවී ඇත. සෑම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ අග භාගයේ සිට ආරම්භ වන ශීත කාලය ක්‍රමයෙන් දියුණු වෙමින් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවලදී ඉතා දරුණු බවට පත්වෙන අතර මුළු රට ම හිමෙන් වැසී යන්නේ ය. ඒ කාලයේ හැම ගසක ම කොළ හැළී අතු ඉති පමණක් ඉතිරිවන අතර පොළොවේ තණ කොළ ද මුළුමනින් ම වැනසී යන්නේ ය. ශීත නිවාරණය සඳහා යෝග්‍ය ඇඳුම් පැළඳුම් වලින් තොරව බැහැර යාමට හෝ වැඩපළ ආදියෙහි යෙදීමට හෝ නො හැකි කටුක අමිහිරි අවස්‌ථාවකට මුළු රටවැසියාට ම මුහුණ පෑමට සිදුවෙයි.
ශීතකාලය ඉකුත් වී මැයි මාසයේ දී ඇරඹෙන ග්‍රීෂ්ම කාලය මුළු රට ම ප්‍රබෝධයටත් ප්‍රමෝදයටත් පත් කර වන්නේ ය. මේ කාලය තුළ ගස් වැල් හොඳින් ලියලා සරුසාරව මලින් හා පලින් බරවී යයි. එළිමහනේ විනෝදයෙන් හා සතුටින් කාලය ගත කිරීමට මිනිසුන්ට ඉඩ ලැබී ඇත්තේ ද මේ මාස කිපය තුළ දී පමණකි. පාසල්වල දීර්ඝ නිවාඩු කාලය ඇරඹෙන්නේ ද, දෙමාපියන් සිය දූදරුවන් සමග විනෝද ගමන් චාරිකා ආදියෙහි යෙදෙන්නේ ද මේ කාලයෙහි ය. ක්‍රීඩා තරඟ සමාජ උත්සව ප්‍රීති උත්සව බහුලව පවත්වන්නේ ද මේ කාලයේ ය. ධාන්‍ය වර්ග එළවළු හා භෝග ජාති සිටුවා අස්‌වැන්න නෙළාගන්නා සමය ද මේ කාලය වේ. දියුණු වූ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගනිමින් මෙරට ගොවියන් විසින් මේ මාස කීපය තුළ නිෂ්පාදනය කරනු ලබන විශාල ධාන්‍ය ප්‍රමාණය කොපමණ ද යනු ලෝක ජනගහනයෙන් අඩකට තරම් ඒ ධාන්‍ය ප්‍රමාණවත් වේ යෑයි කියනු ලැබේ.
මෙසේ ස්‌වභාව ධර්මයේ පවා දයාවිරහිත දරුණු කටුක අත්දැකීම් හමුවෙහි නො සැලී නො බියව එයට මුහුණ දෙමින් ජයග්‍රහණය අත්කර ගැනීමටත්, එතෙකින් නො නැවතී පෘථිවි සීමාව ද ඉක්‌මවමින් සඳමඩල පවා ජයගැනීමටත් මෙරට වැසියා සමත් වූයේ දේව බලයකින් හෝ වෙනත් කිසිවකුගේ වරප්‍රසාදයකින් හෝ නොව හුදු ආත්ම විශ්වාසය, උට්‌ඨාන වීර්යය හා බුද්ධි බලය නිසා ම යෑයි කිව යුතුයි. නොමිලයේ දීම, නිකම් දීම වැනි කපටි වැඩවලින් මේ රටවල අය රැවටීමට නො හැකි වී ඇත්තේ ද ආත්ම විශ්වාසය, ආත්ම ධෛර්යය ඔවුන් තුළ හොඳින් පවතින නිසා විය යුතුයි.
දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක නිර්මාණය කර ගෙන එහි වෙසෙමින් දිව්‍ය සම්පත් හා බ්‍රහ්ම සම්පත් විඳින්නේ ද, ප්‍රේත ලෝක හෝ අපාය තනාගෙන එහි ඉපදී ප්‍රේතයන් ලෙස තිරිසනුන් ලෙස නිරාදුක් විඳින්නේ ද, තිරිසන් ලෝක හදාගෙන තිරිසනුන් ලෙස ජීවත්වන්නේ ද මේ මහ පොළොවේ ජීවත්වන මිනිසා ම බව මීට වසර 2500 කටත් ඉහත දී අවබෝධ කොට ගෙන, ලෝකයාට තේරුම් කර දුන් උතුමා බුදුරජාණන් වහන්සේ බව මෙනෙහි කරනවිට එදා උන්වහන්සේ ලොවට හෙළිකළ ඒ උතුම් පණිවුඩය මේ රටවලක්‍රියාත්මක වන බව මා කියන්නේ නමින් බෞද්ධ එහෙත් බෞද්ධ කමක් නැති ශ්‍රී ලංකාව වැනි රටවල නාමමාත්‍ර බෞද්ධයන්ට අගෞරවයක් හෝ මදි පුංචි කමක් කරනු සඳහා නොවේ.
කර්ම බලය ජය ගැනීම
සියලු දේ කර්මයට භාරදී කර්මය ලවා ඉටුකර ගැනීමේ දුර්වල කල්පනාව නිසාදෝ ලාංකික බෞද්ධයන් අද වැටී ඇත්තේ අන්ත පරිහානි තත්ත්වයකට ය. මේ හේතුව නිසා ලාංකික බෞද්ධයන් කර්මයෙන් පීඩා විඳිමින්, කර්මයෙන් පහර කමින් අවසානයේ දී කර්මය නිසා ම විනාශයට පත්වන සැටි අතිශයින් ෙ€දජනක ය. කර්මය පිළිබඳ උසස් බෞද්ධ සිද්ධාන්තය කාලයක සිට වැරදි ලෙස සමාජයට තේරුම් කර දීමේ භයානක අවස්‌ථාවකට වර්තමාන ලාංකික බෞද්ධයන් මුහුණ පා ඇත යනු මගේ හැඟීමයි. ඒ නිසා අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස පැවැති ශ්‍රී ලංකාව වර්තමානයේ දී පුරන්ව ගියා පමණක් නොව ලෝකයෙන් ණයට ඉල්ලාගෙන කෑමට පුරුදු වූ දුගී දුප්පත් අසරණ ජාතියක් බවට පත් වීමට හේතු වූ බව ද කිවයුතුයි. අදීන ශ්‍රේෂ්ඨ සිංහල ජාතියක් ගොඩනැගීමටත් රට ධර්මද්වීපයක් කිරීමටත් මඟ පෙන්වූ උතුම් බෞද්ධ ඉගැන්වීමක් මෙසේ වරදවා ගැනීම රටේ පරිහානියටත් විනාශයටත් හේතු වී ඇතැයි පෙන්වා දෙනු කැමැත්තෙමි.
ඇමරිකන්වරුන් හා කැනේඩියන්වරුන් කර්මය ජය ගෙන ඇත්තේ ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රියා කිරීම නිසාය යනු මගේ හැඟීමයි. ඇත්ත වශයෙන් ම ඔව්හු උත්සාහවන්තව ධෛර්යයෙන් යුතුව නො මැළිව වැඩ කරති. අවංකව වැඩ කරති. නිකරුණේ කාලය ගත නො කරති. රැකියාවක් කළ හැකි හැම දෙනා ම රැකියාවක යෙදී සිටිති. මේ නිසා හැම පවුලකට ම හොඳ ආර්ථික තත්ත්වයක් උසස් ජීවන මට්‌ටමක් ඇත. පෝෂ්‍යදායක ආහාර පාන ගැනීම නිසා ඔවුන් හොඳින් වැඩුණු නිරෝගී දේහ ඇති ශක්‌තිමත් පුරුෂයන් වන අතර දක්‌ෂකමින් හා බුද්ධිමත් බැවින් ද ඉහළ මට්‌ටමක සිටින බව කිව හැකි ය. කේන්දරය ගැන විශ්වාසය තබා හොඳ කාලය ලබන තුරු බලා සිටීම, නැකැත් අනුව වැඩකටයුතු ආරම්භ කිරීම, දෙවි දේවතාවන් උදෙසා පුද පූජා පැවැත්වීම, බාරවීම වැනි මාර්ග ඔස්‌සේ ස්‌වකීය දෛවය උදාකර ගැනීමේ ක්‍රමය මේ රටවල අය නො දැන සිටීම ඔවුන් ගේ විශාල ජයග්‍රහණයකැයි මට හැඟේ. බුදු සමයේ එන
නක්‌ඛත්තං පතිමානෙන්තං
අත්ථො බාලං උපච්චගා
අත්ථෝ අත්ථස්‌ස නක්‌ඛත්තං
කිං කරිස්‌සන්ති තාරකා"
නැකැත් බලා වැඩකරන අඥානයා කෙරෙන්, බලාපොරොත්තු වන අර්ථ සිද්ධිය ඉක්‌ම යන්නේ ය. අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම නැකත වේ. ග්‍රහ තාරකාවෝ කවර නම් යහපතක් සලසත් ද රෑ නො සලසත් මැයි. මෙවැනි වැදගත් බෞද්ධ ඉගැන්වීම් වල යථාර්ථය මේ රටවල ක්‍රියාත්මක වන බව මෙහිලා සඳහන් කළ යුතුයි.
ආදර්ශවත් ගති
සමාජයට මෙන් ම අසල්වැසියාට ද අවහිරයක් කරදරයක් සිදු නො වන අන්දමට ජීවත්වීම කෙරෙහි ඇමරිකන්වරුන් හා කැනේඩියන්වරුන් දක්‌වන ආදර්ශය ද ඉතා අගනේ ය. අනුන් ගැන කතා කිරීම, අනුන්ගේ වැඩ කටයුතු පිළිබඳ ගුණදොස් විවේචනය වැනි දුර්වල ගති මේ රටවල වැසියන් අතර නැති තරම් යෑයි කිව යුතු ය. ඔවුනොවුන් අතර මතභේද හා ගැටීම් බෙහෙවින් අඩුවීමට එය හේතුවී තිබෙන බව ද පෙනේ. කෙනකු හමුවීමේ අවශ්‍යතාවක් තිබේ නම් කල් ඇතිව දුරකතනයෙන් කථා කොට දිනයක් වේලාවක් නියම කරගෙන ස්‌වකීය අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම හැම දෙනා ම අනුගමනය කරන ශිෂ්ට සම්පන්න ක්‍රමය වී තිබේ. මෙය ඔවුනොවුන් අතර හොඳ හිත පවත්වා ගැනීමටත් ආත්ම ගෞරවය ආරක්‌ෂා වීමටත් හේතුවී තිබේ.
න පරෙසං විලොමානි
න පරෙසං කතාකතං
අත්තනො ව අවෙක්‌ඛෙය්‍ය
කතානි අකතානි ච" (ධම්මපද)
අනුන්ගේ වැරදි අඩුපාඩු නො සොයන්න. අනුන් කළ නො කළ දේ ගැන නො විමසන්න. තමන් කළ හොඳ නො හොඳ ගැන විමසා බලන්න.
මෙවැනි උතුම් බෞද්ධ අදහස් අමතක කිරීම නො එසේනම් මෙවන් බෞද්ධ ඉගැන්වීම්වලින් ඈත්වීම බෞද්ධයාගේ පිරිහීමට හේතු වී තිබෙන බව තව ම තේරුම් ගත නො හැකිවීම මුළු මහත් ජාතියේ ම අවාසනාවකැයි කිව යුතුයි.
තමන් ගේ වැඩ කටයුතු තමා ම කර ගැනීම ගෙදර දොරේ වැඩපළ සඳහා මෙහෙකරුවන් යොදා නො ගැනීම අතින් මෙරට වැසියන් දක්‌වන ආදර්ශය බෙහෙවින් අගය කළ යුතු ය. ආහාරපාන පිළියෙළ කර ගැනීම ඇඳුම් පැළඳුම් සෝදා ගැනීම බඩුබාහිරාදිය පිරිසිදු කිරීම කැළි කසළ ඉවත් කිරීම ගෙවත්තේ තණ කොළ කපා පිරිසිදු කර ගැනීම ආදී කුදුමහත් සියලු කාර්යයන් ස්‌ත්‍රී පුරුෂ භේදයෙන් තොරව කර ගැනීම සිය වගකීම් ලෙස මෙරට වැසියන් හැම දෙනා ම එක සේ සලකන බව පෙනේ. සිය නිවස වටා තාප්ප බැඳ -'බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු' යි දැන්වීම් ගසා තැබීමේ සිරිත මේ රටවල කොතැනකවත් දක්‌නට නො ලැබීම ඔවුන්ගේ හැදිච්චකම, මහත්තැන්කම, වැදගත්කම පෙන්නුම් කරන්නකැයි මට සිතේ.
එසේ ම සොරකම් කිරීම අල්ලස් දීම හෝ ගැනීම හොර මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීම වැනි නො කටයුතු මේ රටවල නැතිතරම් යෑයි කිව හැකි අතර නොයෙකුත් නම්වලින් හැඳින්වෙන ඉහළ වර්ගවලට අයත් මත්පැන් මේ රටවල ඕනෑතරම් සුලභව ඇතත් බීමත්ව අනුන්ට හිරිහැරයක් වන සේ හැසිරීමේ පහත් ගතිය මොවුන් තුළ නැත. බීමත්ව මහ මඟ හැසිරීම හෝ රියපැදවීම බරපතල දඬුවම් ලැබීමට හේතුවන වරදක් ලෙස ද සලකනු ලැබේ. කැනඩාවේ ප්‍රබල ඇමැතිවරයකු පිළිබඳ වැදගත් සිද්ධියක් 1989. 08. 04 දින පළ වූ TORONTO STAR නමැති දිනපතා පුවත්පතේ මුල් පිටුවෙහි වාර්තාවී තිබුණි. මා ඒ සිද්ධිය මෙහිලා ඉදිරිපත් කරන්නේ මේ රටේ නීතිය කොතරම් දුරට සාධාරණව අපක්‌ෂපාතව ඉටුවෙනවා දැයි තේරුම් ගැනීමට සාධකයක් වශයෙනි. මේ ඇමැතිවරයා බීමත්ව රිය පැදවීමේ වරදට පොලීසිය මඟින් ඔහුට විරුද්ධව නඩු පවරන ලදි. අධිකරණයෙන් වරදකරුවකු ලෙස නියම කළ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ද තහනම් කරන ලදි. මෙහිදී ඒ ඇමතිවරයා තමා කළ වරදේ බරපතලකම පිළිගත්තේ දඩය ගෙවීමෙන් පමණක් නොවේ. සිය ඇමැති පදවියෙන් ද ඉල්ලා අස්‌වීමෙනි. වැරදි සිදුවීම මිනිස්‌කමේ දුර්වල ගතියක් මෙන් ම වරද පිළිගැනීම මහත්මා ගතියක් බව එම ඇමැතිවරයා සිය ක්‍රියාව තුළින් හොඳ හැටි ඔප්පු කළේය.
ගමන් බලපත්‍ර (PASS PORS) හොරට මුද්‍රණය කිරීම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැනි වංචනික ක්‍රියාවල යෙදී කීපවතාවක් ම අසු වී වැරදිකරුවන් වී ඇත්තේ ද ඇතැම් ශ්‍රී ලාංකික කොටස් වීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳව මෙරට වැසියන් දක්‌වන ආකල්පය එතරම් සතුටුදායක නො වන බව ද විශේෂයෙන් මෙහිලා සඳහන් කළ යුතුයි.
සත්ත්ව කරුණාව
ඇමරිකන්වරුන් මෙන් ම කැනේඩියන්වරුන් ද බල්ලන් බළලුන් වැනි සතුන් කෙරෙහි දක්‌වන ආදරය හා හිතවත්කම මහ පුදුම එකකැයි කිවයුතුය. හැම නිවසක ම පාහේ හුරතලයට තනි නොතනියට ඇති කරන බල්ලා හෝ බළලා සිය පවුලේ ම කෙනකු හැටියට සැළකීමට තරම් ඔවුහු කාරුණික වෙති. තම නිවසේ එවැනි සතකු ඇති කිරීමේදී විශේෂ අවසරයක් ඒ සඳහා ලබාගත යුතු අතර නගර සභාවේ ලියා පදිංචි කරවීම ද අවශ්‍ය වේ. බල්ලා හෝ බළලා ලියා පදිංචි කිරීමේදී තබන නමට අමතරව ගෙදර ප්‍රධානියා ගේ හෝ භාරකරුගේ වාසගම ද එයට එකතු කිරීම ඔවුන්ගේ විශේෂ වගකීමක් ලෙස සලකන බව පෙනේ.
මෙසේ සිය පවුලේ සාමාජිකත්වයට පත් කරගනු ලැබූ බල්ලා හෝ බළලා හෝ එතැන් සිට එම පවුලේ සියලු අයිතිවාසිකම් වලට හිමි කාරයෙක් ද වේ. ඒ නිසා සිය දූ පුතුන්ට මෙන් ආදරය කරුණාව දැක්‌වීම දුක සැප සොයා බැලීම ආදී සියලු දේ නො අඩුව ඉටුකිරීම භාර කරුවන්ගේ වගකීම වේ. ඔවුන් බල්ලාට කථා කරන්නේ තම දුවට හෝ පුතාට හෝ අමතන තරම් බලවත් සෙනෙහසකින් යුතුව ය. එපමණක් නොව, නියමිත දින නියපොතු කැපීම දිනපතා නෑවීම නියමිත වෙලාවට ආහාරදීම ලෙඩ වූ විට වෛද්‍යවරයා වෙතට කැඳවා ගෙන යාම ආදී සියලු සැප පහසු හා අවශ්‍යතා සැලසීමට භාරකාරයා නීතියෙන් බැඳී සිටින්නේ ය. මේ රටවල බල්ලන් බළලුන් සඳහා විශේෂ ආහාර පාන වර්ග සකස් කර තිබීමෙන් ඒ සතුන්ගේ ජීවිත කෙරෙහි දක්‌වන සැළකිල්ල කොතරම්දැයි තේරුම් ගත හැකිය. ක්‍රමානුකූලව සකස් කොට ටින්වල අසුරා තිබෙන මෙම ආහාරවර්ග වෙළෙඳපොළෙන් මිලදී ගත යුතුයි. ඉඳුල් කෑම ඉවතලන ආහාර මස්‌කටු ආදිය මේ රටවල බල්ලන්ට දීමේ සිරිත කොහොමවත් නැති බව කිව යුතුය.
එසේ ම මේ රටවල සිටින බල්ලන් හා බළලුන් තුළ පවතින ගති ගුණ ද ඉතා යහපත් බව කිව හැකිය. විශ්වාසවන්තකම කීකරුකම ස්‌වාමි භක්‌තිය ආදී ගුණාංග තුළින් මේ රටවල බල්ලන් පවා දක්‌වන්නේ හොඳ ආදර්ශයකැයි මම සිතමි. ඇතැම්විට අන්තිම කැමැති පත්‍රයෙන් සිය බූදලය බල්ලා නමට ලියා තබා මිය යන දෙමහල්ලන් ගැන අසන්නට ලැබෙන අවස්‌ථා ද නැත්තේ ම නො වේ. මෙය බල්ලන් තුළ පවතින ගුණ යහපත්කම් මේ රටවල සමහර දෙනා අගය කරන අන්දම තේරුම් ගැනීමට හොඳ සාක්‌ෂ්‍යකැයි මම අදහස් කරමි.
දිනකට අඩ පැයක් බැගින් සතියකට තුන් දිනක් කැනඩා රූපවාහිනියෙන් ඉදිරිපත් කරන Lassie නමැති බල්ලා පිළිබඳ සජීවී තොරතුරු සැබවින් ම ආදර්ශවත්ය. උසස් මිනිස් ගති ස්‌වකීය චරිතයෙන් හා ක්‍රියාකාරකම් තුළින් විදහා දක්‌වන ලැසී තිරිසන් ස්‌වරූපයෙන් පෙනී සිටින මනුෂ්‍යයෙකි යි කිව යුතුය.
එපමණක් නොව කැනඩාවේ ස්‌ථිර පදිංචිය ලබා ජීවත්වන ඇතැම් සිංහලයන් පවා තිරිසන් සතුන් කෙරෙහි දක්‌වන ආදරය කරුණාව හා හිතවත් භාවය බෙහෙවින් අගය කළ හැකිය. තම නිවසේ ඉතා ආදරයෙන් ඇති දැඩි කළ වසර 18 ක් තම පවුලේ කෙනකු ලෙස එකට ජීවත් වූ බළලකු මිය යාම නිසා ඒ බළලාට පින්දීම සඳහා ටොරොන්ටෝ නගරයේ සිංහල බෞද්ධ නිවසක පැවති දානමය පින්කමකට සහභාගී වීමට අපට ද අවස්‌ථාව ලැබිණි.
දන් වළඳා අවසානයේ පින් අනුමෝදන් කරවන මොහොතෙහි එම නිවසේ අඹු සැමි යුවළ කඳුළු පිරි දෙනෙතින් යුතුව ප්‍රකාශ කර සිටියේ මේ බළලා වසර 18 ක් තමන් සමග ළෙන්ගතුව ජීවත් වූ බවත් ඒ සතා තුළ පැවති ගති ගුණ අනුව නිසැකවම ඉහත ආත්මයක තමන්ගේ දරුවකු ලෙස ඉපද සිටින්නට ඇති බවත්ය.
උතුම් මිසිසත් භවයක් සංසාරයේ කවදා අපට හිමි වෙයි දැයි කිව නොහැක....ඒ නිසා,මේ භවයේදී හැකි පමණ දහම වටහාගෙන ඒ අනුව දිවි ගෙවීමට අප සැම අදිටන් කරගත යුතුය...
Showing posts with label සමාජීය අදහස්. Show all posts
Showing posts with label සමාජීය අදහස්. Show all posts
Monday, September 16, 2013
Wednesday, March 27, 2013
සිංහල විවාහයේ පළමු ගමන
අපේ පැරණි සිරිත් විරිත් ක්‍රමයෙන් වියැකී යයි. ඒ නිසාම අද මංගල උත්සවය ටික දිනකින් අවමංගල්‍යයක් වේ. නියමිත චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරිහුන විට තුන්රුවනේ ආශිර්වාදයක් කෙලෙස ලබන්නද? දෙවියන් කෙසේනම් ආශිර්වාද කරන්නද? අපේ පැරණි චාරිත්‍ර වාරත්‍ර පිලිබද අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මේ ලිපිය පල කෙරේ.
හෙළදිව විවාහ චාරිත්‍ර බොහෝ විට ගම්බද හඳුන්වනු ලබනුයේ "කසාදය" වශයෙනි. "
ගෘහ ප්‍රවේශය ආරම්භ කිරීමට පෙර මනාලියගේ පියා විසින් මනාලියට අවවාද හා උපදෙස් ලබාදීමේ පුරාතන චාරිත්‍රය අද සිංහල විවාහයේද "මංගල සභාව" දක්‌වා විකාශනය වී ඇති බව පෙනේ. ධනංජය සිටුවරයා විශාඛාවට හා අනේපිඬු සිටුවරයා චුල්ල සුභද්‍රවටද මෙණ්‌ඩක සිටුවරයා දියණියටද අවවාද ලබාදුන් අවස්‌ථාවේ හින්දු සමාජයේ මෙන්ම මෙරට ජනයා අතරද චිර ප්‍රකට මෙකී උපදේශයෝ මෙසේය.
01. ඇතුළත ගින්න පිටත නොදිය යුතුය.
02. පිටත ගින්න ඇතුළට නොගත යුතුය.
03. දෙන්නන්ටම දිය යුතුය.
04. නොදෙන්නාට නොදිය යුතුය.
05. දෙන්නාටද නොදෙන්නාටද දිය යුතුය.
06. සුවසේ හිඳිය යුතුය.
07. සුවසේ අනුභව කළ යුතුය.
08. සුවසේ නිදාගත යුතුය.
09. ගින්න පිදිය යුතුය.
10. ගෘහ දේවතාවුන් වැන්ද යුතුය.
මෙම අවවාද දහය සේම බුදුන් වහන්සේ විසින් ගෘහ ප්‍රවේශ වන්නන් අරභයා දුන් අවවාද පහක් පිළිබඳවද සඳහන් වේ. ඒවාද එදා හින්දු සමාජය තුළ සේම පසුව ආගමත් සමග ලෝකය පුරා ප්‍රචලිත වූ බව පෙනේ.
01. උදෑසන හැමට පළමුව පිබිදිය යුතුය.
02. රාත්‍රියේ හැමට පසුව නින්දට යා යුතුය.
03. ස්‌වාමියා අනුදැන සියල්ල කළ යුතුය.
04. සැමියා සිත් ගන්නා දේ පමණක් කළ යුතුය.
05. ප්‍රිය වචන කතා කළ යුතුය.
හෙළදිව පුරාණ සිරිත වූයේ විවාහය නියම කරගත් පසු මනාලයාගේ මංගල රැවුළ කැපීමයි. එය විවාහයට පෙරාතුව නැකැත් බලලා සිදුකරනු ලැබූවකි. රැවුළ කැපීමේදී එය මාමා කෙනකු විසින් සිදු කළ යුතු බවත් බොහෝවිට මාමා කෙනකු විසින් දැලි පිහියකින් පළමු රැවුල්ගස් කිහිපය කපා යහපත් ගුණධර්මයන්ගෙන් හෙබි කරණවෑමියෙකු ලවා කප්පවා ගැනීම සිරිතක් විය. ඒ සඳහා ඔහුට ගාස්‌තුව වශයෙන් පට ලේන්සුවක්, කෝප්පයක් හා මුදලක් දෙනු ලැබීය. අතීත ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස් විය. බොහෝවිට දුර බැහැරින් සම කුලගෝත්‍ර අනුව සිදුවූ විවාහයකදී පල්ලැක්‌කියකින්. දෝලාවකින් හෝ කරත්තයකින් ගියේ වීනම් පළමු ගමන යනුයේ එදින රාත්‍රිය මනාලියගේ නිවසේ නතරවීම සඳහා වේ. සිංහලයන්ගේ සිරිත වූයේ පළමු දිනයේ උදය නැකතින් මනාලයා ඇතුළු පිරිස මනාලයාගේ නිවසේදී කිරිබත්, කැවුම්, කෙසෙල්, කොකිස්, අතිරස, ආස්‌මී ආදී කැවිලි පෙවිලි සංග්‍රහ බුක්‌තිවිඳ මනාලියගේ නිවසට යැම සඳහා පිටත්වීමයි. මෙම ගමනට මනාලයාගේ මව සහභාගී නොවීම විශේෂයකි. මෙම ගමන සඳහා හේවායකු, හේවා ස්‌ත්‍රියක්, රජකයකු, මනාලියට අන්දවන ඇඳුම්, සුවඳ විලවුන් ආදී මල්ල ගෙන යැමට ළමයකු සහ කපු උන්නැහේද, ප්‍රධාන පිරිස සහභාගීවනු ඇත. ඒ හැර ගෙනයන අඩුම කුඩුම බොහෝය. ඒ අතරට මාමාට සරමක්, පට ලේන්සුවක්, නැන්දම්මාට කම්බායක්, බුලත් 500 හෝ 1000 ක් පමණද ගෙනයනු ලබයි.
මීට අමතරව සමහර පළාතක "මහ බුලත් ඔඩොක්‌කුව, රඹුක්‌කාලම සෙම්බුව, හැරමිටිය, අත් පන්දම, මනාලියගේ හිසට අල්ලනු ලබන "හස්‌තිය" තල් අත්ත, මාන්න පස, රෙදියාර දහයක් (ආච්චිට) ආදියද උඩරට පළාතේ නම් තුවක්‌කුවක්‌ද ගෙනයනු ලබයි. තුවක්‌කුව ගෙනයනු ලබන්නේ මනාලියගේ නිවස ආසන්නයට ගොස් පිරිස පැමිණි බව දැන්වීම සඳහා වෙඩිල්ලක් පත්තුකිරීම සඳහා වේ. මේ සිරිත අද ගමට දැන්වීම උදෙසා රතිඤ්ඤා කැරැල්ලක් දල්වනු ලබයි. මෙම ගමනට මනාලයාගේ පෙළපතේ නෑයන්ට අමතරව දුර හා පවුලේ වත් පොහොසත්කම් අනුව යුවලට ගමන් කිරීම සඳහා දෝලා, පල්ලැක්‌කි, තිරික්‌කල, කරත්ත දෝලා යොදා ගනී. නැට්‌ටුවන් ආවතේව කරුවන්, රජකයා, විරිඳු රබන් කරුවන්, සින්දුකාරයින් හා දක්‍ෂ කවි ගායකයෙකුද සිටීම අවශ්‍ය වේ. ගමන අතරමඟ හමුවන හැම දෙනකුටම බුලත් දීමේ සිරිතක්‌ද පවතී.
පළමු ගමනේදී ගෙනයන ද්‍රව්‍ය අඩුම කුඩුම හඳුන්වා ඇත්තේ "යෙලදා කද" වශයෙනි. එහිදී යමක් කමක් ඇති අය බරට "කත් පෙට්‌ටි" කීපයක් ගෙන යනු ලැබේ. ඒ සඳහා වහුම්පුර මිනිසුන් එදා සමාජයේ වූහ. ඉඟුරු, මිරිස්, ගම්මිරිස්, අබ, කලුදුරු, සූදුරු, කොත්තමල්ලි ආදියද බුලත්, පුවක් සීයක්, කැවුම් හැලියක්, හාල් සේරු හැටක්, ලෙලිගැසූ පොල් ගෙඩි හැටක්, කරවල යනාදියද මෙ කදට අඩංගු වේ. මින් අදහස්‌වන්නේ පිරිස එදින රාත්‍රිය මනාලියගේ නිවසේ නතරවන බැවින් ඊට අවශ්‍ය කෑම වියදම සැපයීමයි. මනාලිය ඇවැස්‌ස නෑකමකින් යුතු නම් මෙම කද ගෙන යනු නොලැබේ. ගමනේදී පිරිසේ ප්‍රධානියා හෝ කපු උන්නැහේ පෙරමුණ ගමන් කරයි. මනාලියගේ ගෙදර සීමාවට පැමිණ තුවක්‌කු සංඥව කර ඉන්පසු ආ පිරිසේ ප්‍රමාණයට බුලත් ගණන් කර දී, මාමා කෙනකු හෝ මස්‌සිනා කෙනෙකු පිටත්කර හරී, ඒ සමග කෑම වියදම සඳහා මුදලක්‌ද යෑවීම සමහර පළාතක දක්‌නට ඇත.
තවත් චාරිත්‍රයක් වන්නේ "කඩුළු බුලත්" දීමයි. එය සිදු වන්නේ මනාලිය මනාලයාගේ ඇවැස්‌ස නෑනා කෙනකු නොවේනම් පමණි. එවිට මනාලියගේ පාර්ශ්වයෙන් මනාලියගේ මස්‌සිනා කෙනෙකු නිවසේ කඩුල්ල ළඟට පැමිණ මනාල පාර්ශ්වයෙන් දෙන "කඩුළු බුලත්" පිළිගත යුතුය. එසේ පිළිගන්නා තුරු කඩුල්ල පැන යැමට අවසර නොලැබේ. බුලත් අත සඳහා කොළ 40 ක් අවශ්‍ය වේ. කොළ 40 ක් ගනු ලබන්නේ වචනය නිදොස්, නිබොරු බව සපථ කිරීම සඳහා වන අතර එය බුද්ධ භාෂිතයක් සේ සලකනු ලබන බැවිනි. එනම් බුදුන්ගේ ශ්‍රී මුඛයෙහි දන්තධාතූන් 40 නමක් ඇතැයිද එම ප්‍රමාණයට බුලත් ගැනීමෙන් පොරොන්දුවේ ස්‌ථිරභාවය ඇඟවීමටත්, ගෞරවය උදෙසාත් බුලත් අත යොදාගනු ලබයි. මෙසේ බුලත් පිළිගතහොත් කඩුල්ල පැනීමට අවසරය ලැබේ. මේ සිරිත යෙදී ඇත්තේ නෑනා අයිති මස්‌සිනාටය යන තහවුරු අදහසක් එදා සමාජයේ පැවැති බවිනි. මස්‌සිනාට බලෙන් වුවද නෑනා රැගෙනයැමේ අයිතියක් විය.
පළමු ගමනේ විචිත්‍රමය අවස්‌ථාව වන්නේ තහන්චි කයි කීමයි. කඩුල්ලේ සිට පෝරුවෙන් බහින තුරු කඩුල්ල, පාවාඩය, මඩුව, කෙණ්‌ඩිය, බුලත්, පෝරුව ආදී සියල්ල තහන්චි කරමින් මනාලියගේ පාර්ශ්වයෙන් කවියකු විසින් තහන්චි කවි කියනු ලබයි. මනාලයා ඇතුළු පිරිසට තම පක්‍ෂයේ කවියකු කවියකින් තහන්චි කැපීමෙන් පසු තහන්චිය ඉවත්වෙයි. මෙවැනි තහන්චි කවි අදත් සමහර පළාත්වල කියනු ලබයි. තහන්චි හැරීමෙන් පසු උඩුවියන් යටින් පාවාඩ පිටින් පිරිස මණ්‌ඩපයට පිවිසේ. ගෙට පිවිසෙන තැනදී මනාලයාගේ පා සේදීම කරනුයේ මනාලියගේ බාල සහෝදරයෙකි. එහිදී මනාලයා විසින් දිය බඳුනට මුද්දක් දමන අතර එය පා සෝදවන්නාටද පාවාඩය මතට මනාලයාගේ පාර්ශ්වයෙන් මුදලක් දැමිය යුතු අතර එය රජකයාටද හිමිවේ. මුදල් දමනතුරු ඔහු පාවාඩය නො අකුලා සිටිනු ඇත. මෙය "පාවාඩමස්‌ස" නම් වේ. ගෙට පිවිසීමෙන් පසු ගෙනයන "කත් පෙට්‌ටි" තෑගිකොට සුදුසු හා නියමිත අසුන්වල හිඳගනු ලබයි. අතීතයේදී නම් විවාහ නැකැත් ඇත්තේ පසුදා උදය වරුවේ බැවින් ඉතිරිකාලය විවිධ කතාබස් මතින් ගෙවා දමනු ලැබේ.
වත්මනදී පෙරදා ගමනක් නොමැති අතර ප්‍රථම ගමනේදී විවාහ චාරිත්‍ර සිදුකරනු ලැබේ. එබැවින් එදිනට අදාළව නැකැත් පිළිවෙළට පෝරුවේ චාරිත්‍ර සිදුකරනු ලබයි. පෝරුව සඳහා අද සමහර පළාත්වල තහංචි කවි කියනු ලබන අතර එදා බිරියන් පැහැරගෙන ගොස් සඟවා දින කිහිපයක් තබාගෙන සිටීමේ සිරිතක් පැවැති බවත්, ඊට සහාය වූ පුද්ගලයා අද දෙවන මනාලයා බවත්, සඟවා සිටි කාලය ගෙයින් පිට මධුසමය ගතකරන කාලය ලෙස සැලකෙන බවත් කියනු ලැබේ.
තවත් තැනකදී එය සදහන් වන්නේ. අභියෝගයක් ආ විට එම ගෝත්‍රික තරුණයා කරනුයේ දකුණතින් හෙල්ල ගෙන වමතින් තම බිරිඳ ආරක්ෂා කරමින් සටන් කිරීමයි. ඒ අයුරින්ම අදත් මනාලයා දකුණුපස ද මනාලිය වම්පස ද සිටියි. ගෝත්‍රික විවාහ වලදී මනාලිය ගැන සිත් ඇති වෙනත් තරුණයෙකු මෙහිදී මනාලයා සමගින් සටන් කර මනාලිය පැහැර ගන්නා අවස්ථා ඇතිවිය.මෙයට උපක්‍රමයක් ලෙස ගෝත්‍රික යුවළ සමඟ මනාලයා හා සම වයසේ වූත් එම සවිශක්තියෙන් යුත් තරුණයෙකු රැගෙන ගියහ.
මනාලිය පැහැර ගැනීමට කිසිවකු අවොත් සටන් කරන්නේ මනාලයා නොව ඒ අමතර තරුණයායි. අද දවසේ දෙවෙනි මනමාලයා ලෙස හඳුන්වා ඇත්තේ එදා සිටි ඒ ගෝත්‍රික තරුණයායි. සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇති වන බවට එදා විශ්වාසයක් විය. එබැවින් මනාලියගේ වයසේ සම හැඩරුව ඇති තවත් තරුණියක් මනාලියක් ලෙස සුන්දර සැරසිලි කර මංගල උත්සවයට ඉදිරිපත් කරයි. එවිට භූ®තයින්ට මනාලිය හඳුනා ගැනීමට නොහැකිව දෙදෙනා දෙසම බලපෑම් නොකර බැලීම පමණක් කරයි. භූ®තයන් රැවටීමේ එදා උපක්‍රමය අද දවසේ දෙවෙනි මනාලියන් සැරසීම දක්වා විකාශනය වී ඇත
මේ චාරිත්‍රවලින් පසු අද දවසේ මංගල සභාව පවත්වා උපදෙස් දෙනු ලැබේ. පළමු දිනයේ කටයුතු අවසන් වනුයේ දෙමාපිය වැඩිහිටි අනුශාසනාවලින් පසු ඔවුන් වැඳ අවසරගෙන මනාලයා ඇතුළු නව ඥතීන් සමග නව දිවියට පා තබමින් නිවසින් පිටව යැමයි. දෙවන ගමන සිදුවන්නේ ඊට පසුවදාය.
අතීතයේ විවාහ මංගල්‍යයක් සිදුවූ ආකාරය පිළිබඳ සලකා බලන විට වර්තමාන මංගල උත්සව (වෙඩින්) වල පැහැදිලි වෙනසක් තිබෙන බව දක්‌නට හැකිය. විවාහ උත්සවයක අවස්‌ථා 6 ක් තිබුණි. එනම්,
1. පළමු ගමන,
2. නම් ප්‍රසිද්ධිය,
3. මඟුල් දිනය (පෝරුවට නැංවීම මංගල උත්සවය විවාහය ලියාපදිංචි කිරීම),
4. මනමාලිය කැන්දාගෙන යැම,
5. හිස දියට යැම,
6. නෑදෑ මිත්‍රයන් බලන්නට යැම (ලංකා ජනතාව - නන්දදේව විඡේසේකර)
කුමර කුමරි බඹසර හොඳින් රැකගෙන පැමිණි යුවළකගේ මංගල අවස්‌ථාවෙහි මෙම පෝරුවේ චාරිත්‍ර පැවැත්වීම පුරාතන සම්ප්‍රදායයි.
පෝරුව සෑදීමේදී මනාලයාගේ දකුණු පැත්තෙන් සහ මනාලියගේ වම් අත පැත්තෙන් පිහිටුවන බව කලින් කියවුනි. වටප්‍රමාණය රියන් හතරක්‌ද, උස ප්‍රමාණයෙන් රියන් එකක්‌ද වන සේ තැනිය යුතුය. හංස, ගිරා වැනි සත්ත්ව අනුරූ අනුව නිර්මාණය කරන පෝරුව, මල්කම්, ලියකම්, පුන් කළස්, පොල්තෙල් පහන් ආදියෙන් සරසනු ලැබේ. එක් යුවළක් සඳහා නිර්මාණය කළ පෝරුව වෙනත් යුවළක් සඳහා ප්‍රයෝජනයට ගැනීම නොසුදුසුය. එහෙත් මෙකල මංගල පෝරු කුලියට දීම ව්‍යාපාරයක් වශයෙන් කරන බව පෙනෙයි. එවැනි දෙය ප්‍රයෝජනයට ගැනීම මගින් බලාපොරොත්තු වන ආශිර්වාදය නොලැබී යන බව පැවසිය හැක.
පෝරුවේ චාරිත්‍ර ද හැම දෙනාටම කළ නොහැක. එයට දැනුම් තේරුම් ඇති අයකු සිටිය යුතුය. ඔහු දින හතක් ඒ වෙනුවෙන් පේවී සිටීමද වැදගත් වෙයි. එසේම යුවතිපති දෙදෙනාම පිරිසිදු සීලයෙහි පිහිටා සිටීම අනිවාර්ය වෙයි. මත්පැනින් වැළකිය යුතුය. කිළි කුණුවලට හසු නොවිය යුතුය. මස් මාංශවලින් වැළකිය යුතුය. පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියාද සිලවත්, ගුණවත් බහුශෘත සම්භාවනීය අයකු විය යුතුය. එහෙත් වර්තමානයේ බොහෝ විට එවැනි කටයුතුවලට ඉදිරිපත් වන්නේ මත්පැන්වලින් හොඳ හැටි පදම් වූ වාචාල පුද්ගලයන් බව අසන්නට ලැබෙයි. විශේෂයෙන් ඔහු තව කෙනෙකුට ආශිර්වාද කළ හැකි තරම් ගුණගරුක වාග් ශක්‌තිය ප්‍රගුණ කළ අයකු වීම අතිශය වැදගත්ය. එසේ වාග් ශක්‌තියක් නොමැති නම් ගාථා, කවි, ස්‌තෝත්‍ර ගැයීමේදී වැරැදි ලෙස උච්චාරණය කිරීමෙන් සුබ පල වෙනුවට අසුබ පල උදාවිය හැකිය.
මෙම චාරිත්‍ර ඉටු කරන පුද්ගලයා දිනහතක් ඒ වෙනුවෙන් පේවිය යුතු බව සඳහන් වේ. මංගල දින උදෑසන හිස් සෝදා නා පිරිසිදු වී තෙරුවන් නැමද දෙවියන්ට පිං අනුමෝදන් කිරීම නිසා තම මානසික ශක්‌තියද තහවුරු කරගත හැකිය. එවිට තමන්ට ද ආරක්‌ෂාව සැලසෙයි. ශ්වේත වර්ණ වස්‌ත්‍රයෙන් සැරසී පාවහන් ඉවත් කර සුරාවෙන් දුම්වැටියෙන් මිදී මෙම චාරිත්‍ර ඉටුකළ යුතුය.
පෝරුවේ චාරිත්‍රවලදී අනුගමනය කරන කටයුතු අතර විශේෂ අවස්‌ථා කිහිපයක් දැක්‌විය හැකිය. එනම්
1. පහන් දැල්වීම,
2. මඟුල් බෙර වැයීම,
3. රත්නත්‍ර නමස්‌කාරය සහ දේවතාරාධනය,
4. පිරිත් සඡ්ජායනා මැදදේ යුවල පෝරුවට නැංවීම,
5. පෝරුවේ කියමන් (ගායනා),
6. බුලත් හුරුලු පිළිගැන්වීම,
7. තැළි පිළිඇන්ද,
8. දෑඟිලි බැඳ අත පැන් වත් කිරීම,
9. ජයමංගල ගාථා ගායනය,
10. දේව ස්‌ත්‍රොaත්‍ර සහ අෂ්ඨක ගායනා කිරීම,
11. කිරිකඩ හේලය දීම,
12. ඥතීන්ට බුලත් හුරුලු දීම,
13. සෙත් පිරිත් කියා පෝරුවෙන් බැස්‌සවීම (පෝරුවේ චාරිත්‍ර ජගත්සීල කුලතිලක)
යන මේවා ප්‍රධාන වෙයි.
හඟල හුරුලු දීම මීළඟ චාරිත්‍රයයි. මෙහිදී බුලත් මත පඬුරු (කාසි) තබා මනාලයා විසින් මනාලියට දෙන අතර ඈ විසින් එය පෝරුව මතට හෙළනු ලැබේ. නැවත මනාලිය විසින් මනාලයාට පඬුරු සහිත බුලත් හුරුල්ලක් දෙයි. මේ ආකාරයට පඬුරු හතක් මාරු කිරීම සිදු කෙරේ. මෙය බෞද්ධ ආර්ථික ප්‍රතිපදාව විදහා දක්‌වන චාරිත්‍රයකි. සැමියා උපයන දේ නොසඟවා බිරිඳට බාරදෙයි. බිරිඳ ඒවා ආරක්‌ෂා කර සැමියාට දිය යුතුය. කුමකටද? යුතුකම් ඉටු කිරීමටය. සිඟාලෝවාද සූත්‍රයේ එන පරිදි ගිහියකු විසින් පාර්ශ්වයන් හයක් සඳහා යුතුකම් කළ යුතු වේ. මව්පියන් (පෙරදිග), ගුරුවරුන් (දකුණ), දරු පරපුර (පිටුපස), ශ්‍රමණ හෙවත් ආගම (උඩ), යහළුවන් (උතුර) හා සේවකයන් (යට) වශයෙනි. මනාලිය පඬුරු ආපසු දෙන්නේ මේ කොටස් හයට හෙවත් සදිසාවට නමස්‌කාර කිරීම් වශයෙනි. උවමනා විටෙක දන්දීම පතා 7 වැනි බුලත් හුරුල්ල ආපසු දෙන්නේ නැත.
පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියා ඉහත සඳහන් සියලු චාරිත්‍ර ඉටු කිරීම පිළිබඳ මනා අවබෝධයක් තිබෙන අයකු විය යුතුයි. දොහොත් මුදුනෙහි තබා පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියා එම කටයුතු අරම්භ කරන විට මංගල නිවසෙහි සියලු දෙනාම නිශ්ශබ්ද විය යුතුය. මත්පැන් පානය කළ අය සහ කිළි ගෙවල සිට පැමිණි අය පෝරුව අසළට නොපැමිණීමට වගබලා ගත යුතුය.
පෝරුව හා එහි චාරිත්‍ර ඉටු කිරීමේ මූලික අරමුණු
* පුරාණ චාරිත්‍ර අනුව පෝරුමස්ථාරූඩ කරන්නේ කන්‍යාවියන් පමනි.ඒ අනුව නාලියගේ පාරිශුද්දතාව හිත ශාතීන් ප්‍රමුඛ ලොවට පෙන්වීම පෝරුවේ මූලික අරමුණකි.
* නව යුවලට ත්‍රිවිධ රත්නයේ හා දේවාශිර්වාදය ආරක්‍ෂාව පැතීම
* තමා හැදූ වැඩූ හා තමාගේ සහකාරිය සහකරු හැදූ වුඩූ දෙමාපියන්ට කෘතගුණ සැලකීම
* පාරම්පරික සංස්කෘතික අංග ඉදිරි පරම්පරාව වෙත ගෙන යාම.
අතීතයේ සිට අද දක්වා භාවිතා වන පෝරු වර්ග 3ක් ගැන සදහන්ය.
*මහා සමමත ආදී රජුන් සදහා වූ මගුල් පෝරුව
*සිද්ධාර්ථ කුමරු යසෝදරා දේවිය සදහා යොදා ගත් මගුල් පෝරු ආකෘතිය
* සාමාන්‍ය ජනයා සදහා වූ මඟුල් පෝරුව
පෝරුව සෑදීම
වර්තමානයේ හෝටල්වල මංගල උත්සව ගැනීම් වලදී මංගල පෝරුව සදහා හෝටලය විසින් නොමිලේ හෝ සහනදායි මිලට සපයන පෝරු භාවිතා කිරීම් වැඩි වශයෙන් සිදු වුවත් නියම ශාස්ත්‍රාණුකූලව බලන විට එය නුසුදුසුය.වෙනත් යුවලක් නැංවූ පෝරුවක තවත් මනාල යුවලක් නැංවීම සුදුසු නැත.හෝටල්වල හා වෙනත් වෙළඳසැල් වල කුලියට දීමට හා විකිණීමට ඇති පෝරු වැඩි දෙනෙකු පරිහරණය කල ඒවාය.නියමාකාරයට නම් මනාල යුවලක් වෙනුවෙන් අළුත් මංගල පෝරුවක් සැකසිය යුතුය. අතීතයේ මංගල පෝරුව සෑදීම ඉතා බැතියෙන් හා චාරිත්‍රාණුකූලව සිදුකල කටයුත්තකි.මඟුල් පෝරුව සාදන්නා පන්සිල් රකින සිල්වත් ගුණවත් අයකු විය යුතුය.ඉතා හොදින් පිරිසිදුව දින කිහිපයක් මස් මාංශ වලින් වැලකී පේවී ඒ සඳහා සූදානම්වේ.පෝරුව සෑදීම ආරම්භ කරන්නේ සුභ නැකතක් අනුව සුදුසු ස්ථානයක් තෝරා ගෙන එම ස්ථානය හොදින් ශුද්ධ පවිත්‍ර කර ගෙනය.පෝරුව සෑදීම සදහා රත්හදුන්,සුදු හදුන් හෝ කිරි ගසක පළුදු නොවූ අළුත් ලෑලි යොදා ගනී.
පැරණි සම්මතය අනුව පෝරුවේ දිග වඩු රියන් 16 කුත් පළල වඩු රියන් 15 කුත් විය යුතු අතර(වඩු රියනක් යනු දළ වශයෙන් අඟල් 31කි.) දොරටු 4ක් හා මුලු 8ක් සෑදෙන පරිදි සැකසිය යුතුය.(දොරටු 3 මංගල පෝරු වර්තමානයේ බහුලව භාවිතා කරයි.)
පෝරුව තැන්පත් කල යුත්තේ එය තුලට වාත්‍රාශය හොදින් ලැබෙන පරිදිය. වර්තමානයේ හෝටල් ආශ්‍රිතව පෝරුවේ චාරිත්‍ර සිදු කරන විට දෙපාර්ශ්වයේ ඥාතීන් පෝරුව අසල එක්රැස් වීමත් පොටෝ වීඩියෝ කරුවන් ඒ අසල එක්රැස් වීමත් පොල්තෙල් පහන් නිවී යාම වැලක්වීමට විදුලි පංකා ක්‍රියා විරහිත කිරීමත් නිසා පෝරුව අසල කාබන්ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිවේ.මෙවැනි අවස්ථාවලදී පෝරුව මත සිටින මනාළ යුවළ මහත් අපහසුතාවට පත්වන අතර ක්ලාන්ත වීම් වැනි වෙනත් අපහසුතාද ඇතිවේ.(පෝරුව මතදී මනාලිය හෝ මනාලයා ක්ලාන්ත වීම ඔවුන් කුමර කුමරි බඹසර බිදගත්තවුන් බවට ඉඟි කරන බව පැරැන්නන් අතර මතයක් ඇත.)
පෝරුවේ ඉදිරිපස පිහිටිය යුතු දිශාව තීරණය කල යුත්තේ නැකැත් දිනයේ දක්වා ඇති සුභ දිශාව අනුවය.මනාළ යුවල පෝරුවට නැංවීමට පෙර සහල්,ලදපස්මල් ඉස ඒවා සුදු පිරුවටකින් වසා තබයි.පුන්කලස් මත පොල් තෙල් පහන් දැල්වීමට සූදානම් කර තබයි.
පෝරුව සාද එහි චාරිත්‍ර ඉටු කරන තුරු එය තනි නොකළ යුතු අතර මනාළ යුවලගේ ඥාතීන්(යටින් සතුරු) ,සතුරන් වැන්නවුන් සිදු කල හැකි වින බන්ධන වලින් පෝරුව ආරක්‍ෂා කිරීමට කෙනෙකු ඒ අසල සිටිය යුතුය.ඇතැම් පළාත්වල රතු ජටා බැදගත් දූතයන් සතර දෙනෙකු කඩු 4ක් ගෙන පෝරුව සතර කොන පෝරුවේ චාරිත්‍ර අවසන් වන තුරු නොසෙල්වී සිටින්නේ මෙම ආරක්‍ෂාව සංකේතවත් කිරීමටය.සතර කොන සහල් පඩුරු ආදිය පුරවා පිපුණු පොල් මල් දමා පහන් දැල්වීමට සූදානම් කල පුන්කළස් හතරක්ද තබයි.
පෝරුවේ පොදු චාරිත්‍ර
නව යුවළ පෝරුවට නැංවීමට ප්‍රථම ඔවුන් ලවා තෙරුවන්ට හා සතරවරම් දෙවියන්ට පහන් දැල්වීම.තෙරුවන් වෙනුවෙන් දැල්වූ පහන පෝරු චාරිත්‍ර ඉටු කරන්නා විසින් ප්‍රථමයෙන් උඩකින් තබා ඉන්පසු සතර වරම් දෙවි පහන් පෝරුව වටා තබා ඇති පුන් කළස් හතර උඩ තබයි.මෙය සිදුකරන ගමන්ම අෂ්ඨක කියන්නා(පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නා) සභාවෙන් අවසර ගැනීම ත්‍රිවිධ රත්නයට නමස්කාර කිරීම හා සතරවරම් දේවාරාධනාව සිදු කරයි.
අනතුරුව මනාලයා පෝරුවේ දකුණු පසින් හා මනාලිය වම්පසින් දෙදෙනාගේ මාමා වරුන් මනාළ යුවළගේ දකුණු අතින් අල්වා දකුණු පය පෙරට තබා සුභ නැකත් වේලාවට පෝරුවට නැංවීම සිදු කරයි.ඇතැම් පළාත් වල දෙදෙනා පෝරුවට නැංවීම මනාලියගේ මාමාවරු දෙදෙනෙකු විසින් සිදු කරයි.දෙදෙනා පෝරුවට නගින විට යශෝධරා අෂ්ඨකය වැනි පෝරුවට නැංවීමේ කවි අෂ්ඨක කියයි.
මනාලයාගේ දකුණතේ හා මනාලියගේ වමතේ සුළැගිලි දෙක එක්කොට රන් කෙන්දකින් බැද (සමහර පළාත් වල සමන්පිච්ච මල් දැවටූ නූලෙන් බැද) කෙළවර පුච්චා රන් කෙන්ඩියකින් හෝ හක් ගෙඩියකින් පැන් වැඩීම සිදු කරයි.මෙම අවස්ථාවේදී "අටවිසි පිරිත"කියා ආශිර්වාද කිරීම සිදු කරයි.රන් කෙන්ඩියෙන් (හෝ හක් ගෙඩියෙන්) වඩන පැන් පෝරුව මතට නොවැටෙන සේ යටින් දිය බදුන අල්ලා පිරිත අවසන් වන තුරු පැන් වඩා අවසන නූල දෙදෙනාට ගලවා ගැනීමට නියම කරයි.
ආගමික වතාවත් සහ දේව ස්‌ත්‍රොත්‍ර ගායනයෙන් අනතුරුව ඉටුකරන වැදගත් චාරිත්‍රයක් නම් කිරිකඩහේලය පූජා කිරීමයි. එය මනාලියගේ මෑණියන්ට කරන උපහාර පූජාවයි. දස මසක් කුස දරමින් දියණිය තම ජීවිතය මෙන් රැකගෙන නිරුපද්‍රිතව හදා වඩා ගෘහ පාලන කටයුතු පුහුණු කර උතුම් කුල දුවක ලෙස හැදූ වැඩූ මෑණියන්ට කරන උපහාරයක් වශයෙන් සුදු වස්‌ත්‍ර කවිච්චියක් හෝ වෙනත් ඇඳුම් පැළඳුම් පිදීම බෑණනුවන් විසින් සිදුකරන චාරිත්‍රයකි. හැදූ මෑණියන් ජීවතුන් අතර නැති නම් මනාලිය හදා වඩාගත් වෙනත් කාන්තාවකට මෙම පූජාව කරනු ලබයි. මින් පසු සිදු වන්නේ දෙපාර්ශ්වයේ වැඩිහිටි ඥතීන්ට බුලත් හුරුලු පිළිගන්වා ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමයි. මේ සියල්ල නිමවූ පසු කාල වේලාව අනුව මංගලම් කවි ගායනා කර විවිධ ස්‌ත්‍රොaත්‍ර සහ ගාථා මගින් යුවළට සෙත් පතනු ලබයි. මෙම කටයුතු කාල වේලාව අනුවත් ඒවා ඉටුකරන පුද්ගලයාගේ දක්‌ෂතාව අනුවත් දීර්ඝ හෝ කෙටි විය හැකිය.
මංගලම් කවි වශයෙන් මෙවැනි කවි ගායනා කරයි.
“කිඹුල්වත් පුර නුවර ඉපදුන එබෝසත් ජය මංගලම්
අගුල්ලා තිබූ නුවර වාසල් ඇර ගියේ දෙවියන් බෙලෙන්
මඟුල් කඩුවෙන් කේස ධාතුව කපා අහසට හැරී බෙලෙන්
මඟුල් වේවා යුවති පති හට බොහෝ කල් ජය මංගලම්“
“පෙම්මා වඩවන මුණිඳුගෙ තෙද කල
නම්මා බැහැදැක ඇතු සිටිනා කල
වෙම්මා ලොවටම දස පෙරුමන් බල
සම්මා යන පදයෙන් ජය මංගල“
මෙලෙස ගායනා කරන කවි රාශියක් ජන සමාජයේ ප්‍රචලිතව තිබුණි. මෙම සියලුම කවි ප්‍රබන්ධ වී තිබුණේ බුද්ධ චරිතය ඇසුරින්ය. මංගල අෂ්ඨක ගායනයෙන් පසුව සියලු බුදුවරයන් වහන්සේලාගේත්, සියලු දෙවි දේවාතාවුන් වහන්සේලාගේත්, නවග්‍රහයන්ගේත් ආනුභාවයෙන් අපල උපද්‍රව දුරුවේවා" යි ප්‍රාර්ථනා කරමින් පෝරුවෙන් බස්‌සවනු ලබයි. පොල් ගෙඩියක් බිඳීමත් සමගම දකුණු පාදය පෙරට තබා අභිනව යුවළ පෝරුවෙන් බසියි. මෙම සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ පුරාතන මංගල උත්සවයක් යනු හුදු උත්සවයක් පමණක්‌ම නොව, ආගම දහම සත්චාරිත්‍ර අනුව පැවැත්වූ පුණ්‍ය මහෝත්සවයක්‌ද වශයෙන්ද පැවති බවයි.
1. ප්‍රථමයෙන්ම මංගල පෝරුවට නැගීමට වරම් ගන්න. බුද්ධාගම අනුව නම් ප්‍රථමයෙන්ම “නමෝතස්ස” පාඨය තෙවරක් කියවන්න. ත්‍රිවිධ රත්නය වඳින කුමන හෝ ගාථා තුනක් කියවන්න. “සංසාර සාරෝඝ විනීතත නීසං.” වැනි ශබ්ද රසයද ඇති ගාථාවන් නම් ඉතා මැනවි. ඉන් පසු භූමිදේවි නමස්කාරය වූ “ චන්ද කුසුම මාලං” යන්න කියවන්න. ඉන් පසු පෝරවට නැගීම සඳහා අවසර ගන්නා කවියක් හෝ කවි කීපයක් කියවන්න. දැනට එවැනි කවි 6 ක් පමණ භාවිතා කරයි. කාලවේලාව අනුව කවි සංඛ්‍යාව ඔබම තීරණය කරන්න.උදාහරණයක් ලෙස එක කවියක් කියමි.
එදා සිදුහත් කුමරු හට බිම්බා කුමාරිය සරණ පාවා
උදාරව දෙනු ලැබු සුබ කරකාර මගුලෙදි මන පබෝවා
මුදාහල ලෙස යුවලගේ පා මඟුල් පෝරුව මතයි බෝවා
මෙදා පින්බර මෙනව යුවලක් මඟුල් පෝරුව මත නගීවා
2. දැන් සුබ නැකත උදාවී ඇත. මගුල්බෙර නාද මධ්‍යයේ යුවල පෝරුවට භාරකරුවන් යටතේ නඟී. එසේ නැගුනු විට කෙටි ආශිර්වාද සිලෝවක් කියන්න.
3. ඉන්පසු ඇත්තේ සඟල බුලත් හුවමාරුවයි.මෙහිදී බුලත් අතවල් 07 ක් දෙදෙනා අතර හුවමාරු වේ.බුලත් අතකට ඇති උපරිම බුලත් සංඛ්‍යාව 40 කි. අවම සංඛ්‍යාව 02 කි. සඟල බුලත් හුවමාරුවේදී බුලත් අතකට ගන්නේ අවම බුලත් සංඛ්‍යාවයි. බුලත් අතකට කාසියක් ද එකතුවේ. බුලත් අතවල් 07 න් කියවෙන්නේ මේ විශේෂ අවස්ථාවේදී අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, මී ,මුත්තා යන හත්මුතු පරම්පරාව සමරන බවයි. උතුම් ජාතීන් මෙවැනි වැදගත් අවස්ථා වලදී තම අතීත පරපුර සමරති. බුලත් වලින් සංස්කෘතිය ද කාසි වලින් ආර්ථිකයද කියවේ. සඟල බුලත් හුවමාරුවෙන් සංකේත වන්නේ අද සිට දෙදෙනා අතර සංස්කෘතික ලෙස මෙන්ම ආර්ථික ලෙස ද සහජීවනයක් ඇතිවන බවයි.
4. ඉන්පසු ඇත්තේ තැලිපිලි පැළඳීමයි. වෛදික දහම අනුව සැමියාට බිරිඳගේ හිමිකම ලැබෙන්නේ මල් මාලයක් දැමීමෙනි. එදා ඒ මල් මාලය අද වන විට තැල්ලක් සහිත චේන් පොටක් දක්වා විකාශනය වී ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් 4 වෙනි යුතුකම බිරිඳට ඉසුරු සම්පත් පැවරීමයි. 5 වෙනි යුතුකම ඇයට ඇඳුම් හා ආහාරපාන සැපයීමයි.
සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සක්ක සංයුක්තයේ සක්දෙවි මිනිසුන් නමදින අවස්ථාවක් දැක්වේ. මේ සම්බන්ධයෙන් මාතලී දිව්‍ය පුත්‍රයා කරන විමසීමකදී සක්දෙවි පවසන්නේ තම යුතුකම් දන්නා සැමියන් වන්දනා කරන බවයි. මෙයින් පෙනෙන්නේ බිරිඳට යුතුකම් ඉටු කරන සැමියන්ට දෙවියන් පවා ගරු කරන බවයි.
5. ඉන් පසු මුදු මාරු කිරීම සිදුවේ.මුද්ද යනු සදාකාලික භාවයේ සංකේතයි.පෙරදිග වෙද නීතිය අනුව අතේ වෙදගිල්ලේ මුල් පුරුක හදවතට සම්බන්ධතාවයි. විශ්ව නීතිය අනුව ගැහැණියට වමතත් පිරිමියාට දකුණතත් විශේෂ වේ. සිංහල වෙද මහතා ප්‍රතිකාර වලදී පිරිමියාගේ දකුණතේ නාඩි බලයි. ගැහැණියගේ වමතේ නාඩි බලයි. හස්ත රේඛා ශාස්ත්‍රඥයා පිරිමියාගේ දකුණතේ රේඛා බලයි. ගැහැණියගේ වමතේ රේඛා බලයි.ඒ අනුව සදාකාලික බවේ සංකේතය හදවතට සම්බන්ධ වූ වෙදඟිල්ලේ මුල් පුරුකට පැළඳවීම මනාලියගේ වමතේ ද මනාලයාගේ දකුණතේ ද සිදු කරයි.
6. ඊළඟට ඇත්තේ අත පැන් වැඩීමයි. බිම්බිසාර රජු වේළුවනාරාමය පවරා දුන්නේ ද දෙවන පෑතිස් රජු මවමෙව්නාව පූජා කළේ ද වෙස්සන්තර රජු දේපොළ පවරා දුන්නේ ද අතපැන් වැඩීමෙනි. ඔබ කරන පින් ඔබේ මළගිය ඥාතියාට පවරන්නේ කෙසේද? පැන් වැඩීමෙනි.මෙය පැරණිම පවරා දීමේ චාරිත්‍රයයි.තම දියණිය සැමියාට පවරා දීම අත්පැන් වැඩීමෙන් සිදු කරනුයේ වෛදික දහම් නීතිය අනුවයි.
7. ඊළඟට ඇත්තේ මංගල පෝරුව මත දී පැන් වීදුරුව හා රස කැවිලි පිරිනැමීමේ චාරිත්‍රයයි. මෙය උම්මග්ග ජාතකයෙහි අමරාදේවි හා මෙහෞෂධ පඬිවරයා මුනගැසීම සිහිකරන්නකි. ආහාරයට පෙර පැන් පිරිනැමේ.
ඉන් පසු දෙදෙනා සහජීවනයෙන් ආහාර ගැනේ. ඉන් පසු නැවත පැන් පානය කරයි.මේ ජීවත් වීමේ කලාවයි.
8. බුදුරදුන් විවිධ අභියෝග ජයගත් බැවින් ඒ තේජසින් ජය මගුල් ඔබටත් ලැබේවා! යන පැතුම ජය මංගල ගාථා කියවීමෙන් ලැබේ.
9. ඔක්කාක රජ සමයේ සුබ්‍රහ්මා , සෝමසීලි යන බමුණු යුවළට ජාතක වූ බ්‍රහ්මජාලි කුමරිය දීගෙට යන විට මවගේ කිරි වල ණය ගෙවීමේ කථා වස්තුවක උපයෝගි කරගෙන කිරිකඩ සේලය පිරිනැමීමේ චාරිත්‍රය සාදා තිබේ. දියණියක මවකගෙන් පානය කරන ලද කිරි වල ණය කිසිදා පිරවිය නොහැකි බව මේ චාරිත්‍රයෙන් කියන පණිවිඩයයි.
10. ඊළඟට ඇත්තේ වැඩිහිටියන්ට බුලත් දීමේ චාරිත්‍රයයි.මහා මංගල සූත්‍රයේ 3,11,12 යන මංගල කරුණුද සප්ත අපරිහානි ධර්මයේ 4 වෙනි අපරිහානි ධර්මය ද දස පුන්‍ය ක්‍රියා වල 4 වෙනි පුන්‍ය ක්‍රියාව ද සිඟාලෝවද සුත්‍රයේ සදිසා නමස්කාරයෙන් නැගෙනහිර නමස්කාරය ද කිතුණු දස පනතේ 4 වෙනි පනත ද මෙම චාරිත්‍රයෙන් ඔපවත් කරයි.
11. ඊළඟට ඇත්තේ පෝරුවෙන් බැසීමේ චාරිත්‍රයයි.අවිවාහකයන් ලෙස භාරකරුවන් යටතේ පෝරුව දෙපසින් නැඟි යුවල විවාහකයන් ලෙස එකිනෙකාට භාරකරුවන් වෙමින් සුභ දිසාවට මුහුණ ලා පෝරුවෙන් බසී. පෝරුවෙන් බැසීමට පෙර වරම් ගැනීම සඳහා ආශිර්වාද කවි 08 ක් පමණ දැනට ලංකාවේ භාවිතා කෙරේ. කාලවේලාව කළමණාකරණය කරමින් මින් කීපයක් ගායනා කිරීමට පුළුවන.
12. පෝරුවේ චාරිත්‍ර වල අවසාන අංගය පෝරුවෙන් බැස පහන දැල්වීමයි. පහනක් දැල්වෙන විට අඳුර පලා යයි. අඳුර පලා යන විට මඟ හොඳින් පෙනේ.මේ ආලෝකවත් වන්නේ නව යුවලගේ ජීවිතයයි.ජීවන මාර්ගයයි. පහන දල්වන විට මඟුල් බෙර වාදනය කෙරේ.
මේ චාරිත්‍රය කරන විට අවස්ථානුකූ®ලව දළඳා අෂ්ඨකය, ශ්‍රීවිෂ්ණු අෂ්ඨකය, අට විසි විවරණ අෂ්ඨකය, කන්ද කුමාර අෂ්ඨකය, මහා මංගල අෂ්ඨකය, නවග්‍රහ මංගල අෂ්ඨකය, ගණේෂ අෂ්ඨකය, දැඩිමුණ්ඩ අෂ්ඨකය, නාරායන අෂ්ඨකය, බෞද්ධ අෂ්ඨකය,අෂ්ඨදේව, මංගල අෂ්ඨකය පත්මාවතී අෂ්ඨකය, වැනි අෂ්ඨකයන් අතුරින් කීපයක් ගායනා කර චාරිත්‍රය ඔපවත් කිරීමට චාරිත්‍රවේදියා සමත් වෙයි.
සිංහල පාරම්පරික සිරිත් රැකගනුවස් අන්තර්ජාලය ඇසුරින් එරන්ද ලක්මාල් විසින් ගෞතම බුදුසසුන තුල මේ ලිපිය පලකල වගයි.
Saturday, November 3, 2012
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
පසුගිය ජූනි මාසයේ සිට බටහිර මියන්මාරයේ මුස්‌ලිම් අන්තවාදීන් විසින් බෞද්ධයන්ට එරෙහිව දියත් කර ඇති ප්‍රචණ්‌ඩත්වයත් ඊට එරෙහිව බෞද්ධ පාර්ශවය විසින් එල්ලකරන ප්‍රතිවිරෝධතාවයත් හේතුවෙන් නැවතත් දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය 26,27,28 දිනවලදී රාකින් ප්‍රාන්තයේ ඇති වූ ගැටුම් වලින් මේ වන විට දෙපාර්ශවයේම 100 කට අධික පිරිසක් ජීවිතක්‌ෂයට පත්ව ඇති අතර නිවාස දෙදහසක් පමණ ගිනිබත් කර ඇතැයි මාධ්‍ය වාර්තා දක්‌වයි. ඒ අතර බෞද්ධ විහාර කිහිපයක්‌ද වේ. පසු ගිය ජූනි මාසයේ මුස්‌ලිම් අන්තවාදීන් විසින් බෞද්ධ තරුණියක කෙළෙසා ගෙල කපා මරා දැමීම මෙම ගැටුම්වලට ආසන්නතම හේතුවයි.
අසල්වැසි බංග්ලාදේශයෙන් සංක්‍රමණය වූයේ යෑයි සැලකෙන රොහින්ගියා මුස්‌ලිම් ජන කොටස හා බෞද්ධයන් අතර ගැටුම් අලුත් දෙයක් නොවේ. මීට පෙර 1979 දී හා 1991-92 කාල සීමාවේදී ද මෙවැනිම ගැටුම් අතිවූ අතර එම අවස්‌ථා දෙකේදීම දහස් ගණන් මුස්‌ලිම් ආගමිකයෝ දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා ගියහ. පසුගියදා හටගත් ගැටුම්වලින් පසුවද එවැනිම සංඛ්‍යාවක් රැකවරණය පතා බංග්ලාදේශයට යැමට තැත් කළද බංග්ලාදේශ රජය දේශ සීමාව වසා දමා එය ව්‍යර්ථ කිරීමට උත්සාහ කළේය. මියන්මාර් රජය රොහින්ගියා මුස්‌ලිමුන් ස්‌වදේශිකයන් ලෙස පිළි නොගන්නා අතර බංග්ලාදේශයද ඔවුන් තම රටේ පුරවැසියන් ලෙස පිළිගන්නට සූදානම් නැත. එබැවින් රොහින්ගියා මුස්‌ලිම් ගෝත්‍රය පිළිගැනෙන්නේ රටක් නැති වඩාත් පීඩාවට පත් වූ ජන කණ්‌ඩායමක් ලෙසටය.
කෙසේ වෙතත් අනුන්ගේ බිම් කඩක වුව ද තමන් ජීවත්වන භූමියේ ආධිපත්‍යය පැතිරවීමට උත්සහ දැරීමත්, ඉස්‌ලාමය අදහන්නන්ට සාපේක්‌ෂව අනිකුත් ආගමිකයන් සුළුතරයක් වූ කල සුළුතරයට එරෙහිව භීsතිය හා ප්‍රචණ්‌ඩත්වය පැතිරවීමත් ඉස්‌ලාමයේ සාමාන්‍ය ස්‌වරූපයයි. ඒ සදහා ඉස්‌ලාම් භක්‌තිකයන්ට බලය පවරා ඇත්තේ ඉස්‌ලාමයේ න්‍යාය පුස්‌තකය වන ශු. කුර්ආනයයි. එහි ඇති අන්තවාදී දේව නියෝග අකුරටම පිළිපදිමින් පෙරදිග සියලුම බෞද්ධ රාජධානි ග්‍රහණයට ගෙන ඔවුන් සිදු කළ සාහසික බෞද්ධ සංහාරයත් එහිදී ඔවුන්ගේ ඓතිහාසික හැසිරීමත් හොදින් නිරීක්‌ෂණය කිරීමේ දී ඒ බව හොදින්ම පැහැදිලි කරගත හැකිය. මියන්මාරයේ රාකින් ප්‍රාන්තයේ මෙම සිදුවීම එයින් මදක් වෙනස් වුව ද දකුණු තායිලන්තයේත්, බංග්ලාදේශයේදීත් සුළුතරය වී ඇති බෞද්ධ ප්‍රජාව මත ම්ලේච්ඡ අන්තවාදී ආගමික ප්‍රචණ්‌ඩත්වය මුදා හරිමින් වර්තමානයේ සිදු වන්නේ එම ඓතිහාසික සංසිද්ධියමය.
89% බෞද්ධ බහුතරයකින් යුතු බුරුමය හෙවත් වත්මන් මියන්මාර ජන ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන ලද දරදඬු හමුදා පාලනයක් යටතේ වුවද බෙහෙවින් සාමකාමී එකක් බව කියෑවෙයි. එහෙත් කොතරම් අවිහිංසාවාදී ජන කොටසක් වුවද තමන්ට එරෙහිව එන බලවේගවලට ප්‍රතික්‍රියා දැක්‌වීම සදහා නිතැතින්ම අනුවර්තනය වීම සාමාන්‍ය මිනිස් ස්‌වභාවයයි. ඒ අනුව රාකින් පළාතේ ස්‌වදේශික බුරුම බෞද්ධයන්ද මුස්‌ලිම් අන්තවාදී ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක් එල්ල කර ඇති බව මධ්‍යස්‌ථ වාර්තා සදහන් කරයි. "ත්‍රස්‌තයන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට තේරෙන භාෂාවෙනි" එක්‌තරා රාජ්‍ය නායකයකුද මීට ටික කලකට පෙර එසේ ප්‍රකාශ කර තිබිණි.
මෙසේ ඇවිළෙමින් පවතින මියන්මාර බෞද්ධ-මුස්‌ලිම් ගැටුම් මියන්මාර් බෞද්ධ රාජධානියේ අනාගතය යහපත් එකක් නොකරන බවට දැනටමත් ඉඟි පළවී තිබේ. දැනටමත් ඉස්‌ලාමීය ජමාත්-ඊ-ඉස්‌ලාම් වැනි අන්තවාදී කණ්‌ඩායම් රොහින්ගියා ප්‍රශ්නය මුල් කරගනිමින් බෞද්ධ ප්‍රජාවගෙන් පලි ගැනීමට උත්සහා දරමින් සිටී. පසුගිය දිනවල බංග්ලාදේශ බෞද්ධ විහාරස්‌ථාන වලට එල්ල කරන ලද මුස්‌ලිම් අන්තවාදී ප්‍රහාරය ද එහි ප්‍රතිපලයක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඊට අමතරව අල් කයිඩා වැනි සටන් කණ්‌ඩායම්ද රාකින් ප්‍රදේශයේ ගැටුම ගෝලීය ඉස්‌ලාමීය අරගලයේ කොටසක් කර ගැනීමටත් ලෝක මුස්‌ලිම් ජිහාඩය මියන්මාරයට එරෙහිව කුපිත කරවීමටත් අර අඳින බවද වාර්තාවේ. ලොව පුරා මියන්මාර් තානාපති කාර්යාලවලට පහර දිය යුතු බව මුජහිදීන් නැමති අන්ත මූලධර්මවාදී ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදී සංවිධානය පසු ගිය දිනවල නිකුත් කර තිබූ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වේ. "ජමාත්-ඊ-ඉස්‌ලාම්" අන්තවාදී කල්ලිය ලංකාවේ නැගෙනහිර පළාත තුළද සක්‍රීය වී ඇති බව හෙළිදරව් වී තිබේ. ඒ සදහා නායකත්වය දෙන්නේ ප්‍රබල මුස්‌ලිම් දේශපාලනඥයකු බව ද ප්‍රසිද්ධ රහසකි. 2011 වර්ෂයේ දී ඇති වූ ග්‍රීස් යකා භීතිකාව පිටුපස සිටියේද මෙම අන්තවාදී කල්ලියයි. පාතාලය හා ඒකාබද්ධව ජිහාඩ් නැමති බිහිසුණු ඉස්‌ලාම් ආගමික සංකල්පය ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කෙරෙමින් පවතින බවද ආරක්‌ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර ඇති බව පසු ගිය දින වල මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙකී කාරණා සියල්ල ඔස්‌සේ ශ්‍රී ලාංකීය මාතෘ භූමිය තුළද ඉස්‌ලාමීය අන්තවාදී පිළිකාව හිස ඔසවමින් පවතින බව තහවුරු වේ. ඊට එරෙහිව නිසි බලධාරීන් වහ වහා පියවර නොගත්තොත් ශ්‍රී ලංකාවේ අනාගත ආශ්චර්යය බංග්ලාදේශය, මියන්මාරය දෙස බැලීමෙන් මනාව දැක ගත හැකි වනු ඇත.
බුරුමයේ උද්ගත වී ඇති බෞද්ධ-මුස්‌ලිම් අර්බූදය CNN ඇතුළු බටහිර මාධ්‍ය විශේෂ අවධානයක් දක්‌වමින් වාර්තා කර තිබේ. මියන්මාරය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය පළකර තිබූ පුවත් ඒකපාර්ශවීය ලෙස වාර්තා කර තිබුණු අතර මියන්මාරයේ මුස්‌ලිම්වරුන් පීඩාවට පත්ව ඇති බව සදහන් කරමින් පළ කර තිබූ බොහෝ මාධ්‍ය වාර්තා බෞද්ධයන්ට හා මියන්මාර් බෞද්ධ රජයට චෝදනා කරමින් පළ කර තිබුණු ඒවාය. නමුත් සත්‍ය එය නොවේ. මෙම අන්තවාදී ගැටුම්වලින් වැඩියෙන්ම අගතියට පත්ව ඇත්තේ ස්‌වදේශික බෞද්ධයන්ය. එසේ නම් දැඩි මුස්‌ලිම් විරෝධී පිළිවෙතක් අනුගමනය කරන බටහිර මාධ්‍ය මියන්මාර් බෞද්ධ රජයට එරෙහිව සිට ගන්නේ ඇයි...
දශක දෙකකට අධික කාලයක් මියන්මාරය පාලනය කරන්නේ ඒකාධිපති හමුදා ජුන්ටාවක් මගිනි. බටහිර රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු අන්‍යාගම්කරණ ඉවැන්ජලික කල්ලි වලට රට තුළට පිවිසීමේ ඉඩ කඩ අහුරා බටහිර ලෝකය සමග සියලු ගනුදෙනු අතහැර දැමූ මියන්මාර හමුදා පාලනය මුළුමනින්ම යෑපුනේ චීනය මතය. ස්‌වභාවික ගෑස් හා පොසිල ඉන්ධන නිධි සහිත මියන්මාරය තවමත් අත නොතැබූ ස්‌වභාවික සම්පත් ආකරයකි. චීනය දැනටමත් මියන්මාරයේ තෙල් කර්මාන්තයේ විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඊට අමතරව මියන්මාරයේ සිට චීනයේ යුනාන් ප්‍රදේශය දක්‌වා දිවෙන තෙල් නළ මාර්ගයක්‌ද ඉදිකරමින් සිටී. මලක්‌කා සමුද්‍ර සන්ධියට මායිම් වන මියන්මාරය චීනයට උපාය මාර්ගික වශයෙන්ද අතිශයෙන් වැදගත්ය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර නව යටත්විජිතවාදයේ සීතල සතුරා වන චීනයට ඇති අවස්‌ථා අහිමි කරවීමත්, මුලධර්මවාදී ඉවැන්ජලික කල්ලි සහ සිය බහුජාතික සමාගම්වලට මියන්මාරයට ප්‍රවිශ්ඨ වීම සඳහා මග හෙළි පෙහෙළි කර ගැනීම එක්‌සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවේග වල මුඛ්‍ය පරමාර්ථයයි. එහෙත් දශක දෙකක් පුරා ඊට එරෙහිව සිටින්නේ මියන්මාරයේ දැඩි හමුදා පාලනයයි. වසර 40 ක් තිස්‌සේ වරින් වර නිවාස අඩස්‌සියේ රඳවා සිටින විපක්‌ෂ නායිකා අවුන්සාන් සුකී දැඩි බටහිර ගැති කාන්තාවක් වන අතර ඇය ක්‍රිස්‌තියානුවෙකු ලෙස හොර රහසේ බෞතිස්‌ම කර ඇතැයි ද කියෑවෙයි. දිගුකලක් තිස්‌සේ ඒකාධිපති පාලකයින්ගේ දැඩි පාලනයෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර් වැසියන් හමුදා පාලනයට එරෙහිව පහුගිය දශකය පුරා දැඩි අරගලයක් ගෙන යන අතර ඒ පිටුපස සිටින්නේ අවුන්සාන් සූකිගේ ආශිර්වාදය ලබන ඇමරිකානු ඉවැන්ජලික කල්ලි කිහිපයක් බව කියෑවෙයි. Seventh day Adventist යනු එයින් ප්‍රමුඛතම කල්ලියකි. මේ වන විට මියන්මාරයේ හිස ඔසවමින් පවතින මුස්‌ලිම් අන්තවාදී ගින්නට ඉන්ධන සපයන්නේද මෙම ඉවැන්ජලික බළල් අත් වලිනි. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ හමුදා පාලනය පෙරළා දමා ක්‍රිස්‌තියානු බටහිරගැති අවුන්සාන් සූකි බලයට පත් කරවීමයි. ඒ හරහා මෙතෙක් කල් සුරක්‌ෂිතව තිබූ මියන්මාර බෞද්ධ රාජධානිය බටහිර නව යටත්විජිතකරණයට නතු කර ගැනීමයි. ඒ හරහා මියන්මාරය නමැති සම්පත් ආකරය සූරා කෑමයි. මෙසේ මියන්මාරය තුළ උද්ගත වී ඇති අර්බූදය බටහිර ලෝකය හමුවේ වැරදි ලෙස අර්ථකථනය කර මියන්මාර හමුදා රජයට එරෙහිව මුස්‌ලිම් හා බටහිර ප්‍රජාව නොමග යවා රට තුළට ඇතුළු වීම සඳහා ප්‍රවේශය සකසා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බවට බටහිර බලවේග වලට එරෙහිව නැගෙන බරපතල චෝදනාවකි. ඒ චෝදනා වලින් ඔවුන්ට මිදිය හැකිද?
පසුගිය වසර දෙදහස පුරාවට ලෝකය පුරා වාර්ගික ගැටුමක් ඇතිවුනේ කොතනද? මුස්‌ලිම් අන්තවාදය හා ක්‍රිස්‌තියානි මූලධර්මවාදය එහි රෝග බීජය වූවේය. මේ සියලුම කාරණා අප ශ්‍රී ලාංකීය මාතෘ භූමියටත් සීයට සීයක්‌ම අදාළය. වසර තිහක් පුරාවට අපට වද දුන් වේලුපිල්ලේ පිරබාහරන්ද පල්ලියේ නිර්මාණයකි. එල් ටී ටී ඊ යනු පල්ලියේ සන්නද්ධ අංශය බව සුප්‍රකට යුධ විෂ්ලේශකයකු ද ප්‍රකාශ කර තිබිණි. රුදුරු ත්‍රස්‌තවාදයකින් හොඳ හැටි බැට කෑ අපි ඊටත් වඩා බියකරු රුදුරු අන්තවාදී සෙවනැල්ලක් අප ඉදිරියේ සිටින බව කවුරු කවුරුත් තරයේ සිහිතබාගත යුතුය.
උපුටා ගැනීම -
ලොව සතුටින්ම සිටින මිනිසා බෞද්ධ භික්ෂුවක්
මැතිව් රිචඞ් නම් වූ මෙම ප‍්‍රංශ ජාතික බෞද්ධ භික්ෂුවගේ මොළයෙහි සතුට සඳහා අසාමාන්‍ය ඉඩක් පවතින බව මෙහිදී සොයාගෙන තිබේ.
මෙම පර්යේෂණය අතරතුර උන්වහන්සේ ක‍්‍රමයෙන් භාවනාවට සමවදින විට සවිංඥනිකත්වයට, අවධානයට, ඉගෙනීමට සහ ස්මරණ ශක්තියට තුඩුදෙන ගැමා තරංග මට්ටමක් මැතිව් භික්ෂුවගේ මොළයේ නිපද වූ බවත්, එම ගැමා මට්ටම ස්නායු විද්‍යා පතපොතෙහි මෙතෙක් තමන්ට වාර්තා වූ මට්ටම් අසාමාන්‍ය ලෙස ඉක්මවා ගිය ඉහළ අවස්ථාවක් බව,
උන්වහන්සේගේ මොළයෙහි ඉදිරි වම් බාහිකය (left prefrontal cortex) එහි දකුණු බාහිකයට සාපේක්ෂව උපරිම කි‍්‍රයාකාරීත්වයක් පෙන්වූ නිසා සතුට සඳහන් සෘණ සිතුවිලි කෙරෙහි ඇති රුචිය වැළැක්වීම සඳහාත් අසාමාන්‍ය ඉඩක් පවතින බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
උපුටා ගැනීම - | Lanka C News.
Monday, October 15, 2012
ගව ඝාතනය නතර කළ නොහැකි ද?
එසේ නම් දැන් සසරේ ඉමක් නොපෙනුණත් කොනක් නැතැයි කියා පසුතැවිලි වන්නට අවශ්‍ය නැත. ලාබ, අලාභ, අයස, යස, නින්දා, ප‍්‍රශංසා, සැප, දුක් කියන්නා වූ අටලෝදහමට නිරන්තර හසුව ගත කරන මේ ජීවිතයට සදා සැනසිල්ලක් ඇති බව අපට පැහැදිලිය. ඒ උතුම් වූ පිළිසරණ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේට නිරන්තර ආමිස පූජාවෙන් හා විශේෂයෙන් ප‍්‍රතිපත්ති පූජාවෙන් පිදුම් කළ යුතුය.
බෞද්ධයන් හැටියට අප සදාකාලීක සැනසීමක් හෙවත් නිවනක් තිබෙන බව දැනගත්තත් තවම ඒ උතුම් වූ සැනසීම් මග සොයාගෙන නැති ආකාරයකි දකින්නට ලැබෙන්නේ. ඒ සඳහා කතා කරමින් හා සාකච්ඡුා සම්මන්ත‍්‍රණ පවත්වමින් සිටිමු. ඒනිසා සසරේ පවත්නා වූ නිවැරදි ලක්ෂණය හඳුනා නොගෙන ජීවත්වන්නෙමු. බුදුදහමේ සඳහන් සෑම කාරණාවක්ම අර්ථයෙන් පිරිපුන්ය. ඒ සෑම කරුණක්ම ජීවිතයේ යහමග කියා දෙන්නකි. එහෙත් නුවණක් බුද්ධියක් ඇති කෙනකුට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ඉපදීම, මරණය හෙවත් භවයෙන් භවයට ගමන් කිරීම හා සම්බන්ධ දේශනාව පමණක් සසරේ පවත්නා වූ ස්වභාවය තේරුම් ගැනීමට ඉවහල්වනු ඇත. සත්ත්වයන් හැටියට සංසාරේ විවිධ ආත්මභාව ලබා ගමන් කිරීම දැකිය හැකිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භව ගමන පිළිබඳව බලනවිට පාරමීදම් පිරූ කාලය තුළ ද තිරිසන් ආත්මභාව ලබා ඇත. ඇත්, ගව, මුව, වඳුරු, නාග ආදී සත්ත්ව කුලවල ඉපිද ඇත.
එසේ නම් පින්වත, අප විශේෂ පාරමී දහමක් පුරන්නටවත් ආරම්භයක් තිබේ ද? එය තම තමාගෙන්ම ඇසිය යුතුය. අනෙක් අයගෙන් නොඇසිය යුතුය. සමහරවිට එවැනි ආකාරයේ ආරම්භයක්වත් නැත්නම් අපේ ජීවිත සසරේ කුමන කුමන පැතිවලට ගමන් කරයි ද? අපේ ජීවිතයේ සැනසීම තීරණය වන්නේ අප කරන්නා වූ ක‍්‍රියාවන් අනුවය. අපව බෙදනු ලබන්නේ කර්මයයි. ‘‘කම්මං සත්තේ විභජති’’ ඒ අනුව තමා කරන ක‍්‍රියාවෙන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විය හැකිය. තමා කරන ක‍්‍රියාවෙන් මෝඩ මනුෂ්‍යයෙක් දුප්පත් මනුෂ්‍යයෙක්. අප‍්‍රියරූප ඇති මනුෂ්‍යයෙක් විය හැකිය. එසේම හරකෙක්, බූරුවෙක්, බල්ලෙක් වන්නට ද පිළිවන. එසේම දෙවියෙක්, බ‍්‍රහ්මයෙක්, භූතයෙක්, පිසාචයෙක් විය හැකිය. එසේම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් හා පසේබුදු, සම්මා සම්බුද්ධ තත්ත්වයන්ට පත්වීමට ද පිළිවන.
විශ්ව සමාජය තුළ මිනිසුන් අතර වුවත් තිරිසන් සත්වයන් තුළ වුවත් විවිධ වර්ගීකරණ ඇත. මනුෂ්‍යයන් කෙතරම් සිටියත් එය එක් එක් මිනිසුන්ගේ කුසලය, අකුසලය අනුව රූපය, ගතිලක්ෂණය හා ලැබීම් වෙනස් ය. තිරිසන් සතුන් අතර වුවත් විවිධ වෙනස්කම් ඇත. සුනඛයන්ගේ විවිධ වර්ග ඇත. ඒ ඒ වර්ග අනුව ඉල්ලූම ද වෙනස්ය. සමහර සුනඛයන් සුඛෝපභෝගී ජීවිත ගතකරයි. තවත් සුනඛයන්ට කෑම බීමවත් නැත. දෙවියන් අතර වුවත් අල්පේශාඛ්‍ය, මහේශාඛ්‍ය වශයෙන් කොටස් දෙකක් ඇත. අල්පේශාඛ්‍ය යනු පිනෙන් අඩු අයයි. මහේශාඛ්‍ය යනු පිනෙන් පොහොසත් අයයි. මහරහතන් වහන්සේලා අතර වුවත් විවිධ ලක්ෂණ ඇත. සීවලී මහරහතන් වහන්සේට කුමන ස්ථානයක සිටියත් දානය ලැබුණු අතර ලෝසක මහරහතන් වහන්සේට කොතැන සිටියත් කුස පුරා දානය වළඳන්නට ලැබුණේ නැත. චක්‍ඛුපාල මහරහතන් වහන්සේ රහත්වන ආත්මභාවයේ උන්වහන්සේගේ ඇස් අන්ධ විය. මේ සෑම දෙයකටම හේතු කාරණා ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේට ද නිරන්තර හිසේ රුදාවක් තිබිණ. එයට හේතුව සසරේ එක්තරා ආත්මභාවයක මසුන් මරන්නෙකුගේ බිලී පිත්තට මාළුවෙකු හසුවී ගැහෙන ආකාරය දැක සතුටුවීම නිසාය. එසේ නම් අප කරන කටයුතු ගැන මීට වඩා සිතිය යුතුයි. ඒ මන්ද? සසරේ තව තවත් අපට ඈත ගමනක් යා යුතුව ඇති නිසාය.
කොසොල් මහ රජතුමා දුටු සිහින දහසයේ කතා පුවත ඔබ අසා ඇතැයි සිතමි. එතුමා දුටු එම සිහින තමාටත්, රට වැසියන්ටත් හානියක් ඇද්දැයි එතුමාගේ පුරෝහිතයන්ගෙන් විමසීය. එවිට ඔවුන් ප‍්‍රකාශ කළේ ඔබටත් රටවාසීන්ටත් මහත් වූ අපලයක් ඇති බවය. එයට කුමක් කළ යුතු දැයි? රජතුමා ඇසූවිට පුරෝහිත බමුණන් කීවේ මහා යාගයක් කළයුතු බවයි. එනම් සත්ත්ව බිලි පූජාවක් කළ යුතුය යන්නයි. එසේ නම් සූදානම් කරවයි අණ කළේය. ටික වේලාවක් යන විට වත්ත පුරාම විවිධ වර්ගයේ සතුන් දකින්නට ලැබිණ. එළුවන් සියයක්, කුකුළන් සියයක්, ගවයින් සියයක් ආදී වශයෙන් ඒ ඒ සත්ත්ව කුලවලින් සියය බැගින් ඒ ඒ තැන්වල ගැට ගසා ඇති ආකාරය එතුමාගේ බිසව වූ මල්ලිකා දේවියට දැකගන්නට ලැබිණ. එය දැක විමතියෙන් මෙන් රජතුමාගෙන් මෙසේ ඇසීය. ‘‘රජතුමනි, මොකද මේ වත්තේ හැම තැනම සත්තු ගෙනත් දාලා තියෙන්නේ?’’ එවිට රජතුමා මෙසේ කීය.
‘‘දේවිය, මම ඊයේ රෑ සිහින දහසයක් දැක්කා, ඉතින් ඒක මටත් රට වැසියන්ටත් අපල බව පුරෝහිතයන් කියනවා. ඔවුන් කීවා මහා සත්ව යාගයක් පැවැත්වීමෙන් ඒ අපලයෙන් ගැලවෙන්න පිළිවන් කියා. ඒ යාගය කරන්නයි සූදානම් වෙන්නේ.
මල්ලිකා දේවිය බුදු දහම ගැන දැන සිටි නිසා ඇයට මැනවින් රජතුමා කරන්නට යන නස්පැත්තිය ගැන වැටහුණාය. ඒ මොහොතේම රජතුමා සමග බුදරජාණන් වහන්සේ හමුවට ගියාය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි රජතුමා කරන්නට සූදානම් වූ සත්ත්ව බිලි පූජාව නතර කළේය. එවැනි සත්ත්ව බිලි පූජා ආගම් නාමයෙන් එදා තිබුණු බව ශාසන ඉතිහාසයෙන් පෙනී යයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රචලිත වීමෙන් ඒ සත්ව බිලි පූජා නතර විය. කුමන ආගමකට අයිති වුවත් තවත් කෙනකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ජීවිතයක් විනාශ කර සෙතක් ලබන්න හෝ අපලයෙන් මිදෙන්න හෝ හැකියාවක් නැත. සත්වයෙක් ඝාතනය කිරීමෙන් තමාට ශාපයක්ම වනු ඇත.
- ගෝණදෙණියේ සීවලී හිමි
(උපුටා ගැනීම - Lanka C News.)
Thursday, June 14, 2012
කපුටන්, බල්ලන් වන්නට කැමති නම් නිදන් හාරන්න
ලංකාවේ බෙහෝ පළාත්වල පැරණි රාජධානි පිහිටා තිබූ බව ඉතිහාසයේ සදහන්ය. බස්නාහිර තෙත් කලාපයේ පවා වනදුර්ග අතර මෙවැනි බලකොටු පිහිටා තිබී ඇත. නමුත් වැඩි වශයෙන්ම පැරණි රජරට නොහොත් උතුරේද රුහුණේද නැගෙනහිර පළාතේද මෙවැනි රාජධානි දීර්ඝකාලයක් පැවතී ඇත. එසේම මේ පළාත්වල සෑම වැවක් ආසන්නයේද පැරණි සිද්ධස්ථානයක් පිහිටා තිබුණු තරමටම බුද්ධ ශාසනය ලංකාව පුරාම ව්‍යාප්ත වී තිබුණි.මෙවැනි ස්ථාන දාගැබ් පෙති පිළිම මෙන්ම බොහෝ පුරාවස්තු වලින් ගහනය. සතුරු ආක්‍රමණ වලින් පසුව මේ ස්ථාන නටබුන් වී ගිය පසු ගඩොල් ස්ථර ඇරුණු කොට ඉතිරිව ඇත්තේ ගලින් නෙලන ලද විවිධාකාරයේ පුරා වස්තු පමණකි. ඉතිහාසයේ සඳහන් පරිදි මේ ස්ථානයන් සඟසතු කොට පූජා කරන අවස්ථාවලදී ධාතු නිදානයන් කර ඇත.
ඇතැම් සැදැහැවත් රජවරු මෙන්ම උපාසක ඇත්තන්ද තමන්ගේ ශ්‍රද්ධාව නිසා තමන් පරිභෝග කළ නොයෙකුත් වස්තූන් ඒවායේ තැන්පත් කළහ. එම නිසා ධාතු නිදාන හා චෛත්‍ය නිදාන යනුවෙන් සඳහන්කළ ක්‍රියාවලියක් තිබූ බව අප පිළි ගත යුතුය. එසේම සිංහල වෛද්‍යවරු තමන් සතුව පාරම්පරිකව පැවත ආ වෙදකම මෙන්ම ප්‍රතිකාර ක්‍රමයන්ද ඇතුලත් පුස්කොළ පොත් මෙන්ම හෙණරාජ තෛලය වැනි බලගතු තෙල් වර්ග යම් යම් ස්ථානයන්හි තැන්පත් කරන ලද්දේ සතුරන් ගෙන් ආරක්ෂා කර ගැනීම පිනිසය. ඒවා හැඳින්වෙන්නේ බෙහෙත් නිදාන ලෙසිනි.
මීට අමතරව රජරට වැව් ශිෂ්ඨාචාරය පණ ගැන්වූ රජවරු මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම මහා වැව් නඩත්තු කරනු පිණිස වැව් අසබඩ වස්තුව නිදහන් කළ බව පැවසෙයි. මේවා හැඳින්වෙන්නේ වැව් නිදහන් වශයෙනි. මේ සියල්ලටම වඩා වෙනස් නිදන් වර්ගය වස්තු නිදන් යනුවෙන් හැඳින්වේ. රජවරුන් අමාත්‍යවරුන් සතුරු ආක්‍රමණයන් අවස්ථාවලදි පලා යන විට හෝ සැඟවී ගත් විට ඔවුන්ගේ වස්තුව නිදන් කිරීම මෙහිදී සිදුවෙයි. අපවත් වී වදාල පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් මේ පිළිබඳව වෙසෙසි විමර්ශණයක් කර ඇති බව උන් වහණ්සේ ගේ ලිපි ලේඛන විමසා බැලීමෙන් පෙනේ.
අනුරාධපුර රාජධානිය වැඩි වර්ධනය වන විට බුද්ධ ශාසනය ට වෙසෙසි රාජ්‍ය අනුග්‍රහයක් හිමි විය.රජවරු ශ්‍රද්ධා භත්තියෙන් විහාරස්ථාන වලට ඉඩකඩම් පූජා කළහ. ඉන් පසු ඒ දීමනාවන් ගැන ජනතාවට දැන ගත හැකිවන පරිදි අත්තාණි කණු පිහිටවූහ. ඇතැම් විට ගල් පර්වත වල සටහන් කර තැබූහ. පසු කාලයේදී බහුලව තඹ සන්නස් මගින් මේ ඉඩ කඩම් පූජා කළහ. මෙවැනි ගල් ටැම්වල දීමනා පාඨ වලින් පසු කපුටා බල්ලා වටාපත ආදී සළකුණු ද කොටා තිබේ. මෙයින් අදහස් කරන්නේ යම්කිසිවෙකු මේ ප්‍රදේශ වල තිබෙන පෙති පිළිම චෛත්‍ය ආදියට හානියක් කරන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු තිරිසන් ආත්ම වල උප්පත්තිය ලබන බවයි. කවුඩු බලු වෙත්වා යන පාඨය මෙහිදී අවධානය කර ඇත. මෙලෙස ශාසනික පරිභෝගික වස්තූන්ට හානි කිරීම බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. වැව් ආශ්‍රිතවද යම් යම් වස්තූන් නිදහන් කරන ලද්දේ වැවේ නඩත්තුව පිණිසයි. කෙනෙකු එම වස්තුව ගොඩ ගෙන පුද්ගල පරිභෝජනයට ගනී නම් එයද බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. බෞද්ධ ධර්ම දේශනා වල හරය මැනවින් තේරුම් කර ගෙන සිටි පැරණි ජනතාව පවට බිය ඇති පිරිසක් වූහ. එසේම රාජ නීතියටද බිය වූහ. මේ නිසා ඔවුන් අතින් මේ පූජා වස්තු වලට කිසිම හානියක් සිදු නොවූහ. සතුරු ආක්‍රමණ වලදී දාගැබ් බිඳ වස්තුව පැහැර ගත් අවස්ථා රාශියක් වාර්තා වී ඇත. එහිදී වුවද සාමූහිකව එම ස්ථාන ආරක්ෂා කර ගන්නට සටන් වැදුණු ජනතාව ගැන ඉතිහාසයේ ඇත.
වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය.මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය. යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බොහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
වර්තමානයේදී මේ සියලු පාපකර්මයන් වලට පෙළඹිමක් සමාජය තුල ඇතිවී තිබේ.කොටි ත්‍රස්වාදීන් හෝ යුරෝපීය යටත් විජිතවාදීන් නොකළ තරමේ විනාශයක් රටේ පූජ්‍ය ස්ථාන වල සිදු වේ. ආරක්ෂක අංශවලින් පවා මෙවැනි අපරාධ වලට රුකුල් දීමක් සිදු වන බව වාර්තා වේ. මෙම තත්වය පාලනය කිරීමට පත් කර ඇති පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව කටයුතු කරන ආකාරය දෙස බලන කල්හි අඩුපාඩු රාශියක් ම දක්නට ලැබෙන බව කිව යුතුය. පළවැනි කාරණය නම් පැරණි නිදන් වස්තු පිළිබඳ ඔවුනට තිබෙන අනවබෝධයයි. උදාහරණයක් වශයෙන් යම්කිසි ගල් පර්වතයක් බෝර ගසා එහි තුල තිබෙන යම්කිසි වස්තුවක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දෙපාර්තමේන්තුව නිරුත්තර වේ. ඊට හේතුව සළකුණු සෙල්ලිපි හෝ භෞතික ඉඳිකිරීම් නොමැත්තේ නම් එම ස්ථානය පුරවිද්‍යා ස්ථානයක් ලෙසට ඔවුන් නොපිළිගැනීමයි. නමුත් නවීන ස්කෑන් යන්ත්‍ර පවා ගෙන්වා ගෙන නිදන් කොල්ලකරුවන් ඒ ස්ථාන වල තිබෙන භෞතික වස්තූන් නිරීක්ෂණය කරති. එවැනි ස්ථාන රාශියක් ගැනම දිවයින සෑම තැනින්ම වාර්තා වී ඇත. මේ ස්ථාන ගැන තිබෙන නොතේරුම් කම නිසා ඇතැම් විට නිළධාරීන් විසින්ම මේ ගල් පර්වතයන්හි ගල් වලවල් දැමීමට අවසර පත්‍ර නිකුත් කරති.නිදන්හාරන්නන් මේ මගින් නිදන්හෑරීමට නීතිමය ආවරණයක් ලබා ගනිති.
යටත් විජිත සමයේ පිහිටුවා ලූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවමත් ක්‍රියා කරන්නේ එම මානසිකත්වය අනුවයි. ඔවුන් ගේ බෙහෝ වාර්තාවන් හෝ සෙල්ලිපි සංග්‍රහයන් සිංහල භාෂාවෙන් පළවන්නේ නැත. මේ නිසා සෙල් ලිපි ගැන හෝ වෙනත් පුරා වස්තු ගැන සාමාන්‍ය ජනතාවට අවබොධයක් නැත. මේ නිසා ටැම් ලිපි රාශියක්ම නිදන් හාරන්නන්ගේ යකුලු පහරට ලක් වී ඇත. කෙසේ වෙතත් පාසල් අවදියේ සිටම මේ පූජනීය වස්තු ගැන වැටහීමක් ලබා දිය යුතුය. පවට බිය ඇති කීරීම මෙන්ම අදාල නීති නිසියාකාරව ක්‍රියාකිරීමද අත්‍යවශ්‍ය කරුණකි. පොළව යට තිබෙන නිධි රජය සතු වුවත් ඒවා දේශපාලකයිනට ලබා ගැනීමට අයිතියක් නැත. මේ පුරා වස්තු විනාශයට ප්‍රධාන හේතුව රජය සිය කාර්යභාරය මග හැර සිටීම යයි කිය යුතුය. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයට දක්වන කුඩම්මාගේ සැලකිල්ලෙන්ම ඒ බැවි සනාථ වේ.
- මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspo
Subscribe to:
Posts (Atom)
