Powered By Blogger

Wednesday, March 27, 2013

සිංහල විවාහයේ පළමු ගමන


සිංහල විවාහයේ පළමු ගමන

අපේ පැරණි සිරිත් විරිත් ක්‍රමයෙන් වියැකී යයි. ඒ නිසාම අද මංගල උත්සවය ටික දිනකින් අවමංගල්‍යයක් වේ. නියමිත චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරිහුන විට තුන්රුවනේ ආශිර්වාදයක් කෙලෙස ලබන්නද? දෙවියන් කෙසේනම් ආශිර්වාද කරන්නද? අපේ පැරණි චාරිත්‍ර වාරත්‍ර පිලිබද අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මේ ලිපිය පල කෙරේ.

හෙළදිව විවාහ චාරිත්‍ර බොහෝ විට ගම්බද හඳුන්වනු ලබනුයේ "කසාදය" වශයෙනි. "
ගෘහ ප්‍රවේශය ආරම්භ කිරීමට පෙර මනාලියගේ පියා විසින් මනාලියට අවවාද හා උපදෙස්‌ ලබාදීමේ පුරාතන චාරිත්‍රය අද සිංහල විවාහයේද "මංගල සභාව" දක්‌වා විකාශනය වී ඇති බව පෙනේ. ධනංජය සිටුවරයා විශාඛාවට හා අනේපිඬු සිටුවරයා චුල්ල සුභද්‍රවටද මෙණ්‌ඩක සිටුවරයා දියණියටද අවවාද ලබාදුන් අවස්‌ථාවේ හින්දු සමාජයේ මෙන්ම මෙරට ජනයා අතරද චිර ප්‍රකට මෙකී උපදේශයෝ මෙසේය.
01. ඇතුළත ගින්න පිටත නොදිය යුතුය.
02. පිටත ගින්න ඇතුළට නොගත යුතුය.
03. දෙන්නන්ටම දිය යුතුය.
04. නොදෙන්නාට නොදිය යුතුය.
05. දෙන්නාටද නොදෙන්නාටද දිය යුතුය.
06. සුවසේ හිඳිය යුතුය.
07. සුවසේ අනුභව කළ යුතුය.
08. සුවසේ නිදාගත යුතුය.
09. ගින්න පිදිය යුතුය.
10. ගෘහ දේවතාවුන් වැන්ද යුතුය.

මෙම අවවාද දහය සේම බුදුන් වහන්සේ විසින් ගෘහ ප්‍රවේශ වන්නන් අරභයා දුන් අවවාද පහක්‌ පිළිබඳවද සඳහන් වේ. ඒවාද එදා හින්දු සමාජය තුළ සේම පසුව ආගමත් සමග ලෝකය පුරා ප්‍රචලිත වූ බව පෙනේ.
01. උදෑසන හැමට පළමුව පිබිදිය යුතුය.
02. රාත්‍රියේ හැමට පසුව නින්දට යා යුතුය.
03. ස්‌වාමියා අනුදැන සියල්ල කළ යුතුය.
04. සැමියා සිත් ගන්නා දේ පමණක්‌ කළ යුතුය.
05. ප්‍රිය වචන කතා කළ යුතුය.

හෙළදිව පුරාණ සිරිත වූයේ විවාහය නියම කරගත් පසු මනාලයාගේ මංගල රැවුළ කැපීමයි. එය විවාහයට පෙරාතුව නැකැත් බලලා සිදුකරනු ලැබූවකි. රැවුළ කැපීමේදී එය මාමා කෙනකු විසින් සිදු කළ යුතු බවත් බොහෝවිට මාමා කෙනකු විසින් දැලි පිහියකින් පළමු රැවුල්ගස්‌ කිහිපය කපා යහපත් ගුණධර්මයන්ගෙන් හෙබි කරණවෑමියෙකු ලවා කප්පවා ගැනීම සිරිතක්‌ විය. ඒ සඳහා ඔහුට ගාස්‌තුව වශයෙන් පට ලේන්සුවක්‌, කෝප්පයක්‌ හා මුදලක්‌ දෙනු ලැබීය. අතීත ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස්‌ විය. බොහෝවිට දුර බැහැරින් සම කුලගෝත්‍ර අනුව සිදුවූ විවාහයකදී පල්ලැක්‌කියකින්. දෝලාවකින් හෝ කරත්තයකින් ගියේ වීනම් පළමු ගමන යනුයේ එදින රාත්‍රිය මනාලියගේ නිවසේ නතරවීම සඳහා වේ. සිංහලයන්ගේ සිරිත වූයේ පළමු දිනයේ උදය නැකතින් මනාලයා ඇතුළු පිරිස මනාලයාගේ නිවසේදී කිරිබත්, කැවුම්, කෙසෙල්, කොකිස්‌, අතිරස, ආස්‌මී ආදී කැවිලි පෙවිලි සංග්‍රහ බුක්‌තිවිඳ මනාලියගේ නිවසට යැම සඳහා පිටත්වීමයි. මෙම ගමනට මනාලයාගේ මව සහභාගී නොවීම විශේෂයකි. මෙම ගමන සඳහා හේවායකු, හේවා ස්‌ත්‍රියක්‌, රජකයකු, මනාලියට අන්දවන ඇඳුම්, සුවඳ විලවුන් ආදී මල්ල ගෙන යැමට ළමයකු සහ කපු උන්නැහේද, ප්‍රධාන පිරිස සහභාගීවනු ඇත. ඒ හැර ගෙනයන අඩුම කුඩුම බොහෝය. ඒ අතරට මාමාට සරමක්‌, පට ලේන්සුවක්‌, නැන්දම්මාට කම්බායක්‌, බුලත් 500 හෝ 1000 ක්‌ පමණද ගෙනයනු ලබයි.
මීට අමතරව සමහර පළාතක "මහ බුලත් ඔඩොක්‌කුව, රඹුක්‌කාලම සෙම්බුව, හැරමිටිය, අත් පන්දම, මනාලියගේ හිසට අල්ලනු ලබන "හස්‌තිය" තල් අත්ත, මාන්න පස, රෙදියාර දහයක්‌ (ආච්චිට) ආදියද උඩරට පළාතේ නම් තුවක්‌කුවක්‌ද ගෙනයනු ලබයි. තුවක්‌කුව ගෙනයනු ලබන්නේ මනාලියගේ නිවස ආසන්නයට ගොස්‌ පිරිස පැමිණි බව දැන්වීම සඳහා වෙඩිල්ලක්‌ පත්තුකිරීම සඳහා වේ. මේ සිරිත අද ගමට දැන්වීම උදෙසා රතිඤ්ඤා කැරැල්ලක්‌ දල්වනු ලබයි. මෙම ගමනට මනාලයාගේ පෙළපතේ නෑයන්ට අමතරව දුර හා පවුලේ වත් පොහොසත්කම් අනුව යුවලට ගමන් කිරීම සඳහා දෝලා, පල්ලැක්‌කි, තිරික්‌කල, කරත්ත දෝලා යොදා ගනී. නැට්‌ටුවන් ආවතේව කරුවන්, රජකයා, විරිඳු රබන් කරුවන්, සින්දුකාරයින් හා දක්‍ෂ කවි ගායකයෙකුද සිටීම අවශ්‍ය වේ. ගමන අතරමඟ හමුවන හැම දෙනකුටම බුලත් දීමේ සිරිතක්‌ද පවතී.
පළමු ගමනේදී ගෙනයන ද්‍රව්‍ය අඩුම කුඩුම හඳුන්වා ඇත්තේ "යෙලදා කද" වශයෙනි. එහිදී යමක්‌ කමක්‌ ඇති අය බරට "කත් පෙට්‌ටි" කීපයක්‌ ගෙන යනු ලැබේ. ඒ සඳහා වහුම්පුර මිනිසුන් එදා සමාජයේ වූහ. ඉඟුරු, මිරිස්‌, ගම්මිරිස්‌, අබ, කලුදුරු, සූදුරු, කොත්තමල්ලි ආදියද බුලත්, පුවක්‌ සීයක්‌, කැවුම් හැලියක්‌, හාල් සේරු හැටක්‌, ලෙලිගැසූ පොල් ගෙඩි හැටක්‌, කරවල යනාදියද මෙ කදට අඩංගු වේ. මින් අදහස්‌වන්නේ පිරිස එදින රාත්‍රිය මනාලියගේ නිවසේ නතරවන බැවින් ඊට අවශ්‍ය කෑම වියදම සැපයීමයි. මනාලිය ඇවැස්‌ස නෑකමකින් යුතු නම් මෙම කද ගෙන යනු නොලැබේ. ගමනේදී පිරිසේ ප්‍රධානියා හෝ කපු උන්නැහේ පෙරමුණ ගමන් කරයි. මනාලියගේ ගෙදර සීමාවට පැමිණ තුවක්‌කු සංඥව කර ඉන්පසු ආ පිරිසේ ප්‍රමාණයට බුලත් ගණන් කර දී, මාමා කෙනකු හෝ මස්‌සිනා කෙනෙකු පිටත්කර හරී, ඒ සමග කෑම වියදම සඳහා මුදලක්‌ද යෑවීම සමහර පළාතක දක්‌නට ඇත.
තවත් චාරිත්‍රයක්‌ වන්නේ "කඩුළු බුලත්" දීමයි. එය සිදු වන්නේ මනාලිය මනාලයාගේ ඇවැස්‌ස නෑනා කෙනකු නොවේනම් පමණි. එවිට මනාලියගේ පාර්ශ්වයෙන් මනාලියගේ මස්‌සිනා කෙනෙකු නිවසේ කඩුල්ල ළඟට පැමිණ මනාල පාර්ශ්වයෙන් දෙන "කඩුළු බුලත්" පිළිගත යුතුය. එසේ පිළිගන්නා තුරු කඩුල්ල පැන යැමට අවසර නොලැබේ. බුලත් අත සඳහා කොළ 40 ක්‌ අවශ්‍ය වේ. කොළ 40 ක්‌ ගනු ලබන්නේ වචනය නිදොස්‌, නිබොරු බව සපථ කිරීම සඳහා වන අතර එය බුද්ධ භාෂිතයක්‌ සේ සලකනු ලබන බැවිනි. එනම් බුදුන්ගේ ශ්‍රී මුඛයෙහි දන්තධාතූන් 40 නමක්‌ ඇතැයිද එම ප්‍රමාණයට බුලත් ගැනීමෙන් පොරොන්දුවේ ස්‌ථිරභාවය ඇඟවීමටත්, ගෞරවය උදෙසාත් බුලත් අත යොදාගනු ලබයි. මෙසේ බුලත් පිළිගතහොත් කඩුල්ල පැනීමට අවසරය ලැබේ. මේ සිරිත යෙදී ඇත්තේ නෑනා අයිති මස්‌සිනාටය යන තහවුරු අදහසක්‌ එදා සමාජයේ පැවැති බවිනි. මස්‌සිනාට බලෙන් වුවද නෑනා රැගෙනයැමේ අයිතියක්‌ විය.
පළමු ගමනේ විචිත්‍රමය අවස්‌ථාව වන්නේ තහන්චි කයි කීමයි. කඩුල්ලේ සිට පෝරුවෙන් බහින තුරු කඩුල්ල, පාවාඩය, මඩුව, කෙණ්‌ඩිය, බුලත්, පෝරුව ආදී සියල්ල තහන්චි කරමින් මනාලියගේ පාර්ශ්වයෙන් කවියකු විසින් තහන්චි කවි කියනු ලබයි. මනාලයා ඇතුළු පිරිසට තම පක්‍ෂයේ කවියකු කවියකින් තහන්චි කැපීමෙන් පසු තහන්චිය ඉවත්වෙයි. මෙවැනි තහන්චි කවි අදත් සමහර පළාත්වල කියනු ලබයි. තහන්චි හැරීමෙන් පසු උඩුවියන් යටින් පාවාඩ පිටින් පිරිස මණ්‌ඩපයට පිවිසේ. ගෙට පිවිසෙන තැනදී මනාලයාගේ පා සේදීම කරනුයේ මනාලියගේ බාල සහෝදරයෙකි. එහිදී මනාලයා විසින් දිය බඳුනට මුද්දක්‌ දමන අතර එය පා සෝදවන්නාටද පාවාඩය මතට මනාලයාගේ පාර්ශ්වයෙන් මුදලක්‌ දැමිය යුතු අතර එය රජකයාටද හිමිවේ. මුදල් දමනතුරු ඔහු පාවාඩය නො අකුලා සිටිනු ඇත. මෙය "පාවාඩමස්‌ස" නම් වේ. ගෙට පිවිසීමෙන් පසු ගෙනයන "කත් පෙට්‌ටි" තෑගිකොට සුදුසු හා නියමිත අසුන්වල හිඳගනු ලබයි. අතීතයේදී නම් විවාහ නැකැත් ඇත්තේ පසුදා උදය වරුවේ බැවින් ඉතිරිකාලය විවිධ කතාබස්‌ මතින් ගෙවා දමනු ලැබේ.
වත්මනදී පෙරදා ගමනක්‌ නොමැති අතර ප්‍රථම ගමනේදී විවාහ චාරිත්‍ර සිදුකරනු ලැබේ. එබැවින් එදිනට අදාළව නැකැත් පිළිවෙළට පෝරුවේ චාරිත්‍ර සිදුකරනු ලබයි. පෝරුව සඳහා අද සමහර පළාත්වල තහංචි කවි කියනු ලබන අතර එදා බිරියන් පැහැරගෙන ගොස්‌ සඟවා දින කිහිපයක්‌ තබාගෙන සිටීමේ සිරිතක්‌ පැවැති බවත්, ඊට සහාය වූ පුද්ගලයා අද දෙවන මනාලයා බවත්, සඟවා සිටි කාලය ගෙයින් පිට මධුසමය ගතකරන කාලය ලෙස සැලකෙන බවත් කියනු ලැබේ.
තවත් තැනකදී එය සදහන් වන්නේ. අභියෝගයක් ආ විට එම ගෝත්‍රික තරුණයා කරනුයේ දකුණතින් හෙල්ල ගෙන වමතින් තම බිරිඳ ආරක්ෂා කරමින් සටන් කිරීමයි. ඒ අයුරින්ම අදත් මනාලයා දකුණුපස ද මනාලිය වම්පස ද සිටියි. ගෝත්‍රික විවාහ වලදී මනාලිය ගැන සිත් ඇති වෙනත් තරුණයෙකු මෙහිදී මනාලයා සමගින් සටන් කර මනාලිය පැහැර ගන්නා අවස්ථා ඇතිවිය.මෙයට උපක්‍රමයක් ලෙස ගෝත්‍රික යුවළ සමඟ මනාලයා හා සම වයසේ වූත් එම සවිශක්තියෙන් යුත් තරුණයෙකු රැගෙන ගියහ.
මනාලිය පැහැර ගැනීමට කිසිවකු අවොත් සටන් කරන්නේ මනාලයා නොව ඒ අමතර තරුණයායි. අද දවසේ දෙවෙනි මනමාලයා ලෙස හඳුන්වා ඇත්තේ එදා සිටි ඒ ගෝත්‍රික තරුණයායි. සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇති වන බවට එදා විශ්වාසයක් විය. එබැවින් මනාලියගේ වයසේ සම හැඩරුව ඇති තවත් තරුණියක් මනාලියක් ලෙස සුන්දර සැරසිලි කර මංගල උත්සවයට ඉදිරිපත් කරයි. එවිට භූ®තයින්ට මනාලිය හඳුනා ගැනීමට නොහැකිව දෙදෙනා දෙසම බලපෑම් නොකර බැලීම පමණක් කරයි. භූ®තයන් රැවටීමේ එදා උපක්‍රමය අද දවසේ දෙවෙනි මනාලියන් සැරසීම දක්වා විකාශනය වී ඇත
මේ චාරිත්‍රවලින් පසු අද දවසේ මංගල සභාව පවත්වා උපදෙස්‌ දෙනු ලැබේ. පළමු දිනයේ කටයුතු අවසන් වනුයේ දෙමාපිය වැඩිහිටි අනුශාසනාවලින් පසු ඔවුන් වැඳ අවසරගෙන මනාලයා ඇතුළු නව ඥතීන් සමග නව දිවියට පා තබමින් නිවසින් පිටව යැමයි. දෙවන ගමන සිදුවන්නේ ඊට පසුවදාය.
අතීතයේ විවාහ මංගල්‍යයක්‌ සිදුවූ ආකාරය පිළිබඳ සලකා බලන විට වර්තමාන මංගල උත්සව (වෙඩින්) වල පැහැදිලි වෙනසක්‌ තිබෙන බව දක්‌නට හැකිය. විවාහ උත්සවයක අවස්‌ථා 6 ක්‌ තිබුණි. එනම්,
1. පළමු ගමන,
2. නම් ප්‍රසිද්ධිය,
3. මඟුල් දිනය (පෝරුවට නැංවීම මංගල උත්සවය විවාහය ලියාපදිංචි කිරීම),
4. මනමාලිය කැන්දාගෙන යැම,
5. හිස දියට යැම,
6. නෑදෑ මිත්‍රයන් බලන්නට යැම (ලංකා ජනතාව - නන්දදේව විඡේසේකර)

කුමර කුමරි බඹසර හොඳින් රැකගෙන පැමිණි යුවළකගේ මංගල අවස්‌ථාවෙහි මෙම පෝරුවේ චාරිත්‍ර පැවැත්වීම පුරාතන සම්ප්‍රදායයි.
පෝරුව සෑදීමේදී මනාලයාගේ දකුණු පැත්තෙන් සහ මනාලියගේ වම් අත පැත්තෙන් පිහිටුවන බව කලින් කියවුනි. වටප්‍රමාණය රියන් හතරක්‌ද, උස ප්‍රමාණයෙන් රියන් එකක්‌ද වන සේ තැනිය යුතුය. හංස, ගිරා වැනි සත්ත්ව අනුරූ අනුව නිර්මාණය කරන පෝරුව, මල්කම්, ලියකම්, පුන් කළස්‌, පොල්තෙල් පහන් ආදියෙන් සරසනු ලැබේ. එක්‌ යුවළක්‌ සඳහා නිර්මාණය කළ පෝරුව වෙනත් යුවළක්‌ සඳහා ප්‍රයෝජනයට ගැනීම නොසුදුසුය. එහෙත් මෙකල මංගල පෝරු කුලියට දීම ව්‍යාපාරයක්‌ වශයෙන් කරන බව පෙනෙයි. එවැනි දෙය ප්‍රයෝජනයට ගැනීම මගින් බලාපොරොත්තු වන ආශිර්වාදය නොලැබී යන බව පැවසිය හැක.
පෝරුවේ චාරිත්‍ර ද හැම දෙනාටම කළ නොහැක. එයට දැනුම් තේරුම් ඇති අයකු සිටිය යුතුය. ඔහු දින හතක්‌ ඒ වෙනුවෙන් පේවී සිටීමද වැදගත් වෙයි. එසේම යුවතිපති දෙදෙනාම පිරිසිදු සීලයෙහි පිහිටා සිටීම අනිවාර්ය වෙයි. මත්පැනින් වැළකිය යුතුය. කිළි කුණුවලට හසු නොවිය යුතුය. මස්‌ මාංශවලින් වැළකිය යුතුය. පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියාද සිලවත්, ගුණවත් බහුශෘත සම්භාවනීය අයකු විය යුතුය. එහෙත් වර්තමානයේ බොහෝ විට එවැනි කටයුතුවලට ඉදිරිපත් වන්නේ මත්පැන්වලින් හොඳ හැටි පදම් වූ වාචාල පුද්ගලයන් බව අසන්නට ලැබෙයි. විශේෂයෙන් ඔහු තව කෙනෙකුට ආශිර්වාද කළ හැකි තරම් ගුණගරුක වාග් ශක්‌තිය ප්‍රගුණ කළ අයකු වීම අතිශය වැදගත්ය. එසේ වාග් ශක්‌තියක්‌ නොමැති නම් ගාථා, කවි, ස්‌තෝත්‍ර ගැයීමේදී වැරැදි ලෙස උච්චාරණය කිරීමෙන් සුබ පල වෙනුවට අසුබ පල උදාවිය හැකිය.
මෙම චාරිත්‍ර ඉටු කරන පුද්ගලයා දිනහතක්‌ ඒ වෙනුවෙන් පේවිය යුතු බව සඳහන් වේ. මංගල දින උදෑසන හිස්‌ සෝදා නා පිරිසිදු වී තෙරුවන් නැමද දෙවියන්ට පිං අනුමෝදන් කිරීම නිසා තම මානසික ශක්‌තියද තහවුරු කරගත හැකිය. එවිට තමන්ට ද ආරක්‌ෂාව සැලසෙයි. ශ්වේත වර්ණ වස්‌ත්‍රයෙන් සැරසී පාවහන් ඉවත් කර සුරාවෙන් දුම්වැටියෙන් මිදී මෙම චාරිත්‍ර ඉටුකළ යුතුය.
පෝරුවේ චාරිත්‍රවලදී අනුගමනය කරන කටයුතු අතර විශේෂ අවස්‌ථා කිහිපයක්‌ දැක්‌විය හැකිය. එනම්
1. පහන් දැල්වීම,
2. මඟුල් බෙර වැයීම,
3. රත්නත්‍ර නමස්‌කාරය සහ දේවතාරාධනය,
4. පිරිත් සඡ්ජායනා මැදදේ යුවල පෝරුවට නැංවීම,
5. පෝරුවේ කියමන් (ගායනා),
6. බුලත් හුරුලු පිළිගැන්වීම,
7. තැළි පිළිඇන්ද,
8. දෑඟිලි බැඳ අත පැන් වත් කිරීම,
9. ජයමංගල ගාථා ගායනය,
10. දේව ස්‌ත්‍රොaත්‍ර සහ අෂ්ඨක ගායනා කිරීම,
11. කිරිකඩ හේලය දීම,
12. ඥතීන්ට බුලත් හුරුලු දීම,
13. සෙත් පිරිත් කියා පෝරුවෙන් බැස්‌සවීම (පෝරුවේ චාරිත්‍ර ජගත්සීල කුලතිලක)
යන මේවා ප්‍රධාන වෙයි.
හඟල හුරුලු දීම මීළඟ චාරිත්‍රයයි. මෙහිදී බුලත් මත පඬුරු (කාසි) තබා මනාලයා විසින් මනාලියට දෙන අතර ඈ විසින් එය පෝරුව මතට හෙළනු ලැබේ. නැවත මනාලිය විසින් මනාලයාට පඬුරු සහිත බුලත් හුරුල්ලක්‌ දෙයි. මේ ආකාරයට පඬුරු හතක්‌ මාරු කිරීම සිදු කෙරේ. මෙය බෞද්ධ ආර්ථික ප්‍රතිපදාව විදහා දක්‌වන චාරිත්‍රයකි. සැමියා උපයන දේ නොසඟවා බිරිඳට බාරදෙයි. බිරිඳ ඒවා ආරක්‌ෂා කර සැමියාට දිය යුතුය. කුමකටද? යුතුකම් ඉටු කිරීමටය. සිඟාලෝවාද සූත්‍රයේ එන පරිදි ගිහියකු විසින් පාර්ශ්වයන් හයක්‌ සඳහා යුතුකම් කළ යුතු වේ. මව්පියන් (පෙරදිග), ගුරුවරුන් (දකුණ), දරු පරපුර (පිටුපස), ශ්‍රමණ හෙවත් ආගම (උඩ), යහළුවන් (උතුර) හා සේවකයන් (යට) වශයෙනි. මනාලිය පඬුරු ආපසු දෙන්නේ මේ කොටස්‌ හයට හෙවත් සදිසාවට නමස්‌කාර කිරීම් වශයෙනි. උවමනා විටෙක දන්දීම පතා 7 වැනි බුලත් හුරුල්ල ආපසු දෙන්නේ නැත.
පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියා ඉහත සඳහන් සියලු චාරිත්‍ර ඉටු කිරීම පිළිබඳ මනා අවබෝධයක්‌ තිබෙන අයකු විය යුතුයි. දොහොත් මුදුනෙහි තබා පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියා එම කටයුතු අරම්භ කරන විට මංගල නිවසෙහි සියලු දෙනාම නිශ්ශබ්ද විය යුතුය. මත්පැන් පානය කළ අය සහ කිළි ගෙවල සිට පැමිණි අය පෝරුව අසළට නොපැමිණීමට වගබලා ගත යුතුය.

පෝරුව හා එහි චාරිත්‍ර ඉටු කිරීමේ මූලික අරමුණු
* පුරාණ චාරිත්‍ර අනුව පෝරුමස්ථාරූඩ කරන්නේ කන්‍යාවියන් පමනි.ඒ අනුව නාලියගේ පාරිශුද්දතාව හිත ශාතීන් ප්‍රමුඛ ලොවට පෙන්වීම පෝරුවේ මූලික අරමුණකි.
* නව යුවලට ත්‍රිවිධ රත්නයේ හා දේවාශිර්වාදය ආරක්‍ෂාව පැතීම
* තමා හැදූ වැඩූ හා තමාගේ සහකාරිය සහකරු හැදූ වුඩූ දෙමාපියන්ට කෘතගුණ සැලකීම
* පාරම්පරික සංස්කෘතික අංග ඉදිරි පරම්පරාව වෙත ගෙන යාම.

අතීතයේ සිට අද දක්වා භාවිතා වන පෝරු වර්ග 3ක් ගැන සදහන්ය.
*මහා සමමත ආදී රජුන් සදහා වූ මගුල් පෝරුව
*සිද්ධාර්ථ කුමරු යසෝදරා දේවිය සදහා යොදා ගත් මගුල් පෝරු ආකෘතිය
* සාමාන්‍ය ජනයා සදහා වූ මඟුල් පෝරුව

පෝරුව සෑදීම
වර්තමානයේ හෝටල්වල මංගල උත්සව ගැනීම් වලදී මංගල පෝරුව සදහා හෝටලය විසින් නොමිලේ හෝ සහනදායි මිලට සපයන පෝරු භාවිතා කිරීම් වැඩි වශයෙන් සිදු වුවත් නියම ශාස්ත්‍රාණුකූලව බලන විට එය නුසුදුසුය.වෙනත් යුවලක් නැංවූ පෝරුවක තවත් මනාල යුවලක් නැංවීම සුදුසු නැත.හෝටල්වල හා වෙනත් වෙළඳසැල් වල කුලියට දීමට හා විකිණීමට ඇති පෝරු වැඩි දෙනෙකු පරිහරණය කල ඒවාය.නියමාකාරයට නම් මනාල යුවලක් වෙනුවෙන් අළුත් මංගල පෝරුවක් සැකසිය යුතුය. අතීතයේ මංගල පෝරුව සෑදීම ඉතා බැතියෙන් හා චාරිත්‍රාණුකූලව සිදුකල කටයුත්තකි.මඟුල් පෝරුව සාදන්නා පන්සිල් රකින සිල්වත් ගුණවත් අයකු විය යුතුය.ඉතා හොදින් පිරිසිදුව දින කිහිපයක් මස් මාංශ වලින් වැලකී පේවී ඒ සඳහා සූදානම්වේ.පෝරුව සෑදීම ආරම්භ කරන්නේ සුභ නැකතක් අනුව සුදුසු ස්ථානයක් තෝරා ගෙන එම ස්ථානය හොදින් ශුද්ධ පවිත්‍ර කර ගෙනය.පෝරුව සෑදීම සදහා රත්හදුන්,සුදු හදුන් හෝ කිරි ගසක පළුදු නොවූ අළුත් ලෑලි යොදා ගනී.
පැරණි සම්මතය අනුව පෝරුවේ දිග වඩු රියන් 16 කුත් පළල වඩු රියන් 15 කුත් විය යුතු අතර(වඩු රියනක් යනු දළ වශයෙන් අඟල් 31කි.) දොරටු 4ක් හා මුලු 8ක් සෑදෙන පරිදි සැකසිය යුතුය.(දොරටු 3 මංගල පෝරු වර්තමානයේ බහුලව භාවිතා කරයි.)
පෝරුව තැන්පත් කල යුත්තේ එය තුලට වාත්‍රාශය හොදින් ලැබෙන පරිදිය. වර්තමානයේ හෝටල් ආශ්‍රිතව පෝරුවේ චාරිත්‍ර සිදු කරන විට දෙපාර්ශ්වයේ ඥාතීන් පෝරුව අසල එක්රැස් වීමත් පොටෝ වීඩියෝ කරුවන් ඒ අසල එක්රැස් වීමත් පොල්තෙල් පහන් නිවී යාම වැලක්වීමට විදුලි පංකා ක්‍රියා විරහිත කිරීමත් නිසා පෝරුව අසල කාබන්ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිවේ.මෙවැනි අවස්ථාවලදී පෝරුව මත සිටින මනාළ යුවළ මහත් අපහසුතාවට පත්වන අතර ක්ලාන්ත වීම් වැනි වෙනත් අපහසුතාද ඇතිවේ.(පෝරුව මතදී මනාලිය හෝ මනාලයා ක්ලාන්ත වීම ඔවුන් කුමර කුමරි බඹසර බිදගත්තවුන් බවට ඉඟි කරන බව පැරැන්නන් අතර මතයක් ඇත.)
පෝරුවේ ඉදිරිපස පිහිටිය යුතු දිශාව තීරණය කල යුත්තේ නැකැත් දිනයේ දක්වා ඇති සුභ දිශාව අනුවය.මනාළ යුවල පෝරුවට නැංවීමට පෙර සහල්,ලදපස්මල් ඉස ඒවා සුදු පිරුවටකින් වසා තබයි.පුන්කලස් මත පොල් තෙල් පහන් දැල්වීමට සූදානම් කර තබයි.
පෝරුව සාද එහි චාරිත්‍ර ඉටු කරන තුරු එය තනි නොකළ යුතු අතර මනාළ යුවලගේ ඥාතීන්(යටින් සතුරු) ,සතුරන් වැන්නවුන් සිදු කල හැකි වින බන්ධන වලින් පෝරුව ආරක්‍ෂා කිරීමට කෙනෙකු ඒ අසල සිටිය යුතුය.ඇතැම් පළාත්වල රතු ජටා බැදගත් දූතයන් සතර දෙනෙකු කඩු 4ක් ගෙන පෝරුව සතර කොන පෝරුවේ චාරිත්‍ර අවසන් වන තුරු නොසෙල්වී සිටින්නේ මෙම ආරක්‍ෂාව සංකේතවත් කිරීමටය.සතර කොන සහල් පඩුරු ආදිය පුරවා පිපුණු පොල් මල් දමා පහන් දැල්වීමට සූදානම් කල පුන්කළස් හතරක්ද තබයි.
පෝරුවේ පොදු චාරිත්‍ර
නව යුවළ පෝරුවට නැංවීමට ප්‍රථම ඔවුන් ලවා තෙරුවන්ට හා සතරවරම් දෙවියන්ට පහන් දැල්වීම.තෙරුවන් වෙනුවෙන් දැල්වූ පහන පෝරු චාරිත්‍ර ඉටු කරන්නා විසින් ප්‍රථමයෙන් උඩකින් තබා ඉන්පසු සතර වරම් දෙවි පහන් පෝරුව වටා තබා ඇති පුන් කළස් හතර උඩ තබයි.මෙය සිදුකරන ගමන්ම අෂ්ඨක කියන්නා(පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නා) සභාවෙන් අවසර ගැනීම ත්‍රිවිධ රත්නයට නමස්කාර කිරීම හා සතරවරම් දේවාරාධනාව සිදු කරයි.
අනතුරුව මනාලයා පෝරුවේ දකුණු පසින් හා මනාලිය වම්පසින් දෙදෙනාගේ මාමා වරුන් මනාළ යුවළගේ දකුණු අතින් අල්වා දකුණු පය පෙරට තබා සුභ නැකත් වේලාවට පෝරුවට නැංවීම සිදු කරයි.ඇතැම් පළාත් වල දෙදෙනා පෝරුවට නැංවීම මනාලියගේ මාමාවරු දෙදෙනෙකු විසින් සිදු කරයි.දෙදෙනා පෝරුවට නගින විට යශෝධරා අෂ්ඨකය වැනි පෝරුවට නැංවීමේ කවි අෂ්ඨක කියයි.
මනාලයාගේ දකුණතේ හා මනාලියගේ වමතේ සුළැගිලි දෙක එක්කොට රන් කෙන්දකින් බැද (සමහර පළාත් වල සමන්පිච්ච මල් දැවටූ නූලෙන් බැද) කෙළවර පුච්චා රන් කෙන්ඩියකින් හෝ හක් ගෙඩියකින් පැන් වැඩීම සිදු කරයි.මෙම අවස්ථාවේදී "අටවිසි පිරිත"කියා ආශිර්වාද කිරීම සිදු කරයි.රන් කෙන්ඩියෙන් (හෝ හක් ගෙඩියෙන්) වඩන පැන් පෝරුව මතට නොවැටෙන සේ යටින් දිය බදුන අල්ලා පිරිත අවසන් වන තුරු පැන් වඩා අවසන නූල දෙදෙනාට ගලවා ගැනීමට නියම කරයි.
ආගමික වතාවත් සහ දේව ස්‌ත්‍රොත්‍ර ගායනයෙන් අනතුරුව ඉටුකරන වැදගත් චාරිත්‍රයක්‌ නම් කිරිකඩහේලය පූජා කිරීමයි. එය මනාලියගේ මෑණියන්ට කරන උපහාර පූජාවයි. දස මසක්‌ කුස දරමින් දියණිය තම ජීවිතය මෙන් රැකගෙන නිරුපද්‍රිතව හදා වඩා ගෘහ පාලන කටයුතු පුහුණු කර උතුම් කුල දුවක ලෙස හැදූ වැඩූ මෑණියන්ට කරන උපහාරයක්‌ වශයෙන් සුදු වස්‌ත්‍ර කවිච්චියක්‌ හෝ වෙනත් ඇඳුම් පැළඳුම් පිදීම බෑණනුවන් විසින් සිදුකරන චාරිත්‍රයකි. හැදූ මෑණියන් ජීවතුන් අතර නැති නම් මනාලිය හදා වඩාගත් වෙනත් කාන්තාවකට මෙම පූජාව කරනු ලබයි. මින් පසු සිදු වන්නේ දෙපාර්ශ්වයේ වැඩිහිටි ඥතීන්ට බුලත් හුරුලු පිළිගන්වා ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමයි. මේ සියල්ල නිමවූ පසු කාල වේලාව අනුව මංගලම් කවි ගායනා කර විවිධ ස්‌ත්‍රොaත්‍ර සහ ගාථා මගින් යුවළට සෙත් පතනු ලබයි. මෙම කටයුතු කාල වේලාව අනුවත් ඒවා ඉටුකරන පුද්ගලයාගේ දක්‌ෂතාව අනුවත් දීර්ඝ හෝ කෙටි විය හැකිය.
මංගලම් කවි වශයෙන් මෙවැනි කවි ගායනා කරයි.
“කිඹුල්වත් පුර නුවර ඉපදුන එබෝසත් ජය මංගලම්
අගුල්ලා තිබූ නුවර වාසල් ඇර ගියේ දෙවියන් බෙලෙන්
මඟුල් කඩුවෙන් කේස ධාතුව කපා අහසට හැරී බෙලෙන්
මඟුල් වේවා යුවති පති හට බොහෝ කල් ජය මංගලම්“
“පෙම්මා වඩවන මුණිඳුගෙ තෙද කල
නම්මා බැහැදැක ඇතු සිටිනා කල
වෙම්මා ලොවටම දස පෙරුමන් බල
සම්මා යන පදයෙන් ජය මංගල“

මෙලෙස ගායනා කරන කවි රාශියක්‌ ජන සමාජයේ ප්‍රචලිතව තිබුණි. මෙම සියලුම කවි ප්‍රබන්ධ වී තිබුණේ බුද්ධ චරිතය ඇසුරින්ය. මංගල අෂ්ඨක ගායනයෙන් පසුව සියලු බුදුවරයන් වහන්සේලාගේත්, සියලු දෙවි දේවාතාවුන් වහන්සේලාගේත්, නවග්‍රහයන්ගේත් ආනුභාවයෙන් අපල උපද්‍රව දුරුවේවා" යි ප්‍රාර්ථනා කරමින් පෝරුවෙන් බස්‌සවනු ලබයි. පොල් ගෙඩියක්‌ බිඳීමත් සමගම දකුණු පාදය පෙරට තබා අභිනව යුවළ පෝරුවෙන් බසියි. මෙම සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ පුරාතන මංගල උත්සවයක්‌ යනු හුදු උත්සවයක්‌ පමණක්‌ම නොව, ආගම දහම සත්චාරිත්‍ර අනුව පැවැත්වූ පුණ්‍ය මහෝත්සවයක්‌ද වශයෙන්ද පැවති බවයි.

1. ප්‍රථමයෙන්ම මංගල පෝරුවට නැගීමට වරම් ගන්න. බුද්ධාගම අනුව නම් ප්‍රථමයෙන්ම “නමෝතස්ස” පාඨය තෙවරක් කියවන්න. ත්‍රිවිධ රත්නය වඳින කුමන හෝ ගාථා තුනක් කියවන්න. “සංසාර සාරෝඝ විනීතත නීසං.” වැනි ශබ්ද රසයද ඇති ගාථාවන් නම් ඉතා මැනවි. ඉන් පසු භූමිදේවි නමස්කාරය වූ “ චන්ද කුසුම මාලං” යන්න කියවන්න. ඉන් පසු පෝරවට නැගීම සඳහා අවසර ගන්නා කවියක් හෝ කවි කීපයක් කියවන්න. දැනට එවැනි කවි 6 ක් පමණ භාවිතා කරයි. කාලවේලාව අනුව කවි සංඛ්‍යාව ඔබම තීරණය කරන්න.උදාහරණයක් ලෙස එක කවියක් කියමි.

එදා සිදුහත් කුමරු හට බිම්බා කුමාරිය සරණ පාවා
උදාරව දෙනු ලැබු සුබ කරකාර මගුලෙදි මන පබෝවා
මුදාහල ලෙස යුවලගේ පා මඟුල් පෝරුව මතයි බෝවා
මෙදා පින්බර මෙනව යුවලක් මඟුල් පෝරුව මත නගීවා

2. දැන් සුබ නැකත උදාවී ඇත. මගුල්බෙර නාද මධ්‍යයේ යුවල පෝරුවට භාරකරුවන් යටතේ නඟී. එසේ නැගුනු විට කෙටි ආශිර්වාද සිලෝවක් කියන්න.

3. ඉන්පසු ඇත්තේ සඟල බුලත් හුවමාරුවයි.මෙහිදී බුලත් අතවල් 07 ක් දෙදෙනා අතර හුවමාරු වේ.බුලත් අතකට ඇති උපරිම බුලත් සංඛ්‍යාව 40 කි. අවම සංඛ්‍යාව 02 කි. සඟල බුලත් හුවමාරුවේදී බුලත් අතකට ගන්නේ අවම බුලත් සංඛ්‍යාවයි. බුලත් අතකට කාසියක් ද එකතුවේ. බුලත් අතවල් 07 න් කියවෙන්නේ මේ විශේෂ අවස්ථාවේදී අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, මී ,මුත්තා යන හත්මුතු පරම්පරාව සමරන බවයි. උතුම් ජාතීන් මෙවැනි වැදගත් අවස්ථා වලදී තම අතීත පරපුර සමරති. බුලත් වලින් සංස්කෘතිය ද කාසි වලින් ආර්ථිකයද කියවේ. සඟල බුලත් හුවමාරුවෙන් සංකේත වන්නේ අද සිට දෙදෙනා අතර සංස්කෘතික ලෙස මෙන්ම ආර්ථික ලෙස ද සහජීවනයක් ඇතිවන බවයි.

4. ඉන්පසු ඇත්තේ තැලිපිලි පැළඳීමයි. වෛදික දහම අනුව සැමියාට බිරිඳගේ හිමිකම ලැබෙන්නේ මල් මාලයක් දැමීමෙනි. එදා ඒ මල් මාලය අද වන විට තැල්ලක් සහිත චේන් පොටක් දක්වා විකාශනය වී ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් 4 වෙනි යුතුකම බිරිඳට ඉසුරු සම්පත් පැවරීමයි. 5 වෙනි යුතුකම ඇයට ඇඳුම් හා ආහාරපාන සැපයීමයි.
සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සක්ක සංයුක්තයේ සක්දෙවි මිනිසුන් නමදින අවස්ථාවක් දැක්වේ. මේ සම්බන්ධයෙන් මාතලී දිව්‍ය පුත්‍රයා කරන විමසීමකදී සක්දෙවි පවසන්නේ තම යුතුකම් දන්නා සැමියන් වන්දනා කරන බවයි. මෙයින් පෙනෙන්නේ බිරිඳට යුතුකම් ඉටු කරන සැමියන්ට දෙවියන් පවා ගරු කරන බවයි.

5. ඉන් පසු මුදු මාරු කිරීම සිදුවේ.මුද්ද යනු සදාකාලික භාවයේ සංකේතයි.පෙරදිග වෙද නීතිය අනුව අතේ වෙදගිල්ලේ මුල් පුරුක හදවතට සම්බන්ධතාවයි. විශ්ව නීතිය අනුව ගැහැණියට වමතත් පිරිමියාට දකුණතත් විශේෂ වේ. සිංහල වෙද මහතා ප්‍රතිකාර වලදී පිරිමියාගේ දකුණතේ නාඩි බලයි. ගැහැණියගේ වමතේ නාඩි බලයි. හස්ත රේඛා ශාස්ත්‍රඥයා පිරිමියාගේ දකුණතේ රේඛා බලයි. ගැහැණියගේ වමතේ රේඛා බලයි.ඒ අනුව සදාකාලික බවේ සංකේතය හදවතට සම්බන්ධ වූ වෙදඟිල්ලේ මුල් පුරුකට පැළඳවීම මනාලියගේ වමතේ ද මනාලයාගේ දකුණතේ ද සිදු කරයි.

6. ඊළඟට ඇත්තේ අත පැන් වැඩීමයි. බිම්බිසාර රජු වේළුවනාරාමය පවරා දුන්නේ ද දෙවන පෑතිස් රජු මවමෙව්නාව පූජා කළේ ද වෙස්සන්තර රජු දේපොළ පවරා දුන්නේ ද අතපැන් වැඩීමෙනි. ඔබ කරන පින් ඔබේ මළගිය ඥාතියාට පවරන්නේ කෙසේද? පැන් වැඩීමෙනි.මෙය පැරණිම පවරා දීමේ චාරිත්‍රයයි.තම දියණිය සැමියාට පවරා දීම අත්පැන් වැඩීමෙන් සිදු කරනුයේ වෛදික දහම් නීතිය අනුවයි.

7. ඊළඟට ඇත්තේ මංගල පෝරුව මත දී පැන් වීදුරුව හා රස කැවිලි පිරිනැමීමේ චාරිත්‍රයයි. මෙය උම්මග්ග ජාතකයෙහි අමරාදේවි හා මෙහෞෂධ පඬිවරයා මුනගැසීම සිහිකරන්නකි. ආහාරයට පෙර පැන් පිරිනැමේ.
ඉන් පසු දෙදෙනා සහජීවනයෙන් ආහාර ගැනේ. ඉන් පසු නැවත පැන් පානය කරයි.මේ ජීවත් වීමේ කලාවයි.

8. බුදුරදුන් විවිධ අභියෝග ජයගත් බැවින් ඒ තේජසින් ජය මගුල් ඔබටත් ලැබේවා! යන පැතුම ජය මංගල ගාථා කියවීමෙන් ලැබේ.

9. ඔක්කාක රජ සමයේ සුබ්‍රහ්මා , සෝමසීලි යන බමුණු යුවළට ජාතක වූ බ්‍රහ්මජාලි කුමරිය දීගෙට යන විට මවගේ කිරි වල ණය ගෙවීමේ කථා වස්තුවක උපයෝගි කරගෙන කිරිකඩ සේලය පිරිනැමීමේ චාරිත්‍රය සාදා තිබේ. දියණියක මවකගෙන් පානය කරන ලද කිරි වල ණය කිසිදා පිරවිය නොහැකි බව මේ චාරිත්‍රයෙන් කියන පණිවිඩයයි.

10. ඊළඟට ඇත්තේ වැඩිහිටියන්ට බුලත් දීමේ චාරිත්‍රයයි.මහා මංගල සූත්‍රයේ 3,11,12 යන මංගල කරුණුද සප්ත අපරිහානි ධර්මයේ 4 වෙනි අපරිහානි ධර්මය ද දස පුන්‍ය ක්‍රියා වල 4 වෙනි පුන්‍ය ක්‍රියාව ද සිඟාලෝවද සුත්‍රයේ සදිසා නමස්කාරයෙන් නැගෙනහිර නමස්කාරය ද කිතුණු දස පනතේ 4 වෙනි පනත ද මෙම චාරිත්‍රයෙන් ඔපවත් කරයි.

11. ඊළඟට ඇත්තේ පෝරුවෙන් බැසීමේ චාරිත්‍රයයි.අවිවාහකයන් ලෙස භාරකරුවන් යටතේ පෝරුව දෙපසින් නැඟි යුවල විවාහකයන් ලෙස එකිනෙකාට භාරකරුවන් වෙමින් සුභ දිසාවට මුහුණ ලා පෝරුවෙන් බසී. පෝරුවෙන් බැසීමට පෙර වරම් ගැනීම සඳහා ආශිර්වාද කවි 08 ක් පමණ දැනට ලංකාවේ භාවිතා කෙරේ. කාලවේලාව කළමණාකරණය කරමින් මින් කීපයක් ගායනා කිරීමට පුළුවන.

12. පෝරුවේ චාරිත්‍ර වල අවසාන අංගය පෝරුවෙන් බැස පහන දැල්වීමයි. පහනක් දැල්වෙන විට අඳුර පලා යයි. අඳුර පලා යන විට මඟ හොඳින් පෙනේ.මේ ආලෝකවත් වන්නේ නව යුවලගේ ජීවිතයයි.ජීවන මාර්ගයයි. පහන දල්වන විට මඟුල් බෙර වාදනය කෙරේ.

මේ චාරිත්‍රය කරන විට අවස්ථානුකූ®ලව දළඳා අෂ්ඨකය, ශ්‍රීවිෂ්ණු අෂ්ඨකය, අට විසි විවරණ අෂ්ඨකය, කන්ද කුමාර අෂ්ඨකය, මහා මංගල අෂ්ඨකය, නවග්‍රහ මංගල අෂ්ඨකය, ගණේෂ අෂ්ඨකය, දැඩිමුණ්ඩ අෂ්ඨකය, නාරායන අෂ්ඨකය, බෞද්ධ අෂ්ඨකය,අෂ්ඨදේව, මංගල අෂ්ඨකය පත්මාවතී අෂ්ඨකය, වැනි අෂ්ඨකයන් අතුරින් කීපයක් ගායනා කර චාරිත්‍රය ඔපවත් කිරීමට චාරිත්‍රවේදියා සමත් වෙයි.

සිංහල පාරම්පරික සිරිත් රැකගනුවස් අන්තර්ජාලය ඇසුරින් එරන්ද ලක්මාල්  විසින් ‍ගෞතම බුදුසසුන තුල මේ ලිපිය පලකල වගයි.

Thursday, March 21, 2013

උච්ඡු පේ‍්‍රත වස්තුව

උච්ඡු පේ‍්‍රත වස්තුව



’ස්වාමිනි මට මහ විශාල උක් වනයක් පහළ වෙලා තිබෙනවා. මේක ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ. මේ මොන වගේ කර්මයක විපාකයක් ද? කියා පවසනු මැනවි. එක් උක් ගසක් කන්ට ඕන කියලා මම යම්කිසි උත්සාහයක් ගන්නවා. මම එහෙම අනුභව කරන්නට ඕන කියලා උත්සාහ කරද්දී ඇති වෙන්නේ මහන්සියක්ම යි. උක් කොලවලට මාව කැපෙනවා. එවිට මගේ් ශරීර ශක්තිය නැතිව යනවා. දුකට පත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයේ වැඩ වාසය කරන කාලයේ මෙම දේශනාව වදාළ සේක.
එක්තරා මිනිසෙක් උක්දඬු මිටියක් කර තබාගෙන එක් උක්දඬු කැබැල්ලක රස බලමින් ගමන් ගත්තා. ඒ වෙලාවෙහි සිල්වත් කල්‍යාණ ධර්ම තිබෙන එක් උපාසකයෙක් සමඟ ගමන්ගත් බාල දරුවෙක් උක්දඬු දැක උක්දඬු කැබැල්ලක් ඉල්ලා හඬා වැටුණා උපාසකතුමා හඬන දරුවා දැක උක්දඬු ගෙනයන මිනිසාට කථා කළා. නමුත් අර පුරුෂයා උපාසකයා සමඟ කිසිවක් කථා කළේ නැහැ. උපාසකතුමා හඬන දරුවා පෙන්වා ‘මේ දරුවාට උක්ගස් දඬු කැබැල්ලක් දෙන්නැයි’’ කියා සිටියා. ඒ අසා ඒ මිනිසා නො ඉවසමින් අවමන් සිත් උපදවාගෙන අනාදරයෙන් එක් උක් දඬු කැබැල්ලක් පිටු පසින් වීසි කරනු ලැබුවා.
ඔහු කාලයකට පසුව කළුරිය කොට බොහෝ කාලයක් පුරුදු කරන ලද ලෝභකමේ විපාක ලෙස පේ‍්‍රත යෝනියේ ඉපදුනා. එහි ඵලය නම් ස්වකීය කර්මයට සමාන වුණා. අට කිරියන් (අමුණු තිස් දෙකක්) පමණ පැතිර පවතින වූ මෝල්ගස් පමණ උක්ගස් වලින් ගැවසී ගත් මහත් උක් වනයක ඒ පේ‍්‍රතයා උපත ලැබුවා. උක්දඬු කනු පිණිස පේ‍්‍රතයා උක් වනයට යනවිට උක් ගසේ පත්‍ර ඔහුට හිංසා පීඩා ගෙන දුන්නා. උක් කොළ කෙළින් වී ඔහු කැපී ගියා. පේ‍්‍රතයා ඒ වේදනාවෙන් සිහිසුන්ව වැටුණා.
එක් දිනක් මුගලන් මහ රහතන් වහන්සේ පිඬු පිණිස වඩින අතරමඟදී මේ පේ‍්‍රතයා දුටුවා. ඒ පේ‍්‍රතයා රහතන් වහන්සේ දැක තමන් විසින් කළ කර්මය පිළිබඳව විචාරමින් මෙසේ කියා සිටියා.
’ස්වාමිනි මට මහ විශාල උක් වනයක් පහළ වෙලා තිබෙනවා. මේක ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ. මේ මොන වගේ කර්මයක විපාකයක් ද? කියා පවසනු මැනවි.
එක් උක් ගසක් කන්ට ඕන කියලා මම යම්කිසි උත්සාහයක් ගන්නවා. මම එහෙම අනුභව කරන්නට ඕන කියලා උත්සාහ කරද්දී ඇති වෙන්නේ මහන්සියක්ම යි. උක් කොලවලට මාව කැපෙනවා. එවිට මගේ් ශරීර ශක්තිය නැතිව යනවා. දුකට පත් වෙනවා. මම වැලපෙනවා. මේ විපාකය මට ලැබුණේ් මොන කර්මයක් නිසා ද? මම හොඳටම වෙහෙසට පත්වෙලා බිම ඇදගෙන වැටෙනවා. තද අව්වෙන් රත්වුණු පොළොවේ මාළුවෙක් වගේ දඟලනවා. මම වැළපෙනකොට ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා. ස්වාමිනි, මේ විපාකය මට ලැබුණේ මොන කර්මයක් නිසාද කියලා පැවසුව මැනව.
මම පුදුමාකාර බඩගින්නකින් ඉන්නේ. මට ක්ලාන්තයි. පිපාස යි. අධික පිපාසයෙන් දුක් විඳීන මම මිහිරි සැපයක් නම් විඳල නැහැ. ස්වාමිනි මම ඔය කාරණය ගැනයි අහන්නේ. මට මේ උක් රසය පාවිච්චි කරන්නට ලබා ගන්නේ කොහොමද?
ඔය ඇත්තා පෙර ජාතියක මිනිස් ලෝකයේ ඉන්න කාලේ තමන්ගේම අතින් පව් කෙරිලා තිබෙනවා. මම දැන් ඔබට ඒ විස්තරය කියන්නම්. ඔබ එය අසලා මේ විදිහට දැනගන්න.
ඔබ එක් දිනක් උක් දණ්ඩක් හප හපා ගියා. එතකොට ඔබේ පිටුපස්සේ එක උපාසකයෙක් ආවා. ඔහු ඔබ සමඟ කථා කළත්. ඔබ කථා කළේ නැහැ. එවිට ඔහු ආර්ය පුත්‍රය, උක්දඬු කැබැල්ලක් දෙනු මැනව කියා ඉල්ලා සිටියා. එවිට ඔබ හිත නො පහදවාගෙන පිටිපස්සෙන්ම යි ඔහුට උක් දඬුව දුන්නේ. ඒ කර්මයේ විපාකය යි මේ.
දැන් ඉතින් පේ‍්‍රතය, ඔබත් පිටුපසින් පිටුපසට ගොස් උක්දඬුව ගන්න ඕන. එහෙම අරගෙන ඇතිතාක් කන්න. එවිට එයින් ඔබට සතුටක් ඇතිවේවා. තුටුපහටු වෙලා ඔදවැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්නට පුළුවන් වේවි.
ඒ පේ‍්‍රතයා පිටුපස්සෙන් පිටුපස්සට ගොස් උක්දඬු අරගෙන ඇති තරම් කෑවා. ඒකෙන් ඔහුට සතුටක් ඇතිවුණා. තුටුපහටු වුණා. ඔද වැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්නට පුළුවන් වුණා.
පේ‍්‍රතයා රහතන් වහන්සේට උක්දඬු පූජා කළා. ඔහුට අනුකම්පාවෙන් ඒ උක් දඬු ගෙන උන්වහන්සේ වැළඳුවා. ඉන්පසු පේ‍්‍රතයා විශාල උක්ගසක් රහතන් වහන්සේට පූජා කළා. ඔහුට අනුග්‍රහ පිණිස ඒ උක්ගස මුගලන් මහ රහතන් වහන්සේ විසින් වේළුවනාරාමයට ගෙනවිත් භාග්‍යවතුන් වහන්සේට පිදුවා. උන්වහන්සේ භික්ෂු සංඝයා සමඟ එය පරිභෝග කොට පේ‍්‍රතයාට පින් අනුමෝදන් කළා. පේ‍්‍රතයා පහන් සිත් ඇතිව ඒ පින අනුමෝදන් වුණා. එදා සිට සුවසේ ඔහු උක්ගස් අනුභව කළා.


කුමාර පේ‍්‍රත වස්තුව


තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී පේ‍්‍රතයෝ දෙදෙනෙකු අරභයා මෙම දේශනාව වදාළා.
සැවැත්නුවර වනාහි කොසොල් රජුගේ පුත්‍රයන් දෙදෙනෙකුගේ යෞවන මදයෙන්් මත්වී පරදාර සේවනයේ යෙදෙමින් බොහෝ අකුසල කරමින් ජීවත් වුණා. ඔවුන් කාලයක දී කලුරිය කොට දිය අගලක් මතුපිට පේ‍්‍රතයන් වී ඉපදුනා. ඔවුන් රාත්‍රියේ දී භයානක ශබ්දයකින් කෑ ගැසුවා. මිනිසුන් ඒ අසා බියෙන් තැතිගෙන සිටියා. ඔවුන් සාකච්ඡා කොට බුදුරාජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට වැඩමවා දානයක් පූජා කර මේ සියලු සිද්ධීන් භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියා.භාග්‍යවතුන් වහන්සේ උපාසකවරුනි, ඒ ශබ්දය ඇසීමෙන් ඔබලාට කිසිදු අන්තරාවක් සිදු නොවේ යැයි පෙර කථා ප්‍රවෘත්තියක් මෙසේ වදාළා.
හිමාල පර්වතය පැත්තේ ‘සැවත’ කියලා නුවරක් තිබෙනවා. එහේ රාජ පුත්‍ර වූ කුමාරවරු දෙදෙනෙක් සිටියා. ඔවුන් කාම සම්පත් වලට ප්‍රමාද වුණා. ඒ ජීවිතයේදීි ලැබුණු සැපයට ගිජුවෙලා ගියා. අනාගත ජීවිතවලත් හොඳින් සිටින්න ඕන කියන කරුණු දැක්කේ නැහැ.
ඔවුන් මිනිස් ලොවින් චුතවුණා පරලොවදී පෙරේත ලෝකයට ගියා. ඔවුන් ඒ කලින් ජීවිතයේ දී තමන් විසින්් කරගත්තු පාප කර්ම නිසා මේ නුවරට ආසන්නයේම ඉපදී මේ විදිහට කෑ ගසනවා
අපට දන් දෙන්න ඕන තරම් වස්තුව තිබුණා. දන්පැන් පිළිගන්වන්නට සුදුසු බොහෝ ආර්යයන් වහන්සේලා වැඩ සිටියා. අපට යම් සැප ලබාදෙන සුළු පිනක්වත් කර ගන්න බැරි වුණා.
අප කිසිම කර්මයක් නිසා ඒ රාජ කුලයෙන් චුත වෙලා මේ බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳ විඳ ඉන්න පෙරේත ලෝකයේ ඉපදුනා. ආයේ ඉතින් මීටත් වඩා පවක් තිබෙනවා ද? අප මිනිස් ලොවදී හාම්පුතාලා වෙලා හිටියේ. නමුත් පෙරේත ලෝකයේ දී අප හාම්පුතුන් නොවෙ යි. උසස් මනුස්ස ආත්මයෙන් චුත වෙලා හීන වූ පේ‍්‍රතයන් බඩගින්නෙන් පිපාසයෙන් ඇවිද ඇවිද යනවා. සැප සම්පත්වලින් මත්වෙලා හිටපු නිසයි මේ ආදීනවය හටගන්නේ. මේක තේරුම් ගත් මනුස්සයා සැප සම්පතට ගන්න එක දුරු කරන්න ඕන. එතකොට දෙව් ලොවටම යනවා.

යසස වැඩෙන නොපමා බව

යසස වැඩෙන නොපමා බව



නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම් බුද්ධස්ස

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඪති

පින්වත්නි!

සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාම මහාවිහාරයෙහි වැඩවසන සමයෙහි කුම්භඝෝෂක නම් සිටුපුත්‍රයා නිමිති කරගෙන ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.
රජගහනුවර මහසිටුවරයාගේ මන්දිරයේ සියලුදෙනාම ‘අභිවාතක’ නම් මාරාන්තික රෝගයකින් පීඩා විඳින්නට විය. එමෙන්ම එම පළාතේ පැතිර පැවති එම පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත්වන්නට අවශ්‍ය කෙනෙකු වේ නම් බිතිත්යක් හාරා පලා යා යුතු ය. මෙම සිටුපවුලේ දෙමව්පියන්ද එම රෝගාබාධයයෙන් පීඩිතව මරණාසන්නව තම පුතණුවන් දෙස බලා ‘පුතණුවනි’ දැන් අපේ ජීවිත ගැන අපේක්‍ෂාවක් නැත. ඔබ මෙම රෝගයෙන් බේරී ජීවත්වීමට බිත්තියක් බිඳ ඈත පළාතකට ගොස් ජීවත් වන්න. අසවල් ස්ථානයේ සතළිස් කෙළක් ධනය නිධන්කොට ඇත. යළි පැමිණි දිනක ඒවා රැගෙන වියදම් කරන්න යයි කියා මිය පරලොව ගියහ.
සිටුපුතාද දෙමවුපිය ඔවදන් පිළිගෙන අඬමින් මරණ බියෙන් පලාගොස් කඳුකර පෙදෙසක දොළොස් වසරක් දිවි ගෙවා යළි සිටුගෙදරට අවුත් ධනය නිධන් කළ ස්ථානය පිරික්සා යථාපරිදිව තැන්පත්ව ඇති බව දැනගත්තේ ය. එහෙත් මෙතරම් ධනයක් මාසතුව ඇතත් ඒවා පරිහරණය කිරීම ක්‍ෂණිකව සුදුසු නැතැයි නුවණින් සිතා දුගී දුප්පත් වේශයක් ගත්තේ ය.
වසර ගණනක් ඈත පළාතක සිටිය බැවින්ද, දන්නා හඳුනන අය නැති බැවින්ද, ධන නිධාන සලකුණු රහසිගතව සිතේ තබාගෙන ගෙයින් ගෙට බැලමෙහෙවර කරමින් දිවිගෙවන්නට විය. කලක් ගතවන විට මොහුට දිනපතා කම්කරුවන් ප්‍රබෝධ කරන රැකියාවක් ලැබිණි. ගොවියන් කම්කරුවන් වෙළෙන්දන් පහන්දොර නැඟිටවීම ඔහු සතු කාර්ය විය. හිරු උදාවීමට පෙර ඉතා ශබ්ද නගා කම්කරුවන් අවධිකරවන හඬ නිසා ඔහුට ‘ඝෝෂක’ යන නම ව්‍යවහාර විය.
අලුයම පිබිදී සිටි බිම්බිසාර රජතුමන්ටද මේ ශබ්දය ඇසී රාජසේවකයන් යවා ඔහු කැඳවාගෙන එනලෙස නියම කළහ. බිම්බිසාර රජතුමා ශබ්දයෙන් පුද්ගලයන් හඳුනා ගන්නා ශබ්ද විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමකින් යුක්ත වූහ. මේ නිසා ඝෝෂකගේ ජීවිතය ගැන තොරතුරු විමසා දැන ඔහු සතු හතළිස් කෙළක් ධනය රථවලින් ගෙන්වා මෙතරම් ධනයක් සතු මෙම ඝෝෂක බැලමෙහෙවර කරමින් ජීවත්වීමේ පුද්ගල තතු හා උපාය මාර්ග ජනතාවට පහදා දුන්හ.
තවද රජතුමා මහත් සත්කාර සම්මාන සහිතව සිටු තනතුරු ද ප්‍රදානය කළහ. එමෙන්ම රජතුමා සිටුවරයා සමඟ බුදුරදුන් වෙත පැමිණ සියලු තතුද විස්තර කළහ.
බුදුරජාණන් වහන්සේද මහරජ මෙම ඝෝෂක සිටුගේ ජීවිතය ධාර්මිකය, වීර්යවන්තය, ප්‍රඥා වන්තය. එවැනි අයගේ ජීවිතය ධනයෙන් ඉසුරු බවෙන් ප්‍රභාමත් වන්නේ යැයි දක්වා ඉහත ගාථා ධර්මය දේශනා කළ සේක. “පින්වත්නි” මෙම ගාථා ධර්මයෙන් දහම් කරුණු හතක් පෙන්වා දී ඇත.
උට්ඨානවතෝ උත්සාහවන්තව ක්‍රියා කළ යුතු යි. එය ඇතිවීමට තමා කරන කාර්ය පිළිබඳ සාමාන්‍ය ප්‍රතිඵල සාධන හැඟීමක් තිබිය යුතු ය. සහජ පුරුද්දෙන් සමාජයෙන් සාධනීය කාර්යයෙන් ලබන මූලික අවබෝධය විසින් කායික මානසික ප්‍රබෝධයක් පියවර තැබීමේ වීර්යයක් ඇතිවේ. කුශලානුගත වීර්යය මතුමත්තෙහි ඉදිරි පියවර මානසික වශයෙන් ප්‍රසාරණයක් ඇතිවීම ස්වාභාවික ය.
බෝධි සත්වයන් වහන්සේ නියත විවරණයේ පටන් ආරම්භ කරන පාරමිතාවන් අතර වීර්ය පාරමිතාව නිසා සියලු පාරමී ධර්මයන් ක්‍රියාත්මක කිරීමේ දී පෙරට එන බාධක අභිබවා ගමන් කරති. එමෙන්ම වීර්ය බෞජ්ඣංග ධර්මයකි. එම වීර්යයෙන් බුදු පසේ බුදු මහරහත් පදවි ලබාගන්නට චිත්ත සන්තානයේ නීවරණ ධර්මයන් පහකොට ධ්‍යාන, විදර්ශනා මාර්ගඵල සාධනයට යොමු කෙරේ.
සතිමතො
සෑම කාර්යයකදීම සිහිය අවශ්‍ය වන අතර විශේෂයෙන් දීර්ඝ කාලයක් තුළ පවත්නා සත්ව සන්තානගත ලෝභාදී ක්ලේශ ධර්මයන් නැති කිරීමට ඒවා එකිනෙක හඳුනාගැනීම ප්‍රහාණය කිරීම කමටහන්වලට සිත ආරෝපණය සිහියෙන්ම කළ යුතු වේ. සමථ භාවනාවේ දී චිත්ත ඒකාග්‍රතාවය ඇතිවීමට පදනම වන්නේ සතියයි. සුචිකම්මස්ස - කාය, වාග්, මනෝ කර්ම පිළිබඳ පවිත්‍රතාවය කුසල් කිරීමේදී අවශ්‍ය වේ. විශේෂයෙන් ලෞකික ජීවිතය ආරක්‍ෂාවන්ගේ සමෘද්ධියට පත්වන්නේ කායවාග් කර්මයන්හි පවිත්‍රතාවයෙනි. ප්‍රාණ ඝාත, අදත්තාදාන කාම මිථ්‍යාචාර යන අපවිත්‍ර කර්මවලට සන්තානයේ නම්‍යතාවය බහුලය. එමෙන්ම එවන් කර්ම කිරීමෙන් ලබන ආශ්වාදය මොහොතක් පාසා සිත නීවරණයන්ගේ ප්‍රවාහයෙන් කිලිටිවන්නේ ය. අතෘප්තිකර සන්තානගත ආශ්වාද ජනක චිත්තාවලිය මරණින් මතු සතර අපායට අරමුණු වන්නේ ය.
කෙනකු වචන භාවිතා කරන්නේ සන්තාන ගත අරමුණු අනුවය. සිත අපවිත්‍ර කරන අරමුණු බොහෝ වේලාවක් තබාගැනීමෙන් එයට සමගාමීව වාග් ද්වාරයද ක්‍රියාත්මක වීමෙන් බොරු, කේලාම්, අසභ්‍ය හිස් වචන භාවිතය අපමණ වේ. එයින් තම ආත්මය කිලිටි වේ. තමාට තමා හතුරෙකු බවට පත්වේ. අපවිත්‍ර සන්තානයෙන් කරන කියන සෑම දේම පුද්ගලයාගේ පරිහානියට හේතුවේ. මරණින් මතු සතර අපායේ ඉපදීමට හේතුකාරක වේ. කාය වාග් මනෝ යන ද්වාරත්‍රයේ පවිත්‍රත්ත්වය දසකුසල ධර්ම වර්ධනයට හේතුවේ. එමෙන්ම සමථ විදර්ශනා භාවනාවෙන් දෙලොව ශාන්තිය භවාන්තයේ උතුම් නිවන් සම්පත් ලැබීමට පවිත්‍ර චේතනාවේ ශක්තිය මූලාධාර වේ.
නිසම්මකාරිනෝ
වෛද්‍යවරයෙකු රෝග නිදානය සොයා දැනගෙන රෝගාබාධයට නියමිත ප්‍රතිකාරය ලබාදෙන්නාසේ ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර ජීවිතයද සරුකරගන්නාට විමංසනය අත්‍යවශ්‍ය වේ. මෙයට අභිධර්මයේ මනසිකාරය යයිද දක්වා ඇත. එයට විශේෂ බුද්ධියක් මෙන්ම සිහියක් ද සමාධියක් ද තිබිය යුතු වේ.
සඤ්ඤතස්සච
කය, වචනය, මනස යන ද්වාරත්‍රයේ සංවර බව නිර්වාණ ගාමි ප්‍රතිපදාව වේ. සාර්ථකත්වයට අත්‍යවශ්‍යම වේ. කය වචන දෙකේ සිල් ගුණයද සිතේ සමාධි ගුණයද ලෞකික ලෝකෝත්තර සුබ සාධනයට මූලාධාර වන බව සහේතුකව බුදුරදුන් විසින් යළි යළිත් දක්වා ඇත.
කයින් වචනයෙන් හා මනසින් සෑම කාරණයකදීම සංවරවීම ඉතා යහපත් වේ. එය නිවනට මාර්ගයයි. එයින් සීලයත් සීලයෙන් සමාධියත් ඉන් ප්‍රඥාවත් වර්ධනය වේ.
ධම්ම ජීවිනෝ - ලෞකික ජීවිතය සාරවත් වන්නේ ධාර්මික ජීවන ප්‍රවෘත්තියෙනි. වංචාවෙන් රැස්කරන ධනය සොරසතුරු කරදර අපමණ ඇතිවීමට හේතුකාරක වේ.
අප්පමත්තස්ස
මුලානොවූ සිහි ඇතිබවද දෙලොව ශාන්තියට සසරදුකින් මිදී නිවන් සුවෙන් සැනසීමට මහෝපකාරී වේ. මෙසේ දැක්වූ උතුම් සප්ත ගුණාංගයන් ගෙන් සම්පූර්ණ වූ පුද්ගලයාගේ භෞතික සම්පත් කීර්ති වර්ණනාව වර්ධනය වන්නේ ය. මෙම දහම් කතාවෙන් හා උතුම් ධර්මය අවබෝධ කරගැනීමෙන් ඔබ සැමට ජාති, ජරා මරණාදී සසරදුක් නැතිකොට පරම ශාන්ත නිවනින් සැනසීමට හේතු වාසනා වේවා!
ඔබ සැමට තෙරුවන් සරණයි.

Saturday, November 3, 2012

යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය


යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

පසුගිය ජූනි මාසයේ සිට බටහිර මියන්මාරයේ මුස්‌ලිම් අන්තවාදීන් විසින් බෞද්ධයන්ට එරෙහිව දියත් කර ඇති ප්‍රචණ්‌ඩත්වයත් ඊට එරෙහිව බෞද්ධ පාර්ශවය විසින් එල්ලකරන ප්‍රතිවිරෝධතාවයත් හේතුවෙන් නැවතත් දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය 26,27,28 දිනවලදී රාකින් ප්‍රාන්තයේ ඇති වූ ගැටුම් වලින් මේ වන විට දෙපාර්ශවයේම 100 කට අධික පිරිසක්‌ ජීවිතක්‌ෂයට පත්ව ඇති අතර නිවාස දෙදහසක්‌ පමණ ගිනිබත් කර ඇතැයි මාධ්‍ය වාර්තා දක්‌වයි. ඒ අතර බෞද්ධ විහාර කිහිපයක්‌ද වේ. පසු ගිය ජූනි මාසයේ මුස්‌ලිම් අන්තවාදීන් විසින් බෞද්ධ තරුණියක කෙළෙසා ගෙල කපා මරා දැමීම මෙම ගැටුම්වලට ආසන්නතම හේතුවයි.

අසල්වැසි බංග්ලාදේශයෙන් සංක්‍රමණය වූයේ යෑයි සැලකෙන රොහින්ගියා මුස්‌ලිම් ජන කොටස හා බෞද්ධයන් අතර ගැටුම් අලුත් දෙයක්‌ නොවේ. මීට පෙර 1979 දී හා 1991-92 කාල සීමාවේදී ද මෙවැනිම ගැටුම් අතිවූ අතර එම අවස්‌ථා දෙකේදීම දහස්‌ ගණන් මුස්‌ලිම් ආගමිකයෝ දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා ගියහ. පසුගියදා හටගත් ගැටුම්වලින් පසුවද එවැනිම සංඛ්‍යාවක්‌ රැකවරණය පතා බංග්ලාදේශයට යැමට තැත් කළද බංග්ලාදේශ රජය දේශ සීමාව වසා දමා එය ව්‍යර්ථ කිරීමට උත්සාහ කළේය. මියන්මාර් රජය රොහින්ගියා මුස්‌ලිමුන් ස්‌වදේශිකයන් ලෙස පිළි නොගන්නා අතර බංග්ලාදේශයද ඔවුන් තම රටේ පුරවැසියන් ලෙස පිළිගන්නට සූදානම් නැත. එබැවින් රොහින්ගියා මුස්‌ලිම් ගෝත්‍රය පිළිගැනෙන්නේ රටක්‌ නැති වඩාත් පීඩාවට පත් වූ ජන කණ්‌ඩායමක්‌ ලෙසටය.

කෙසේ වෙතත් අනුන්ගේ බිම් කඩක වුව ද තමන් ජීවත්වන භූමියේ ආධිපත්‍යය පැතිරවීමට උත්සහ දැරීමත්, ඉස්‌ලාමය අදහන්නන්ට සාපේක්‌ෂව අනිකුත් ආගමිකයන් සුළුතරයක්‌ වූ කල සුළුතරයට එරෙහිව භීsතිය හා ප්‍රචණ්‌ඩත්වය පැතිරවීමත් ඉස්‌ලාමයේ සාමාන්‍ය ස්‌වරූපයයි. ඒ සදහා ඉස්‌ලාම් භක්‌තිකයන්ට බලය පවරා ඇත්තේ ඉස්‌ලාමයේ න්‍යාය පුස්‌තකය වන ශු. කුර්ආනයයි. එහි ඇති අන්තවාදී දේව නියෝග අකුරටම පිළිපදිමින් පෙරදිග සියලුම බෞද්ධ රාජධානි ග්‍රහණයට ගෙන ඔවුන් සිදු කළ සාහසික බෞද්ධ සංහාරයත් එහිදී ඔවුන්ගේ ඓතිහාසික හැසිරීමත් හොදින් නිරීක්‌ෂණය කිරීමේ දී ඒ බව හොදින්ම පැහැදිලි කරගත හැකිය. මියන්මාරයේ රාකින් ප්‍රාන්තයේ මෙම සිදුවීම එයින් මදක්‌ වෙනස්‌ වුව ද දකුණු තායිලන්තයේත්, බංග්ලාදේශයේදීත් සුළුතරය වී ඇති බෞද්ධ ප්‍රජාව මත ම්ලේච්ඡ අන්තවාදී ආගමික ප්‍රචණ්‌ඩත්වය මුදා හරිමින් වර්තමානයේ සිදු වන්නේ එම ඓතිහාසික සංසිද්ධියමය.

89% බෞද්ධ බහුතරයකින් යුතු බුරුමය හෙවත් වත්මන් මියන්මාර ජන ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන ලද දරදඬු හමුදා පාලනයක්‌ යටතේ වුවද බෙහෙවින් සාමකාමී එකක්‌ බව කියෑවෙයි. එහෙත් කොතරම් අවිහිංසාවාදී ජන කොටසක්‌ වුවද තමන්ට එරෙහිව එන බලවේගවලට ප්‍රතික්‍රියා දැක්‌වීම සදහා නිතැතින්ම අනුවර්තනය වීම සාමාන්‍ය මිනිස්‌ ස්‌වභාවයයි. ඒ අනුව රාකින් පළාතේ ස්‌වදේශික බුරුම බෞද්ධයන්ද මුස්‌ලිම් අන්තවාදී ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක්‌ එල්ල කර ඇති බව මධ්‍යස්‌ථ වාර්තා සදහන් කරයි. "ත්‍රස්‌තයන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට තේරෙන භාෂාවෙනි" එක්‌තරා රාජ්‍ය නායකයකුද මීට ටික කලකට පෙර එසේ ප්‍රකාශ කර තිබිණි.

මෙසේ ඇවිළෙමින් පවතින මියන්මාර බෞද්ධ-මුස්‌ලිම් ගැටුම් මියන්මාර් බෞද්ධ රාජධානියේ අනාගතය යහපත් එකක්‌ නොකරන බවට දැනටමත් ඉඟි පළවී තිබේ. දැනටමත් ඉස්‌ලාමීය ජමාත්-ඊ-ඉස්‌ලාම් වැනි අන්තවාදී කණ්‌ඩායම් රොහින්ගියා ප්‍රශ්නය මුල් කරගනිමින් බෞද්ධ ප්‍රජාවගෙන් පලි ගැනීමට උත්සහා දරමින් සිටී. පසුගිය දිනවල බංග්ලාදේශ බෞද්ධ විහාරස්‌ථාන වලට එල්ල කරන ලද මුස්‌ලිම් අන්තවාදී ප්‍රහාරය ද එහි ප්‍රතිපලයක්‌ බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඊට අමතරව අල් කයිඩා වැනි සටන් කණ්‌ඩායම්ද රාකින් ප්‍රදේශයේ ගැටුම ගෝලීය ඉස්‌ලාමීය අරගලයේ කොටසක්‌ කර ගැනීමටත් ලෝක මුස්‌ලිම් ජිහාඩය මියන්මාරයට එරෙහිව කුපිත කරවීමටත් අර අඳින බවද වාර්තාවේ. ලොව පුරා මියන්මාර් තානාපති කාර්යාලවලට පහර දිය යුතු බව මුජහිදීන් නැමති අන්ත මූලධර්මවාදී ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදී සංවිධානය පසු ගිය දිනවල නිකුත් කර තිබූ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වේ. "ජමාත්-ඊ-ඉස්‌ලාම්" අන්තවාදී කල්ලිය ලංකාවේ නැගෙනහිර පළාත තුළද සක්‍රීය වී ඇති බව හෙළිදරව් වී තිබේ. ඒ සදහා නායකත්වය දෙන්නේ ප්‍රබල මුස්‌ලිම් දේශපාලනඥයකු බව ද ප්‍රසිද්ධ රහසකි. 2011 වර්ෂයේ දී ඇති වූ ග්‍රීස්‌ යකා භීතිකාව පිටුපස සිටියේද මෙම අන්තවාදී කල්ලියයි. පාතාලය හා ඒකාබද්ධව ජිහාඩ් නැමති බිහිසුණු ඉස්‌ලාම් ආගමික සංකල්පය ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කෙරෙමින් පවතින බවද ආරක්‌ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර ඇති බව පසු ගිය දින වල මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙකී කාරණා සියල්ල ඔස්‌සේ ශ්‍රී ලාංකීය මාතෘ භූමිය තුළද ඉස්‌ලාමීය අන්තවාදී පිළිකාව හිස ඔසවමින් පවතින බව තහවුරු වේ. ඊට එරෙහිව නිසි බලධාරීන් වහ වහා පියවර නොගත්තොත් ශ්‍රී ලංකාවේ අනාගත ආශ්චර්යය බංග්ලාදේශය, මියන්මාරය දෙස බැලීමෙන් මනාව දැක ගත හැකි වනු ඇත.

බුරුමයේ උද්ගත වී ඇති බෞද්ධ-මුස්‌ලිම් අර්බූදය CNN ඇතුළු බටහිර මාධ්‍ය විශේෂ අවධානයක්‌ දක්‌වමින් වාර්තා කර තිබේ. මියන්මාරය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය පළකර තිබූ පුවත් ඒකපාර්ශවීය ලෙස වාර්තා කර තිබුණු අතර මියන්මාරයේ මුස්‌ලිම්වරුන් පීඩාවට පත්ව ඇති බව සදහන් කරමින් පළ කර තිබූ බොහෝ මාධ්‍ය වාර්තා බෞද්ධයන්ට හා මියන්මාර් බෞද්ධ රජයට චෝදනා කරමින් පළ කර තිබුණු ඒවාය. නමුත් සත්‍ය එය නොවේ. මෙම අන්තවාදී ගැටුම්වලින් වැඩියෙන්ම අගතියට පත්ව ඇත්තේ ස්‌වදේශික බෞද්ධයන්ය. එසේ නම් දැඩි මුස්‌ලිම් විරෝධී පිළිවෙතක්‌ අනුගමනය කරන බටහිර මාධ්‍ය මියන්මාර් බෞද්ධ රජයට එරෙහිව සිට ගන්නේ ඇයි...

දශක දෙකකට අධික කාලයක්‌ මියන්මාරය පාලනය කරන්නේ ඒකාධිපති හමුදා ජුන්ටාවක්‌ මගිනි. බටහිර රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු අන්‍යාගම්කරණ ඉවැන්ජලික කල්ලි වලට රට තුළට පිවිසීමේ ඉඩ කඩ අහුරා බටහිර ලෝකය සමග සියලු ගනුදෙනු අතහැර දැමූ මියන්මාර හමුදා පාලනය මුළුමනින්ම යෑපුනේ චීනය මතය. ස්‌වභාවික ගෑස්‌ හා පොසිල ඉන්ධන නිධි සහිත මියන්මාරය තවමත් අත නොතැබූ ස්‌වභාවික සම්පත් ආකරයකි. චීනය දැනටමත් මියන්මාරයේ තෙල් කර්මාන්තයේ විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඊට අමතරව මියන්මාරයේ සිට චීනයේ යුනාන් ප්‍රදේශය දක්‌වා දිවෙන තෙල් නළ මාර්ගයක්‌ද ඉදිකරමින් සිටී. මලක්‌කා සමුද්‍ර සන්ධියට මායිම් වන මියන්මාරය චීනයට උපාය මාර්ගික වශයෙන්ද අතිශයෙන් වැදගත්ය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර නව යටත්විජිතවාදයේ සීතල සතුරා වන චීනයට ඇති අවස්‌ථා අහිමි කරවීමත්, මුලධර්මවාදී ඉවැන්ජලික කල්ලි සහ සිය බහුජාතික සමාගම්වලට මියන්මාරයට ප්‍රවිශ්ඨ වීම සඳහා මග හෙළි පෙහෙළි කර ගැනීම එක්‌සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවේග වල මුඛ්‍ය පරමාර්ථයයි. එහෙත් දශක දෙකක්‌ පුරා ඊට එරෙහිව සිටින්නේ මියන්මාරයේ දැඩි හමුදා පාලනයයි. වසර 40 ක්‌ තිස්‌සේ වරින් වර නිවාස අඩස්‌සියේ රඳවා සිටින විපක්‌ෂ නායිකා අවුන්සාන් සුකී දැඩි බටහිර ගැති කාන්තාවක්‌ වන අතර ඇය ක්‍රිස්‌තියානුවෙකු ලෙස හොර රහසේ බෞතිස්‌ම කර ඇතැයි ද කියෑවෙයි. දිගුකලක්‌ තිස්‌සේ ඒකාධිපති පාලකයින්ගේ දැඩි පාලනයෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර් වැසියන් හමුදා පාලනයට එරෙහිව පහුගිය දශකය පුරා දැඩි අරගලයක්‌ ගෙන යන අතර ඒ පිටුපස සිටින්නේ අවුන්සාන් සූකිගේ ආශිර්වාදය ලබන ඇමරිකානු ඉවැන්ජලික කල්ලි කිහිපයක්‌ බව කියෑවෙයි. Seventh day Adventist යනු එයින් ප්‍රමුඛතම කල්ලියකි. මේ වන විට මියන්මාරයේ හිස ඔසවමින් පවතින මුස්‌ලිම් අන්තවාදී ගින්නට ඉන්ධන සපයන්නේද මෙම ඉවැන්ජලික බළල් අත් වලිනි. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ හමුදා පාලනය පෙරළා දමා ක්‍රිස්‌තියානු බටහිරගැති අවුන්සාන් සූකි බලයට පත් කරවීමයි. ඒ හරහා මෙතෙක්‌ කල් සුරක්‌ෂිතව තිබූ මියන්මාර බෞද්ධ රාජධානිය බටහිර නව යටත්විජිතකරණයට නතු කර ගැනීමයි. ඒ හරහා මියන්මාරය නමැති සම්පත් ආකරය සූරා කෑමයි. මෙසේ මියන්මාරය තුළ උද්ගත වී ඇති අර්බූදය බටහිර ලෝකය හමුවේ වැරදි ලෙස අර්ථකථනය කර මියන්මාර හමුදා රජයට එරෙහිව මුස්‌ලිම් හා බටහිර ප්‍රජාව නොමග යවා රට තුළට ඇතුළු වීම සඳහා ප්‍රවේශය සකසා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බවට බටහිර බලවේග වලට එරෙහිව නැගෙන බරපතල චෝදනාවකි. ඒ චෝදනා වලින් ඔවුන්ට මිදිය හැකිද?

පසුගිය වසර දෙදහස පුරාවට ලෝකය පුරා වාර්ගික ගැටුමක්‌ ඇතිවුනේ කොතනද? මුස්‌ලිම් අන්තවාදය හා ක්‍රිස්‌තියානි මූලධර්මවාදය එහි රෝග බීජය වූවේය. මේ සියලුම කාරණා අප ශ්‍රී ලාංකීය මාතෘ භූමියටත් සීයට සීයක්‌ම අදාළය. වසර තිහක්‌ පුරාවට අපට වද දුන් වේලුපිල්ලේ පිරබාහරන්ද පල්ලියේ නිර්මාණයකි. එල් ටී ටී ඊ යනු පල්ලියේ සන්නද්ධ අංශය බව සුප්‍රකට යුධ විෂ්ලේශකයකු ද ප්‍රකාශ කර තිබිණි. රුදුරු ත්‍රස්‌තවාදයකින් හොඳ හැටි බැට කෑ අපි ඊටත් වඩා බියකරු රුදුරු අන්තවාදී සෙවනැල්ලක්‌ අප ඉදිරියේ සිටින බව කවුරු කවුරුත් තරයේ සිහිතබාගත යුතුය.

උපුටා ගැනීම - 

බුදුදහම ආභරණයක්‌ පමණක්‌ නොවීමට...


බුද්ධ ශාසනය ආරම්භ වූ දඹදිව නැවතත් හින්දූන්ගේ සහ වෙනත් ආගමිකයින්ගේ ආධිපත්‍යට නතු වූයේ ඇයි දැයි යන ප්‍රශ්නයට තිබෙන සරල පිළිතුර මෝගල් ආක්‍රමණයයි. එහෙත් එහි ආරම්භක හේතුව එය නොවේ. බුදුන් වහන්සේ ගේ නෑ පරපුර විඩූඩභ රජු අතින් විනාශ වී යාම ද එක්‌ හේතුවකි. බුද්ධ පරිනිර්වානයෙන් වසර තුන්සීයක්‌ පමණ ඉක්‌ම ගිය පසු ධර්මාශෝක රජතුමා කරන ලද ශාසනික සේවය නිසා බුද්ධ ශාසනයේ පිබිදීමක්‌ ඇති වුණද එය තිරසාර නොවීය. ඉන්දීයාවේ කුල භේදය විසින් නිර්මාණය කරන ලද පංති පරතරය විසින් සාමාන්‍ය ජනතාව අතරට ධර්මයේ පණිවුඩය යන්නට ඉඩ හැර තිබුනේ නැත. රජ පරපුර අහෝසි වනවාත් සමගම බුද්ධ ශාසනය දුර්වල තත්වයකට පැමිණුන අතර නාලාන්දා වැනි විශ්වවිද්‍යාල විනාශ කිරීම නිසාද සසුනේ ආධිපත්‍ය ගිලිහී ගියේය. නාලන්දා වික්‍රමශීලා වැනි මහා විශ්වවිද්‍යාල වල ථෙරවාදී දර්ශණයන් ඉගැන්වීම දෙවනි තැන තබා සර්ව කාලීන විෂයයන් හා සංස්‌කෘත ආදී එකල ප්‍රමුඛ භාෂාවන් ප්‍රගුණ කිරීමට යාමද බුදු සසුනේ පරිහාණියට එක්‌ හේතුවකි. සූත්‍ර ධර්මයන් වෙනත් භාෂාවකට හැරවීම සහ තේරුම් කර ගැනීමේ පහසුව ඇති කිරීම යහපත් දෙයක්‌ වුවද තවත් බසකට පෙරළීමේ දී ධර්මය විකෘති වන බව කිසිවෙකුත් තේරුම් ගත්තේ නැත.

වර්තමාන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වන්නේ අශෝක ධර්ම චක්‍රයයි. එහෙත් එයින් ප්‍රකාශ වන්නේ ඉන්දීය ප්‍රතිපත්තිය බෞද්ධ වීම නොවේ. මයාවතී මහ ඇමතිනිය ලක්‌නව් නගරය ආශ්‍රිතව බෞද්ධ නගරයක්‌ නිර්මාණය කර ඇත. එහෙත් එයින්ද කියවෙන්නේ ඉන්දියාව බෞද්ධ ගමන් මාර්ගයකට අවතීර්ණ වී ඇති බව නොවේ. ඉන්දියාවට මේ බෞද්ධකම ආභරණයක්‌ පමණකි. එය සංචාරක කර්මාන්තය සඳහා වඩා සරු ලෙස භාවිතා කිරීම ඔවුන්ගේ උපක්‍රමයයි. චෙන්නායිවලදී සිංහල බෞද්ධයින්ට හා අනෙකුත් වන්දනාකරුවන්ට පහර දුන්නද ඉන්දියාව අපගේ දේශපාලනඥයින්ට වඩා සකසුරුවම් ලෙස ඒ ප්‍රශ්නය විසඳා ගන්නවා ඇත.

සිංහලකමත් බුදු දහමත් එකට බැඳී පවතින ආකාරය ගැන ලියෑවුනු අගනා පොත් පිංචක්‌ වූ මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතාගේ සිංහල බුදු සමය අපගේ ජීවන චරියාව මැනවින් පෙන්වා දෙන්නකි. විදේශීය ආක්‍රමණිකයින් සැමදා නොඉවසන ලද්දේ මේ ජීවන චරියාවයි. මනුෂ්‍ය ඝාතනයෙන් සිංහල බෞද්ධකම අතුගා දැමිය හැකි යයි මීට වසර පන්සීයයක්‌ට පෙර කරන ලද අත්හදා බැලීම කොටි ත්‍රස්‌තයින් ලවා ද කරවන්නට බටහිර ධවලයින්ට ඕනෑ විය. නමුත් කිසියම් අත්භූත හේතුවක්‌ නිසා එය මේවන තෙක්‌ සාර්ථක වී නොමැත. එයට එක්‌ හේතුවක්‌ වන්නේ සිංහල ජාතිය වෙලා ගෙන තිබෙන බුද්ධ ශාසනයේ අරටුවයි. සිංහල බෞද්ධයින් ශ්‍රී ලාංකික කිරීමට ගන්නා තැත වර්තමානයේ සිදු වන්නකි. ඒ මගින් සිංහල බෞද්ධයින් ගේ අනන්‍යතාවය නැති කර දමා දෙමළ මුස්‌ලිම් ජන වර්ගයන්හි සලකුණු ඉස්‌මතු කරන්නට සැරසෙන බව ද පෙනේ. මේ අතර බෞද්ධයින් අතර භේද ඇති කරලීමට ද සාම්ප්‍රදායක විහාරස්‌ථාන වලින් බෞදධයින් ඈත් කර තැබීමට ද දේශනා කරන පිරිසක්‌ ද දැන් බිහි වී ඇත.

උපසම්පදාව පවා අතුරුදන්ව ගිය උඩරට රාජධානි කාල වකවානුව තුළ සිදුව තිබූ ශාසනික පරිහානියේ ලක්‌ෂණ වර්තමාන සංඝ සමාජය තුළ දක්‌නට ඇත. පැවිදිව මහණ දම් පුරන භික්‌ෂූන් වහන්සේලාගේ දුර්වලතාවයන් නිසා එසේ සිදු වන්නේ යයි කිය ඇඟ බේරා ගෙන අතපිහදා ගැනීමට අපට පහසුය. එහෙත් එයට අවකාශ නැත. මෙම පරිහානියට ගිහි සමාජයද වග කිව යුතුය. මේ තත්ත්වය වටහා ගෙන බොර දියේ මාලු බෑමට මෙන් විවිධ පුද්ගලයින් සහ භික්‌ෂූන් වහන්සේලා මෙන් පෙනී සිටින අය කරන ක්‍රියා කාරකම් ගැන වර්තමාන සමාජය එතරම් දැනුවත් නැත. ඇතැම් විට මේ පිරිසට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබේ. ඒ ස්‌ථානවල මාළිගා වැනි විහාරස්‌ථාන විවෘත කරලීමට කවුරුත් කැමැත්තක්‌ දක්‌වති. එයින් පෙන්නුම් කරන්නේ එක දෙයකි. දැනට අකර්මණ්‍යව පවතින මහා විහාර සම්ප්‍රදාය අභිබවා එවැනි මූලස්‌ථාන සකස්‌ කර ගෙන බෞද්ධ ජනතාව අතර පෙනී සිටමින් පාලකයින්ද වසඟ කර ගැනීමට තැත් කිරීමයි. එදා අනුරාධපුරයේ විවිධ නිකායන් ගෙන් මෙලෙස බුදුසසුනට ගැහැට පැමිණුනි. මහායාන මත වාදයන් සහමුලින්ම වැළඳ ගැන්මට කරන උත්සාහයන් තිබුණි. නමුත් කලකදී ඒවා අතුරුදහන්ව ගියේය. බෞද්ධ ජනතාවට දැරිය හැකි මත වාදයන් පමණක්‌ සමාජයේ ඉතිරි වුණි.

ජනාධිපති උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ පිරිස හඳුවන්නේ බුදුසසුන වනසන කඳපණුවන් විලසටයි. අංගුත්තර නිකායේ දුක නිපාතයේ එනමේ බුදු වදනද ඉස්‌මතු කරලමින් උන්වහන්සේ මේ ව්‍යසනය වත්මන් සමාජයට මතක්‌ කර දෙන ආකාරය මෙසේය. මහණෙනි යම් භික්‌ෂු පිරිසක්‌ සූත්‍රාන්ත වැරදී ලෙස කියමින් තම වදන පදනම් කර ගෙන අර්ථය ද ධර්මය ද එනම් අටුවාවද පෙළ ද වළහා ලද්ද (තමන් විසින් වැරදි ලෙස ගත් අර්ථය ද ධර්මයද උත්තරීතර ලෙසට පෙන්වා දෙද්ද) ඒ භික්‌ෂූහු බෙහෝ දෙනාට අහිත පිණිස නොසැප පිණිස අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක්‌ පිණිස පිළිපන්නාහ වෙති. ඔවුහු බෙහෝ අකුසල් ද රැස්‌කර ගනිති. මේ සද්ධර්මය අතුරුදහන් කර ගනිති.

වර්තමාන ඇතැම් දේශකයින්ට සහ භික්‌ෂුන්ට මේ පාඨය කෙතරම් අදාළ වන්නේදැයි නාලක හිමියන් දීර්ඝ ලෙසට විග්‍රහ කරති. අතීතයේ සිටම බුදුසසුනට එරෙහිව පැමිණි මතවාදයන් සහ ආක්‍රමණයන් ගැන මේ ග්‍රන්ථයේ විචිත්‍රවත් ලෙසට සඳහන් කර තිබේ. වෙසෙසින්ම බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධර්ම සංගායනා ඇති වීමට හේතුව වූ කරුණු උන් වහන්සේ විග්‍රහ කරයි. බුද්ධ පබ්බජිත සුභද්ද භික්‌ෂුව කලබල ඇතිකළ විට තැනට සුදුසු ලෙසට ක්‍රියා කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පළමු ධර්ම සංගායනාව පවත්වා බුදු සසුන නිරවුල් කළහ. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ගන්නේ ද එම මාවතයි. වර්තමානයෙහි ධර්මාශෝක වැනි අධිරාජයෙක්‌ පහළව නැත. බුදු සස්‌න වෙනුවෙන් ඇල්ම හා උනන්දුව ඇති නරපතියෙකු සිටියහොත් එහිදී සසුනට වන හානියන් ක්‌ෂණික ලෙසට අවබෝධ කරගෙන පිළියම් යෙදීමට උත්සුක වේ. එහෙත් එවැනි සේයාවක්‌ ද දක්‌නට නැත. සෝවාන් සකෘදාගාමීයයි කියා ගන්නා රහත්හු වශයෙන් පෙනී සිටින ජනමාධ්‍ය හරහා නොයෙකුත් විප්‍රකාර දේශනා කරමින් සිය ජනප්‍රියත්වය ඔස්‌සේ මෝඩ බෞද්ධයින් වසඟකර ගෙන සසුනෙහි අනාගතය කෙලසන භික්‌ෂුන් වහන්සේලා යයි කියා ගන්නා පිරිස ගැන බෙංගමුවේ නාලක හිමියන් කරන විග්‍රහය තේරුම් ගත්තෙකු වැරදි මාර්ගයක නොයනු ඇත. එහෙත් බුදු සස්‌න වනසන කඳ පණුවන් ගේ කාරය භාර්යට ද යම් කිසි දේශපාලනයක්‌ ඇති බව විග්‍රහ කර ගන්නේ නැතිව එයට වර්තමානයේ මුහුණ දීමට අසීරු බවද අද අප තේරුම් ගත යුතුය. මේ සියල්ල වසර පන්සීයක්‌ තිස්‌සේ රටේ අක්‌මුල් සොයා කරන විනාශයන් බව අවබෝධ කර ගැනීම වර්තමානයේ සිදු විය යුත්තකි. එසේ වුවහොත් පමණක්‌ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ගේ වෑයම සාර්ථක වන්නේ වේ. එසේ නොමැති වුවහොත් වර්තමාන ඉන්දියාවේ මෙන් සංචාරකයින්ට විවෘත වූ පුරා වස්‌තු ගහන රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වන තත්වයකට පත් වනවා නිසැකය.


උපුටා ගැනීම -මතුගම සෙනෙවිරුවන් 
 


 




ලොව සතුටින්ම සිටින මිනිසා බෞද්ධ භික්ෂුවක්

ලොව සතුටින්ම සිටින මිනිසා බෞද්ධ භික්ෂුවක් ලෝකයේ සතුටින්ම සිටින මිනිසා සොයා ගැනීම සඳහා මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ අභිබවා, ලොව සතුටින්ම සිටින මිනිසා භාවනාවුයෝගී බෞද්ධ භික්ෂුවක් ලෙස හªනාගැනීමට ප‍්‍රංශ ජාතික විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
මැතිව් රිචඞ් නම් වූ මෙම ප‍්‍රංශ ජාතික බෞද්ධ භික්ෂුවගේ මොළයෙහි සතුට සඳහා අසාමාන්‍ය ඉඩක් පවතින බව මෙහිදී සොයාගෙන තිබේ.
මෙම පර්යේෂණය අතරතුර උන්වහන්සේ ක‍්‍රමයෙන් භාවනාවට සමවදින විට සවිංඥනිකත්වයට, අවධානයට, ඉගෙනීමට සහ ස්මරණ ශක්තියට තුඩුදෙන ගැමා තරංග මට්ටමක් මැතිව් භික්ෂුවගේ මොළයේ නිපද වූ බවත්, එම ගැමා මට්ටම ස්නායු විද්‍යා පතපොතෙහි මෙතෙක් තමන්ට වාර්තා වූ මට්ටම් අසාමාන්‍ය ලෙස ඉක්මවා ගිය ඉහළ අවස්ථාවක් බව,
උන්වහන්සේගේ මොළයෙහි ඉදිරි වම් බාහිකය (left prefrontal cortex) එහි දකුණු බාහිකයට සාපේක්ෂව උපරිම කි‍්‍රයාකාරීත්වයක් පෙන්වූ නිසා සතුට සඳහන් සෘණ සිතුවිලි කෙරෙහි ඇති රුචිය වැළැක්වීම සඳහාත් අසාමාන්‍ය ඉඩක් පවතින බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

උපුටා ගැනීම - | Lanka C News.

මෙන්න මිනිහෙක් මැරෙනවා… වරෙල්ලා වරෙල්ලා…. වීඩියෝ කරපල්ලා……


අපේ ඉතිහාසයේ නොවූ විරූ අන්දමට අපේ සිත් සතන් සහ සිතිවිලි විරූප වී තිබේ. තාක්‍ෂණයේ දියුණුවත් සමඟම සියළුම දෙනාට  අති නවීන ජංගම දුරකථන හිමි වී තිබේ. යුද්ධයේ අනුහසින් මරණය යනු තවත් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මිනිසුන් සිතන්නේ නැත.. ඔවුහු තිරිසන් හැඟීම් සහ ඇඩ්‍රිනලින් ප්‍රවාහයන් වෙනුවෙන් මානුෂිකත්‍වය බිලි දී ඇත. පුවත්පතක් ගතහොත් ස්ත්‍රී දූෂණ 10ක්, මිනී මැරුම් 15 ක් සහ ලමා අපචාර පහක්වත් කියවිය හැක. පුවත්පත් විකුණා ගැනීම සඳහා ද බොහෝ පුවත්පත් මේවා රසකමින් පළකරති. තවත් සමහර රූපවාහිනී සේවා මළකඳන් විකුණමින් සිය ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙන යති. එසේම මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් තිරිසන් වී ඇති අයුරු මෑතකදී සිදු වූ සිදුවීම් කිහිපයකින්ම අපට පසක් විය. රිය අනතුරකට පත්ව හිස කඳින් වෙන්ව ගිය මවගේ හිස රැගෙන විලාප නඟන තරුණියක් වීඩියෝ කරන්නට සමත් නරුම හිත් අපට පහළ වූයේ කෙසේදැයි සිතා ගන්නට නොහැක… එයට දෙවැනි කර රන් පදක්කම ලබා ගන්නට ගාල්ලේ සිදුවීමක් වීඩියෝ කළ පුද්ගලයා සමත්ව ඇත.
ගාල්ලේ සිදු වූ ගැටුමකදී හිටපු නගරාධිපති ගේ සොහොයුරාගේ පාදයක් හා අතක් වෙන්වන්නටම මහමඟ කපා දමා තිබියදී ඔහුව රෝහලකට ගෙනයනු වෙනුවට ඒ වටා සිටි සියළුම දෙනා තම ජංගම දුරකථන ඒ දෙසට දික් කරගෙන වීඩියෝ කරනු අපට දක්නට ලැබුණි. මෙසේ වීඩියෝ කරගෙන කුමක් කරන්නද ? නැවත නැවතත් අර මිනිසා මරණය සමඟ පොරබදනු නරඹා මාර ආතල් එකක් ගන්නද ? ගෙදර ගෙනගොස් පෙන්වන්නද ? වෙබ්අඩවියකට විකුණා මුදල් ගන්නද ? මේ සිද්ධිය ගාල්ල ප්‍රදේශයේ කල්ලි කිහිපයක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව දැන් දැන් ඇසෙන ප්‍රවෘත්ති වලින් දැනගන්නට ලැබේ. අවි ගත්තෝ අවියෙන්ම නැසුනත්, අපට ඒ ගැටුමට අත දැමීම තම ජීවිතයට තර්ජනයක් විය හැකි වුවත්, මානුෂීය හේතූන් සළකා එම පුද්ගලයා මහමඟ මිය යනු වීඩියෝ නොකර සිටියා නම් කොපමණ වටී ද ? මිනිස් ජීවිතයට ලැබෙන වටිනාකම මෙයද ?
මෝටර් රථ ධාවන තරඟයකදී පාරෙන් ඉවතට ගිය වාහනයක් ගොඩට අදින දර්ශනයක් වීඩියෝ කළ තරුණයින් දෙදෙනෙකු එහි දී සිදුවූ  අනතුරකින්  නිසාම මියගිය පුවතක් අපට අසන්නට ලැබුණේ වැඩි ඈතක නොවේ. එසේම ඒ මියගිය තරුණයින් දෙදෙනාද වීඩියෝ කර අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබෙනු අපට දකින්නට ලැබුණි. ඔබ හෝ ඔබගේ පවුලේ කිසිවෙකු මෙසේ මහමඟ මිය යද්දී අවට සිටින්නවුන් උපකාර නොකර දුරකථන දික් කරගෙන සිටිය හොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද ?
මීට වසර විස්සකට පමණ පෙර පාර අයිනෙහි බල්ලෙකු පණ අදිමින් සිටියත් අහළ-පහළ මිනිසුන් එකතු වී ඌට වතුර පොදක් පෙවීමට හෝ තරම් මනුස්සකමක් අපේ හදවත් තුළ තිබුණි. නමුත් යුද්ධයත් තාක්‍ෂණයත් තවත් නොදන්නා සාධක බොහොමයකුත් එකතුව අපේ මනුස්සකම කොහේදෝ රැගෙන ගොස් ඇත… ඒ නිසාම මිය යන මිනිසාගේ ගෞරවයට වඩා වීඩියෝ කිරීම අපට ලොකු වී ඇත….
අපි අපේ මිනිස් ජීවිතවල අර්ථය කුමක්දැයි නැවත සිතා බැලීමට කාළය පැමිණ ඇත… ආණ්ඩුවෙන් නීති පැණවීම කරනතෙක් බලා නොසිට අපි අපිම ස්වයං වාරණයක් පණවාගත යුතුය… මිනිස් ඝාතනය කොතැනත් වැරදි ය… නමුත් ඒ සඳහා ක්‍රියා කිරීමට නීතියක්, පොලීසියක් ඇත.. ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ කාර්යය ඔවුන්ට භාර කරමු.. නමුත්, මිය යන මිනිසෙකුගේ අවසාන මිනිත්තු කිහිපය ඔබේ ජංගම දුරකථනයේ තබාගෙන එය රස විඳීම නම් අන්තිම පහත් කාර්යයකි….
ඔබේ වටිනාකම පිළිබඳ ඔබම තක්සේරු කරගන්න….. ඔබ මිය යන විටත් වටපිට මිනිසුන් ජංගම දුරකථන දික් කරගෙන සිටින දිනය වැඩි ඈතක නොවන්නට පුළුවන… ඔබ වෙනස් වෙන්න… ඔබේ මිතුරන් වෙනස් කරන්න…. සමාජය වෙනස් වනු ඇත….
මිනිසෙක් වශයෙන් ජීවත් වී මිනිසෙක් වශයෙන් මිය යන්න…… අවම වශයෙන් ඔබේ ආත්මයට සැනසීමක් එක්කරවනු ඇත…

 උපුටා ගැනීම -

Monday, October 15, 2012

ගව ඝාතනය නතර කළ නොහැකි ද?

ගව ඝාතනය නතර කළ නොහැකි ද? ‘සසර’යනු මහා දුක් කන්දරාවකි. මේ බව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී දේශනාකර ඇත. ‘‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි නපඤ්ඤායති’’ සසර යනු ඉමක් කොනක් නොපෙනෙන මහා ප‍්‍රවාහයකි. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා කෙළවරක් දැකිය නොහැකි මේ මහා සංසාරේ මාත් ඔබත් ගමන් කළ බව බුදුරාජාණන් වහන්සේ දේශනා කළහ. සත්ත්වයන් ඉබාගාතේ කිසිදු පිළිසරණක් නොමැතිව සංසාර ප‍්‍රවාහයට හසුව පාවී යන ජීවිතවලට සදාකාලික සැනසීමක් එක් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ එසේ කළේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ පාරමීදම් බලයෙනි.
එසේ නම් දැන් සසරේ ඉමක් නොපෙනුණත් කොනක් නැතැයි කියා පසුතැවිලි වන්නට අවශ්‍ය නැත. ලාබ, අලාභ, අයස, යස, නින්දා, ප‍්‍රශංසා, සැප, දුක් කියන්නා වූ අටලෝදහමට නිරන්තර හසුව ගත කරන මේ ජීවිතයට සදා සැනසිල්ලක් ඇති බව අපට පැහැදිලිය. ඒ උතුම් වූ පිළිසරණ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේට නිරන්තර ආමිස පූජාවෙන් හා විශේෂයෙන් ප‍්‍රතිපත්ති පූජාවෙන් පිදුම් කළ යුතුය.
බෞද්ධයන් හැටියට අප සදාකාලීක සැනසීමක් හෙවත් නිවනක් තිබෙන බව දැනගත්තත් තවම ඒ උතුම් වූ සැනසීම් මග සොයාගෙන නැති ආකාරයකි දකින්නට ලැබෙන්නේ. ඒ සඳහා කතා කරමින් හා සාකච්ඡුා සම්මන්ත‍්‍රණ පවත්වමින් සිටිමු. ඒනිසා සසරේ පවත්නා වූ නිවැරදි ලක්ෂණය හඳුනා නොගෙන ජීවත්වන්නෙමු. බුදුදහමේ සඳහන් සෑම කාරණාවක්ම අර්ථයෙන් පිරිපුන්ය. ඒ සෑම කරුණක්ම ජීවිතයේ යහමග කියා දෙන්නකි. එහෙත් නුවණක් බුද්ධියක් ඇති කෙනකුට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ඉපදීම, මරණය හෙවත් භවයෙන් භවයට ගමන් කිරීම හා සම්බන්ධ දේශනාව පමණක් සසරේ පවත්නා වූ ස්වභාවය තේරුම් ගැනීමට ඉවහල්වනු ඇත. සත්ත්වයන් හැටියට සංසාරේ විවිධ ආත්මභාව ලබා ගමන් කිරීම දැකිය හැකිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භව ගමන පිළිබඳව බලනවිට පාරමීදම් පිරූ කාලය තුළ ද තිරිසන් ආත්මභාව ලබා ඇත. ඇත්, ගව, මුව, වඳුරු, නාග ආදී සත්ත්ව කුලවල ඉපිද ඇත.
එසේ නම් පින්වත, අප විශේෂ පාරමී දහමක් පුරන්නටවත් ආරම්භයක් තිබේ ද? එය තම තමාගෙන්ම ඇසිය යුතුය. අනෙක් අයගෙන් නොඇසිය යුතුය. සමහරවිට එවැනි ආකාරයේ ආරම්භයක්වත් නැත්නම් අපේ ජීවිත සසරේ කුමන කුමන පැතිවලට ගමන් කරයි ද? අපේ ජීවිතයේ සැනසීම තීරණය වන්නේ අප කරන්නා වූ ක‍්‍රියාවන් අනුවය. අපව බෙදනු ලබන්නේ කර්මයයි. ‘‘කම්මං සත්තේ විභජති’’ ඒ අනුව තමා කරන ක‍්‍රියාවෙන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විය හැකිය. තමා කරන ක‍්‍රියාවෙන් මෝඩ මනුෂ්‍යයෙක් දුප්පත් මනුෂ්‍යයෙක්. අප‍්‍රියරූප ඇති මනුෂ්‍යයෙක් විය හැකිය. එසේම හරකෙක්, බූරුවෙක්, බල්ලෙක් වන්නට ද පිළිවන. එසේම දෙවියෙක්, බ‍්‍රහ්මයෙක්, භූතයෙක්, පිසාචයෙක් විය හැකිය. එසේම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් හා පසේබුදු, සම්මා සම්බුද්ධ තත්ත්වයන්ට පත්වීමට ද පිළිවන.
විශ්ව සමාජය තුළ මිනිසුන් අතර වුවත් තිරිසන් සත්වයන් තුළ වුවත් විවිධ වර්ගීකරණ ඇත. මනුෂ්‍යයන් කෙතරම් සිටියත් එය එක් එක් මිනිසුන්ගේ කුසලය, අකුසලය අනුව රූපය, ගතිලක්ෂණය හා ලැබීම් වෙනස් ය. තිරිසන් සතුන් අතර වුවත් විවිධ වෙනස්කම් ඇත. සුනඛයන්ගේ විවිධ වර්ග ඇත. ඒ ඒ වර්ග අනුව ඉල්ලූම ද වෙනස්ය. සමහර සුනඛයන් සුඛෝපභෝගී ජීවිත ගතකරයි. තවත් සුනඛයන්ට කෑම බීමවත් නැත. දෙවියන් අතර වුවත් අල්පේශාඛ්‍ය, මහේශාඛ්‍ය වශයෙන් කොටස් දෙකක් ඇත. අල්පේශාඛ්‍ය යනු පිනෙන් අඩු අයයි. මහේශාඛ්‍ය යනු පිනෙන් පොහොසත් අයයි. මහරහතන් වහන්සේලා අතර වුවත් විවිධ ලක්ෂණ ඇත. සීවලී මහරහතන් වහන්සේට කුමන ස්ථානයක සිටියත් දානය ලැබුණු අතර ලෝසක මහරහතන් වහන්සේට කොතැන සිටියත් කුස පුරා දානය වළඳන්නට ලැබුණේ නැත. චක්‍ඛුපාල මහරහතන් වහන්සේ රහත්වන ආත්මභාවයේ උන්වහන්සේගේ ඇස් අන්ධ විය. මේ සෑම දෙයකටම හේතු කාරණා ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේට ද නිරන්තර හිසේ රුදාවක් තිබිණ. එයට හේතුව සසරේ එක්තරා ආත්මභාවයක මසුන් මරන්නෙකුගේ බිලී පිත්තට මාළුවෙකු හසුවී ගැහෙන ආකාරය දැක සතුටුවීම නිසාය. එසේ නම් අප කරන කටයුතු ගැන මීට වඩා සිතිය යුතුයි. ඒ මන්ද? සසරේ තව තවත් අපට ඈත ගමනක් යා යුතුව ඇති නිසාය.
කොසොල් මහ රජතුමා දුටු සිහින දහසයේ කතා පුවත ඔබ අසා ඇතැයි සිතමි. එතුමා දුටු එම සිහින තමාටත්, රට වැසියන්ටත් හානියක් ඇද්දැයි එතුමාගේ පුරෝහිතයන්ගෙන් විමසීය. එවිට ඔවුන් ප‍්‍රකාශ කළේ ඔබටත් රටවාසීන්ටත් මහත් වූ අපලයක් ඇති බවය. එයට කුමක් කළ යුතු දැයි? රජතුමා ඇසූවිට පුරෝහිත බමුණන් කීවේ මහා යාගයක් කළයුතු බවයි. එනම් සත්ත්ව බිලි පූජාවක් කළ යුතුය යන්නයි. එසේ නම් සූදානම් කරවයි අණ කළේය. ටික වේලාවක් යන විට වත්ත පුරාම විවිධ වර්ගයේ සතුන් දකින්නට ලැබිණ. එළුවන් සියයක්, කුකුළන් සියයක්, ගවයින් සියයක් ආදී වශයෙන් ඒ ඒ සත්ත්ව කුලවලින් සියය බැගින් ඒ ඒ තැන්වල ගැට ගසා ඇති ආකාරය එතුමාගේ බිසව වූ මල්ලිකා දේවියට දැකගන්නට ලැබිණ. එය දැක විමතියෙන් මෙන් රජතුමාගෙන් මෙසේ ඇසීය. ‘‘රජතුමනි, මොකද මේ වත්තේ හැම තැනම සත්තු ගෙනත් දාලා තියෙන්නේ?’’ එවිට රජතුමා මෙසේ කීය.
‘‘දේවිය, මම ඊයේ රෑ සිහින දහසයක් දැක්කා, ඉතින් ඒක මටත් රට වැසියන්ටත් අපල බව පුරෝහිතයන් කියනවා. ඔවුන් කීවා මහා සත්ව යාගයක් පැවැත්වීමෙන් ඒ අපලයෙන් ගැලවෙන්න පිළිවන් කියා. ඒ යාගය කරන්නයි සූදානම් වෙන්නේ.
මල්ලිකා දේවිය බුදු දහම ගැන දැන සිටි නිසා ඇයට මැනවින් රජතුමා කරන්නට යන නස්පැත්තිය ගැන වැටහුණාය. ඒ මොහොතේම රජතුමා සමග බුදරජාණන් වහන්සේ හමුවට ගියාය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි රජතුමා කරන්නට සූදානම් වූ සත්ත්ව බිලි පූජාව නතර කළේය. එවැනි සත්ත්ව බිලි පූජා ආගම් නාමයෙන් එදා තිබුණු බව ශාසන ඉතිහාසයෙන් පෙනී යයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රචලිත වීමෙන් ඒ සත්ව බිලි පූජා නතර විය. කුමන ආගමකට අයිති වුවත් තවත් කෙනකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ජීවිතයක් විනාශ කර සෙතක් ලබන්න හෝ අපලයෙන් මිදෙන්න හෝ හැකියාවක් නැත. සත්වයෙක් ඝාතනය කිරීමෙන් තමාට ශාපයක්ම වනු ඇත.
- ගෝණදෙණියේ සීවලී හිමි

(උපුටා ගැනීම  - Lanka C News.)

Saturday, October 13, 2012

ගැටලු ලිහන සදහම් මාවත

ගැටලු ලිහන සදහම් මාවත

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ජේතවනාරාමාධිපති, ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ
ඤාණිස්සර නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
අන්තෝ ජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි
කෝ ඉමං විජටයේ ජටං
සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපි නිපකො භික්‍ඛු
සො ඉමං විජටයේ ජටං
කාරුණික පින්වත,
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකික ජනතාවට ඉතා වැදගත් දිනයක්. සඟමිත් මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමත්, මෙරට ජනතාව බොහෝ කාලයක සිට බලාපොරොත්තු වන ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹෙන පොහොය දිනයත් වීම අසිරිමත් වේ.
අපගේ ජීවිතය ඇතුළත පිටත ඇතිවන ගැටලු විසඳිය යුත්තේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූ පැනයකට දේශනා කර වදාළ පිළිතුරු ගාථාවක් ඉහත මාතෘකා කළේ.
මේ ලෝකයේ ඇතුළතත් පිටතත් ගැටලු, මෙසේ ගැටලුවලින් පිරි ලෝකයක ඒ ගැටලු, අවුල් විසඳන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා දේවතාවෙක් විමසීමක් කළා.
යම්කිසි ප්‍රඥාවන්ත කෙනකු ශීලයෙහි පිහිටා සිත වර්ධනය කර ඤාණය දියුණු කළහොත් ඒ පුද්ගලයා මේ ගැටලුවලට විසඳීමක් කරන බවයි ඉහත ගාථාවෙන් පැහැදිලි වන්නේ.
සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාව තුළින් යම් කෙනකුට විමුක්තියක්, නැතහොත් ඇතුළත ගැටලු පිටත ගැටලු යන දෙ ආකාර ගැටලු විසඳා ගැනීමට මාවතක් ලෙස එම ත්‍රිශික්‍ෂාව සඳහන් කර තිබෙනව.
අපේ චිත්ත සන්තානවලට ඇතිවන ගැටලු පිළිබඳ ඔබ මොහොතක් සිතා බලන්න. සිත තුළ ඇති වන බලවේග නිසා වරෙක සිතෙහි අභ්‍යන්තරයෙහි සැඟවී ඇති සිතිවිලිත් ඉස්මතු වන අවස්ථා තිබෙනවා. සිත තුළ යටපත් වී තිබෙන කෙලෙස් පිළිබඳ තත්ත්වය එයින් පැහැදිලි වනවා. ඒ අනුසය අවස්ථාවයි. පරිවුට්ඨාන කියන අවස්ථාවෙන් සිතිවිලි නැගී සිටින අවස්ථාව පෙන්නුම් කළා. එය තවදුරටත් ඉස්මතු වී වචනයෙන් හෝ වේවා ශරීරයෙන් හෝ වේවා ක්‍රියාත්මක වීමේ අවස්ථාව වීථික්‍රම අවස්ථාවයි. එසේනම් ඒ අවස්ථා තුන මර්දනය කිරීමයි. නිවනට මාවත වශයෙන් සඳහන් වන්නේ.
පංච දුශ්චරිත සිල්වත් තැනැත්තාගෙන් සිදු වන්නේ නෑ. ඒ තැනැත්තාට සීලය තුළින් සංවරයක් ඇති වනවා. එය සීලයෙන් සිදු වන්නක්. සමාධියෙන් සිදු වන්නේ සිත තුළ සැඟ වී ඇති ක්ලේශ ධර්ම නැඟී සිටින අවස්ථාවෙහිදී එය එසේ නැගී සිටීමට අවස්ථාව නොදී මර්දනය කිරීමයි. සිතෙහි අභ්‍යන්තරයෙහි නිදාගෙන සිටින, සැඟවී සිටින සියලු ක්ලේශ ධර්ම ඉවත් කිරීමයි ප්‍රඥාවෙන් සිදු වන්නේ.
උදාහරණයක් ලෙස බලන්න. ඔබ අටසිල් සමාදන් වූ දවසක අවස්ථාවක ඔබේ සිත තුළට වෛරය, කෝපය, ද්වේශය ඇති නොවන්න පුළුවන්. එහෙත් එම ක්ලේශ ධර්ම ඉස්මතු වන ආකාරයේ සිද්ධියක් යම් තැනැත්තකු පැමිණ සිද්ධ කළහොත්, එතෙක් සිත තුළ සැඟ වී සිටි ක්ලේශයන් එකවරම නැගී සිටිනවා. ඒ අවස්ථාව දුරුකිරීමයි ප්‍රඥාවෙන් සිදු කරන්නෙ.
මින් ඔබට පැහැදිලි වනවා ඇති, සිතෙහි ඇතුළත නැතිනම් අභ්‍යන්තරයෙහි සිතිවිලි සැඟ වී තිබෙන ආකාරය. එම ක්ලේශයන් හෙවත් පාපී සිතිවිලි නැගී සිටින්නේ යම් අරමුණක් සිත තුළට පැමිණි විට පමණයි.
මාර්ග ඵල ලැබීමෙන් කෙනකුගේ සිතෙහි ඇතිවන ඒ පාපී සිතිවිලි ඉවත් වනවා. නිවන හෙවත් සිවුසස් දහම දැකීමෙන් ඒ සියලු ක්ලේශයන් ඉවත් කැරෙනවා. සෝවාන් සකෘදාගාමි, අනාගාමි අර්හත් යන සතර මාර්ගය තුළින් එමෙන්ම සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් යන සතර ඵල තුළින් සැනසීමක් උදාකර ගන්නවා. එතෙක් අපේ සිත තුළ මේ ක්ලේශ ධර්මයන් තැන්පත් වී තිබෙනවා.
ඒ නිසා අපේ සිතෙහි ඇතුළත පිටත ඇතිවන ගැටලු විසඳීම සඳහා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව උපයෝගී කර ගැනීමෙන්, අපගේ සිත තුළ රැඳී පවතින කෙලෙස් හෙවත් ක්ලේශයන් ඉවත් කරන්නට ප්‍රඥාවෙන් හැකියාව ලැබෙනවා. සිතෙහි වරින් වර නැඟී සිටින පාපී සිතිවිලි මර්දනය කිරීමට සමාධියෙන් අවස්ථාව ලැබෙනවා.
කයෙන් හා වචනයෙන් සිදු වන පාපී සිතිවිලි සීලයෙන් යටපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.
මේ අනුව පෙනෙනවා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාව තුළින් සිතෙහි බාහිර සහ අභ්‍යන්තරව හට ගන්නා සියලු පාපී සිතිවිලි යටපත් කිරීමට ශක්තිය හා හැකියාව ලැබෙන බව. ඒ වටිනා මාවත ඔස්සේ ගමන් කිරීමට, නිතර නිතර උත්සාහ කිරීම බෞද්ධයා සතු වගකීමක් බව මෙනෙහි කරන්න. සිතට කවර කරදර බාධක ගැටලු අවුල් ඇති වූවද සිතෙහි නිරවුල් බව ඇති කර ගැනීමට, නිරවුල් මනසක් ගොඩනඟා ගැනීමට සම්බුදු දහම තුළින් ලැබෙන මග පෙන්වීම සුළු පටු නොවේ.
එබැවින් මානසික අස්වැසිල්ලක් සැනසීමක් සොයා භව කතරේ සැරිසරන හැමට තුනුරුවනේ බලයෙන් සදා සැනසීම ලැබේවා.

Tuesday, June 19, 2012

නොනැසෙන පිළිසරණ......


නොනැසෙන පිළිසරණ

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ධම්මං විනා නත්ථි පීතාච මාතා
තමේම සරණං පතිට්ඨා
තස්මාහි තානං භො කිච්ච මඤ්ඤප්පහාය
සුණාථ ධාරේථ චරාථ ධම්මේ
වාසනාවන්ත පින්වතුනි
බුදුරජාණන් වහන්සේගේ උතුම් දහමින් බිඳක් ඉහතින් මාතෘකා කළා. ඔබ සෑම සතියකම බුදුසරණ මගින් දහම් සරණ යන පිංවතුනි, එසේ ඔබ සරණ යන ධර්මරත්නයේ ඇති අපිරිමිත වටිනාකම කොතෙක්ද කිව නොහැකිය. මේ උත්සාහ කරන්නේ සුළු වශයෙන් වුවද එකී උතුම් ධර්මයේ වටිනාකම පහදා දෙන්නටයි. එබැවින් පළමුව ඉහත ගාථාවේ තේරුම පිළිබඳව සරලව සිතමු.
ලෝක සත්ත්වයාට සසරින් මිදීම පිණිස ධර්මරත්නය ඉවහල් වේ. ධර්මය හැර මවක් පියෙක් සසරින් මිදීමට ලෝකයේ වෙනත් නොමැත. එහෙයින් කටයුතු පසෙක තබා ඉතා මැනවින්ම සමාහිතව ඒ උතුම් ධර්මය නිසිලෙස අසව්! දරව් ඒ අනුව හැසිරෙව්! යන්න මේ ගාථාවෙන් ප්‍රකාශිත වෙනව.
මේ ලෝකයේ තවත් එක් නවාතැන් පලකයි අප නතරවෙලා ඉන්නේ. එහෙම කීවේ අනේක වාරයක් ඉපදි ඉපදී මැරී මැරී ගමන් කරන මේ භවගාමී තත්ත්වය කොතරම් ද කියන එක අපට තීරණය කළ නොහැකි නිසා. එයද බුදුන් වහන්සේ දුටු සංසාර ධර්මයකි. එසේ වූ දීර්ඝ සසර තත්ත්වය අවබෝධ කරගන්නට අපට ඉතාම අමාරුයි. ඒ ධර්මය පිළිබඳව අපට නිසි අවබෝධයක් නොමැති නිසා. එබැවින් ධර්මය යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගනිමු.
ලෝකයේ ඇති අජීවි සජීවි සෑම වස්තුවක්ද ධර්මතාවයනට හසුවේ. ඒ ලෝකස්වභාව ධර්මයයි. ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ යනුවෙන් ප්‍රකාශ වුයේ ධර්මයෙන් දිවි ගෙවන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි කියන එකයි. ධර්මයෙන් තොරව දිවි ගෙවන්නා නරකයට යයි. ධර්මානුකූලව දිවි ඇත්තා සුගතිගාමී වෙයි යනුවෙන් ධර්මය ප්‍රභේද වෙයි. කුසල ධර්ම (හොඳ යහපත් දේ සිතුවිල්ල අකුසල ධර්ම අයහපත් දේ - අයහපත් සිතිවිල්ල)
මේ සැම විටම ධර්මය යන වචනය කියවෙනවා. එය තවත් විස්තර කරන්නට යනවාට වඩා ධර්මතාවයන් එකක් දෙකක් පිළිබඳවත් සිතා බලමු!
උල්පතේ එන වතුර හරිම පිරිසුදුයි. එහෙත් එය පාවිච්චි කිරීමේදී හා පරිහරණය කිරීමේදී අපිරිසුදු වෙනව. ඒ එක ධර්මතාවයක්. මේ අනුව මිනිසා නමැති මේ සත්ත්වයා පොඩි දරුවෙකුව ඉපදි හැදී වැඩි ලොකු වුනාට පසු අපිරිසුදු වෙනවා. ඒ ඇයි’ ‘චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, යන මේ පංච ඉන්ද්‍රියන් සන්තර්පණය කිරීමට යාමේදී විවිධ වූ ආරම්මණයන් කරා සිත යෙදෙනවිට, ඇසට, කණට, නාසයට, දිවට ශරීරයට අවශ්‍ය සම්පත් ලබා දෙන්නට යනවිට, විවිධාකාර ගැටුම් ප්‍රශ්න අවහිර බාධා ඇති වෙනවිට එතනදී අවශ්‍ය වෙනව. ධර්මතාවයන් සිත සනසා ගැනීම පිණිස. එහෙම කීවේ, ඒ පසිඳුරන් මැඩ පවත්වා ගැනීමට මධ්‍යස්ථව කටයුතු කිරීම හා නුවණින් යුතුව ක්‍රියා කිරීම අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මැදුම් පිළිවෙත, එයද ධර්මතාවකි. එහෙම වනවිට මැදහත්ව ක්‍රියා කරන්නෙක් බවට ඔබ පත්වෙනවා. ඔබට සැනසුමක් ඇතිවෙනවා. පසිදුරන් පිනවීමට අනන්ත වූ අපේක්ෂාවන් හිතේ තිබෙන විට දොඩංගොඩ බදාගත්තා සේ සිද්ධවෙනවා. සුපරික්ෂාකාරීව මධ්‍යස්ථ වූ විට ඔහු ධර්ම චාරිපුද්ගලයෙක් වෙනවා. ‘ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති’ (ධර්මය මැනවින් පුහුණු කරන ලද්දේ සුවයෙන් සිටියි) එයද ධර්මතාවයකි.
‘ධම්මං චරේ සුචරිතං න තං දුච්චරිතං චරේ’ සුචරිතයෙහි හැසිරෙන්න ධර්මානුකූ®ලව දුෂ්චරිතයෙන් වළකින්න. මේ සෑම විටම සෑම අවශ්‍යතාව මත මුල් වන්නේ් ධර්මය යි. (දහමට අනුව පැවැත්මයි) ඉහතින් දැක්වූ ඉන්ද්‍රි‍්‍රයන් සැනසීම පිණිස විවිධ ආශාවන් කරා පෙළඹුන විට නිරායාසයෙන්ම දුශ්චරිතයට ඇදෙනව. ධර්මය හෝ ධර්මතාවය පිළිබඳව කෙනෙකුට කියල ඉවර කරන්න බැහැ. අපේ බුදුගුණාලංකාර කතුවරයාණෝ ප්‍රකාශ කළානේ.
සුවාසු දහසක්
යොදුන් ගැඹුරුති මුහුදක්
ගොඩ කරමැයි උදත්
ලෙහෙනු කළ තැත් වැන්න දවසක්
කියල. කලන්දක ජාතකයේ මුහුදට වැටුණ ලේන්පැටවා බේරා ගැනීමට මහා සාගරයේ ජලය ඉසීමට ලේන් අම්මයි, තාත්තයි වලිගෙ තෙමාගෙන ගොඩට ඇවිදින් වලිගය ගසා දැමුවා සේ ඉතින් කෙනෙකුට කියල ඉවර කිරීමට නොහැකි වූ නිසා අදට අපි මූලික මාතෘකාවේ අදහස යළිත් සිතට ගනිමු! ධර්මය මවක් සේ ය. පියෙක් සේය. එබැවින් සත්පුරුෂයිනි සසර දුක නිවා ගැනීම පිණිස ධර්මය අහන්න. ඇසු දහම් සිත්හි දරන්න. සිතට ගත් දහමට අනුව හැසිරීමෙන් ඔබේ උභයලෝකාර්ථ යහපත සැළසේවි.
ඔබට තෙරුවන් සරණයි!

Thursday, June 14, 2012

පුනාරාගමනය කළයුතු ‘‘ආගමනය’...


පුනාරාගමනය කළයුතු ‘‘ආගමනය’’ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේදී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය. ඓතිහාසිකවූත් පෞඩවූත් සභ්‍යවූත්  ජාතියක අනන්‍යතාවය මේ විශ්වය මත තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත්  දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද අනන්‍යතාවයන්   පුනාරාගමනය කිරීමට අවැසිම හා සුදුසුම කාලයයි මේ. මන්ද සියලූම භෞතික අයිතීන් මෙන්ම ගුණ ණැන ආදියද සෑම ආකාරයකින්ම පිරිහෙමින් පවතී. බුදු දහම විනාශ කරන්නට අද පෙරට ඇවිත් ඇත්තේ බහුතර වශයෙන්ම උප්පැන්නයට බෞද්ධ වූවන්ය. එනිසාම තත්ත්වය භායනක වී ඇත. මිත‍්‍ර වේශය හා සතුරු වේශය වෙන් කොට දැකීම පවා අපහසු වී ඇත. මෙවන් සියලූ තත්වයන් මත නියමයෙන් හා අනියමෙන් විනාශ වී යන්නේ ලෝකයේ තවත් බෞද්ධ රටකි. ලෝකයේ එකම සිංහල රටයි. මේ සියල්ල මොන අන්දමින් හඩ ගා කිව්වත් බීරි අලින්ට වීනා වයන්නාක් මෙන් වී ඇත. හුදු දේශපාලනික බලය රැක ගැනීම හා ඒ වටා ගොනු වී ඇති අන්තේවාසිකයන්ගේ සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරන වගකිව යුත්තන් හා බලධාරීන් ටිකෙන් ටික රට උගසට තබ සියදිවි නසාගන්නේ පහන් දැල්ලට ගිජු වූ පළගැටියෙකු එයට පැන දිවි තොරකර ගන්නාක් මෙනි.  ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහක් මෙන් පෙනෙන්නා සේ දවසක උන් ඔක්කෝටම තම තමන් සෘජුව හා වක‍්‍රව කළ විනාශයන් විඳවන්නට වේවි. හැබයි ඒ වන විට පෙරහැර ගිය මගක්වත්  දකින්නට නොලැබෙනු ඇත.
ශ‍්‍රී ලංකාද්වීපය හුදෙක්ම ලෝකයේ පවතින සුවදායි මනරම් දිවයිනක් පමණක් නොව එය තුන් ලොවෙහි ම ශේෂ්ඨතම පුද්ගලයා වන සම්මා සම්බුදුන්ගේ පහස ලද ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියකි. එසේ පහස ලැබ නැණ ගුණයෙන් පිරි සත් පුරුෂ දනන් ද දස දෙස ජීවත් වූ භූමියකි. වර්තමානය එසේ නොවුනද අතීතය පිළිබඳව සාභිමානයෙන් යුතුව කතා කිරීමට හැකි පෞඪ ඉතිහාසයක් අපට හිමි වී තිබුණි. එම ඉතිහාසය පෞඪ වූයේ බුදු දහමේ පූර්ණ ආභාෂයෙන් පෝෂණය ලැබ නැණ ගුණයෙන් පිරිපුන් සත් දනන් විසින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සභ්‍ය වූ සංස්කෘතියක් ගොඩ නැගීම නිසාවෙනි. එම ශ්‍රේෂ්ඨ ක‍්‍රියාදාමයන් වදන් හරඹයන් ඔස්සේ අප ප‍්‍රකාශ කළ ද සැබවින් ම එය අති උත්කර්ෂවත් ක‍්‍රියාදාමයකි. විශේෂයෙන් ම රටක්, ජාතියක් ලෙස ලෝකය ම විශ්ව ගම්මානයක් වූ අද දවසේදී ද උදම් අනන්නේ එම ප්‍රෙෘඪ ඉතිහාසයේ සෙවනැලි පහස විඳිමිනි. අද මෙම සැබෑව සියල්ලට අමතක වෙමින් පවතී එනිසා බුදුදහමට නිසි තැන හා හිමිතැන නොදෙමින් සර්වාගමික පූට්ටුවක් සමාජගත කරමින් එහි වාසියද අන්‍යාගමිකයන්ට ලබා දෙමින් කටයුතු කරති. මහින්දාගමනයෙන් ලද ශ්‍රේෂ්ඨත්වයේ අක් මුල් සිඳලන භයානකම මායාව බවට මේ වන විට මිත්‍යාදෘෂ්ටික සර්වාගමික සංකල්පය පත්ව ඇත.
භෞතික මානයන් ඔස්සේ සංවර්ධිතයැයි පවසන ලෝකය තුළදී අප අපේ අනන්‍යතාව ලෝකයා හමුවේ අදටත් පිළිබිඹු කරවන්නේ පෙර දැක්වූ පරිදි බුදු සමය ආශ‍්‍රයෙන් ගොඩ නැගුණ උදාර සංස්කෘතියේ මහඟු දායාදයන්ගෙනි. අද වන විට නවීන ආකාරයට සරිලන අන්දමින් වෙනස් වී ඇතත් එදා මහින්දාගමනයෙන් ලද මහ`ගු ඵලයක් වූ අටලොස් කුලයන්ගේ සංවර්ධනීය අවස්ථාවක් විද්‍යසාන වනවා මිස සිදුව ඇති පරිවර්ථනයක් නොමැත. මේ බව සියුම්ව පරික්‍ෂාකර බැලීමෙන් මනාව තහවුරු වන්නකි. ‘‘ බලත්ත කුලය ල උයන්පල් කුලයල කුලිංග කුලයල මල්කරු කුලයල කපු කුලයල ඔසද වටු කුලයල සත් කරු කුලයල සරස් කුලයල පෙරහැර කුලයල තුනා කුලයල කුඹුල් කුලයල අරක්කැමි කුලයල කුඹුරු කුලයල ලෝකුරු කුලයල සුවණ්නකාර කුලයල වඩු කුලයල සිත්තරු කුලයල දෙව් කුලය ’’ මේ එම අටලොස් කුලයන්ය. මෙයින් අපට සපථ වන්නේ බුදු දහමින් තොරව මේ දෙරණේ කිසිදු දෙයක් නිම වී නොමැති බවයි. මහින්දාගමනයෙන් එලෙසින් තහවරු වූ නව දේශයක ආරම්භය අද වන විට උගසට තබා මුල අමතක කර දමා ඇත. එය එසේ නොවේ නම් දඹුල්ල පුදබිම අලූත්ම බිල්ල වී මුස්ලිම් අන්තවාදීන් අතින් දුෂණය නොවන්නට ඉඩ තිබිණ.
වර්තමානය වන විට ලහි ලහියේ ම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමට වෙර දරන විධායකයේ සිට පහළට දිවෙන කවුරුත් පාහේ තරයේ සිහියේ තබාගත යුතු එක් සත්‍යයක් ඇත. ඔබ මේ විනාශකර දමන්නට යත්න දරන්නේ මෙරට තුළ උදාර සංස්කෘතියක්  නිර්මාණය කිරීමේ පෙර ගමන්කරු වූ  අනුබුදු  මහා මහින්ද මහ රහතන් වහන්සේගේ උදාර ආගමනයේ ඓතිහාසිකත්වය හා යතාර්ථය බවයි. එය එසේ සිහියේ තබාගැනීමේ වැදගත්කම වන්නේ අතීතය නොතකා නැගී සිටීමට වෙර දරන්නවුන්ට ලෝක ධර්මය තුළදී යළි යළි පසුබෑම්වලට ලක් වන්නට සිදුවන බව අතීතය විසින් ම තහවුරු කර දී ඇති නිසාවෙනි. මෙරට සිංහල බෞද්ධ පදනම හේතුවෙන් රටක් ජාතියක් ලෙස අතීතයේදී ද අප සෑම විටම ආරක්ෂා කර දී ඇත. අනාගතයේදී ද එය එසේ ම සිදුවන බවට අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මන්ද මෙරට සිංහල බෞද්ධ පදනම පිළිගැනීම නිවටකමක් සේ සලකන පරාදීන මිනිසුන්ට කීමට ඇත්තේ ඔවුන්ගේ ස්වාධීන බව හැකිනම් ඇමරිකාවට ගොස් පෙන්වන බවයි. මන්ද අපේ රටේ තරම් ලෝකයේ වෙන කොහේදී නම් අන්‍ය ජාතිකයන්ට අන්‍යාගමිකයන්ට මේ තරම් සහනශීලිත්වයක් ලැබේද? මේ තරම් දියුණු යුගයක, මේ තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය , මේ තරම් මානව හිමිකම් කතාකරන යුගයක පවා අන් කිසිදු තැනක නොමැති නිදසහක් අන් අයට මෙහි ඇත. සමස්තයක් ලෙස සුළුතරය විසින් නිරන්තරයෙන් මහජාතියට හානි පැමුණුවා මිස සුළුතරයට හානී සිදු වී නොමැත. ඒ සභ්‍යත්වය නිරායාසයෙන් බෞද්ධයාට හිමිව ඇත්තේ බුදු දහමෙන් ලැබෙන ශික්‍ෂණයත් සමගය. නමුත් අද  සිදුවෙන සැබෑව නම් බෞද්ධයාගේ ශික්‍ෂණයට අභියෝග කරමින් දිනෙන් දින එය හෑල්ලූ කිරීමයි. පිටස්තරයන් සේම අපේම යැයි කියන්නවුන්ද එසේ හෑල්ලූ කරති.
ලෝක පොලිස්කාරයා ලෙස සලකන ඇමරිකාව ලෝකය දෙස බලන්නේ බහු ජාතික, බහු ආගමික අනුකම්පාවකින් නොව, ඒ බව ප‍්‍රබලව ම තහවුරු වන එක් අවස්ථාවක් පමණක් අපි මෙහිදී දක්වමු. ඇමරිකානු ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට දිවුරුම් දෙන්නේ බයිබලය මත දිවුරාය. එයට අප අපහාස නොකරමු. ඔවුනට හැකිනම් ඔවුන්ගේ අනන්‍යතාව එසේ ප‍්‍රකට කරන්නට, අපිට එහිදී ඇති තහනම කුමක් ද? සිංහල බෞද්ධයෝ එහි වාසය කරන පමණින් එහි සිංහල බෞද්ධ රාජ්‍යයක් කිසිසේත් නිර්මාණය කළ නොහැක. අප එහි යන්නේ නම් අකමැත්තෙන් වුව ද ඔවුන්ගේ මූලික අයිතියට ගරු කරමින් වාසය කළ යුතුය. එහි පමණක් නොව ලෝකයේ කුමන රටක වුව ද තත්ත්වය එසේය. එනිසා මෙරට තව දුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් මිසක් ශ‍්‍රී ලාංකික ජාතියක් නොවන බව අපගේ දැඩි හැඟීමයි. එය එසේයෑයි පිළිගැනීමට අකමැති බටහිරගැති නූතන ක‍්‍රිස්තියානිවාදයට උඩ ගෙඩි දෙන පිරිස් ඉතිහාසය අමු අමුවේ ම විකෘති කරමින් මහින්දාගමනයෙන් ගොඩ නැගුණ මෙරට අදීන ඉතිහාසය නොපිළි ගැනීම පමණක් නොව මෙරටට සුඛාගමනයක් වූ මහින්දාගමනය ද බලහත්කාරකමක් ලෙස හූවා දැක්වීමට යත්න දරති. මෙය කෙටිකාලීන වූ ක‍්‍රියාදාමයක් නොව ඉතා සියුම් ලෙස දශක ගණනාවක් තිස්සේ දරන ලද නින්දිත උත්සාහයක ප‍්‍රතිඵලයකි. මෙරටින් සිංහල බෞද්ධකම සමූලඝාතනය කිරීමට නොයෙක් වේශයන්ගෙන් උත්සාහ කළවුන් එය එසේ කිරීමට අපහසු වූ තැන ඒ සඳහා නොයෙක් සියුම් කූට උපක‍්‍රමයන් භාවිතා කරති. මහා වෘක්ෂයක අතු කොළ සිඳ එය වනසාලිය නොහැකි තැනදී එහි මුදුන් මූල සොයා එය නසාලීමට දරන නින්දිත උත්සාහයක් ලෙස ද මෙය අවිවාදයෙන් ම සැලකිය හැක.
මෙම සංස්කෘතික විනාශයේ විද්‍යමාන මූලාරම්භය සනිටුහන් වනුයේ 16 වැනි සියවසයේ පටන්ය. එනම් ක‍්‍රි.ව. 1505 දී ප‍්‍රථම වතාවට පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙනි. ඔවුන් එසේ පැමිණෙද්දී රෝමානු කතෝලික ආගම ද රැගෙන ආවේය. ලක්දිව ජනයා වෙනත් ආගමකට බලහත්කාරයෙන්, වරප‍්‍රසාද ලබාදීමෙන්, සදාචාර විරෝධීව හැරවීම ආරම්භ කරන ලද්දේ පෘතුගීසින් විසිනි. බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස උදුරාගත් පළමු සතුරු කොටස ලෙස පරංගින් ඉතිහාසයේ ලියෑවී ඇත. ඔවුන් මෙරටට පැමිණි විලාසය හා සිදු කරන ලද ආගමික විනාශය පිළිබඳව කරුණු දක්වන බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව ඒ අඳුරු යුගයේ ආරම්භය මෙසේ සනිටුහන් කර ඇත. (1956) ”ඔවුන් ඉන්දියන් සාගරයේ විද්‍යමාන වූයේ වෙළෙන්දන්, ධර්ම දුතයන්, මූදු කොල්ලකරුවන් යන ත‍්‍රිත්ව ස්වරූපයෙනි. ඔවුන්ට නියමව තිබුණේ ආගම දේශනාවෙන් පටන්ගන්නටත් එයින් වැඩක් සිදු නොවූ තැන කඩුවෙන් තීන්දුව දෙන්නටත්ය”.
පරංගි පාලනය අවසන් වූ 1658 න් පසුව නැවත පරංගි බලය මෙරට ස්ථාපිත කිරීමේ ආගමික වැදගත්කම තේරුම්ගත් පරංගි පූජකයන් විසින් ලියන ලද කේරොස්ගේ ෆර්නා  ඕ ඩික්කේරෝස්ගේ (The Temporal & Spiritïl ntestfo Ceylon) ග‍්‍රන්ථයේ පෘතුගීසි පාලකයන් ආගම පැතිරවීමටත් බලය පැතිරවීමටත් සිංහල බෞද්ධයන්ට කළ අති අමානුෂික වදහිංසා විස්තර කොට ඇත.
අනතුරුව එම විනාශය අඛණ්ඩව දියත් කිරීමේ කාර්ය භාරය ක‍්‍රි.ව. 1638 දී භාරගන්නා ලදී.  ඕලන්දයෝ තම ආගම ලෙස රෙපරමාදු ක‍්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙසින් ඉදිරිපත් කළ ආකාරය පැහැදිලිය. නමුත් මොවුන් සිංහල බෞද්ධයන් විෂයෙහි දැක්වූ ආකල්පය එතරම්ම සාහසික නොවූහ. පරංගීන්ගේ සතුරන් ලෙස මෙහි පැමිණි ඔවුන් සිංහල ජාතිය සමග මිතුරු බවක් පෙන්වමින් තම අරමුණු සාක්ෂාත්කරණයට යොමු වී ඇත. ලන්දේසීන් බුදු දහම කෙරෙහි දක්වන ලද ආකල්පය සහාසික නොවූවක් බවට ජනප‍්‍රිය මතයයි. මෙරටදී ඔවුන්ට ගැටුමක් ඇති වූයේ සිංහල බෞද්ධයන් සමග නොව සිංහල කතෝලිකයන් සමගය. කෙසේ වෙතත් ලන්දේසීන් දේශීය ජනයා රෙපරමාදු ක‍්‍රිස්තියානියට හැරවීමේදී තම අදහස කියා පෑවේ ආඥවකිනි. ඒ බව 1956 දී මුද්‍රණය වූ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවෙන් පැහැදිළිය.
”බෞතීස්ම ලැබීමෙන් රෙපරමාදු සාමාජිකයෙකු බවට නොපැමිණි කිසිම ස්වදේශිකයෙකුට මුදලිකමක් ලැබිය නොහැකි බවත් ආණ්ඩුව යටතේ තනතුරක් දැරීමට හෝ ගොවිතැන් කිරීමට හෝ ඉඩක් නොලැබෙන බවයි”.
අනතුරුව බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ආරම්භ කරන ලද මහා විනාශයේ අනිටු විපාකයන් අද ද නොයෙක් වේෂයන්ගෙන් ක‍්‍රියාත්මක වෙති. 1815 දී මුළු රට ම නතු කරගත් ඉංග‍්‍රීසීන්ට සිංහල බෞද්ධයන්ගේ එක් කොන්දේසියකට යටත් නොවී සිටින්නට සිදු විය. ඒ අන් කිසිවක් නොව විහාරස්ථාන, දේවාල සහිත බුද්ධ ශාසනය රැකීමයි. සිංහල භාෂාවෙන් ලියා අත්සන් කරන ලද එම ගිවිසුමේ වගන්තිය මෙසේ දැක්වේ.
”මෙකී රටවල මුලාදෑනී සහ වැසියනුත් අදහන්නාවූ බුද්ධ ශාසනය ද දේවාගම ද කඩ කළ නොහැකිව පවත්වණ්ඩ  ඕනෑවා සහ එහි කටයුතු ද සංඝයා ද විහාරස්ථානය ද දේවාල ද පවත්වණ්ඩ සහ ආරක්ෂා කරණ්ඩ  ඕනෑය”.
ඔවුන් එසේ පොරොන්දු වුව ද එය හුදෙක් ම රැවටීමක් පමණි. ඒ බව පසක් වන්නේ ඒ ගිවිසුමෙන් පසුව ඔවුන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙනි. වරෙක මෙම ගිවිසුමෙන් බුදු දහමට ආරක්ෂාව සපයා ඇති නිසා උරණ වූ එංගලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ විලියම් විල්බර් ෆෝස් නමැත්තා එවකට මෙරට ආණ්ඩුකාරයා වූ රොබට් බ‍්‍රවුන්රිග් වෙත දොස් පවරා ලිපියක් පවා එවා ඇත. මේ ආදියෙන් බුදු දහමෙන් පෝෂණය ලද මෙරට මහා සංස්කෘතිය අකා මකා දැමීමට අවශ්‍ය සෑම පියවරක් ම ගත්හ. මහා වෘක්ෂයක් විනාශ කර දැමීම අපහසු බව දැනගත් ඔවුන් එය තුළට රිංගා එහි අරටුව සිඳලීමට අවශ්‍ය කටයුතු යෙදීය. එවිට ඒ මහා වෘක්ෂය සිඳලීමට පහසු කරවන්නේය. මෙම ”කඳ පණු” න්‍යාය උපයෝගි කරගනිමින් මෙරටින් මෙම මහා සංස්කෘතිය විනාශකර දැමීමට කටයුතු සැලැස්වූ ඔවුන්ගේ ගමනේදී ඊට අභියෝගයක් වූ ගිහි පැවිදි බෞද්ධයෝ දහස් ගණනකගේ ජීවිත අහිමි කළේය. 1817-18 නිදහස් අරගල සටනේදී 55,000 කට අධික පිරිසක් දිවිපුදා ඇත. නිරායුද කුඩාපොල හිමියන් ම්ලේච්ඡු ලෙස වෙඩි තබා ඝාතනය කළේය. 1948 පමණවිට විහාරස්ථාන මංකොල්ලකෑම් කර විනාශකර කඩාබිඳ දැමීම බි‍්‍රතාන්‍ය සොල්දාදුවන්ගේ විනෝදාංශයක් බවට පත්වූහ. මේ නිසා බි‍්‍රතාන්‍ය පාලනය සමය සැබවින් ම බුදු සසුනේත්, ජාතියේත්, බෞද්ධයන්ගේත් අන්ධකාර සමය විය.
පෙර කී සියල්ල දක්වන ලද්දේ ඉතා සැකවිණි. එමෙන් ම අන් කවරෙකුටවත් පහර ගැසීමක් හෝ අපහසුතාවයට පත් කිරීමක් ද නොව එය හුදෙක් ම ඉතිහාසය විසින් සපථ කරනු ලබන සත්‍යය වූ සිදුවීම්ය. එනිසා මේ පිළිබඳව කවුරුන් හෝ කලබල විය යුතු නැතැයි අපගේ හැඟීමයි. ඇරත් සමහරුන්ට ඇත්ත තිත්ත බව අපි දනිමු. නමුත් කාගේත් හිතසුව පිණිස වූ ඇත්ත තිත්ත නොවන බව ද සිහි තබාගත යුතුය. නමුත් ලක්දිව සභ්‍ය වූ දේශයක් කිරීම උදෙසා ඉවහල් වූ මහින්දාගමනයේදී එවන් අඳුරු, දුක්ඛිත, අතීතයක් කිසි ම තැනක සඳහන්ව නොමැත. එසේ සඳහන්ව ඇත්නම් එය ඔප්පුකර පෙන්වා දෙන ලෙස ද අපි අභියෝග කරන්නෙමු. මහින්දාගමනය සමග විධිමත් ලෙස මෙරටට බුදුදහම හඳුන්වා දීමෙන් එය සැබවින් ම සුඛාගමනයක් මිසක් කිසි ම විට කළු පැල්ලම් සහිත කාරණයකට ඉවහල් නොවීය. මහින්දාගමනයත් සමග මෙරට ජනයා ලද ශික්ෂණය නිසා ම නොයෙක් ජාතීන්ට මෙරටට විත් රිසි සේ කටයුතු කිරීමට ඉඩ දීමට තරම් මෙරට ජනයා ඉවසිලිමත් වූ බව ද අන්තවාදීන්ට සිහි කළ යුතුය. මූලික පදනම වූ බුදු දහම රැුගෙන මිහිඳු මිහියන් මෙරටට වැඩම කළ අවස්ථාවේ සිට මේ දක්වා කිසි ම අවස්ථාවක බලහත්කාරයෙන් කිසියම් පිරිසක් තම ආගමට හරවා ගැනීම සඳහා වද හිංසා කළ බවක් කිසි තැනක සඳහන් වේද? එහෙත් මුස්ලිම් ආගම ජිහාර් යුද්ධය මගින් ද, කතෝලික භක්තිය කුරුස යුද්ධය මගින් ද කරගෙන ගියේ අන්‍යාගමිකයන් කඩුවේ බලයෙන් තම ආගමට හරවා ගැනීමයි. 16 වැනි සියවසේදී මෙලෙස ඉතා උපක‍්‍රමශීලීව ජපන් ජාතිකයන් ක‍්‍රිස්තියානි ආගමට හරවා ජපන් පාලකයන්ට විරුද්ධව උසි ගැන්වීමේ ප‍්‍රතිඵලය වූයේ එසේ රජුට විරුද්ධව උසි ගැන්වූ අහිංසක ජපන් ජාතිකයන් 20000 ක් පමණ මරුමුවට පත් කිරීමයි. පරංගීන්ගේ මෙම කපටිකම් තේරුම් ගත් ජපාන පාලකයන් ජපානයෙන් පරංගින් නෙරපා දැමුවා පමණක් නොව අන් කිසිදු ජාතිකයෙක් ජපානයට ඇතුල් වීම ද තහනම් කරන ලදී. මෙරට පාලකයන් එවැන්නක් නොකළ ගොංකම එවැනි ඉතිහාසඥයන්ගෙන් පැහැදිලි වේ.
නමුත් මෙහිදී අපට විමතියට කරුණ නම් ඇතැම් බටහිර ගැති නූතන ක‍්‍රිස්තියානිවාදීන්ට ආවඩන පිරිස් මහින්දාගමනය ද පරංගි, ලන්දේසී, ඉංග‍්‍රීසි ආදින් විසින් කරන ලද තිරශ්චීන ආක‍්‍රමණයට සමාන කොට දැක්වීමට යත්න දැරීමයි. එයින් නොනැවතුණ ඔවුන්ට අනුව යන අපූර්ව මන්දබුද්ධික ඉතිහාසඥයන් පිරිසක් මෑතක සිට බිහිව ඇත. ඔවුන් පවසන්නේ මෙරට ශ‍්‍රී විභූතිය විදහා දක්වන ජීවමාන ප‍්‍රතිමූර්තිය බඳු අනුරාධපුර, පොළොන්නරුව ආදි යුගයන්ට පෙර සිට මෙරට කතෝලික දහම තිබූ බවටයි. එයින් ඔවුන් උත්සාහ කරන්නේ මෙරට තුළදී සිය ආගමික ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමටය. ඒ සඳහා ඔවුන්ට අයත්ව ඇත්තේ එක ම සාධකයක් පමණි. එනම් අනුරාධපුර යුගයේ තිබී හමු වී ඇති නෙස්ටෝරියන් කුරිසියක් කෙටූ කළු ගල් පුවරුවකි. එම ගල් පුවරුව දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත්කොට ඇත. හුදෙක් එම සාක්ෂිය පදනම් කරගෙන නිර්මාණය කිරීමට යත්න දරන ඉතිහාසය තුළින් ගම්‍ය වන්නේ මෑතකාලීන ලාංකික ඉතිහාසය මැනවින් හා ගැඹුරින් අධ්‍යයනය කර නොතිබීමයි. එවන් එක් සාධකයක් පමණක් හමුවීමේ සම්බන්ධය විමසීමේ දී ක‍්‍රි.ව. 3 – 4 සියවස්වල සිට ලංකාව සහ රෝමය අතර ඉතා දියුණු වෙළඳාමක් පැවති බව ඒ සම්බන්ධව සොයා ගෙන ඇති ”විදේශීය මූලාශ‍්‍ර” සමග ලංකා විශ්වවිද්‍යාලයීය ලංකා ඉතිහාසය පර්යේෂණ ග‍්‍රන්ථයේ විස්තරව දක්වා ඇත. මෝසම් සුළං ආශ‍්‍රයෙන්, රුවල් නැව්වලින් මෙරටට පැමිණි රෝම, ග‍්‍රීක වෙළඳුන් පමණක් නොව අරාබි වෙළෙඳුන් ද තම ආපසු ගමන සඳහා මෝසම් සුළං එන තුරු මෙරට රැඳී සිටි කාලවලදී ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමත් ඔවුන්ට ආගම ඇදහීමට ඉඩදීමට තරම් මෙරට සිංහල බෞද්ධ පාලකයෝ කාරුණික වූහ. මෙම කුරුසිය එවැනි සම්බන්ධයක් ලෙස ගත හැකිය. ඉහතින් අප පැවසූ කරුණ සනාථ කිරීම සඳහා 12 වන සියවසෙහි මහ පැරකුම්බා රජු විසින් නෛනතිවූ හි පිහිටුවා ඇති ශිලා ලිපිය සාධකයකි. එහි විදේශයෙන් පැමිණි මුහුදුබත් වූ හෝ අකරතැබ්බයට පත් වූ නැවියන් හටත් ඔවුන්ගේ අඹුදරුවන්ටත් ආරක්ෂාව සැලසීම විශේෂයෙන් සඳහන්ය.
තර්කානුකූලව විමසා බලන්නේ නම් ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග හෝ වෙනත් රටකට රැකියාවකට යන අයෙකු විසින් ධර්ම චක‍්‍රයක් හෝ වෙනත් බෞද්ධ සංකේතයක් එරටට රැගෙන ගොස් එහි බුදු දහම ව්‍යාප්තව තිබූ බවට පවසන්නාක් මෙනි. මෙනිසා මහා අභියෝග මධ්‍යයෙහි අදටත් ශේෂව පවතින එම ශිෂ්ට සම්පන්න සංස්කෘතිය හා බුදු දහම විනාශ කිරීමට සෑම ප‍්‍රයත්නයක් ම දරන මූලධර්මවාදී පිරිස් ලක්දිව සෑම අතින් ම සභ්‍ය වූ දේශයක් කිරීමට ප‍්‍රමුඛ ඓතිහාසික සන්ධිස්ථානය වූ මහින්දාගමනයට ද නිගා කරමින් මහින්දාගමනයෙන් ලද දායාදයන් භුක්ති විඳීම හාසයට කරුණකි. එමෙන්ම ලාංකීය සමාජයේ මුල සිටන් අග දක්වා සෑම දෙයක්ම ප‍්‍රතිනිර්මාණය වූයේ බුදු දහමේ ආභාෂයෙනි. අද වන විට මේ රටේ ඉතිහාසඥයන් වී ඇත්තේ කළු සුද්දන්ය. අවාසනවක මහත ඉතිහාසය චිත‍්‍රපටවලට නගන්නේද ඔවුන්මය. ඔවුන් ඇත්ත දනිති. එහෙත් කිසිදු විටෙක ඒ ඇත්තට ඉස්මතුවීමට ඉඩ නොතබන්නට තරම් කුහකයන් වී ඇත. ඔවුන් සැබවින්ම ආදරය කරන්නේ රට හෝ ජාතියට නොව බටහිර සංස්කෘතියටයි. උප්පතියෙන් හිමි වූ ලබ්දිය ගතානුගතිකව බදාගනිමින් එහි නැති සුජාතභාවයක් ඇති කර ගැනීමට ප‍්‍රවාද හා බොරු ඉතිහාසයන් ප‍්‍රතිනිර්මාණය කරමින් බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ පදනමට නිර්දය ලෙස පහර දෙති. මේ සියලූ තත්ත්වයන් මත කළගුණ දන්නාවූ ජාතියක් නම් මේ රට ජාතිය නගා සිටුවන්නට වියැකී යන මහින්දාගමනයේ යතාර්ථයන් නැවත ආවර්ජනය කරමින් බෞද්ධ පදනමට මේ රටේ හිමිතැන ස්ථාපිත කරන්නට මිහිඳු ගමනේ පුනරාගමනය අරමුණු හා ඉලක්ක ඔස්සේ යළි ආගමනය කළ යුතුමය. එසේ නොවුනහොත් අයාලයේ ගිය ජාතියක් ජම්යක් නැති සමාජයක් බිහිව වල්මත් වූ තිරශ්චීනයන් පිරිසකගේ පාරාදීසයක් බවට පත්වනු  නොඅනුමානය.
- පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

කපුටන්, බල්ලන් වන්නට කැමති නම් නිදන් හාරන්න


කපුටන්, බල්ලන් වන්නට කැමති නම් නිදන් හාරන්නපුරාවිද්‍යා දෙපාර්තමේනතුව ප්‍රකාශ කරන පරිදි පසුගිය වර්ෂයේ නිදන් හෑරීම් 1063 ක් වාර්තා වී ඇත.මෙහි උච්චතම සිද්දිය වාර්තා වූයේ මහ විලච්චිය පළාතෙනි. එහි වැව ඉස්මත්තේ බැකෝ යන්ත්‍ර යොදා වලවල් හෑරීමේ නිරත වූ විශේෂ කාර්ය බලකා සෙබලු කණ්ඩායමක් ගම්මුන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් නිදන් හොරකම් ගැන රජයට ද ඇඟිල්ල දික් වූයේය.ඉපැරණි ශිෂ්ඨාරයක් හිමි රටක මෙවැනි තත්වයක් උදාවීම බෙහෙවින්ම ඛේදනීය කරුණකි.
ලංකාවේ බෙහෝ පළාත්වල පැරණි රාජධානි පිහිටා තිබූ බව ඉතිහාසයේ සදහන්ය. බස්නාහිර තෙත් කලාපයේ පවා වනදුර්ග අතර මෙවැනි බලකොටු පිහිටා තිබී ඇත. නමුත් වැඩි වශයෙන්ම පැරණි රජරට නොහොත් උතුරේද රුහුණේද නැගෙනහිර පළාතේද මෙවැනි රාජධානි දීර්ඝකාලයක් පැවතී ඇත. එසේම මේ පළාත්වල සෑම වැවක් ආසන්නයේද පැරණි සිද්ධස්ථානයක් පිහිටා තිබුණු තරමටම බුද්ධ ශාසනය ලංකාව පුරාම ව්‍යාප්ත වී තිබුණි.මෙවැනි ස්ථාන  දාගැබ් පෙති පිළිම මෙන්ම බොහෝ පුරාවස්තු වලින් ගහනය. සතුරු ආක්‍රමණ වලින් පසුව මේ ස්ථාන නටබුන් වී ගිය පසු ගඩොල් ස්ථර ඇරුණු කොට ඉතිරිව ඇත්තේ ගලින් නෙලන ලද විවිධාකාරයේ පුරා වස්තු පමණකි. ඉතිහාසයේ සඳහන් පරිදි මේ ස්ථානයන් සඟසතු කොට පූජා කරන අවස්ථාවලදී ධාතු නිදානයන් කර ඇත.
ඇතැම් සැදැහැවත් රජවරු මෙන්ම උපාසක ඇත්තන්ද තමන්ගේ ශ්‍රද්ධාව නිසා තමන් පරිභෝග කළ නොයෙකුත් වස්තූන් ඒවායේ තැන්පත් කළහ. එම නිසා ධාතු නිදාන හා චෛත්‍ය නිදාන යනුවෙන් සඳහන්කළ ක්‍රියාවලියක් තිබූ බව අප පිළි ගත යුතුය. එසේම සිංහල වෛද්‍යවරු තමන් සතුව පාරම්පරිකව පැවත ආ වෙදකම මෙන්ම ප්‍රතිකාර ක්‍රමයන්ද ඇතුලත් පුස්කොළ පොත් මෙන්ම හෙණරාජ තෛලය වැනි බලගතු තෙල් වර්ග යම් යම් ස්ථානයන්හි තැන්පත් කරන ලද්දේ සතුරන් ගෙන් ආරක්ෂා කර ගැනීම පිනිසය. ඒවා හැඳින්වෙන්නේ බෙහෙත් නිදාන ලෙසිනි.
මීට අමතරව රජරට වැව් ශිෂ්ඨාචාරය පණ ගැන්වූ රජවරු මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම මහා වැව්  නඩත්තු කරනු පිණිස වැව් අසබඩ වස්තුව නිදහන් කළ බව පැවසෙයි. මේවා හැඳින්වෙන්නේ වැව් නිදහන් වශයෙනි. මේ සියල්ලටම වඩා වෙනස් නිදන් වර්ගය වස්තු නිදන් යනුවෙන් හැඳින්වේ. රජවරුන් අමාත්‍යවරුන් සතුරු ආක්‍රමණයන් අවස්ථාවලදි පලා යන විට හෝ සැඟවී ගත් විට ඔවුන්ගේ වස්තුව නිදන් කිරීම මෙහිදී සිදුවෙයි. අපවත් වී වදාල පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් මේ පිළිබඳව වෙසෙසි විමර්ශණයක් කර ඇති බව උන් වහණ්සේ ගේ ලිපි ලේඛන විමසා බැලීමෙන් පෙනේ.
අනුරාධපුර රාජධානිය වැඩි වර්ධනය වන විට බුද්ධ ශාසනය ට වෙසෙසි රාජ්‍ය අනුග්‍රහයක් හිමි විය.රජවරු ශ්‍රද්ධා භත්තියෙන් විහාරස්ථාන වලට ඉඩකඩම් පූජා කළහ. ඉන් පසු ඒ දීමනාවන් ගැන ජනතාවට දැන ගත හැකිවන පරිදි අත්තාණි කණු පිහිටවූහ. ඇතැම් විට ගල් පර්වත වල සටහන් කර තැබූහ. පසු කාලයේදී බහුලව තඹ සන්නස් මගින් මේ ඉඩ කඩම් පූජා කළහ. මෙවැනි ගල් ටැම්වල දීමනා පාඨ වලින් පසු කපුටා බල්ලා වටාපත ආදී සළකුණු ද කොටා තිබේ. මෙයින් අදහස් කරන්නේ යම්කිසිවෙකු මේ ප්‍රදේශ වල තිබෙන පෙති පිළිම චෛත්‍ය ආදියට හානියක් කරන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු තිරිසන් ආත්ම වල උප්පත්තිය ලබන බවයි. කවුඩු බලු වෙත්වා යන පාඨය මෙහිදී අවධානය කර ඇත. මෙලෙස ශාසනික පරිභෝගික වස්තූන්ට හානි කිරීම බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. වැව් ආශ්‍රිතවද යම් යම් වස්තූන් නිදහන් කරන ලද්දේ වැවේ නඩත්තුව පිණිසයි.  කෙනෙකු එම වස්තුව ගොඩ ගෙන පුද්ගල පරිභෝජනයට ගනී නම් එයද බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. බෞද්ධ ධර්ම දේශනා වල හරය මැනවින් තේරුම් කර ගෙන සිටි පැරණි ජනතාව පවට බිය ඇති පිරිසක් වූහ. එසේම රාජ නීතියටද බිය වූහ. මේ නිසා ඔවුන් අතින් මේ පූජා වස්තු වලට කිසිම හානියක් සිදු නොවූහ. සතුරු ආක්‍රමණ වලදී දාගැබ් බිඳ වස්තුව පැහැර ගත් අවස්ථා රාශියක් වාර්තා වී ඇත. එහිදී වුවද සාමූහිකව එම ස්ථාන ආරක්ෂා කර ගන්නට සටන් වැදුණු ජනතාව ගැන ඉතිහාසයේ ඇත.
වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය.මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා  වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම   බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය. යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බොහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
වර්තමානයේදී මේ සියලු පාපකර්මයන් වලට පෙළඹිමක් සමාජය තුල ඇතිවී තිබේ.කොටි ත්‍රස්වාදීන් හෝ යුරෝපීය යටත් විජිතවාදීන් නොකළ තරමේ විනාශයක් රටේ පූජ්‍ය ස්ථාන වල සිදු වේ. ආරක්ෂක අංශවලින් පවා මෙවැනි අපරාධ වලට රුකුල් දීමක් සිදු වන බව වාර්තා වේ. මෙම තත්වය පාලනය කිරීමට පත් කර ඇති පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව කටයුතු කරන ආකාරය දෙස බලන කල්හි අඩුපාඩු රාශියක් ම දක්නට ලැබෙන බව කිව යුතුය. පළවැනි කාරණය නම් පැරණි නිදන් වස්තු පිළිබඳ ඔවුනට තිබෙන අනවබෝධයයි. උදාහරණයක් වශයෙන් යම්කිසි ගල් පර්වතයක් බෝර ගසා එහි තුල තිබෙන යම්කිසි වස්තුවක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දෙපාර්තමේන්තුව නිරුත්තර වේ. ඊට හේතුව සළකුණු සෙල්ලිපි හෝ භෞතික ඉඳිකිරීම් නොමැත්තේ නම් එම ස්ථානය පුරවිද්‍යා ස්ථානයක් ලෙසට ඔවුන් නොපිළිගැනීමයි. නමුත් නවීන ස්කෑන් යන්ත්‍ර පවා ගෙන්වා ගෙන නිදන් කොල්ලකරුවන් ඒ ස්ථාන වල තිබෙන භෞතික වස්තූන් නිරීක්ෂණය කරති. එවැනි ස්ථාන රාශියක් ගැනම දිවයින සෑම තැනින්ම වාර්තා වී ඇත. මේ ස්ථාන ගැන තිබෙන නොතේරුම් කම නිසා ඇතැම් විට නිළධාරීන් විසින්ම මේ ගල් පර්වතයන්හි ගල් වලවල් දැමීමට අවසර පත්‍ර නිකුත් කරති.නිදන්හාරන්නන් මේ මගින් නිදන්හෑරීමට නීතිමය ආවරණයක් ලබා ගනිති.
යටත් විජිත සමයේ පිහිටුවා ලූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවමත් ක්‍රියා කරන්නේ එම මානසිකත්වය අනුවයි. ඔවුන් ගේ බෙහෝ වාර්තාවන් හෝ සෙල්ලිපි සංග්‍රහයන් සිංහල භාෂාවෙන් පළවන්නේ නැත. මේ නිසා සෙල් ලිපි ගැන හෝ වෙනත් පුරා වස්තු ගැන සාමාන්‍ය ජනතාවට අවබොධයක් නැත. මේ නිසා ටැම් ලිපි රාශියක්ම නිදන් හාරන්නන්ගේ යකුලු පහරට ලක් වී ඇත. කෙසේ වෙතත් පාසල් අවදියේ සිටම මේ පූජනීය වස්තු ගැන වැටහීමක් ලබා දිය යුතුය. පවට බිය ඇති කීරීම මෙන්ම අදාල නීති නිසියාකාරව ක්‍රියාකිරීමද අත්‍යවශ්‍ය කරුණකි. පොළව යට තිබෙන නිධි රජය සතු වුවත් ඒවා දේශපාලකයිනට ලබා ගැනීමට අයිතියක් නැත. මේ පුරා වස්තු විනාශයට ප්‍රධාන හේතුව රජය සිය කාර්යභාරය මග හැර සිටීම යයි කිය යුතුය. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයට දක්වන කුඩම්මාගේ සැලකිල්ලෙන්ම ඒ බැවි සනාථ වේ.
- මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspo