Powered By Blogger

Tuesday, May 29, 2012

පමා නොවී හැසිරිය යුතු දහම් පිළිවෙත....

පමා නොවී හැසිරිය යුතු දහම් පිළිවෙත


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
උත්තිටෙඨ නප්පමජෙජය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරී සුඛං සේතී
අස්මිං ලෝකේ පරම්භි ච
ඉහත සඳහන් ගාථාව ධම්මපදයට අයත් ගාථා දේශනාවකි. මෙම ගාථාවේ ‘නප්පමජෙජය්‍ය’ යන වචනයේ අදහස වනුයේ නොපමාවීමය. මැලිකම්, අලසකම් අතහැර කළයුතු කුසල දහම්හි මනා සිහියෙන් යුතුව විසීමය. දාන, සීල භාවනාදී සියලු කුසල ධර්මයන්හි නොපමා බවය. නැතහොත් නිතර එළඹ සිටි සිහියෙන් යුතුව විසීමය. කෙලෙස් වසඟ නොවීමෙන් වන නොපමා බවය. කළයුතු සුසිරිත (කුසල්) වැඩීම්, වශයෙන් කෙලෙස් මඩිනු සඳහා නොමුලා සිහි ඇතිව විසීමය. ඒ පිනට නොපමා බව හැම සුවයකටම හේතු වන්නකි. ‘ධම්මං සුචරිතං චරේ’ යන්නෙන් ධර්මයෙහි මනාව හැසිරිය යුතු බව කියැවේ. මෙහිදී ධාර්මික සිතකින් ක්‍රියා කිරීම වැදගත් වනු ඇත. යමක් තීරණය කිරීමේ විනිසුරු නම් තමාගේ සිතයි. දැහැමිව විසීමට නම් තමාගේ සිත සතර අගතියෙන් තොර විය යුතුය. මේවායෙන් අගතියට යන්නේ නම් ඔහුගේ ජීවිතය නියම මග ගමන් නොකරයි. නියම මඟ ගමන් නොකරන ජීවිතයට දහසක් කරදර ළඟා වෙයි. එසේ වනුයේ සිය සිත අධාර්මිකව හැසිරුණහොත් පමණකි. අපගේ සිත කෙබඳු තත්ත්වයක පවතී ද? යන්න අප විසින්ම විමසා බැලිය යුතු වේ. ජන්දයෙන් අගතියට ගොස් දූ දරු හිත මිතුරුකම් නිසා යුක්තිය පැහැර හරින්නේද ද්වේශයෙන් දූෂිතව සත්‍යය අසත්‍යය කෙරෙන්නේද? බියෙන් ත්‍රස්තව මනුෂ්‍ය ධර්ම වෙනස් කොට දීනයකු කරන්නේද? මෝහයෙන් මුලා වූ මෝඩකම් කරන්නේද? එසේ වුවහොත් අපට අපගේ් ජීවිතය මහත් කරදරයක් වන්නේය. අද අදම සතර අගතියෙන් වෙන්ව අපගේ් සිත ධාර්මිකව හැසිරීමෙන් සැපවත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළ යුතුය.
අපගේ ජීවිතයේ යථා ස්වභාවය මැනවින් අවබෝධ කරගෙන ජීවත් විය යුතුයි. මේ ලෝකයෙහි නොදිරන නොමැරෙන දෙයක් නැත්තේය. ලෝකයේ සියල්ල වෙනස් වෙයි. ස්වභාව ධර්මානුකූ®ලව නිර්මාණය වූ දෙය ස්වභාව ධර්මයේ කැමැත්ත පරිදි පැවතිය යුතුයි. වෙනස්විය යුතුය. එහෙත් වෙනස් නොවන නොදිරන නොමැරෙන දෙයක් ඇත්තේය. එනම් සත්‍යයයි. සත්‍ය නම් කවරේද? යනු අපගේ් සිත දනියි. සුගතිගාමී නොවූ අපගේ පිරිසුදු චිත්තයෙහි ආරම්මණය සත්‍යය නම් වේ . සත්‍ය දැකීමට පෙර සත්‍ය දැනීමට සුදුසු තත්ත්වයට සිත පමුණුවා ගත යුතුය. සිත අපිරිසුදු නම් සත්‍යය නොදනියි. අපගේ උත්සාහය බලය යෙදිය යුත්තේ් නොදිරන නොමැරෙන දෙය එකතු කිරීමට බව නිතර සිහි කළ යුතුය. වහ වහාම සත්‍යය සෙවිය යුතුය. සත්‍යයේ අයිතිකාරයෙක් විය යුතුය. පිරිසුදු චිත්තය අප සත්‍යය කරා පැමිණවීමට සමත් වේ. ‘ධම්මං සුචරිතං චරේ’ යැයි සඳහන් වන්නේ දහමින් මනාකොට හැසිරීමය. රැකීම්, පිළිපැදීම් වශයෙන් වැඩිය යුතු පිරිය යුතු දහම්හි යහපත් කොට නියැලීමයි.
‘සුඛං සේති’ සුවසේ වාසය කිරීමයි. දුකසේ ලත් මිනිසත් බව සපල කර ගැනීම සඳහා මෙලොවදී රැස් කළ කුසල් දහම් සිහි කොට බලා සතුටින් විසීමය. පරලොව සුගති භවයක ඉපිද උසස් සැප විඳිමින් බොහෝ සේ සතුටින් විසීමය. මේ මහණ මෙලොව හා පරලොව සුවසේ නිදන්නේය. තම සිත නැසුණු මත් ඇත්තක් කොට ගෙපිළිවෙලින් හික්මවාගත් ඇස්, කන්, නාස් ආදිය ඇතිව කුකුස් නැතිව පිඬුසිඟා යන්නේ ලැබූ අහරින් යැපෙන්නේය. ලැබූ අහරට වඩා රසැති අහරක් නොපතන්නේ ය. මෙසේ වූයේම දොලොව සුවසේ හොවණේය. ආදීනව හේතුවෙන් ගෙදර, දොරෙහි උස් පහත්කම් නොසැලකිය යුතුය. කුල ගෝත්‍ර නොතැකිය යුතුය. ශ්‍රමණ ප්‍රතිපත්තියම සැලකිය යුතුය. අරියවංශ ප්‍රතිපදාවෙහි පිහිටාගත යුතුය. මේ තෙමේ ආය¸යන්ගේ ප්‍රවේණිය රකින්නේය. සදේවක ලෝකයාගේ් වන්දනා මාන ආදියට තැත් වන්නේ ය. ලෝකයාට ණය නැත්තේය. අනුන් යටතෙහි නොවන්නේ්ය. හැම තැන්හි විශාරද වන්නේ ය. මෙතෙමේ මෙලොව හැම ඉරියව්වෙහිම පරලොව හැම ඉරියව්වෙහිම අකම්පිත වේ. භය රහිත වේ. එහෙයින් දෙලොවෙහිම සුවසේ වසන්නේ ය.
එසේම අප තුළින් වන්නා වූ වැරැදි අවම කර ගැනීම උදෙසා සිත, කය, වචන යන තිදොර සංවර කරගත යතු වේ.
කයින් සංවරවීම ඉතා යහපත් වේ. කය කරණකොට සිදුවන තෙවැදෑරුම් අකුසලයනට අවකාශ නොදී සිත හික්මවා ගැනීම කළ යුතුය. කෙනෙකුගේ කය, වචන, සිත යන තිදොර සංවර නම් ඔවුහු ඉතා පිරිසුදු වෙති. ඒ දුසිරිත් නමැති කිළුටු තිදොරින් සෝදා හැරීමෙන් ඇතිවන පිරිසුදුකම අප රැකගත යුතුය. නුවණැන්තන් විසින් සංවර කළ යුතු ස්ථාන තුනක් ඇත. එනම් සිත, කය, වචනය යන තිදොරය.
අභිධ්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන තුන සංවර කර ගැනීම සිත සංවර කිරීමයි. මෙසේ සිත, කය, වචන යන තුන් දොරින් අකුසල් දහයක්ම මග හැරීමෙන් පුද්ගලයා මනා සංවරයෙන් යුතු අයෙකු බවට පත් වේ.
තුන් දොර සංවරය යනුවෙන් අදහස් කරන්නේද විනයෙහි හික්මීමයි. විනය වනාහි පැවිද්දන් පිළිබඳ විනය ගිහියන් පිළිබඳ විනය යැයි දෙවැදෑරුම්ය. ඒ පුද්ගලයන් කිළිටි නොවීමෙන් සැප එළවන බැවින් උත්තම වූ මංගල නම් වේ. තමාගේ කායාදී ද්වාරත්‍රය ආරක්ෂා නොකොට වරදට අසුවීම ගිහි- පැවිදි දෙපක්ෂයටම තමා විසින් ලැබිය යුතු වූ සම්පත්වලට අන්තරායකර වේ.
මාතෘකා ගාථාව දේශනා කිරීමේ හේතු වූ නිදාන කථාව වන්නේ කිඹුල්වත නිග්‍රෝධාරාමයට බුදුරදුන් බුදු වී පළමු ගමන වැඩි සේක. ඒ සමඟ වැඩි සව් පිරිස රහතන් වහන්සේ විසි දහසකි. එහිදී පිය මහ රජ තුමන් වූ සුද්දෝධන මහරජතුමා ඇතුළු නෑ සමූහයට දහම් දෙසා පැහැද වූ සේක. පිය රජතුමා ‘මාගේ පුතණුවන් වහන්සේ රහතන් වහන්සේ සමඟ සිය මාලිගයට දන්වැළදීම සඳහා වඩිනු ඇතැයි සිතා ආරාධනා නොකොට ගොස් දන් පිළියෙළ කිරීම හා අසුන් පැනැවීම කෙළේය.
දෙවන දවස බුදුරජාණන් වහන්සේ පෙර බුදුවරයන් පිය රජතුමන්ගේ නුවර දී ගෙ පිළිවෙළින් පිඬු පිණිස වැඩි බැව් දැක ගෙ පිළිවෙළින්ම පිඬු පිණිස වැඩිසේක. පිය රජතුමා ඒ බැව් අසා ඉදිරියට අවුත් වැඳ මෙසේ පැවසීය.
පුතණුවනි, බුදුරදුන් වහන්ස මා විළි නො ගන්වන්න. සිය මාලිගයේ සියලු දෙනා වහන්සේට දන් පිළිවෙළ කොට අසුන් පනවා තිබිය දී මෙසේ පිඬු පිණිස වඩින්නේ ඇයි?
මහරජ, ඔබ විළි ගැනෙන්නට, කරුණක් නැත. මම මාගේ කුල පරපුර සිරිත පවත්වමියි බුදුරදුන් වදාළහ. කිමෙක්ද? පුතණුවෙනි, අපගේ කුල පරපුර ගෙපිළි වෙළින් පිඬු සිඟා ඇවිදින්නාහු වෙද්ද? යි රජතුමා විමසීය.
මහරජ, මේ ඔබ පරපුර නොවේ. මාගේ කුල පරපුරයි. එයට අයත් සිරිත මම පවත්වමි යි බුදුරදුන් වදාළහ.
අනතුරුව නොපමාව දහම්හි මනා ලෙස හැසිරිය යුතු බවද දහම්හි මනාලෙස හැසිරෙන තැනැත්තා මෙ ලොව පර ලොව සුවසේ වෙසෙන බවද වදාරා ඉහත දැක් වූ ගාථාව වදාරා පිය මහරජතුමන් සෝවාන් ඵල පිහිටුවා නිවන් මඟ හෙළි කළ සේක. අපද නොපමාව පින් දහම්හි නිරතව පස්පව්, දස අකුසල් දුරලා දාන සීලාදී පින් දහම් කොට මෙලොව සහ පරලොව දිනාගෙන සසර දුකින් මිදී කෙළවර අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

No comments:

Post a Comment