Powered By Blogger

Friday, April 27, 2012

නොපසන් මනසින් කළ-කී දෑ පසු පස එන සැටි....


නොපසන් මනසින් කළ-කී දෑ පසු පස එන සැටි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛ මන්වේති
චක්කංච වහතෝ පද
පින්වත්නි!
ජීවිතයේ කරන කියන හැම දෙයකටම මුල් වන්නේ මනසයි. ශ්‍රේෂ්ඨ වන්නේත් මනසයි. හට ගන්නේත් මනසින්මයි. ඉතින් අපිරිසුදු මනසකින් යුතුව යම් දෙයක් කරයිද, කියායි ද එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසු පස්සේ දුක ලුහුබඳියි. කුමක් මෙන්ද යත් ගැල අදනා ගොනු පසුපස නොනැවතී යන ගැල්සක මෙනි.
පින්වතුනි! අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ යුගයේ, සැවැත් නුවර මහාසුවණ්ණ නමැති ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. එක්තරා දිනක දිය නා ආපසු පැමිණෙද්දී සුවිසල් නුග රුකක් ඔහු හට දක්නට ලැබිණි. ඒ දුටු මහා සුවණ්ණට මෙසේ සිතිණි. “මේ නුගරුකෙහි මහේශාක්‍ය දෙවිරු අරක්ගෙන සිටින හැඩයි.” සිතා ඔහු රුක් සෙවන ශුද්ධ පවිත්‍ර කළා. අවසානයේ ඔහු එම නුග රුකට වන්දනාමාන කරගෙන “අනේ දෙවියනි! මට දූ දරුවන් නොමැති හෙයින්, මට දුවෙක් හෝ පුතෙක් ලැබුණොත් මම ඔබ වහන්සේට මහත් පූජාවක් කරනවා යැයි ප්‍රාර්ථනා කරන්නට විය.
කාලය කෙමින් ගෙවී යද්දී මහාසුවණ්ණගේ බිරිඳගේ කුසින් පුත් රුවනක් බිහි විය. මහා සුවණ්ණට ඇති වූ පී‍්‍රතිය අසීමිත විය. නුගරුකෙහි වැඩ සිටිය දෙවියා දරුවෙක් දුන්නැයි කියා, ඔහු හට “පාල” කියා නම තැබුවේය. ටික දවසකින් තවත් පුතෙක් බිහි විය. එවිට වැඩිමහල් පුත්‍රයාට “මහාපාල” කියාත්, අලුත උපන් ප්‍රත්‍රයාට “චූලපාල” කියාත් නම් තැබීය.
කාලයාගේ ඇවෑමෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන නිසි වයස එළඹි කල විවාහ දිවියටද ඇතුළත් විය. දිනක් උපාසක උපාසිකාවෝ පිරිසක් සුදුවතින් සැරසී, බුදු මුවින් පිට වන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට දෙව්රම් වෙහෙරට පිය නගන අන්දම මහාපාලට දැක ගන්ට ලැබිණි. මහාපාල හටද සද්ධර්මය ශ්‍රවණය කරන්නට ආශාව ඇති වූ හෙයින් උපාසක උපාසිකාවන් සමඟ දෙව්රම් වෙහෙරට ගොස් කෙලවරකට වී බුදු මුවින් ගලා එන ඒ උතුම් ධර්ම දේශනයකට සවන්දුන්හ. අර්ථ මෙනෙහි කිරීමෙන් ටිකෙන් ටික ඔහුට ශ්‍රී සද්ධර්මය තේරුම් ගැනීමට හැකියාව ලැබිණි. තෙරුවන්සරණ ගිය මහාපාල උපාසක තුමා, අවසානයේ පැවිදිවීමට තීරණය කළේ ය. “මහාපාල” උපාසක තුමා, ගෙදර ගොස් පවුලේ සියලු දෙනා කැඳවා තමන්ගේ අදහස ඔවුන් වෙත දන්වන ලදී. එවිට “චූලපාල” මෙසේ කියන්නට විය. මගේ ආදරණීය අයියේ, ඔබ පැවිදි වන්න එපා. මවුපියන් නැති වූ දවසේ පටන්, ඔබ තමයි මගේ මවුපියන් වශයෙන් හිටියේ. අයියාට ගිහිගෙයිම ඉඳගෙන පින් කරන්න පුළුවන්නේ. ඇයි? ඔබ පැවිදි වෙන්නේ? එවිට උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණ මහාපාල උපාසක විසින් කියා දෙන්නට විය. පවුලේ සියලු දෙනාගේ අවසරයෙන් ඔවුන් හඬා වැලපෙද්දී ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් පැවිදි උපසම්පදාව ලබා ගත්තේ ය.
පස් අවුරුද්දක් මුළුල්ලේ තම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට අවනත වී ධර්ම විනය ඉගෙන ගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගියහ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් අසුන් ගත් මහාපාල තෙරණුවෝ මෙසේ ප්‍රකාශ කරන්නට විය. “ස්වාමීනී! භාග්‍යවතුන් වහන්ස මා දැන් ධර්ම විනය පස් අවුරුද්දක් මුළුල්ලේ ඉගෙන ගත්තා. මම කැමතියි ධ්‍යාන වඩලා කෙලෙස් දුරු කර ගන්න. මා කෙරෙහි අනුකම්පා කොට මට උපදෙස් දෙන සේක්වා” මහාකාරුණික බුදුරජාණන් වහන්සේ “මහාපාල” තෙරුන් හට උපදෙස් ලබා දුන්නේ ය. උපදෙස් ලබාගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ හැට නමක් සමඟ චාරිකාවේ වැඩම කළහ. සැවැත් නුවර සිට යොදුන් ගණනක් ඈතට වැඩියහ.
සන්සුන් ඉරියව් ඇති ස්වාමීන් වහන්සේ දුටු ජනයා වස් තුන්මාසය එම ජනපදයේ වැඩ සිටින ලෙස ආරාධනය කළහ. මහාපාල තෙරුන් ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේ එම ආරාධනාව පිළිගත් හෙයින් ඉමහත් පී‍්‍රතියට පත් ජනයා ඉක්මණින් කුටි, සක්මන් මළු, භාවනා ශාලා ඉදි කරන්නට විය. ගමේ සිටි දක්‍ෂ වෙද මහත්මයකු ස්වාමීන් වහන්සේ අමතා මෙසේ පවසන්නට විය. මේ වස් තුන්මාසයේ ඔබ වහන්සේලාට සෑදෙන ඕනෑම රෝගයකට මම බෙහෙත් කරන්නම් මාහට දන්වන්න.
වස් විසීමේ නියමිත දවස උදා විය. මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේ අමතා අහනවා “පින්වත් ස්වාමීන් වහන්ස මේ වස් තුන්මාසය ඉරියව් කීයකින් ගත කරන්නද බලාපොරොත්තු වන්නේ” “මහාපාල ස්වාමීන් වහන්ස! අප ඉරියව් හතරින්ම කල් ගෙවන්නයි හිතාගෙන ඉන්නේ යනුවෙන් අනික් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්හ” එවිට මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා අමතා මෙසේ ප්‍රකාශ කරනවා.
දැන් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණා. උතුම් පැවිදි උපසම්පදා බවට පත්වුණා. ප්‍රමාද වීම අනතුරුදායකයි. ඉතින් මම තීරණය කළා සැතපෙන ඉරියව්වෙන් තොරව ඉරියව් තුනකින් කල් ගෙවන්න අනෙකුත් ස්වාමීන් වහන්සේලා එම ක්‍රියාව බොහෝ අගය කොට සැලකූහ.
පින්වතුනි! මේ මහාපාල ස්වාමීන් වහන්සේ පළමු මාසයේ හොඳට භාවනා කළහ. දෙවැනි මාසයේ මුල් සතියේ රාත්‍රියක මහාපාල ස්වාමීන් වහන්සේට අක්‍ෂි රෝගයක් හැදුනා. පසුදා උදෑසන පිඬු සිඟා වඩින්ට සූදානම් වන විට අනෙක් ස්වාමීන් වහන්සේලා දුටුවා මහාපාල ස්වාමීන් වහන්සේගේ දෙනතින් කඳුලු ගලන ආකාරය. ස්වාමීන් වහන්සේලාට මතක් වෙනවා, වස් වසන අවස්ථාවේ වෙදකම් කරන්න පොරොන්දු වූ වෙද මහත්තයා පිළිබඳව. ඒ වෙදමහත්මයාට කරුණු දැක් වූ පසු ඔහු විසින් මහාපාල ස්වාමීන් වහන්සේට වටිනා තෛලයක් පූජා කළා. ස්වාමීන් වහන්ස! මේ තෙල් බින්දු ගෑමෙන් රෝදුක දුරුවී යාවි යැයි වෙද මහත්මයා උපදෙස් දුන්නා.
මහාපාල ස්වාමීන් වහන්සේ ඇස්වල තෙල් දැම්මේ වාඩි වෙලා. හාන්සි වෙලා නොවේ. හාන්සි වෙලා බෙහෙත් දැම්මෙ නොමැති නිසා එන්න එන්නම රෝගය උග්‍ර වනවා මිසක සුවවීමක් පෙන්නුම් කළේ නැහැ. නමුත් මහාපාල ස්වාමීන් වහන්සේ තම අධිෂ්ඨානය අතහැරියේ නැහැ. නිතර නිතරම කල්පනා කළේ මම කොහොමත් මැරෙන කෙනෙක්නේ. තවත් ප්‍රමාද නොවී චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට උත්සාහ ගන්න ඕනෑ. එසේ සිතා උන්වහන්සේ දිගටම භාවනා කළා.
වස් කාලය අවසන් වන දවසේ රාත්‍රියේම මහාපාල තෙරුන්ගේ ඇස් දෙක සදහටම නොපෙනී ගියේ ය. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වුණේ ද එම අවස්ථාවේදීමය. පසුදා උදෑසන මහාපාල තෙරුන් පිණ්ඩපාතයේ නොවැඩි නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ බලන්ට ගිය අවස්ථාවේ ඇස් අන්ධ වූ කථාව ඇසූ උන්වහන්සේලා මහාපාල රහතන් වහන්සේට උපස්ථාන කළහ. දෑසම අහිමි වූ නිසා උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ “චක්ඛුපාල රහතන් වහන්සේ ලෙසයි” වීර්ය වන්ත චක්ඛුපාල මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වීමට වාසනාව ලැබුණි.
චක්ඛුපාල මහරහතන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින විට මහා වැස්සක් ඇද හැලිනි. පසුදා හිමිදිරි පාන්දර, සක්මන් භාවනාව කරමින් සිටියදී, චක්ඛුපාල මහරහතන් වහන්සේගේ දෙපා වලට පෑගි මඩියෝ මිය ගියහ. මේ දුටු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැන්වූහ. “පින්වත් මහණෙනි, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වූ ස්වාමීන් වහන්සේට මරණ චේතනාව ඇති නොවන්නේ ය. කියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. සංසාර චක්‍රය නවතාලීමට පෙර පින් තිබූ චක්ඛුපාල රහතන් වහන්සේගේ ඇස් අන්ධ වීමට හේතුව කුමක්දැයි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූහ.
පින්වත් මහණෙනි! අතීතයේ බරණැස් නුවර කසී කියලා රජකෙනෙක් රජකම් කරන යුගයේ ප්‍රසිද්ධ ඇස් වෙද මහත්මයෙකු වාසය කළහ. දිනක් කාන්තාවක් ඇසක් දුර්වල නිසා, මෙම වෙද මහතා ළඟට පැමිණ, සුව කර දෙන ලෙස ඉල්ලා සිටි අතර, ඇස හොඳ වුවොත් දූ දරුවන් සමඟ පැමිණ වෙද මහතා ළඟ බැල මෙහෙවරකම් කරන බවට ප්‍රතිඥාවක් වූවාය. වෙද මහත්තයා ඒ ගැන සතුටු වී එක බෙහෙතකින් ඇස සුවපත් කළහ. ඇස හොඳ වූ පසු ඒ මහලු කාන්තාව ඇස හොඳ වුවහොත්, දූ දරුවන් සමඟ බැලමෙහෙකාරකම් කරන්න එන බවට වෙද මහත්මයාට පොරොන්දු වුණා. එය කිසිසේත් කළ හැකි දෙයක් නොවේ.
එම නිසා ඇස සනීප නැති බව පවසන්නට ඕනෑ යැයි සිතා වෙද මහතා ඉදිරියේ බොරු ලෙඩක් මවා පෑවා. තවමත් මගේ ඇස් රෝගය තියෙනවා. තවමත් අමාරුයි. කියා මහලු ස්ත්‍රිය කියූ විට, ඇය පවසන්නේ අසත්‍යයක් බවත්, මැය කපටි මැහැල්ලක බව තේරුම් ගත් වෙද මහතා ඒ ගැන කීපී නැවතත් ඇයට ඇස් අන්ධ වීමට බෙහෙත් දුන්නේ ය. බෙහෙත් යෙදූ ස්ත්‍රියගේ දෑසම නොපෙනී ගියේ ය. ඒ වෙද මහතා මේ චක්ඛුපාල රහතන් වහන්සේ ය. පෙර කළ ඒ කර්මය නිවන් දකින අවස්ථාවේ දී විපාක දුන්නේ ය. චක්ඛුපාල මහරහතන් වහන්සේගේ එම කථා පුවතින් අපිරිසුදු මනසකින් යුතුව යම් දෙයක් කරයිද, කියයිද, එහි අකුසලය විපාකය විඳීමට සිදුවන බව මනාව පැහැදිලි වේ.

Friday, April 20, 2012

සිතට සැනසුම නොදෙන ජීවිත ගත කරන්න එපා...


සිතට සැනසුම නොදෙන ජීවිත ගත කරන්න එපා

එදිනෙදා ජීවිතයේදී නොයෙක් විට ඇතිවන්නා වූ විවිධ හේතුන් නිසා අපට තැවීමට සිදුවෙයි. සමහර හේතූන් නිසා සුළු වේලාවක් තැවෙන අතර බොහෝ කාලයක් තැවීමට සිදුවන හේතූන්ද ඇතිවෙයි. තමන්ගේ අතපසුවීම් නිසාද, බාහිර ප්‍රශ්න නිසාද මෙසේ තැවීමට සිදුවන වාර අනන්තය. බාහිර බලවේග පාලනය කිරීම අපහසු වුවද අප විසින් සිදු කරනු ලබන පසුතැවීමට හේතුවන ක්‍රියා පාලනය කර ගැනීම එතරම් අපහසු නැ. පස්පව් දස අකුසල් හෝ නීති විරෝධී සමාජ විරෝධි යම් යම් කටයුතු සිදුකිරීම නිසා පසුතැවීමට සිදුවන බව අපි දනිමු. මේවාටද සම්බන්ධ, එසේම දහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජනසන්ධ ජාතකයේ දැක්වෙයි.
කොසොල් රජතුමා හට අවවාද වශයෙන් දේශනා කර ඇති ජනසන්ධිව ජාතකයේ දක්නට ලැබෙන ආකාරයට කාලයක් තිස්සේ අපට පසුතැවීමට සිදුවන කරුණු දහයකි. ඒවා මෙසේය.
1. ඉතිරි නොකිරීම නිසා වයස්ගත වූ විට තැවීමට සිදුවීම
2. ඉගෙන නොගැනීම නිසා පසුව තැවීමට සිදුවීම
3. බොරු හා කේළාම් කියා අල්ලස් ගෙන තදපරුෂ ලෙස ජීවත්වී මතු භවය ගැන සිතා තැවීමට සිදුවීම
4. සත්ව ඝාතන, සහ සොරකම් සිදුකර මතුභවය ගැන සිතා තැවීමට සිදුවීම
5. පරදාර සේවනය සිදුකිරීම නිසා මරණාසන්නයේදී තැවීමට සිදුවීම
6. බොහෝ සම්පත් තිබියදී දන් පින් නොකිරීම නිසා මතුභවය ගැන සිතා පසුතැවීමට සිදුවීම
7. දෙමාපියන්ට උපස්ථාන සිදු නොකිරීම නිසා තැවීමට සිදුවීම
8. යහපත් පියකුගේ අවවාද පිළිනොගෙන ඔහුට දෝෂාරෝපණය කිරීම නිසා තැවීමට සිදුවීම
9. පැවිද්දන්ට, සිල්වත් උතුමන්ට දන් නොදී දෝෂාරෝපණය කිරීම නිසා තැවීමට සිදුවීම
10. සිල්වත් ගුණවත් උතුමන්ගේ ඇසුර, සහ අවවාද නොලැබූ නිසා තැවීමට සිදුවීම
අපගේ ජීවත්වීම සඳහා අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස යාන වාහන ඉඩ කඩකඩම්... ආදි නොයෙකුත් දේ ලබාගැනීම සඳහා වෙහෙස වී ධනය ඉපයීමට සිදුවෙයි. කිසියම් රැකියාවක නිරත වී ධනය හරි හම්බ කර ගත හැකි කාලයේදී ධාර්මික රැකියාවක නිරත වී මුදල් උපයාගත යුතුය. එම මුදල් අරපරෙස්සමෙන් විය පැහැදම් කළ යුතුය. තරගකාරී සමාජයක ජීවත්වන නිසා වර්තමානයේදී අපට වියදම් අධිකය. යාන වාහන, නිවාස, සහ ගෙදරට ලබාගෙන ඇති නොයෙක් ගෘහ භාණ්ඩ වලටද මාසිකව විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට බොහෝ දෙනෙකුට සිදුවෙයි. කොතරම් වියදම් කිරීමට සිදුවුවද තමන්ගේ සහ තම දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් කිසි මුදලක් ඉතිරි කිරීමට පුරුදුවිය යුතුය. තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් ආහාර පාන සඳහාද, කොටස් දෙකක් තම ගොවිතැන් වෙළඳාම් ...ආදි කර්මාන්ත සඳහාද යෙදවිය යුතු අතර අනෙක් කොටස ඉතිරි කළ යුතු බැව් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.
‘ඒකේන භෝගේ භඤ්ජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති’
අපගේ ආර්ථික රටාව වෙනස් වී ඇති නිසා මාසිකව ලබන ආදායමෙන් හතරෙන් එකක් තරම් ප්‍රමාණයක් ඉතිරි කිරීම අපහසු වුවද කරදරයක් විපත්තියක් ඇතිවූ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා යම්කිසි මුදලක් ඉතිරිකර ගත යුතුය. එසේම දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කිරීමට සිදුවන නිසා ඔවුන් වෙනුවෙන් ද යමක් ඉතිරි කළ යුතුය. එසේ නොකළහොත් එවැනි අවස්ථාවන්හිදී අසරණවීමට සිදුවෙයි. එම නිසා අනවශ්‍ය වියදම් නොකළහොත් එවැනි අවස්ථාවන්හිදී අසරණවීමට සිදුවෙයි. එම නිසා අනවශ්‍ය වියදම් අඩුකර ගනිමින්, ඉතිරි කිරීමට හුරුවිය යුතු අතර තම දරුවන්ටද කුඩා කාලයේ සිටම අරපිරිමැස්ම මෙන්ම ඉතිරියද පුරුදු කළ යුතුය. ඇඳුම් පැළඳුම්, පොත්පත්, සහ නොයෙක් උපකරණ පාවිච්චි කිරීමේදී ඒවායෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හුරු කළ යුතුය. මෙසේ නොකළහොත් නොයෙක් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවන අතර දුවාදරුවන් සහ සමාජය ඉදිරියේ අසරණවීමටද සිදුවන වාර අනන්තය.
ඉගෙන ගැනීමට තිබුණු කාලයේදී ඉගෙන නොගැනීම නිසාද පසුව තැවීමට සිදුවෙයි. මිනිසාට උපතේ සිට මරණය දක්වාම නොයෙක් දේ ඉගෙන ගැනීමට සිදුවෙයි. නමුත් බාලකාලය ඒ සඳහා වෙන් වූ කාලයයි. විධිමත්ව අධ්‍යාපනය ලැබීමට නියමිත කාලයේ ඉගෙනීම නොලැබුවහොත් පසුකාලීනව එය කිරීම එතරම් පහසු නැත. වැඩිහිටියන් වී විවාහ ජීවිතයට ඇතුළත් වූ පසු රැකියා කටයුතු දූ දරුවන්ගේ කටයුතු මෙන්ම සමාජ වගකීම් ද ඉටු කිරීමට සිදුවෙයි. මේවා නිසි අයුරින් ඉටුකිරීමට හැකි වන්නේ ද යම්කිසි අධ්‍යාපනයක් ලබා තිබුණහොත් පමණකි. එමනිසා ඉගෙනීම සඳහා වෙන්වී ඇති ළමා කාලයේදී ඉතා උනන්දුනේ ඒ හා සම්බන්ධ කටයුතු වල නිරත විය යුතුය. එසේ නොකළ විට ඒ කාලයේ ඉගෙන ගත්තා නම් මෙහෙම දුක් විඳින්නේ නැහැ, අපි ඒ කාලේ එච්චර හිතුවේ නැහැ, ගණන් ගත්තේ නැහැ, යනුවෙන් පැවසීමට, පසුතැවීමට සිදුවෙයි.
නිතරම බොරු කියමින්, කේළාම් කියමින්, යම්කිසි රාජකාරියක් ඉටුකරදීම සඳහා අල්ලස් ගනිමින්, ජීවත්වීමට හුරු වූ අයටද පසුකාලීනව නොයෙක් ;ලස තැවීමට සිදුවෙයි. බොරු කීම සහ කේළාම් කීම වචනයෙන් සිදු කරනු ලබන බරපතළ අකුසල් දෙකකි. අල්ලස් ගැනීම හා දීමද නීතියෙන් දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි. ඉහත වැරැදි සිදුකරන අය සමාජයේ අන් අයගේ පිළිකුළට ලක්වන අතර විශ්වාස නොකළ හැකි අය බවට පත්වෙති.
නීතියෙන් හෝ සමාජයෙන් දඬුවම් ලැබුවද, නොලැබුවද ඒවා සිදු කළ අයට ජීවිතයේ නොයෙක් වර පසුතැවීමට සිදුවෙයි. විශේෂයෙන් ජීවිතයේ අවසාන කාලය වන විට තමන් කළ එම වැරැදි සිහිපත් වෙයි. මතු ආත්මයේ කවර විපාකයක් තමන්ට විඳීමට සිදුවේදැ’යි සිතමින් දුක්වෙයි. බුද්ධ දේශනාවේ දැක්වෙන අන්දමට ඉහත වැරැදි කළ අය මරණින් මතු උපදින භවයන්හිදී අනුන්ගෙන් නොයෙක් දොස් අහන අය වී උපදිති. ගොලුවන්වී, විකාර ලෙස පවතින අතපය ඇත්තෝ වී, විරූපී ඇත්තෝ වී උපදිති. විකාර වූ දත් ඇති, කට හඬ ගොරෝසු, ශරීරයෙන් දුගඳ හමන ඇත්තෝ වී උපදිති. මෙසේ මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන් ද පසුතැවීමට සිදුවන නිසා ඉහත දැක්වූ අකුසලයන්ගෙන් මිදී ජීවත්වීමට උත්සහ කළ යුතු ය.
සත්ව ඝාතනය, සත්ව හිංසාව, මෙන්ම සොරකමද අප විසින් දුරින්ම දුරු කළ යුතු පාප කර්ම ලෙස බුදු දහමෙහි පෙන්වා දී ඇත. තමන්වම උපමාවට ගෙන මේවායින් වළකින ලෙස බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවන්හිදී අපට අවවාද දී ඇත.
‘සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා - න භනෙය්‍ය න ඝාතයේ’
(ධම්මපදය)
සියලු සත්වයෝම දඬුවමෙන් තැති ගනිති, මරණයට බිය වෙති, එම නිසා තමන් උපමාවට ගෙන අනුන්ට හිංසා නොකළ යුතු බව, අනුන් ඝාතනය නොකළ යුතු බව, ඉහත ගාථාවෙන් කියැවෙයි. බෞද්ධයන් වන අප සියලු සත්වයන්ටම දයාව අනුකම්පාව දැක්විය යුතුය. සතුන්ට හිංසා පීඩා කිරීම අඩු ආයුෂ ලැබීමට, ලෙඩ රෝග බහුලවීමට හේතුවකි. බුදුරදුන් දවස වැඩ සිටි පූතිගත්ත තිස්ස හිමියන්ගේ ශරීරය කුණුවී ගියේ පෙර ආත්මයකදී කුරුල්ලන් මැරීම සහ කුරුල්ලන්ගේ පාද කඩා දැමීමේ අකුසලයෙනි. එකල සිටි බෝධි රාජ කුමරුට සහ එම කුමරියට දරු පල හිමි නොවූයේ පෙර භවයක කුරුළු පැටවුන් සහ බිත්තර කෑමේ අකුසලයෙනි. සත්ව ඝාතනය සහ හිංසාව නොයෙක් වධ හිංසා ලැබීමට, ශාරිරික දුබලතා ඇතිවීමට, විරූපීව ඉපදීමට සහ නොයෙක් හැකියා අඩුවීමටද හේතුවන පාප කර්මයකි. අන්සතු දේ හොරකම් කිරීම ද එබඳුම විපාක ගෙන දෙන අකුසලයකි. යාචකයන් ලෙස ජීවත්වීමට සිදුවීම, නිවාස දේපළ අහිමිවීම, අව් වැසි ගිනි ආදියෙන් විපත් ඇතිවීම නෑයන්ගෙන් කරදර ඇතිවීම, ආදී නොයෙක් විපාක සොරකම් කිරීම නිසා විඳීමට සිදුවන බව බුද්ධ දේශනා අනුව පැහැදිලි වෙයි. එසේම සත්ව ඛ්ඹ්ංසාව සහ සොරකම් කිරීම කළ අයට වයස් ගතවන විට ඒවා සිහිපත්වීම නිසා නරතරම දොම්නසින් කාලය ගෙවීමට සිදුවෙයි. මතු ආත්මයේ කෙබඳු තැනක උපදීද ? කවර විපාකයක් විඳිමට සිදුවේද ? යනුවෙන් සිතමින් පසුතැවීමට සිදුවෙයි. තමන්ගේ හිංසාවන්ට ලක් වූ අය තමන් සොරකම් කළ දේ, ඒවාට උදව් උපකාර කළ අය සිහිපත් වෙයි. එම නිසා දුක් සහිත ආත්මවල ඉපදීමටද සිදුවෙයි.
තම බිරිය සිටියදී වෙනත් භාර්යාවන් ඇසුරට ගිය පුරුෂයන්ටද තම සැමියා සිටියදී වෙනත් අයගේ සැමියන් ඇසුරට ගිය භාර්යාවන් හටද නොයෙක් විට පසුතැවීමට සිදු වෙයි. වයස්ගත වූ විට මේ පසුතැවීම වැඩිවෙයි. මෙසේ කාමයෙහි වරදවා හැසිරීමෙහි යෙදුණු අය නරක තිරිසන් ප්‍රේත ආත්මවල බොහෝ සෙයින් උපදිති. මිනිස් ලොව ඉපදුණද නියම ස්ත්‍රී පුරුෂ ආත්ම නොලබති. නොයෙක් ශාරීරික අවයවයන්හි අඩු පාඩුද ඇතිවෙයි. තමන්ට ගැළපෙන අය සමඟ, කැමති අය සමඟ විවාහ වීමට නොලැබෙයි. මෙසේ මෙලොව පරලොව දෙකෙහිදීම පසුතැවීමට සිදුවෙයි.
තමන්ට මිල මුදල් තිබියදී දුගී මගී යාචකයන්ට, සිල්වතුන්ට, දන් නොදී සමාජයේ පොදු යහපත වෙනුවෙන් යම් පරිත්‍යාගයක් නොකර, ජීවත්වූවන්ටද මතු ආත්මය පිළිබඳ සැක සිතමින් ජීවත්වීමට සිදුවෙයි. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගැනීමටද එම ආත්ම භාවය සාර්ථක කර ගැනීමට ද දානාදී පින් සිදු කරගෙන තිබීම අවශ්‍ය වෙයි. ඒවා නොකළ අයට තමන්ගේ ජීවිතයේ නිසරු භාවය මරණාසන්න කාලයේදී නිතර සිහිපත් වෙයි. හැකියාව තිබියදීත් කරගත නොහැකි වු එම කටයුතු පිළිබඳ සිහිපත් වන විට මානසික තැවීමක් ඇතිවෙයි.
බෞද්ධ සමාජයේ දූ දරුවන් සහ මවුපියන් අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධයකි. බුද්ධ දේශනාවට අනුව දරුවන් වෙනුවෙන් දෙමාපියන් තම ජිවිතය කැප කරන හෙයින් දරුවන්ගේ වැඳුම් පිඳුම් ලැබීමට උපස්ථාන ලැබීමට ඔවුහු සුදුස්සෝ වෙති. ලෙඩ දුක් වූ විට, වයස්ගත වූ විට, දෙමාපියන් රැකබලා ගැනීම, ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරදීම, ආදිය දරුවන් විසින් කළ යුතුය. එසේ කරන දරුවන් හට දෙමාපියන්ගේ ආශිර්වාදයද නිතර හිමි වෙයි. දෙමාපියන් වෙනුවෙන් ඉහත යුතුකම් ඉටු නොකළ දරුවන් හට තම දෙමාපියන් මිය ගිය පසුවද, තමන් මව්, පිය පදවි ලැබූ විටද පසුතැවීමට සිදුවෙයි.
දෙමාපියන්ට අවනතවීම, ඔවුන්ගේ බසට කන්දීම, අවවාද පිළිගැනීම, යහපත් දරුවන්ගේ ලක්ෂණයකි. ගුණවත් බුද්ධිමත් මව්පියන් තම දරුවන්ට යම් අවවාදයක්, උපදෙසක් දෙනුයේ ඔවුන්ගේ යහපත, දියුණුව මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමිනි. යම් කරදරයකින් විපතකින් තමන් බේරා ගැනීම සඳහා එවැනි අවවාද ලබා දෙන විට ඒවා පිළිනොගෙන, දෙමාපියන්හටද දෝෂාරෝපණය කළේ නම් කවදා හෝ එය සිහිපත් වන විට තමන්ට තැවීමට සිදුවෙයි. එසේම තමන් එම අවවාද පිළිනොගෙන යම් කටයුත්තක් කර විපතක් ඇති කර ගත්තේ නම් එවිට මෙම තැවීම තවත් වැඩිවෙයි.
පැවිද්දන්ට, සිල්වතුන්ට, වැඳුම් පිදුම් කිරීම, දන් දීම, උපස්ථාන කිරීම යහපත් චාරිත්‍රයකි. බොහෝ දෙනා එසේ කරන අතර සමහරු එවැනි උතුමන්හට නොයෙක් අයුරින් නින්දා අපහාස කරති. නිකරුණේ දොස් නගති. කවදා හෝ එම වරද අවබෝධ වූ විට තමන් කළ වරද පිළිබඳ පසු තැවෙති. එසේම සිල්වත් ගුණවත් උතුමන්ගේ ඇසුර ලබාගැනීම, අවවාද උපදෙස් ලබාගැනීම අපගේ ජීවිත වාසනාවන්ත කර ගැනීමට හේතුවෙයි. එසේ නොවූ විට නොයෙක් වැරදි වලට යොමුවීමේ ඉඩ කඩ වැඩිවෙයි. එම නිසා බොහෝ කරදර පීඩාවන්ට ද මුහුණ දීමට සිදුවෙයි. එවැනි අවස්ථාවන්හිදී ද නොයෙක් අයුරින් අපට පසුතැවීමට සිදුවෙයි.
මෙලොවදී මෙන්ම පරලොවදී පසුතැවීමට හේතු වන කරුණු රාශියක් කොටස් දහයක් යටතේ ඉහත දක්වා ඇත. අප එදිනෙදා කරන බොහෝ කටයුතු හොඳ සිහි කල්පනාවෙන් නොකළහොත් බොහෝ විට පසුතැවීමට සිදුවෙයි. පොදුවේ ගත් විට ධර්මයෙහි සඳහන් වන පව් කිරිමෙන් දෙලොවදීම තැවීමට සිදුවෙයි.
‘ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති
භිය්‍යො තප්පති දුග්ගතිං ගතො’
(ධම්ම පදය)
පව් කරන්නාට මෙලොවද පරලොවද තැවීමට සිදු වෙයි. දුගතියක උපත ලද විට මා විසින් පව් කරන ලද්දේ යැයි සිතා බොහෝ සෙයින් තැවීමට සිදුවෙයි. යනුවෙන් දක්වා තිබෙන්නේ එයයි. එසේ නම් සිහිපත් කරන විට පසුතැවීමට සිදු නොවන කටයුතු අප විසින් කළ යුතුය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද අපූරු උපදෙසක් ධම්මපදයේ මෙසේ දැක්වෙයි.
‘න තං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුබො රොදං
විපාකං පටිසේවතී’
මෙයින් පෙන්වා දී තිබෙන්නේ යමක් කොට පසුතැවීමට සිදු වේ නම් කඳුළු පිරි දෙනෙතින් යුතුව එහි විපාකය විඳීමට සිදු වේ නම් එවැනි කටයුතු නොකළ යුතු බවයි. යම් කිසි කර්මයක් සිදු කළ පසු තැවීමට පත් නොවෙයි නම් එහි විපාකය විඳින විට සතුටට පත් වේ නම් එවැනි කටයුතු සිදු කළ යුතු බවද බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී ඇත. එසේ නම් අප උත්සාහ කළ යුත්තේ කිසිදා කිසිතැනකදී පසුතැවීමට පත් නොවී සැමදා සැමතැනකදීම සතුටට පත්විය හැකි අන්දමේ යහපත් කටයුතු කිරීමටය. අපගේ මෙලොව පරලොව ජීවිත සාර්ථක කරගත හැක්කේ එවිටය.

රුදුරු හඬට තැති ගත් රජ...

ඒ රෑ තුන් යාමය බරණැස් රජුට නිදි නොමැති රාත්‍රියක් වූයේ ය. නොනිදා රැය පහන් කළ රජු සිතට නිරතුරුවම වද දුන්නේ රෑ මධ්‍ය යාමයේ සවනට වන් ශබ්ද අට කවරේද ? එයින් තමන් හටත්, රාජ්‍යයටත්, වැසියාටත් වන විපත් කවරේද යන්නය.
පළමු ශබ්දය රජ දෙසවන් වැටුණේ රජ උයන අසළ දිය සිඳුණ පොකුණ සමීපයෙනි. ඒ කොකෙකුගේ ඇඬීමය. ගත හී ගඩු නොනැගුණ ද කොකා ගේ ඇඬීම රජ සිත විපිළිසර කරවීය. දෙවනුව ඇසුණු ශබ්දය ඇත්හල තොරණ අසළ රැඳී හුන් කැවිඩි ධේනුවගේ හැඬීමය. රජ සිත සැනසුම තෙවන වරටත් බිඳ ඇඩූයේ රජ ගෙයි කැණිමඬලේ කඳ පණුවෙකි.
එපමණකින් නොනැවතුණි. කඳ පණුවා ගේ හඬ යටපත් වන්නාහාම රජ ගෙයි කූඩුවක ලගින කොවුලකු ගේ හැඬුම ඇසිණි. කොවුලා හඬා අවසන්වනවාත් සමගම පස්වෙනි වරටත් රජ සිත සසල කරමින් රජ ගෙයිම ඇති දැඩි වන මුවෙක් හඬාලීය..එමතුද ...? සයවෙනි වරට රජ ගෙයිම මැදිරියක ලගින වඳුරෙකු ගේ හඬද .. සත් වෙනුව කින්නරයකු ගේ හැඬුමද.. අට වෙනුව උදාන ගාථා සමූහයක හඬද සවනට වැටුණෙන් රෑ තුන්යම නොනිදා රැය පහන් කරන්නට රජුට සිදුවිය.
රැය පහන් වී ඉර නැගෙන්නාහාම රාජ සේවයට පැමිණි බරණැස පුරෝහිත බමුණු තෙමේ.. රජ ගෙදරට විත් රජු බැහැදැක සුවදුක් විචාරන්නේය..
‘කිමද.. දේවයන් වහන්ස... රාත්‍රිය සැපසේ ගෙවුණේද ...?’
‘එම්බා පුරෝහිතය.. සැපයක් නම් කොයින්ද ?.. රෑ සවනට වන් ශබ්ද අටක් නිසා භයින් මුසපත්ව නිදි නොලද්දෙමි..’
‘කවර... කවර නම් ශබ්ද ඇසුණේද දේවයිනි...’
පුරෝහිත බසට රජු තමහට ඇසුණු ශබ්ද මේ... මේ යැයි කියා පෑමෙන් පසු, පුරෝහිතයා මෙසේ කියන්නේය.
‘දේවයන් වහන්ස.. මේ භයංකර ශබ්ද අටකි..ඔබ වහන්සේටත්..රාජ්‍යයටත් මහත්ම නපුරකි...මෙයින් මිදීමට සර්‍වචතුෂ්ක නම් යාගය කරවිය යුතුය...’
පුරෝහිත බමුණා ගේ වදන් පිළිගත් රජ තෙම යාගයට වුවමනා නොයෙක් සත්ව, පක්‍ෂි හා මිනිස් සමූහයා එකතු කොට යාගය සූදානම් කරන්නට ... වූහ.. පුරෝහිත බමුණා ගේ අතවැසි ශිෂ්‍යයෙක් මේ කරන්නට යන්නා වූ ප්‍රාණඝාතය නොරිස්සයි.. ඔහු පුරෝහිතයාට මෙසේ කියයි..
‘ආචාරිනී...අප උගන්නා වේද ශාස්ත්‍රයෙහි මෙබඳු වූ ප්‍රාණඝාතයක් ගැන කී යාග කර්මයක් නැත..මේ ප්‍රාණඝාතයට හවුල් නොවන්නෙමි...’ යි එතැනින් පලා යන්නේ මෙසේ සිතන්නේය...
‘මෙබඳු වූ මහා පාප කර්මයකින් මේ රජුත් පුරෝහිතයාත් මුදවාලන්ට සමර්ථ වූවෝ කවරහුද..පරීක්ෂා කොට බලමි..’
එසමයෙහි පුරන්නා වූ බෝධි සම්භාර ඇති අප මහා බෝසතාණෝ.. ගිහි ගෙය අතැර හිමාල වනයට ගොස් තවුස් දම් පුරන්නේ.. බරණැස් නුවරට පැමිණි ගමනක රජු ගේ මඟුල් උයනේ වසන්නේය..පුරෝහිත අතවැසි තෙම ඒ බව දනී...පුරෝහිත බමුණා හා රජු එක්ව කරන්නට යන මහත් වූ ප්‍රාණඝාතා දී අකුසලය දුටු හේ එය වළක්වාලන අදහසින් බෝසත් තවුසාණන් වෙත ගියේය. ‘තාපසයාණන් වහන්ස.. පෙරදා රැයේ ඇති වූ ශබ්ද අටක් නිසා අප ගේ රජ්ජුරුවන් වහන්සේ බොහෝ සේ බිය වී හිඳිති..ශබ්ද අර්ථය විසඳූ පුරෝහිත බමුණා, ඒ ශබ්ද වල විපාකයෙන් මිදෙන්නට සව¢චතුෂ්ක නම් යාගයක් කරණු පිණිස බොහෝ සත්ව ජාතී ප්‍රාණ වධයට කැප කරන්නට සූදානම් වන්නේය..නුඹ වහන්සේ රජු හික්මවා ප්‍රාණඝාත අකුසලයෙන් රජු මුදවා ගත මැනැවැයි’ කීය.
තාපසයන් වහන්සේද ‘යහපති’ යි පිළිතුරු දුන් විට පුරෝහිත අතවැසි තෙමේ රජ්ජුරුවන් සමීපයට ගොස් කියන්නේ...
‘ස්වාමීනී.. නුඹ වහන්සේට ඇසුණු ශබ්ද අටේ අර්ථ විචාරන්නට සමර්ථ වූ කෙනෙකුන් මගුල් උයනේ වැඩ වෙසෙති.. එතැනට ගොස් අර්ථ විචාල මැනවි..’
රජ්ජුරුවෝද එබස් පිළිගෙන තාපසයාණන් හමුවට ගොස් පෙරදා තමනට නින්ද නැති කළ ඒ ශබ්ද අට කියන්නේ, මෙසේ තාපසයාණන් අර්ථ විග්‍රහ කරති..
‘රජ්ජුරුවෙනි දිය සිඳුණු පොකුණේ හුන් කොකා’ පළමුව මේ පොකුණේ සිටි මත්ස්‍යයින් බඩ පුරා කා බී සැනසුණෙමි..දැන් දිය සිඳී ගිය කල මැඩියන් කන්නට සිදු වී යැයි දුකින් හඬාලීය.. පොකුණේ දිය පුරවාලුවහොත් යළි එම ශබ්දය නොනැගෙනු ඇත..නුඹ වහන්සේට ඉන් වන අයහපතෙක් නැත..’
ඇත් හල තොරණේ වෙසෙන කැවිඩිය ගේ දරුවන් ඇතුන් විසින් පාගා මරාලූ හෙයින් පුත්‍ර ස්නේහයෙන් ඇය හැඬුවා මිස එයින් වන අනර්ථයෙක් නැත.. තුන් වනුව හැඬූ කඳ පණුවා රජ ගෙයි කැණිමඬලේ වසන්නේය.. යන එන තැනක් නැති හෙයින් මම මින්කවදා ගැලවෙම්ද .. කවදා බඩ පුරා ගොදුරු ලබම් දැයි’ දුකසේ හැඬුවේය.. කැණි මඬල බිඳ කඳ පණුවා රැගෙන දමාපිය මැනවි..’
සිව්වනුව කොවුලා හැඬූයේ ‘මා හට මේ සිර කූඩුවෙන් මිදී පලායන්නට ඇත්නම් රිසි සේ ගස් උඩ හිඳ පලා පල අනුභව කොට සැප සේ හිඳින්නට තිබුණා වනැයි සිතාය. ඉන් තොපට වන අයහපතක් නැත.. පස්වැනිව මුවා හැඬූයේ ‘වැද්දකුට හසුව මෙවන් බන්ධනයකට හසු නොවූයේ නම් වනයේ සැපසේ වාසය කරන්නෙම් වේදැයි කියාය.. සයවෙනුව වඳුරා හැඬූයේ වැඳිරියක නිසා කාමයෙන් මත්ව අවුත් බන්ධනයකට හසු නොවූයේ නම් වනයේ රිසි සේ ඇවිදිනෙම් වේදැයි කියාය...
සත්වන ශබ්දය නම්.. කින්නරා හඬන්නේ... තම ප්‍රිය වූ කින්නරාවිය හැර බන්ධනයකට වැටුණේය..මින් මිදෙන්නට ඇත්නම් මා පි‍්‍රයාවිය හා වනයේ සැපසේ වාසය කළ හැකි වේයැයි’ සිතාය. එයින්ද නුඹ වහන්සේට වන අයහපතක් නැත...
අටවෙනි ශබ්දය නම්... එක් පසේ බුදු කෙනෙකුන් වහන්සේ නමක් හිමාල වනයේ සිට පිරිනිවීම පිණිස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් ගේ උයනට යන්නෙමැයි සිතා වඩින්නේ...ආකාශයට නැගී ‘මා හට නැවත උත්පත්තියක් නොවන්නේය.. මින් චුතව නිර්වාණ පුරයට පැමිණ නිවන් සුව අනුභව කරන්නෙමි..’ යි යනාදී උදන් ඇනූ හඬය.. මේ කිසි හඬකින් තොපට හෝ රාජ්‍යයට අනර්ථයක් නැත්තේය..’ යැයි අෂ්ට ශබ්දයන් ගේම අර්ථ විසඳා වදාළ සේක..
ශබ්ද අර්ථ විග්‍රහයෙන් රජුු තාපසයන් කෙරේ සිත් පහදවා යාගය සඳහා බන්ධන ගත කොට තිබූ සතුන් මුදා හැර දමා පසේ බුදුවරයාණන් වහන්සේ ගේ සිරුර ද ආදාහනය කරවූහ.
අනුපමේය වූ කරුණා නිධාන වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ඉකුත්වත් වදාරා අවසන් වන්නාත් සමඟම කොසොල් රජු ට මහත් සැනසීමක් ඇති විය. කොසොල් රජුට ද පෙරදා රැයේ නින්ද නොමැති වුයේ.. රෑ පුරා ඇසුණු භයානක ශබ්ද පෙළක් නිසාය.. එයින් කැළඹුණු කොසොල් රජු උදාසනම ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේට මේ බව සැල කළෙන්..
‘මහරජ බිය නොවව..මෙයින් තොපට කිසිදු අන්තරායක් නැත්තේය.. මෙබඳු ශබ්ද ඇසුවෝ තොප පමණක් නොවේ... පෙරත් රජ දරුවෝ.. මෙබඳු ශබ්ද අසා අනුවණයින්ගෙන් උපදෙස් ගෙන ප්‍රාණඝාත අකුසලය කිරීමට සූදානම් වුවද නුවණැත්තන් ගේ පිහිට ලැබ ඒ ප්‍රාණඝාත අකුසලයෙන් මිදී සුවපත් වූයේ යැයි ඉකුත් වත් වදාරා රජු සනසාලු සේක..
‘මහරජ .. ශබ්ද නම් නොයෙක් හේතු නිසා හට ගනී. ඒවායින් තොපට හෝ රාජ්‍යයට කිසි අනර්ථයෙක් නැත. ප්‍රාණඝාතාදියෙන් මිදී කුසලධර්මයන්හි ඇලී සිටින්නේ නම් එවන් ශබ්දවලින් තොපට ඇති වන කාරියක් නැතැයි වදාරා..එසමයෙහි බරණැස් රජු නම් මෙසමයෙහි ආනන්ද ස්ථවිරයෝය. පුරෝහිත අතවැස්සා නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය.. තාපසව උපන්නේ බුදු වූ මම්ම වේදැයි.. දක්වා අෂ්ට ශබ්ද ජාතකය දේශනා කළ සේක.
(අෂ්ට ශබ්ද ජාතකය ඇසුරිනි

දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත...


දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දුන්නිග්ග හස්ස ලහුනෝ
යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස ද මථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං
පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් අරබයා ඉහත කී ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.
එදවස අප බුදුරදුන්ගෙන් පැවිදි බව ලබා සුදුසු කමටහන් ගෙන හැටක් පමණ භික්‍ෂූන් වහන්සේ චාරිකාවේ හැසිරෙමින් කොසොල් රට ‘මාතිගාම’ නම් ගමේ පිඬුසිඟා වැඩියහ. මේ ගමට ප්‍රධාන වූ ‘මාතිකා’ නම් මව මෙම භික්‍ෂු පිරිස දැක තම ගෙදරට වැඩමවා ප්‍රණීත දන් පිළිගන්වා ‘ස්වාමීනී’ කොහේ වඩින්නාහුදැයි විචාලාය. ‘උපාසිකාවෙනි’ අපි අපේ පැවිදි පිළිවෙත් සපුරා ගැනීමට පහසු සෙනසුනක් සොයන්නෙමු යැයි පිළිවදන් දුන්හ. එසේනම් ‘ස්වාමීනි’ ඔබ හැමදෙනා වහන්සේම මෙහිම වැඩවසන ‍ෙස්ක්වා, සියලු පහසුකම් සලසාදීමට අපට පුළුවන. භික්‍ෂූන් වහන්සේ ද ‘මාතිකා මාතාව‘ විසින් සකසා පිළියෙල කළ සෙනසුන්වල වස් විසූහ. මෙසේ කල්ගතවන විට දිනක් භික්‍ෂූන් වහන්සේ එක් තැනකට රැස් වී සාකච්ඡා කරන්නෝ ‘අප සැම දෙනාම මෙහි පැමිණියේ මහණ දම් පිරීමට ය. එබැවින් එම පරමාර්ථය ඉෂ්ට සිද්ධ කර ගැනීමෙහිලා අප්‍රමාදව මහණදම් පුරමු. බණ භාවනා කරමු. දාන වේලාවට හා උවටැන් කිරීමාදී අවශ්‍යතාවයකට පමණක් ගෙඩිගේ සඤ්ඤාව සිහියේ තබාගනිමු. තම තමන්ගේ කුටිවල විවේකීව භාවනා කරමු යයි තිරසර කතිකාවක්, අදිටනක් ඇති කරගත්හ.
දිනක් මාතිකා මාතාව ගිලන්පස ආදිය රැගෙන සේවකයන් පිරිවරාගෙන පැමිණියේ භික්‍ෂූන් නොදැක සේවකයන් ලවා ගෙඩිය ගැස්සුවා ය. භික්‍ෂූන් වහන්සේලාද කුමක් සඳහා ගෙඩිය ගැසුවේදැයි කුහුල් සිතින් තමතමන්ගේ කුටිවලින් තනි තනිව වැඩමවා එක්තැනකට රැස්වූහ. ‘මාතිකා’ උපාසිකා මාතාවද එම බුද්ධ ප්‍රත්‍රයන් වහන්සේලාට දැහැත් ගිලන්පස පිළිගන්වා ‘ස්වාමීනී’ ඔබ වහන්සේලා වෙන්ව වැඩ හිඳ කරන භාවනාව කුමක්ද? එය මටද අනුකම්පාවෙන් කියාදෙන සේක්වායි ආයාචනා කළා ය. එවිට භික්‍ෂූහු තමන්වහන්සේලා තමන්ගේ කතිකාව විස්තරකොට ආත්මය පිළිබඳ ක්‍ෂය වන අරමුණු වන සතිපට්ඨාන භාවනාව කියා දුන්හ. ‘මාතිකා’ මාතාව අප්‍රමාදව ඒ භාවනාවෙන් නොබෝ දිනකින් සිව්පිළිසිඹියාපත් මාර්ග ඵලයට පැමිණ ආර්ය ගුණයෙන් සම්පූර්ණව තම ඥානයෙන් තමන්ගේ උපස්ථානයෙන් මහණදම් පුරන භික්‍ෂූන්ගේ මාර්ගඵල ලාභයක් නොමැති බව දන එයට හේතුව බලන්නේ උන්වහන්සේලාගේ ආහාර සප්පාය නොමැති බවත් එය බණ භාවනාවට බාධාවක් බව දැන කැමති කැමති කැඳ අවුල්පත් ආදී ආහාර ඉතා හොඳින් සකස් කළා ය. මෙයින් පසු භික්‍ෂූන් වහන්සේලා ද අප්‍රමාදව මහණ දම් පුරා සිව්පිළිසිඹියාපත් රහත් බවට පත්වූහ.
උතුම් ආර්ය ගුණයෙන් සම්පූර්ණව මෙම ශ්‍රාවකයන් වහන්සේ වස් පවාරණයෙන් පසු උපාසිකාවට දන්වා දෙව්රම් වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ සියලු පුවත් දන්වා වස්කාලය තුළ සිව්පසයෙන් ඇප උපස්ථාන කළ ‘මාතිකා’ මාතාවගේ උතුම් ගුණාංග අප දෙපක්‍ෂයටම විමුක්තිය සඳහා හේතු වූ අයුරු ද ප්‍රථමයෙන් ඇයගේ ආර්ය ඤාණයත් එයින් පසු අපගේ පරමාර්ථය ඉෂ්ට වූ අයුරු ද විස්තර කළහ. එහි සිටි තවත් භික්‍ෂුවක් එම තොරතුරු අසාගෙන එහි ගොස් මාතිකා මාතාව දැන හඳුනාගෙන සිව්පසයෙන් සත්ප්‍රාය ලබා අප්‍රමාදීව භාවනා කොට නොබෝ දිනකින් උතුම් අරහත් ඵලයට පැමිණියහ. එම භික්‍ෂුවගේ චිත්ත දමනය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.
ඉතා ඉක්මනින් ඇතිව නැතිව යන්නා වූ ඇස්කන් නාසාදී පසිඳුරන් කැමති තැනකට යන්නා වූ සිත යමෙක් දමනය කරන්නේ නම් ඉතා යහපත් ය. එයින් රාගාදී කෙලෙස් මුලින්ම නැති කොට විමුක්ති සුවයෙන් සැනසීමට පුළුවන. පින්වත්නි! සත්වයාගේ උතුම්ම වස්තුව සිත වූවද එය තමා විසින් පාලනය කර නොගැනීමෙන් රාගාදී කෙලෙස්වලින් කිලිටි වේ. අසංවර වේ.
ජරා, ව්‍යාධි, මරණාදි නොයෙක් දුක් වේදනාවලින් පීඩාවට පත් වේ. මකුළු දැලක් මැද සිටින මකුළුවා දැලේ බැඳෙන සතුන් පිළිබඳව ක්‍ෂණිකව ක්‍රියාත්මක වනසේ පසිඳුරන් විසින් අරමුණු කරා තබා ඇති සඤ්ඤාව නමැති දැලට වහාම සිත සසල වේ. සංසාරික ස්වභාවය අනුව සත්වයාගේ චිත්ත සන්තානය ලෝභාදී අකුසල මූලයන් පදනම් කරගෙන සිතුම් පැතුම් සකසා ගනී. ඒවාට සංඛාර නමින් හැඳින්වෙන්නේ පංචඉන්ද්‍රයන්ගේ මාර්ගයෙන් කුසල් අකුසල් රැස්වන නිසා ය. සත්වයා සුගති දුගති සංඛ්‍යාත ගමන් මාර්ග දෙකේම ගමන් කරන්නේ අභිසංඛාර බැවින් සංවර සීලය මූලිකව අප්‍රමාදීව වීර්ය වඩා ඒවා ක්‍රමයෙන් නැති කළ යුතු ය. සෝවාන් ආදී සිව් ආර්ය මාර්ගවලින් සන්තානගත සක්කාය දිට්ඨි ආදී දස සංයෝජනයන් ක්‍රමයෙන් සිඳ බිඳ දමා ලබන ආර්යඤාණය උත්කෘෂ්ඨ වේ. “ චිත්තං දන්තං සුඛාවහං” දමනය වූ සිත තමන්ට සැප ගෙනදේ. චිත්ත විවේක සැපය, උපධි විවේක සුවය, මාර්ගඵල සුවය, නිර්මාණ සැපය, තිරසරවන අතර චංචල සිතින් පංචකාම පිළිබඳ කාම තණ්හා, විභව තණ්හාවෙන් ලබන භෞතික සුඛාස්වාදය ක්‍ෂණික සඤ්ඤා සංකල්පයක් පමණක් වන අතර එයින් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් භයානක ය.
චිත්ත දමනය කිරීමට පෙර ඉන්ද්‍රියන් දමනය කිරීමෙන් ලබන ආත්ම පාලනය මිනිසාගේ උදාර ගුණාංග ආරක්‍ෂා වීමට හේතු වේ. පුද්ගලයා සමාජ ගත වීමේ දී යහපත් තැනැත්තෙකු බවට පත්වීමත් එයින් ආශ්‍රිත සමාජයට යම් කුසලතාවයක් ප්‍රකට කිරීමත් කෙරෙන්නේ ආත්ම පාලනයෙනි. පන්සිල් ආරක්‍ෂා කිරීම සමාජයට කරන මහඟු උපකාරයක් බව අත්දැකීමෙන් අවබෝධ වන පසුතලය තමා විසින්ම සකසා ගැනීමෙහිලා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වේ. “ කායෙන සංවරෝ සාධු සාධු සබ් බත්ථ සංවරො” යනුවෙන් වදාළ බුදු වදන් නිතර නිතරම මෙනෙහි කරන්නාට ඉන්ද්‍රිය සංවරය ආරක්‍ෂාව වේ. සිත රූප ධර්මයක ආධාරයෙන් නාම ධර්මයක පෝෂණයෙන් සජීවීව පැවතිය ද අප්‍රකට වස්තුවක් බැවින් පංචේන්ද්‍රියන්ගේ චලන මාත්‍රයෙන් ගමන් කරන චිත්ත වීර්ය ඔස්සේ උත්පාද, ථිති භංග වශයෙන් නිතරම අනිත්‍ය ස්වභාවයෙන් සෙසු නාමරූප ධර්මයන්ට ප්‍රධානව පවතී.මෙය දමනය කිරීමට අවශ්‍ය නම් ප්‍රථම කොට ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන් පාලනය කිරීමේ මූලික පියවර වශයෙන් සීලය අවශ්‍ය වේ. “සික්ඛ තීති සීලං” යනුවෙන් දක්වා ඇති පරිදි ඉඳුරන් හික්මවා ගැනීමට ප්‍රථමයෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යථා ස්වභාවය හඳුනා ගන්නා ක්‍රමය ඉගෙන ගත යුතු ය.
‘පඨවි රූප’ ධාතුවෙන් ඝනත්වයද, ආපෝ ධාතුවෙන් ජලත්වයද, තේජෝ ධාතුවෙන් උණුසුමද, චලනත්වය වායෝ ධාතු වෙන්ද, පෝෂණය කරන ඇස රූපය අරමුණු කරගෙන විඤ්ඤාණය ඇති වේ. ඇසත්, රූපයත්, විඤ්ඤාණයත් නිසා ස්පර්ෂයත් වේදනාවත් ඒ නිසාම තණ්හාවත් ඇතිවන අයුරු සතිපට්ඨාන සූත්‍රයේ දැක්වේ. එමෙන් කන් නාසාදී ඉන්ද්‍රියන් ද අරමුණු විඤ්ඤාණය යන සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලන විට ඉන්ද්‍රියන් නිසා සිදුවන අකුසල් දුරුවේ. සීල විශුද්ධියෙන් ඉඳුරන් පාලනය කරගෙන සමථ භාවනා වඩා චිත්ත විසුද්ධිය කරා ගමන් කරන්නාට හිත තමාට පාලනය කර ගත හැකි අතර දිට්ඨි විශුද්ධියෙන් සම්මා දිට්ඨි කුසලය ඇතිවේ. ක්‍රමයෙන් සමථ භාවනාව පුරුදු කරගෙන යන විට සප්ත විශුද්ධි ලබා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් උතුම් නිවන් සම්පත් ලබාගැනීමට වාසනා භාග්‍යය වේ.
බුදුරජාණන් වහන්සේ විසින් ‘චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං’ සිත දමනය කිරීම හොඳයි. දමනය කළ සිත සැප ඇති කරන්නේ ය. යනුවෙන් දේශනා කළේ විදර්ශනා ඤාණයෙන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය දැනීමත් එයින් ලැබෙන ශාන්තියත් සම්බන්ධයෙනි. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිව්පිළිසිඹියාපත් නුවණින් ලෝකයත් තමාත් අතර සැසඳීමෙන් මෙයින් මතු මාරයාට ශරීරය දීමක් නැති නිසා නිවන් සුවයෙන් සැනසීමට භාග්‍යවන්ත වේ. මෙතරම් ආශ්චර්ය ජනක සිතේ ශක්තිය ලබාගැනීමට සිතම උපයෝගී කරගෙන අප්‍රමාදීව සිහිබුද්ධියෙන් කටයුතු කරන තැනැත්තාට සිත දමනය කරගත හැකි ය. ඔබ සැමට නිවන් සුව ලැබේවා.

ඇසුරට සුදුස්සා.....


ඇසුරට සුදුස්සා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අසත්පුරිසො භික්ඛවෙ අසද්ධම්ම සමන්නාගතො හොති, අසත්පුරිස භන්තී හොති, අසත්පුරිස චින්තී හොති. අසත්පුරිස මන්තී හොතී, අසත්පුරිස වාචො හොතී, අසත් පුරිස කම්මන්තො හොති, අසත්පුරිස දිට්ඨී හොති, අසත්පුරිස දානං දෙති.
- චූලපුණ්ණම සූත්‍රය
පින්වත්නි,
පුද්ගලයෙකුගේ අභිවෘද්ධිය පිණිස කවර කාලයක වුවත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍ය වනවා. පුද්ගලයා නිවනට යොමු කරවන්නේ ද සත්පුරුෂයා විසින්. අසත්පුරුෂයා හැම කල්හිම දුසිරිතම, පාපයට ම පුද්ගලයා රැගෙන යනවා. ඒ නිසා ආශ්‍රය සඳහා සත්පුරුෂයන් ම තෝරා ගත යුතු වනවා. අපි ඕනම පුණ්‍ය කර්මයක් අවසානයේ සත්පුරුෂ ආශ්‍රය පතමින්, අසත්පුරුෂයන් ප්‍රතික්‍ෂේප කරන්නට ‘ඉමිනා පුඤ්ඤකම්මේන’ යන ගාථාව කියනවා. සත්පුරුෂයා සහ සත්පුරුෂතරයා යනුවෙන් දෙදෙනෙක් බුදුහාමුදුරුවො අපට උගන්වනවා. පංච දුශ්චරිතයෙන් වැලකී තම ජීවිතය පුණ්‍යවන්ත කර ගත් පුද්ගලයා සත් පුරුෂයායි. එවැනි කෙනෙක් අන්‍යයන් ද පංච දුශ්චරිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරනවා නම්, වෙහෙස වනවා නම් ඒ පුද්ගලයා සත්පුරුෂතරයා බවට පත් වෙනවා.
පින්වත්නි,
සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නට වටිනා කරුණු කීපයක් චූල පුණ්ණම සූත්‍රයෙහි බුදුහිමියන් වදාළා. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ වැඩවසන සමයෙහි පුන් පොහෝ දිනයෙක සන්ධ්‍යාවේ තමන් පිරිවරාගත් භික්‍ෂු සමූහයා වෙත සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නා ආකාරය පිළිබඳ කළ දේශනාව මේ සූත්‍රයට ඇතුළත් වී තිබෙනවා. එයට අනුව අසත්පුරුෂයා හඳුනා ගන්නා ලක්‍ෂණ අටක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.
මහණෙනි! අසත්පුරුෂයා පාප ධර්මයෙන් යුක්ත වෙනවා. (අසද්ධම්ම සමන්නා ගතො හොති) අසත්පුරුෂයා අසත්පුරුෂයන්ව ආශ්‍රය කරනවා. (අසත්පුරිස හත්තො හොති) අසත්පුරුෂයා අසත්පුරුෂ සිතිවිලි වලින් යුක්ත වනවා. (අසත්පුරිස චින්තී හොති) අසත්පුරුෂයා අසත්පුරුෂ ලෙසට කථාවෙන් යුක්ත වනවා (අසත්පුරිස මන්තී හොති) අස්තපුරුෂයා අසත්පුරිස වචනවලින් යුක්ත වනවා. (අසත්පුරිස වාචො හොති) අසත් පුරුෂයා අසත්පුරිස ක්‍රියාවලින් යුක්ත වනවා. (අසත්පුරිසා කම්මන්තො හොතී) අසත්පුරුෂයා අසත් පුරිස දෘෂ්ටි ඇත්තෙක් වනවා.(අසත්පුරිස දිට්ඨි හොති) අසත්පුරුෂයා අසත්පුරිස දානයන් දෙනවා.(අසත්පුරිස දානං දෙති)
මේ ආකාරයෙන් බුදුපියාණෝ අසත්පුරිස ගති පෙන්වා මෙම සූත්‍රයේදී ඊළඟට ඒ එක් එක් කාරණාව විවරණය කර තිබෙනවා. ඒ අනුව අසත්පුරුෂයා තෙරුවන් කෙරෙහි කිසිදු පැහැදීමක් නැති ධර්මය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති කම්මැලි කුසීත සිහි මුළා වූ අඥානයකු බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කළා. එමෙන්ම අසත් පුරුෂයා නිතරම ශ්‍රද්ධාව නැති, විලිබිය නැති අල්පශ්‍රැත කම්මැලි, සිහිය මුළා වූ අඥානයන්ම ආශ්‍රයට එකතු කර ගන්නවා. අසත්පුරුෂයා තමන්ට ද අනුන්ට ද අහිත පිණිසම සිතනවා. තමන්ටත් අන්‍යයින්ටත් නපුරු ලෙසට සිතිවිලි ගොඩ නඟා ගන්නවා.
ඊළඟට අසත්පුරුෂයා හැම විටකම අසත්පුරුෂ කථාවෙන් යුතු වනවා කියන්නේ කරන කථාව තමන්ටත් පීඩා ඇති කරනවා. අන්‍යයන්ටත් පීඩා පිණිස ම පවත්වනවා. තමන්ටත් අනුන්ටත් අනර්ථය පිණිස ම හේතුවන කථා කරන්නේ අසත්පුරුෂයායි. එමෙන්ම අසත්පුරුෂයා බොරු, කේලාම්, පරුෂ වචන සහ සම්ප්‍රලාප නිතර නිතරම කියනවා. අනුන්ගේ වතගොත සොයමින් ඒවායේ වැරැදි අඩුපාඩු තවත් කෙනෙක් සමඟ කියනවා. අන්‍යයන්ගේ කීර්තිය නැති වන විදියට විවිධ බොරු ප්‍රවාද හදනවා. ඊළඟට අසත්පුරුෂයා පරපණ නසමින් සොරකමින් ම ජීවත් වන්න උත්සාහ කරනවා. දුෂ්ට වෙළඳාම් ආදියෙහි නිතරම නිරත වනවා. මිනිසුන්ගේ ජීවිත විනාශ වන ආකාරයෙන් මිනිසුන්ට වස විෂ විකුණනවා. ඒ වගේම තමයි කාමයෙහි වරදවා හැසිරෙමින් ජීවිත තිරිසනකුගේ තත්ත්වයට පත් කර ගන්නේ ද අසත්පුරුෂයෙක්, තිරිසනා හැසිරෙන්නේ තමන්ට සහජයෙන් ලැබුන චර්යාවන්ට අනුවය.
එහෙත් මිනිසුනට එහෙම නොවෙයි. මනසක් ලැබී තිබෙන්නේ සිතට එන විදියටම වැඩ කරන්න නොවෙයි. ඒ නිසා තම හැඟීම්වලට වහල් වෙලා රාගයෙන් මුලා වෙලා සමාජයේ සල්ලාලයන් සේ ක්‍රියා කරන්නේ අසත්පුරුෂයායි.
ඒ වගේම අසත්පුරුෂයා හොඳ නරක මෙලොව පරලොව, කර්මය හා කර්මඵලය පිළිබඳ අවබෝධයක් ඇත්තේ නැහැ. ඒවා පිළිගන්නේ නැහැ. මෙලොවක් පරලොවක් හෝ කුසල අකුසල පිළිබඳ විශ්වාසයෙන් තොර මනුෂ්‍යයා තම ජීවිතයේ දී මොන තරම් පාප ක්‍රියා සිදු කර ගන්නවා ද? කුසලය හා අකුසලය පිළිබඳ විශ්වාසය නැතහොත් කර්මය පිළිබඳ විශ්වාසය පුද්ගලයකු සදාචාරාත්මක දිවි පෙවෙතකට යොමු කරවනවා. වැරැද්දෙන් මිදී ජීවත් වීමට උත්සාහ කරනවා. ඒත් අසත්පුරුෂයාගේ හැටි බලන්න. ඔහු මේ කිසිවක් පිළි නොගෙන පව් කර ගන්නවා.
එමෙන්ම අසත්පුරුෂයා යමක් දෙන විට පරිත්‍යාග කරන විට තමන්ගේම ඡ\න්ම එය කරන්නේ නැහැ. දෙන දෙය කෙරෙහිත් ප්‍රතිග්‍රාහකයා කෙරෙහිත් කිසිම ගෞරවයක් ඇත්තේ නැහැ. තමන්ට ප්‍රයෝජනයට ගත නොහැකි දේවල් ම සොයා දන් දෙනවා. විපාකය පිළිබඳවත් විශ්වාසයක් නෑ. සමාජයෙන් කීර්තියක් ලබා ගැනීම සඳහා දන් දෙන අය මේ සමාජයේ ඉන්නවා.
මේ අනුව බලන්න, මෙම සූත්‍රයේ දී අසත්පුරුෂයා පාප ධර්මයෙන් යුතු බවත් අසත්පුරුෂයන්ව ආශ්‍රය කරන බවත් සිතන සිතිවිලි අසත්පුරුෂ බවත්, කථාව වචන අසත්පුරුෂ බවත් ක්‍රියාව හා දෘෂ්ටි අසත්පුරුෂ බවත් දන්දෙන්නේ ද අසත්පුරුෂ ස්වභාවයකින් බවත් බුදුපියාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී වදාළා. මේ අසත්පුරුෂයා මරණින් මතු නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි උප්පත්තිය ලබන බව ද බුදුපියාණන් වහන්සේ වදාළා.
එබැවින් පින්වතුනි, ඔබ හැම විටකම මේ අසත්පුරුෂ ගතිවලින් දුරුවීමට උත්සාහ කළ යුතු සේම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අසත්පුරුෂයන් සේවනය නොකළ යුතු බවයි ‘අසේවනාච බාලානංච නභජේ පාපකේ මිත්තේ’ යන දේශනාවන් විමසා බලන විටත් විවිධ සූත්‍ර දේශනා විමසන විටත් මේ අසත්පුැරෂයන් ගැන බුද්ධ දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා.
එබැවින්ම ජීවිතය ශක්තිමත් කර ගැනීම සඳහාත් මෙලොව අභිවෘද්ධිය සඳහාත්, දුගතියෙන් බේරීම සඳහාත් නිවනට මඟ සාදා ගැනීම සඳහාත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය සසර පුරා ලබන්නට ප්‍රාර්ථනා කළ යුතු වනවා. මේ දේශනාව කියවූ ඔබට අසත්පුරුෂයා තේරුම් ගෙන ඔවුන්ගෙන් මිදෙන්නට හා සත්පුරුෂයා දැන හැඳීන කටයුතු කරන්නට ඔබට ශක්තිය සැලසේවා.

Thursday, April 19, 2012

සුගතියට-නිවනට කැඳවන දහමේ බලය.....


සුගතියට-නිවනට කැඳවන දහමේ බලය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුවිඡානෝ භවං හෝති
සුවිජානෝ පරාභවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරාභවෝ
කාරුණික පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේ, විසින් පුද්ගලයාගේ පිරිහීමේ ලක්‍ෂණ පොදු සමාජයට බලපාන අයුරු සමාජ විද්‍යානුකූලව දේශනා කළසේක. පුද්ගලයකු සමාජගත සිද්ධාන්තයන්ට අනුකූලවීමේ දී ඉෂ්ට සිද්ධ කළ යුතු වගකීම් ශිෂ්ට සමාජය විසින් පිළිගෙන ඇති ක්‍රමවේදයන්ට අනුව ක්‍රියාත්මක කරන්නේ නම් ඔහු මිනිසුන් අතර උතුම් මිනිසෙක් වශයෙන් ප්‍රකටවන්නේම ය. ඒසේ නොවේ නම් ඔහු මානුෂිකත්වයෙන් පිරිහෙන බව සමාජ විශ්ලේෂණයේ දී තීරණය කිරීමට පුළුවන.
මිනිසා උපදින්නේ මිනිස් වර්ගයාගෙන්ම නිසා හැදෙන්නේ ද කලින් කලට උපදින උදාරතම මිනිසුන්ගේ නිර්මාණාත්මක චින්තන මාර්ගයේ පිය සටහන් අනුව ගමන් කිරීමෙනි. මෙතෙක් මානව පරපුරේ බිහි වූ ශ්‍රේෂ්ටතම මිනිසා අප බුදුරජාණන් වහන්සේ බව සෑම දෙනාගේම බුද්ධිමත් තීරණයයි. එයට හේතුව මිනිසකු වශයෙන් ඉපිද, එමෙන්ම උත්තම තම මිනිසෙකු වශයෙන් පෙනී සිට, මිනිසා මූලික කරගත්, එමෙන්ම විශ්ව සාධාරණ ධර්මයක් දැනගෙන දේශනා කිරීමයි. මෙම දහමට පිටුපෑ කිසිම කෙනකුට කිසිම සමාජයකට මෙතෙක් වූ සේවාවක් ශාන්තියක් අභිවෘද්ධියක් නොමැත. සොබාදහමේ ස්වයං ක්‍රියාකාරීත්වයත්, නිර්මල බුද්ධ ධර්මයත් සරල සමාන්තරව ජීවිතයට මෙන්ම පරිසරයටද බලපාන බව සිහිබුද්ධියෙන් නිරීක්‍ෂණ කරන විට සක් සුදක්සේ ප්‍රකට වේ.
දේශය, කාලය, ආශ්‍රය සසර පුරුද්ද අනුව නානත්ත කායා නානත්ත සඤ්ඤා, නොයෙක්, ශරීර නොයෙක් සඤ්ඤා වූවද සෑම සත්වයාගේම ජීවන අපේක්‍ෂාවෙන් පවතින සමානකම් රාශියක් දක්නට ඇත. ඒවා උපයෝගී කරගෙන සමාජය පිළිබඳ අනාදිමත් කාලයක් පර්යේෂණය කොට අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිසා පිරිහෙන අයුරු සහ දියුණුවන අයුරු ද තවද අතීත අනාගත භවයේ ගතිපැවතුම් සත්‍ය ධර්මයේ පිහිටා අත්‍යවශ්‍ය පරිදි දේශනා කර වදාළ සේක.
පරාභව සූත්‍රයෙන් පෙන්වන පිරිහෙන ලක්‍ෂණ එකල බමුණු සමාජය තුළ ඉතා තදින් පැවැති නිසා මිනිසාට කෙතරම් මූලික අවශ්‍යතා තිබුණත්, ආශාව, ක්‍රෝධය, මෝහය මූලික කරගෙන පිරිහෙන මාර්ගයට පිවිසෙන්නට ශීඝ්‍රයෙන් සිදුවන බව ප්‍රකට වේ. කෙනකු බුද්ධාදී උතුමන් විසින් දේශිත ධර්මයට පිටුපාන්නේ නම් කෙතරම් ධනය, තිබුණද ඒකාන්තයෙන් ඔහුගේ කායික හා මානසික දුබලතා සමාජය ඉදිරියේ මූර්තිමත් වේ. පුද්ගලික ජීවිතයේ සිතන පතන කියන කරන අනර්ථකාරී ක්‍රියාකාරකම් සමාජය ඉදිරියේ දී විවෘත වන්නේ නිරායාසයෙනි.
සත්වයා අපායගාමී තලයෙන් මුදා සුගතිගාමී තලයේ දරා සිටීමට ශක්තිය ඇති කරන්නේ ධර්මයේ බලයෙනි. එය පවිත්‍රචේතනාවේ පටන් ක්‍රමයෙන් නිවසේ ගමේ පළාතේ රටේ මෙන්ම මිහිමත සියලු ජනතාව ඉදිරියේ තුලනාත්මකව ඉදිරිපත්කොට පරාර්ථසේවය සඳහා ක්‍රියාත්මක කළ හැකි නම් උතුම් ධර්මයක් වේ. නොඑසේ නම් තමන්ට මෙන්ම මෙරමාහට ද අනර්ථකාරී අසත්ධර්මයක් වේ. සමාජයෙන් පරාජිතවන්නාට රුචිවන්නේ ද ඒ දහමයි.
පිරිහෙන මිනිසාගේ ලක්‍ෂණ ප්‍රකට වන්නේ ක්‍රම ක්‍රමයෙනි. කුඩා කල පවතින උදාසීන කම ශාරීරික හා මානසික වර්ධනයේ සංයුතීන් දුර්වලවීමටත්, මතු ජීවිතයේ අපේක්‍ෂා භංගත්වයටත් මූලික හේතුවක් වේ. එවිට සමාජ කාර්යයේ දී සියදහස්වර පසුතැවිලිවීමට සිදුවේ.
අලසකම චිත්ත සන්තානයේ තහවුරුවූ පුද්ගලයාගේ ශාරීරික වර්ධනය අනුව තමා වටා සිටින්නන්ට ප්‍රථමයෙන් ද්වේෂ කොට යළි පොදු සමාජයෙන් පළිගැනීමේ එකම චේතනාව ක්‍රියාත්මක කිරීමට පෙළඹීම මානසික ප්‍රවණතාවයයි. දෙමවුපියන්, ගුරුවරුන්, ඥාතීන් ආගමික, සාමාජික නායකයන් කෙරෙහි පිළිකුලෙන් බැලීමටත්, පළිගැනීමටත් ක්‍රියාකිරීම පිරිහෙන්නාගේ ප්‍රකට ලක්‍ෂණවේ. එමෙන්ම ආගම දහම දර්ශනය, නීතිය, නියම යන සියලු සංස්ථාපනයන්ට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකිරීමට තමන් අවට ඉතා භයානක අවිආයුධද ප්‍රයෝජනයට ගැණේ. අගතියෙන් රැස්කරගත් ධනය එකම ශක්තියක් කරගත් අධමයා, සුරාවෙන්, සූදුවෙන්, කාමමිථ්‍යාචාරයෙන් කාලය ශ්‍රමය, ධනය, යොදමින් ජීවත්වීම විනා දානය, පරිත්‍යාගය ආදී සත්ක්‍රියාවකට රුචි නොවේ. ආගමික ශික්‍ෂණයකින් ආත්මය පාලනයක් නැත්තා නිතරම ඉන්ද්‍රියන් පිනවීම ප්‍රධාන තේමාව කරගෙන කලකදී ධනයෙන්, බලයෙන් පිරිහී අසහනකාරීව මහත් සන්තාපයක් වේදනාවක් ශෝකයක් සන්තානගත කරගැනීමෙන් පාපතරයෙක් වේ.
අප්ප භෝගෝ මහා තණ්හෝ
ඛත්තියේ ජායතෙ කුලේ
සෝච රජ්ජං පත්තථයති
තං පරාභවතෝ මුඛං
ධනයෙන් පිරිහී තණ්හාවෙන් පිරී උසස් තනතුරු සිතීම පැතීම ක්‍රියා කිරීම පරාභව සූත්‍රයේ දක්වා ඇති දොළොස්වන පරාභවයයි.
ආත්මීය වශයෙන් පිරිහෙන පුද්ගලයා තමන්ට රුචිපරිදි සමාජය මෙහෙය වන්නට යාමෙන් ඉතා සුළු ප්‍රශ්නයක් මූලික කරගෙන ක්‍රමයෙන් ලෝක සංග්‍රාම පවා සිදු වී කෝටි ගණනින් සත්වයන්, අමිලවස්තූන් උදාර ශිෂ්ටාචාරවිනාශ වී ගිය අයුරු මානව ඉතිහාසයෙන් ප්‍රත්‍යක්‍ෂ වේ. ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ රුධිරයෙන් තෙත් වූ සංග්‍රාම භූමිවල වාර්තා සටහන් දක්නට ඇත්තේ බල කාමයෙන් අන්ධව ක්‍රියා කළ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමී හැඟීම් නිසාමය.
ඒතේ පරාභවේ ලෝකේ
පණ්ඩිතෝ සමවෙක්ඛිය
අරියො දස්සන සම්පන්නෝ
සලෝකං භජතේ සිවං
මෙහි පෙන්වා ඇති පරාභව කරුණු හඳුනා ගැනීමට උසස් බුද්ධියක් තිබිය යුතු අතර, තම බුද්ධිය තාවකාලික හැඟීමෙන් ආවරණය කර ගන්නේ නම් බුද්ධ දේශනාවෙන් පලක් ලද හැකි නොවේ. ධර්මය දැනීම, පිළිපැදීම, කුසලතාව යන ත්‍රිවිධ අවස්ථාවලදීම හැඟීම්බර නොවී ප්‍රසන්නව, නැණවත්ව ක්‍රියා කිරීමට සතිපට්ඨානය බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. ආර්ය දර්ශනය යනු සෝවාන් ආදී මාර්ගඵල අවබෝධයයි. දෛනික ජීවිතයේ සිරිත් විරිත් ඉෂ්ට සිද්ධ කරන්නා පරාභව කරුණු වලින් ඈත් වී උදාර උත්තම ජීවන පැවැත්මෙන් කෙදිනක හෝ ලෝකෝත්තර වශයෙන් තම ජීවිතය ගුණ දහමින් සම්පූර්ණ කරගනී.
සෑම පුද්ගලයාම සමාජ ඉදිරියේ පිරිහෙන්නට කැමති නොවන අතර දියුණු චින්තනයක පිහිටියහොත් දෙලොව ශාන්තියත් පරලොව නිවනත් අවබෝධ කරගන්නේ ය. සුරාපානය, කාමමිථ්‍යාචාරය යන පාප කර්මය තමාටත්, අනුන්ටත් විශාල විනාශයකට හේතුවේ.
ආත්මීය වශයෙන් පිරිහෙන්නා තමන්ට රුචිපරිදි සමාජ පරිසරය පාලනය කරන්ට යාමෙන් වැරැදි රාශියකට මූලික වෙනවා පමණක් නොව එවැනි පුද්ගල ආයෝජන යළි ශතවර්ෂ ගණනකට සකසාගැනීමට නොහැකි වේ. විද්‍යාත්මක ලෝකයකට පියතබන නිසා ලෝකයේ සෑම පුද්ගලයාම අනුන් සකස් කිරීමට ප්‍රථමයෙන් තම තමන් විසින් ස්වයංවිවේචනයක යෙදී තමාගෙන් වියයුතු අර්ථචරියාව සමාජ සංවර්ධනයට පරිත්‍යාග කළ යුතු වේ.
ඔබ සැමට තෙරුවන් සරණයි.!

Wednesday, April 18, 2012

ප්‍රගතියේ පදනම..............


ප්‍රගතියේ පදනම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“න භජෙ පාපකෙ මිත්තේ
නභජෙ පුරිසාධ මේ
භජෙථ මිත්තේ කල්‍යාණේ
භජෙථ පුරිසුත්තමේ “
පින්වත්නි,
ලොව උතුම් ම දානය වනුයේ ධර්ම දානය බව, විටෙක භාග්‍ය වත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවියන් අරභයා දෙසූ සේක. එබැවින් බුදුසරණ පුවත් පත මගින් ඉදිරිපත් කරනු ලබන ධර්ම දේශනා මාලාව සැම දා පින් වැඩෙන මහා පින්කමකි. ඒ මහා පින්කමට ඔබත් එක්වී සිටීම ඔබ ට මෙලොව පරලොව සැනසුමට සසර කෙටි කර ගන්නට එය මොන තරම් සහනයක් දැයි උපකාරයක්දැයි ඔබ මදක් සිතන්න. ධර්මානු ධර්ම ප්‍රතිපත්ති වලට අනුව කටයුතු කරන විට ධර්මයෙන්ම ආරක්‍ෂාව රැකවරණය ගෙන දෙන බව මහා ධම්මපාල ජාතකයේ දී බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ සේක.
ලොව පහළ වූ ශාස්තෘන් අතුරින් පුද්ගලයාගේ අභිවෘද්ධියටත් සමාජයේ සාමූහික පැවැත්මටත් සුවිශේෂ කරුණු රැසක් ඉදිරිපත් කරනු ලැබුවේ තුන් ලොවක් දම් රසයෙන් සනහා වදාළ ගෞතම ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විසිනි. ඒ අතුරින් මිතු දහමට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඊට හේතුව සමාජය සාමුහිකත්වයෙන් බැඳුන මිත්‍රත්වය පදනම් වූ සංස්ථාවක් වීමයි.
බුදුසමයෙන් ලැබිය හැකි උසස්ම ප්‍රතිඵල ආශ්‍රය , මිත්‍රත්වය තුළින් ලද හැකි බව පෙන්වා දී ඇත. සමාජ විද්‍යාඥයන්ගේ පිළිගැනීම අනුව ද මිනිසා සමාජශීලි සත්වයෙකි. ඔහුට ඇත්තේ සාමූහික මනසකි. පෞරුෂ වර්ධනයට ද ආශ්‍රය බලපාන අතර, ගිරාපෝතක කථාවෙන් එය කදිමට එළිදරව් වෙයි. අධ්‍යාත්ම සංවර්ධනයට , සමාජ සංවර්ධනයට ආශ්‍රය තුළින් ලැබෙන ප්‍රයෝජනය අති මහත් ය.
මංගල සූත්‍රයේ සඳහන් වන පරිදි මිනිසාගේ ලෞකික දියුණුවේ සිට ලෝකෝත්තර දියුණුව දක්වා ගත යුතු ක්‍රියා මාර්ග විස්තර කරනු ලබයි. මිනිසාගේ අධ්‍යාත්මික ගුණවගාවත් සමාජ පරිසරයත් ක්‍රමයෙන් වර්ධනය වන අයුරු දක්වයි. එහි මුලින්ම දක්වා ඇත්තේ ආශ්‍රයයි. අසෙව නා ච බාලානං ..පණ්ඩිතානංච සෙවනා..යන මංගල කරුණු දෙකින්ම ආශ්‍රය පුද්ගල දියුණුවට හා පරිහානියට බලපාන අයුරු විස්තර කර ඇත. බාලයන් ආශ්‍රය නොකරන ලෙසත් පණ්ඩිතයන් ආශ්‍රය කරන ලෙසත් විස්තර කරයි. සද්ධා ශීල ත්‍යාග ප්‍රඥා යන ගුණ වලින් යුක්ත වූ තැනැත්තා මිත්‍රයෙකු ලෙස දක්වා ඇත. සිඟාලෝවාද සූත්‍රය තුලින් ද මිත්‍රත්වය ආශ්‍රය හොඳින් විස්තර කර ඇත. පාප මිතුරන් සතර දෙනෙකුත් කළ්‍යාණ මිත්‍රයන් සිව් දෙනෙකුත් පිළිබඳ විස්තර කර ඇත. මව්පියන් දූ දරුවන් ඇතිදැඩි කරන විට පළමු ව පවෙන් වළක්වා හොඳ අය ආශ්‍රයට අවස්ථාව ලබා දිය යුතු බව සිඟාලෝවාද සූත්‍රයෙන් පැහැදිලි කර ඇත.
මාතෘකා ගාථාව මගින් විස්තර කරනු ලබන්නේ පවිටු මිතුරන් ඇසුරු නොකරන්න අධම පුරුෂයන් භජනය නොකරන්න. කළන මිතුරන් ඇසුරු කරන්න. උත්තම පුරුෂයන් ආශ්‍රය කරන්න. ආශ්‍රය කළ යුතු නොකළ යුතු පුද්ගලයන් පිළිබඳවද ධම්මපද පාලියේ එලෙස විස්තර කර ඇත.
දුදනයන් හා එක්වීම අත් හරින්න. සත් පුරුෂයන් හා එක්වන්න. තමන්ට ආශ්‍රය නිශ්‍රයට සුදුස්සෙකු නොවන්නේනම් තනිව හුදකලාව විසීම උසස් බව විටෙක බුදුරජාණන් වහන්සේ ධම්මපද පාලියේදී විස්තර කර ඇත.
‘ චරං චේ නාධි ගච්ඡෙය සෙය්‍යං
සදිස මත්තනෝ
එකචරියං දල්හං කයිරා
නÀථි බාලේ සහායතා
....ගුණ දහමින් පහත් අය ඇසුරු කරන්නා පිරිහේ ගුණ දහමින් තමා හා සමානවූවන් අසුරු කරන විට පිරිහීමක් වන්නේ නැත. ගුණ දහමින් උසස් කෙනෙකු අසුරු කරන්නා දියුණුවට පත්වේ. එබැවින් පින්වතුනි තමන්ට වඩා උසස් ගතිගුණ ඇත්තෙකු ඇසුරු කිරීම තම ජයග්‍රහණයට බලපාන බව සැලකිය යුතුයි. නූගත් මිතුරා ට වඩා සතුරා හොද බව ජාතක පාලියේ දැක්වේ.
පුත්‍රයා අවුරුදු පහක් සුරතල් කළ යුතුය , දස වර්ෂයක් දක්වා දඩුවම් කළ යුතුයි. කෙළෙස් බිය පැමිණි කල් හි මිතුරෙකු ලෙස ආශ්‍රය කළ යුතුය. මෙහි දඬුවම් කළයුතු යැයි සදහන් කළේ වරදින් වළකා ගැනීමයි. මෙය ද ආශ්‍රය පිළිබඳව කරනු ලබන ඉගැන්වීමකි. මේ ඉගැන්වීම ඉපැරණි භාරතීය ෂඩ්වරයෙකු වන චාණක්‍ය ෂඩ්වරයාගේ ප්‍රකාශයක් . පරිපූර්ණ මිත්‍ර ධර්ම ඇති විය හැක්කේ යහපත් අය අතරේ පමණක් බව ඇරිස්ටෝටල් වරක් ප්‍රකාශ කළේය. මුළු ලොවම උරුම වුනත් මිතුරෙකු නොමැතිනම් නීරස බව එතුමන් සඳහන් කළා. මිත්‍ර ධර්මය නොමැතිව නිර්භයවත් පී‍්‍රතියෙනුත් වාසය කළ නොහැකි බව එෂිකියුරස් විශ්වාස කළේය. මිත්‍රයාට ද්‍රෝහී නොවී ඇසුරු කිරිමේ අගය මිත්තානිසංස සූත්‍රයේ සඳහන් කරයි. ගිය ගිය තැන සම්මානනයට පත්වන බවත් ආදරය විශ්වාසය දිනා ගන්නා බවත් දෙලොව ජය ගන්නා බවත් එහි විස්තර කර තිබෙනවා. ඒ අනුව ආශ්‍රය තුළ ඇත්තේ මෛත්‍රියයි කරුණාවයි ආදරයයි . එහි ප්‍රතිඵල වශයෙන් සුවසේ නිදයි, සුවසේ අවදිවෙයි, නපුරු සිහින නොදකී. වස විෂ ගිනි විපත් නොම වේ ආදි වශයෙන් ආනිසංස 11 ක් ලැබෙන බව මිත්තානිසංස සූත්‍රයේ දක්වා ඇත. එම නිසා පින්වතුනි ඔබද ඔබේ දූ පුතුන් ද හොඳ ආශ්‍රයක් ලබා ගෙන දෙලොව ශාන්තිය සලසා ගන්නට උත්සුක වන්න.
ඔබ සැමට තෙරුවන් සරණින් සියලු යහපත උදාවේවා !

Tuesday, April 17, 2012

මිනිස් ජීවිතය යනු පංච ඉන්ද්‍රියන්ගෙන් හෙබි ගොඩනැගිල්ලක් මෙනි. මෙහි රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන පංචස්කන්ධයක්ද අන්තර්ගත වෙයි. මේ පංචස්කන්ධයන්ගෙන් හෙබි පංච ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරවන මිනිස් ජීවියා මෙලොව ජීවත් වනවා යයි කියන්නේ කුමකටද?


නිවන් මඟ

මිනිස් ජීවිතය යනු පංච ඉන්ද්‍රියන්ගෙන් හෙබි ගොඩනැගිල්ලක් මෙනි. මෙහි රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන පංචස්කන්ධයක්ද අන්තර්ගත වෙයි. මේ පංචස්කන්ධයන්ගෙන් හෙබි පංච ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරවන මිනිස් ජීවියා මෙලොව ජීවත් වනවා යයි කියන්නේ කුමකටද?
“පුන්නාමත්ථි ධනම්මත්ථි
ඉනි බාලො විහඤ්ඤති
අත්තා හි අත්තනො නත්ථි
කුතො පුන්නා කුතො ධනං”
පින්වතුනි,
බෞද්ධයා යනු තෙරුවන් සරණ ගිය අයයි. බුදුන්, දහම්, සඟුන් පිළිබඳ විශ්වාසය ඇති කරගෙන බුදුදහම අනුව ගමන් කරන අය මේ යටතේ නම් කළ හැක. ඔවුන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ නිවන් මගෙහි ගමන් කොට සසර දුක නිම කරන නිවන් සුව ලබා ගැනීමයි. ලෞකික ජීවිත ගත කරන ඇතැම් දෙනා එම භෞතික සැප සම්පත්ම පසුපස ගොස් සසර දිගු කරවන තෘෂ්ණාදී ක්ලේශයන් වැඩි දියුණු කර ගනිති.
ඉහත සඳහන් ගාථා ධර්මයෙන් උගන්වා ඇත්තේ එම නිවන් මඟ හෙළි කරවන මූලධර්මයකි. අවිද්‍යාවෙන් අන්ධ වූ (සසර පිළිබඳ නොදැනීම) බාල ජනතාව නිතර නිතර සිතන්නේ මට දරුවන් සිටියි. වතුපිටි ඉඩකඩම් තිබෙයි කියායි. ඒ සමග ඒවා වැඩි දියුණූ කර ගැනීමට පුදුම වෙහෙසක් මහන්සියක් දරයි. එහි ප්‍රතිඵලය කුමක්ද? මගේ කියා එකතු කර ගන්නා සැම දේකින්ම දුක වේදනාව ගෙන දෙන බවයි. මෙහිදී ‘අත්තාහි අත්තනො නත්ථි’ තමාට තමාවත් නැති මෙලොව දරුවන් මිල මුදල් වතුපිටි වත්කම ඇතැයි කෙසේ සිතන්නේද, මෙහිදී උගන්වන දර්ශනය නිවනට පාදක වෙයි. ඒ කුමක්ද? අනිත්‍ය දර්ශනයයි. ප්‍රථම වරට ලොවට අස්ථීරතාවය හෙවත් අනිත්‍යතාවය පෙන්වා දුන් එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේයි.
මේ ඇස් ආදි ඉන්ද්‍රිය රූපාදි අරමුණු රස විඳ ගැනීම ජීවත් වීමයි.අපි උපතේ සිට මරණය දක්වා අසමින් රූප බලමින් එහි ඇලෙයි. එය නිත්‍ය සුඛ ආත්ම ලෙස ග්‍රහණය කරවයි. කනින් ශබ්ද අසයි. එයද නිත්‍ය (ස්ථිර) සුඛ (සැප) ආත්ම (සදා කල් වෙනස් නොවන) ලෙස සිතා ග්‍රහණය කරගනියි. මෙලෙස සෑම ඉන්ද්‍රයකින්ම අදාළ ආරම්මණවස්තු ග්‍රහණය කර ගනිමින් මේ ගමන ඉදිරියට යයි. මෙහිදී තවත් වැදගත් ක්‍රියාවලියක් ද සිදුවෙයි.මේ ඇස් ආදි ඉන්ද්‍රිය තුළට ශුභ සහගත රූපාරම්මනයක් ගැටුන වහා සිතට ආශාව හෙවත් තෘෂ්ණාව ඇතුල් වෙයි. එසේම එම පංච ඉන්ද්‍රියන්ට අශුභ සහගත අපි‍්‍රයජනක ආරම්මනයක් ගැටුන වහා ඇති වන්නේ තරහක් වෛරයක්ය. මේ තෘෂ්ණාව සහ තරහ පොදි බැඳගෙන යන ගමන් තමයි ජීවත් වෙනවායි සඳහන් කරන්නේ.
උපතේ සිට මරණය දක්වා අප මහන්සි වන්නේ, සිදු කරන්නේ මේ ක්‍රියාදාමය පමණයි. මේ සඳහා අපි කුඩා කල සිට ඉගෙන ගන්නවා. රැකියා සොයා යනවා. ගේ දොර ඉඩකඩම් දූ දරුවන් ආදි විවිධ භෞතික වස්තු සොයා යන්නේ ඒ සඳහා වෙහෙසෙන්නේ මේ පංච ඉන්ද්‍රිය පිනවීමටයි. මෙකී ක්‍රියාවලිය පිළිබඳ යථාර්ථ නොදැනීම, නිසා නැවත නැවත සසර ඉපදෙමින් දුක් රැස් කර ගනිමින් දුකේම ගිලී සසර දිගු කර ගනියි.
එසේ නම් පින්වත, මේ පංච ඉන්ද්‍රිය පිනවීමෙන් සසර දුක වැඩි කර ගන්නේ නම් ඉන් මිදීමට ඇති උපක්‍රමය කුමක්දැයි සොයා බැලිය යුතුයි. බුදුරදුන් ඒ සඳහායි නිතර නිතර බෞද්ධයාට මඟ පෙන්වා ඇත්තේ බුද්ධ දේශනාවේ ප්‍රධාන අරමුණ වන්නේද මේ සසර පැවැත්ම නතර කරලීමයි.
සසර දිගු කරවන, දුක වැඩි කරවන තෘෂ්ණාදී කෙලෙස් වර්ධනය සඳහා මිනිසා පෙළඹී ඇත. ඉන් මිදීමට විවිධ ධර්ම කොටස් උගන්වා ඇති අතර අප මෙහිදී පැහැදිලි කරදෙන බෞද්ධ දර්ශනය ද ඉතා වැදගත් වෙයි.
මිනිසා රූපාදි අරමුණු ග්‍රහණය කරගැනීමේදී ඇස් ආදි ඉන්ද්‍රිය මුල් වීමෙන් චක්ඛූ විඤ්ඤාණද සිත් පහළ වීමෙන් මේ ක්‍රියාදාමය සිදුවෙයි. ඇසත් රූපයත් ගැටීමෙන් චක්ඛු විඤ්ඤාණය නැමැති සිත පහළ වෙයි. එවිට රූපය දැක ක්‍ෂණයකින් හඳුනා ගනියි.
මෙම දර්ශනය සිහිනුවනින් යුතුව දකියි නම් ඔහු ජීවිතයේ යථාර්ථය දැන ගනියි. සෑම අවස්ථාවකම උපේක්‍ෂා සහගත වෙයි. එවිට ඇස රූපයේ ගැටී එහි ඇලීමක් හෝ තෘෂ්ණා සහගත බැඳීමක් ඇති නොවෙයි. එවිට ජීවිතය හා ලොව පිළිබඳ ඇති තතු වැටහෙයි. දුක පිළිබඳ අවබෝධයක් ඇතිවෙයි. මෙය ත්‍රිලක්‍ෂණ භාවනාව ලෙසද හැඳින්විය හැක. මෙය දියුණු කරගත් විට ඔහුට විදර්ශනා ඤාණය උපදවාගත හැක. ඉන් සසර බැඳ තබන අවිද්‍යා තෘෂ්ණා කඩා බිද වැටෙන අතර එයම සසර දුක කෙළවර කිරීමෙන් ලබන උතුම් නිවන් සුවය ලබා ගැනීමට ද පාදක වෙයි.
එම නිසා පින්වත් ඔබත් ඤාණාවන්තව සිතන්න. මේ ජීවිතය තාවකාලික එකක් ලෙසත් එය දුක් ගෙන දෙන්නක් බවත් තේරුම් ගත යුතුය. ලොව සියල්ල මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලිය යුතු අතර එහි ඇති නිසරු බව දැන ගෙන කටයුතු කරන්න. මේ ත්‍රිලක්‍ෂනානුකූලව බලන විට ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ෂඩ්න්ද්‍රිය පිළිබඳවම තෘෂ්ණාවෙන් නොඇලෙයි. එසේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධර්ම යන ෂඞාරම්මණ පිළිබඳව ද තෘෂ්ණාවෙන් නො ඇලි කළ කිරෙයි. තවද ඇස රූපය නිසා හට ගන්නා දැනීම් මාත්‍රය හෙවත් චක්‍රච විඤ්ඤාණ ය ද තෘෂ්ණාවෙන් අල්ලා නො ගනියි. මෙලෙස සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණ ආදිය ගැන ද මනා දැනීම හෙවත් විදර්ශනා ඤාණය ඇති වූ විට අවිද්‍යාව පහව යයි. තෘෂ්ණාවෙන් නො ඇලෙයි. එසේ අවිද්‍යා තෘෂ්ණා දෙකින් මිදුන සත්වයා නැවත සසර නූපදියි. එය සසර දුක නිමාවෙන් ලබන අමාමහ නිවන් සුවයයි.
මේ උතුම් නිවන් සුවය ළඟා කරගැනීමට බෞද්ධ ඔබ සැම ද උත්සුක වන්න.

Monday, April 16, 2012

දුලබ කරුණු හතරක්........


දුලබ කරුණු හතරක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධංම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදො
පින්වත්නී,
මෙම ගාථා ධර්මය ධම්ම පදයේ බුද්ධ වග්ගයට අයත් වූවකි. මෙම ගාථා ධර්මය දේශනා කිරීමට හේතු වූ කරුණ මෙසේය. පෙර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙහි විසි දහසක් අවුරුදු මහණ දම් පිරූ සිල්වත් භික්‍ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ එක්තරා දිනක දිගු ගමනක් යන අතරතුර ගංඟාවක් දැක එයින් එතෙර වීම පිණිස එක්තරා එරු අත්තක් දැක එය අල්වා ගෙන ඔරුවට නැඟීය. එවිගසම එරු අත්ත කැඩී අතට ආවේ ය. මෙය සුළු ඇවතක් යැයි සිතා ගණනකට නොගෙන ඇවත් නොදෙසාම මහණ දම් පිරූහ. මෙසේ කල් ගතවිය. මෙම භික්‍ෂූන් වහන්සේගේ මරණය වන වෙලාවෙහි මෙම කරුණ සිහිපත් වී මෙම එරු ඇත්ත කැඩීමෙන් වූ ඇවත නිසා මගේ ශීලය අපිරිසුදු වී යයි විමතියක් ඇති විය. එකෙනෙහිම කළුරිය කොට ඒරපත්ත නම් නාගරාජව උපන, එක් දිනක මෙම නා රජ බරණැස් නුවර මහරි රුක මුල වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ වැඳගෙන අඩන්න පටන් ගත්තේ ය. හඬන කරුණක් බුදුන් විචාල කල්හි සිදු වූ සියලු සිද්ධිය කියා ‘ස්වාමීනී, මම බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මිනිසත් බවක් නොලද්දෙමි. බුදු කෙනකු නුදුටුයෙමි. බණ ඇසීමකුත් නොලැබුයෙමි ය’ කීහ. බුදුරජාණන් වහන්සේ ඒ අසා ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක.
මිනිසත් බව ලැබීම දුෂ්කරය.
මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය.
බණ ඇසීම දුර්ලභ ය.
බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභ යයි වදාළ සේක.
මිනිසත් බව බොහෝ කුසල් කොට උත්සාහයෙන් ලැබිය යුත්තකි. එය ලබන්නේ සහේතුක කාමාවචර කුසල් බලයෙනි. එයින් ත්‍රිහේතුක කාමාවචර කුසල කර්මයෙන් උපදින්නෝ අල්පේශාක්‍ය වෙති.
මිනිසුන්ගේ සිත නිතර නැමී පවතින්නේ අකුසලය වෙතය. මිනිසාට මිහිරි වන්නේ කුසලයට වඩා අකුසලයයි. ඒ නිසා බොහෝ දෙනා පස්කම් සැපයෙන් ඉඳුරන් පිනවමින් ඒවා දියුණු කරමින් ජීවත් වෙති.
මහ මුහුදෙහි දමන ලද එක් සිදුරක් ඇති වියදණ්ඩක් සතර දිශාවෙන් හමන සුළඟින් සතර දිගට ගෙන යමින් පවතින කල්හි වර්ෂ සියයකට වරක් හිස නගන කන කැස්බා එම වියගි සිදුරෙන් අහස දැකීමටත් වඩා මිනිසත් බව ලැබීම දුෂ්කර කරුණකැයි වදාළේ එහෙයිනි. මිනිසත් බව ලබා පස්කම් සැපයෙන් ජීවත්වන මිනිසාට ජීවිතය පවත්වාගෙන යෑමට මහත් සටනක් කළ යුතුව ඇත. යහපත් ආර්ථික තත්ත්වයක් නොමැතිව ජීවිතය පවත්වාගෙන යෑමට අසීරු ය. අලසයාට, කම්මැලියාට එය කොහෙත්ම කළ හැක්කක් නොවේ. උත්සාහවන්තයා සියල්ල ජයගනී යන කියමන අනුව උත්සාහවන්තයා ජීවන සටනින් ජයගනී.
හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් උත්සාහවන්තව තම යුතුකම් ඉටුකරමින් සමාජයට වැඩදායක දරුවන් බිහිකර මහා මෙහෙවරක් අපේ රටට සිදුකරයි. දයාබර අම්මේ දයාබර තාත්තේ දුක් මහන්සියෙන් ඔබ පෝෂණය කරපු ඔබේ ආදරණීය පුතෙක් හෝ දුවෙක් මේ අපේ මාතෘභූමිය ආරක්‍ෂා කිරීමට පරිත්‍යාග කර තිබේද? එසේ නැතිනම් ඔබේ දුව හෝ පුතා සසුනට පරිත්‍යාග කර තිබේද? එසේත් නැතිනම් ඔබේ දරුවා සමාජ සේවකයෙක් රටට වැඩදායක පුරවැසියෙක් වුණා ද? අන්න එසේනම් ඔබ මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් ප්‍රයෝජන ගත්තා වෙනවා. අධ්‍යාත්මික ගුණයෙන් යුත් යහපත් පුරවැසියෙක් බිහිකරන දයාබර අම්මේ තාත්තේ ඔබට මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය ආලෝකවත් තෝතැන්නක් වෙනවා ඇත. අන්න එබඳු මනුෂ්‍ය ආත්මය දුෂ්කරයි කියා වදාළ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ දිවි පැවැත්ම ද අසීරුයි කියා වදාළහ.
පුවත්පත් සඟරා රූපවාහිනී ගුවන්විදුලි ආදී මාධ්‍යවලින් පොදු ස්ථාන විහාරස්ථාන බෞද්ධ මන්දිරවල බෞද්ධායතන යන සෑම තැනකින්ම බණ ඇසෙනවා. එයින් ප්‍රයෝජන ගන්නා අය ඉතා අල්පයි. නමින් පමණක් බෞද්ධයන් බවට පත්වී ඇති ඇතැම් දෙනෙක් ධර්මය නොදන්නෝ වෙති. බණ ඇසීමක් නැත. විහාරස්ථානයක බණ කීවත් ගෙදරක බණ දේශනා කළත් වෙනත් පොදු ස්ථානයක ධර්ම දේශනාවක් කළත් බණ අසන්නන්ට වඩා නිකරුණේ කාලය කා දමමින් එළිමහනේ වෙනත් කතා සල්ලාප දොඩවමින් බණ අසන ටික දෙනාට බාධා කරමින් සිටින පිරිස වැඩි බව ඔබ දන්නවා ඇති. බණ නෑසීම නිසා ධර්මය පිළිපැදීම, ප්‍රතිපත්තියෙන් තොරවීමද සිදුවුවහොත් එය පරිහානියට කරුණක් වනු ඇත.
හතරවන ගාථා පදයෙන් දැක්වෙන්නේ බුදුවරයන් වහන්සේගේ ඉපදීම දුර්ලභයි. සෑම කල්හිම බුදුවරු පහළ වන්නේ නැත යන්නයි. බුදුවරයන්ගේ ඉපදීම සැපයි. සුඛෝ බුද්ධානං උප්පාදෝ යන බුදු වදනින්ද එය පැහැදිලි වෙයි. මේ බුද්ධ කියන වචනය අපි සිහි කරන්න ඕන. නමෝ බුද්ධාය කියා වඳින්න ඕන. කල්ප කෝටි ගණනකින් පහළ වන මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න ඕනෑ. විහාර පන්සල් තැනූ තරමට බුදුරජාණන් වහන්සේ හැඳින ගත්තා වන්නේ නැහැ. ඒ නිසා කල්ප කෝටි ගණනකින් පහළ වන බුදුරජාණන් වහන්සේ හැඳින ගෙන බුදුගුණ සිත සිතා උන්වහන්සේගේ අසිරිමත් බුදු සිරිත හදවතට ඇතුළු කරගෙන ගුණ ධර්මවලින් පෝෂිත වන්නට හැමදෙනාම උත්සාහ වඩන්න.
එම නිසා බුද්ධෝත්පාද කාලයක ඉපදී සිටින අපි සියලු දෙනාම ප්‍රතිපත්තිකාමීව තම යුතුකම් ඉටුකරමින් සැමට මෙත් සිත පතුරවමින් මෙලොව පරලොව සාර්ථක කරගෙන සාමයෙන් සමගියෙන් ජීවත් වී පරම ශාන්ත වූ නිවනෙන් සැනසීම ලබමු යැයි ප්‍රාර්ථනා කරමු.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා.

Tuesday, April 10, 2012

සග-මොක් සුව දෙන කලණ මිතුරා


සග-මොක් සුව දෙන කලණ මිතුරා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
අසේවනා ච බාලානං
පණ්ඩිතානං ච සේවනා
පූජාච පූජ නීයානං
ඒතං මංගල මුත්තමං
(මංගල සූත්‍රය)
පින්වත්නි,
තථාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ පහළවීම සසර දුකින් වෙලී සිටින මිනිසාට ආලෝකයකි. තථාගත බුදුපියාණන් වහන්සේගේ දහම් පද, කල්‍යාණ මිත්‍රයෙකි. අඳුරේ අතපත ගාමින් සංසාර ජීවිතයේ විවිධ දුක් කම්කටොලු අත්විඳිමින් මේ යන භායනක ගමනේ දී තථාගත දේශනාව මහා පහන් ටැඹක් සේ හිඳිමින් අපට ධර්ම ඤාණය ධර්මාලෝකය සපයයි. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කරුණු ත්‍රිපිටක සූත්‍ර වශයෙන් ගත් කල්හි විශාල ප්‍රමාණයකි. එයින් මහා මංගල සූත්‍රය අපගේ පරලොව ජීවිතයට වඩා මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට දේශනා කළ වැදගත් සූත්‍ර දේශනාවකි. එහි මංගල කරුණු 38 ක් දේශනා කර තිබේ.
අපට සමාජයෙන් ඈත් වී තනිවම ජීවත්වීමට හැකියාවක් නැත. හුදකලාව කටයුතු කිරීම ඉතා අසීරුය. ඇසුරු කළ යුත්තන් හා ඇසුරු නොකළ යුත්තන් තෝරා බේරා ගැනීම ඉතා අපහසු කාර්යයකි.
බාලයන් ඇසුරු නොකිරීම, නුවණැත්තන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම ද උතුම් මංගල කරුණුයි.
අද අප ජීවත්වන සමාජය ඉතා සංකීර්ණ සමාජයකි. සුසිරිතට වඩා දුසිරිතට තෝතැන්නකි. එබඳු වටා පිටාවක බාලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ඈත් වී ක්‍රියා කිරීම මෙලොව මෙන්ම පරලොවට ද හිත සුව පිණිස පවතී. මෙහි බාලයන් ලෙස හැඳින්වෙන්නේ නිතර පව් කිරීමෙහි නිරත අනුවණයන්ය. යමෙකු විළිබියෙන් තොරව පස් පව්, දස අකුසල්හි යෙදෙයි නම් ඔහු පව්කාරයකු ලෙස හඳුන්වයි. එබඳු අය නිතර ඇසුරු කරන්නන් ද පව් කිරීමට පෙළඹෙයි. පාප මිත්‍ර සේවනය දුරින්ම දුරු කළ යුතුය. පාප මිත්‍රයන්ගේ ස්වභාවය ඔවුන් ඇසුරු කරන අය කුමන හෝ උපක්‍රමයකින් තමන්ගේ පැත්තට නැඹුරු කර ගැනීමයි. පාප මිත්‍ර සේවනය නිසා අකාලයේ ජීවිත විනාශ කර ගත් අය ද නොයෙක් දඬුවම් විඳින අය ද දුක් කරදරවලට පැටලී සිටින අය ද බොහෝය. මිල, මුදල්, යාන, වාහන, සුව පහසු මන්දිර හිමිවී තිබුණු ඇතමුන් මේ පාප මිත්‍ර සේවනය නිසා හිඟමනයට පත් වූ බව පොත් පත්වල සදහන් වේ. අද සමාජයේ උවදුරක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතයට පෙළඹීම, බෙදා හැරීම පිටුපස ඇත්තේ පාප මිත්‍ර සේවනයයි. දරුවන්ට කුඩා අවදියේ දී නරක මිතුරන් ඇසුරු කිරීමට ඉඩ නොතැබිය යුතුය. විශේෂයෙන් දෙමාපියන් තම දූ දරුවන් යහමඟට යොමු කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ අය ඇසුරු කරන උදවිය පිළිබඳ සෙවිල්ලෙන් සිටිය යුතුය. පාප මිත්‍ර සේවනයේ ආදීනව ඔවුන්ට පැහැදිලි කර දිය යුතුය.
මේ සඳහා කොතෙකුත් නිදසුන් අප සමාජයෙන් පෙන්වා දිය හැකිය. අපරිමිත දයාවෙන් සෙනෙහසින් කවා පොවා ඇති දැඩි කළ සුන්දර මල් වැනි දරුවන් නරක ආශ්‍රය නිසා විපතට පත් වුන ප්‍රවෘත්ති ජන මාධ්‍යයෙන් නිතර නිතර ඇසේ. කෙනෙකු නරකයට පෙළඹීමට ප්‍රධාන කරුණක් නම් ඔහු ඇසුරු කරන නරක පුද්ගලයන්ගේ ගති සිරිත්ය. මුදල් සෙවීමේ තෘෂ්ණාවෙන් වටිනා ජීවිත මොන තරම් විනාශ කරනවාද?
දරුවන් ඇති දැඩි කරන දෙමාපියන් තම දරුවන් ආශ්‍රය නීශ්‍රය කරන්නේ කවුද යන්න සොයා බැලිය යුතුය. ඔවුන් යන එන ගමන් බිමන් ගැන විමසිලිමත් විය යුතුයි.
පාප මිත්‍රයන් ආශ්‍රය නොකළ යුතුය. අසත්පුරුෂයන් ආශ්‍රය නොකළ යුතුය. කල්‍යාණ මිත්‍රයන්, උතුම් පුරුෂයන් ආශ්‍රය කළ යුතුය.
මේ හැම තැනකදීම පාප මිත්‍ර සේවනයේ භයානක කම විස්තර කරයි. යම් පාරක සොර සතුරු භය පවතී ද, අනතුරු බහුල යැයි ද, දැනගත් විට ඒ මඟ අතහැර වෙනත් සුදුසු මගකින් යා යුතු බවත්, එසේම පාප මිත්‍රයන් ද බැහැර කොට කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම යහපත් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. අනුවණ තැනැත්තා තමන් ඇසුරු කරන අය ද නුසුදුසු තැන්වලට පත් කරයි. යම් යම් අකටයුතු දේවල ද යොදවයි. දෙමාපියන් වැඩිහිටියන් ආදියන්ගේ අවවාද අනුශාසනා නුරුස්සයි. කෝපයෙන් හා ද්වේෂයෙන් ක්‍රියා කරයි. අනුවණයන් (බාලයන්) ඇසුරු කරනවා නම් ඇසුරු කළ යුත්තේ ඔවුන් යහපත් මාර්ගයට ගෙන්වන අදහසින් පමණි. එසේ කළ හැකි නම් එය ද මෙලොව පරලොව දෙකටම යහපතකි.
පින්වතුනි,
අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා, යනුවෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ බාලයා හෙවත් දැනුමෙන් බුද්ධියෙන් ගුණ යහපත්කමින් අඩු ධර්මයෙන් දුප්පත් පුද්ගලයන් ඇසුරු නොකරන ලෙසටය. ඒ වෙනුවට ගුණ යහපත්කමින් වැඩි ධර්මයට ලැදි සත්පුරුෂයන් ආශ්‍රය කරන ලෙසය. වයසින් කෙනෙකු හැටපස් වන විය සම්පූර්ණ කළ ද ඔහු ධර්මයෙන් බිංදුව නිසා ඔහු බාලයකු සේ සමාන වේ. මෙහි බාල යනුවෙන් අර්ථ විවරණය කර ඇත්තේ වයසින් වැඩි තැනැත්තා යන අර්ථයෙන් නොවේ. වයසින් අඩු වුව ද බුද්ධිමත් නම් නුවණැත්තෙක් නම් ධර්මයට ලැදි නම් ඔහු පණ්ඩිතයෙකි. බාල පුද්ගලයන් හෙවත් අනුවණයෝ විවිධ පස්පව් ආදී අකුසල්වල නිරන්තරයෙන් යෙදෙති. පණ්ඩිතයන් ඇසුරු කිරීම දෙවන මංගල කාරණයයි. අප බොහෝ විට පණ්ඩිතයන් ලෙස හඳුන්වන්නේ උසස් අධ්‍යාපනයක් ලැබූ උගත් අයටයි. එහෙත් මෙතැන පණ්ඩිතයන් යැයි කියන්නේ ඊට වඩා පුළුල් අරුතකිනි. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් පණ්ඩිතයා කවරෙකු දැයි හඳුන්වා දී ඇති අයුරු විමසා බැලීම වඩාත් උචිතය.
දිට්ඨෙ ච ධම්මේ යො අත්ථො
යොචත්ථො සම්පරායිකො
අත්ථාභිසමයා ධීරො
පණ්ඩිතොති පවුච්චති
මෙහි පණ්ඩිතයා ලෙස හඳුන්වන්නේ මෙලොව සහ පරලොව යන දෙලොවම දියුණුව අභිවෘද්ධිය සලසා ගැනීමට උත්සාහ ගන්නා ඒ අරමුණින් ක්‍රියා කරන පුද්ගලයාටය. ඒ අනුව මේ සත් පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර සේවනය මෙලොව දියුණුවෙන් නොනැවතී පරලොව ද පිහිට කොට පවතින උතුම් කාර්යයකි. එබැවින් නුවණින් විමසා බලා තෝරා බේරා ගෙන සත් පුරුෂයන්ම ඇසුරු කිරීම වැදගත්ය.
තමන් කරනා යහපත් කාර්යයන්හි දී ඇතිවන බාධා හිරිහැර ඉවසා දරාගෙන කළකිරීමට පත් නොවී සිය අරමුණ මුදුන් පමුණුවා ගැනීමට නොපසුබසිනා වීර්යයෙන් ක්‍රියා කිරීම එසේ දුක් මහන්සියෙන් ධාර්මිකව උපයා සපයා ගත් වස්තුව සොර සතුරන්ගෙන් රැක ගැනීම, ඒ වස්තුව සුරා සූදු ආදී දුසිරිත්වලට වැය නොකිරීම, පාප මිත්‍ර සේවනයෙන් තොරවීම, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් යුක්තවීම, අය වැය සමසේ පවත්වාගෙන යාම, ශ්‍රද්ධා, සීල, චාග, ප්‍රඥා නම් වූ චතුර්විධ සම්පදාවෙන් යුතුව මෙලොව පරලොව දියුණුව ඇති කර ගැනීම පණ්ඩිත ලක්ෂණයක් වේ. ඕනෑම සමාජයක යට කී ලක්ෂණ ඇති සත්පුරුෂයන් දුර්ලභය. එබැවින් විවිධ අදහස් උදහස් ඇවතුම් පැවතුම් ඇති මිනිසුන් සමග ජීවත්වීම ඉතා පරීක්ෂාවෙන් හා පරිස්සමින් කළ යුතුය. මෙලොව හා පරලොව ජය ගත හැක්කේ එලෙසින් කටයුතු කිරීමෙනි.
සත්පුරුෂයෝ තමන් හා ආශ්‍රය කරන්නන් ගැන ඉතා අනුකම්පා සහගතව ක්‍රියා කරති.ඒ අය දුකින් මුදවන පවින් වළකන චේතනා ඇතිව අවවාද අනුශාසනා කරති. හොඳ මාර්ගය පෙන්වා දෙති. මෙලොව පරලොව දියුණුවට අත හිත දෙති. දියුණුව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් යම් කිසිවකු තමාගේ වැරදි පෙන්වා දෙන්නේ නම් ඒ වැරදි පෙන්වා දෙන අය ගැන සිතිය යුත්තේ දුගියෙකුට ධන නිධානයක් පෙන්වා දෙන කෙනෙකුට ලෙස ගෞරවයෙනි. දයාවෙනි. නැණවතුන් ඇසුරු කොට තමා ද ශ්‍රේෂ්ඨත්වයට පත්විය යුතුය.
අසිරිමත් බණ කතා වලින් අපට තහවුරු වන්නේ පාප මිත්‍රයන් ඇසුර මෙලොව වශයෙන් ද පිරිහී අපායගාමී වීමට මඟ සලසන බවය. කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර මෙලොව ගත කිරිමටත් අවසානයේ නිවන් මඟ යොමු කිරිමටත් උපකාරී වන බවය.
පින්වත්නි,
පිදිය යුත්තන් පිදීම ද උතුම් මංගල කරුණකි. පිදිය යුත්තා නම් බුදු, පසේබුදු, මහ රහත් යන උතුමන් වහන්සේලා ද, මාපිය ගුරුවරු ද, කුල ප්‍රධානියෝ ද,ගුණ නුවණින් වැඩි අය ද, වයසින් වැඩිහිටියෝ ද යන සමූහයයි. බුද්ධාදී උතුමන් වහන්සේලා පිදිය යුතු ක්‍රම දෙකකි. ඒ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා වශයෙනි. තෙල් මල් ආදියෙන් ද, චීවර පිණ්ඩපාත ආදී සිව්පසයෙන් ද පිදීම ආමිස පූජාවයි. ධර්මානුකූලව ජිවත්වීම, පන්සිල්, අටසිල් ආරක්ෂා කිරිම, භාවනා කිරිම ආදිය ප්‍රතිපත්ති පූජාවයි. පැරණි රජ දරුවෝ පවා සිය රජකම දෙවෙනි කොට සලකා මේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දුන්හ. සුදුස්සාට සුදුසු තැනට ගරු බුහුමන් කළ යුතුය. දෙවියන්ට මළගිය ඥාතීන්ට පිංපෙත් අනුමෝදන් කිරිමත් පිදිය යුත්තන් පිදීමකි. පිදිය යුත්තන් පිදීම මෙලොව වශයෙන් නැණවතුන්ගේ ප්‍රශංසාවට හා ගෞරවයට ද පරලොව සුගතිගාමීවීමට ද හේතු වෙයි. එනිසාම එය මංගල කරුණකි.
එබැවින් බාලයන් ඇසුරු නොකිරීමට ද පණ්ඩිතයන් ඇසුරු කිරීමට ද, පිදිය යුත්තන් පිදීමට ද උත්සාහ ගන්න. ඒ දෙලොවටම උපකාරී වෙයි. එය නිර්වාණයට ද මාර්ගයයි.
සැමට තෙරුවන් සරණයි.



Thursday, April 5, 2012

‘වැරැදි’ නොකළාට මදි; අරමුණක් ඇති සීලයක් ඕනෑ......


‘වැරැදි’ නොකළාට මදි; අරමුණක් ඇති සීලයක් ඕනෑ

වර්තමාන සමාජය සීඝ්‍ර ගමනක යෙදෙමින් සිටියි. විද්‍යාවෙන් තාක්ෂණයෙන් මිනිසාට මේ ගමන නොනවතින පරිදි ධාවනය කරවීමට තුඩුදෙන අපේක්ෂා රැසක් නිර්මාණය කොට තිබේ. මුදල, මේ අපේක්ෂා වැඩි කිරීමට මූලික හේතුව වී ඇත.
තාක්ෂණික දියුණුව හා මුදල විසින් මිනිසා තුළ ඇති කරන ලද තෘෂ්ණාව ඔහු අධාර්මික සිතුම් පැතුම් වලට පවා පොළඹවා ඇති බව පෙනෙයි.
සමාජය හමුවේ අප්‍රමාණ ලෙස බැබළීම උදෙසා මිනිසා නොකරන දෙයක් නැත. මුදලින් පොහොසත් වීමේ සහ සමාජ මට්ටමෙන් උසස් වීමේ ආශාවෙන් වර්තමාන මිනිසා වෙලී ඇත. මෙම තත්ත්ව කරා ළඟාවීමට බොහෝ දෙනෙක් ගේ දොර, ඉඩකඩම්, වතුපිටි, යාන වාහන හා පිරිස් බලය අත්පත් කර ගැනීමට වෙහෙසමින් සිටිති. ඒවා තමන්ට ආභරණ කොට සලකති. තනතුරු, නම්බුනාම පසුපස හඹායති. ඒවා ලබා ගැනීම සඳහා නොකරන දෙයක් නොමැති තත්ත්වයට වත්මන් මිනිසා පත් වී සිටිති. ඇතැමෙන් ඉහළ යැයි සම්මත සමාජයට ළඟාවීම සඳහා මත්පැන් පානයද සුදුසුකමක් කොට සලකති.
මේ ආකාරයෙන් මිනිස් ජීවිත මත අනවශ්‍ය බර රැසක් පැටවී ඇත. ඔහු තමන්ට දැරීමට නොහැකි තරමට කාර්යබහුල වී ඇත. සරල බව, නිවුන ගුණය, දැහැමි බව ඔහු වෙතින් පලා යමින් පවතියි.
මේ න්‍යාය ධර්මය දකින්නෝ විරලය. ඒ අයට සිල් රකින්නට වේලාවක් නැත. පෝයටවත් පන්සලකට යන්නට වේලාවක් නැත. ‘මං කිසිම නරක වැඩක් කරන්නේ නෑ. කාටවත් වරදක් නොකරන මං පන්සල් යන්නේ මොකටද? කියා අසන අය සිටිති. ‘සිල් රැකල පලක් නෑ’ කියන අයද සිටිති.
මෙසේ පවසන බොහෝ දෙනෙක් සීලයේ අගය වටහාගෙන නැත. සීලය යනු කුමක්දැයි දන්නේ ද නැත. බුද්ධෝත්පාද කාලයක උපත ලද මිනිසුන්ට ධර්මාවබෝධයට ප්‍රමාණවත් අවස්ථා තිබේ. ධර්මය හඳුනා ගනිමින් ධර්ම මාර්ගයට පිවිස තම තමන් විසින් නිවන සාක්ෂාත් කැර ගැනීමයි බුදු දහම පිළිගැනීමේ අරමුණ විය යුතු වන්නේ.
නිර්වාන මාර්ගයට පිවිසීමට අවශ්‍ය දහම උපතින්ම ලැබී තිබීම, කොතරම් වාසනාවක්ද? ලය උපහාසයට ලක් කරමින්, සිල් රැකීම නිෂ්ප්‍රයෝජන කටයුත්තක් සේ සලකා ඉන් බැහැරව සිටීම බෞද්ධයකු ලෙස ලද හැකි ජීවිත ඵලය, ඉවත හෙළීමකි. ධර්මය හෙළා දැකීම ආර්ය උපවාද අකුසල කර්මයටද හේතු විය හැකිය.
සතුන් සැබවින්ම කාට හෝ වරදක් කරනුයේ කලාතුරකිනි. ඇතැම් සතෙක් ආහාර සපයා ගැනීම සඳහා තවත් සතකු මරා කයි. ඇතැම් අලියෙක් මිනිස් ජීවිත වගා ආදිය හානි කරයි.
ඌ ද එසේ වී ඇත්තේ මිනිසුන් විසින් උගේ ජීවිතයට තර්ජන එල්ල කිරීම නිසා ය. නො එසේ නම්, වන සතුන් පවා බොහෝ දුරට කාට හෝ වරදක් පාඩුවක් නොකොට, සරලව තම අවශ්‍යතා ඉටු කර ගනිමින් ජීවත් වන අයයි. එසේනම්, බුද්ධිය ඇති මිනිසා කොතරම් සංවර විය යුතු ද? කොතරම් ශික්ෂණය විය යුතු ද? කොතරම් කාර්ය බහුල ජීවිත ගත කළත්, ධාර්මිකව ජීවත්වීම කළ නො හැකි දෙයක් නොවේ. එසේම මසකට වරක් ගිහියකුට ලැබෙන අගනා අවස්ථාවකි, පුර පොහොය දිනයේදී උපෝසථ සීලය ආරක්ෂා කිරීමට අවස්ථාවක් ලැබීම. සැබවින්ම සීලය යනු සිතාමතාම සංවර වීමකි.
ඇතැම්හු උපතින්ම සතුන් නොමරති. ඇතැම්හු බොරු නොකියති. තවත් ඇතැම් අය වැරැදි කාම සේවනයේ නොයෙදෙති. සමහරු උපතින්ම සොරකම් නොකරති. මත්පැන් පානය නොකරති. විවිධ යහපත් ප්‍රතිපත්තියහි පිහිටා කටයුතු කරති. එසේ වුවත් මෙවැන්නකු වුවද අවබෝධයෙන් යුතුව සීලය සමාදන් නොවන්නේ නම්, එය අර්ථවත් හා ඵලදායක පිළිවෙතක් නොවනු ඇත. යහපත් චේතනාවකින් හා විමුක්ති අරමුණ ඉටුකර ගැනීමේ චේතනාවෙන් රකින සීලයෙන් මිස එවැනි සසර පුරුද්දෙන් ඉබේ රැකෙන සිල් වලින් සැලකිය යුතු ප්‍රතිඵලයක් නැත.
‘පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යැයි සමාදන්වූ විට උපතින් ගෙනා ඒ පුරුද්දට ද පැහැදිලි අර්ථයක් ලැබෙයි. නොඑසේව, තම තමන් වරදක් නොකරන බවත්, සිල්වත් බවත් එබැවින් පොහෝදිනවල උපෝසථ ශීලය සමාදන්ව රැකීම අවශ්‍ය නැති බවත් සිතා සිටීම, මිථ්‍යා අදහසකි.
එසේ විවිධ සාධක දක්වා තම තමන් ගේ සිල්වත් බව දක්වන උදවිය, විශාඛා උපාසිකාව, අනාථපිණ්ඩික මහ සිටානන් වේලුඛන්ඨකී නන්දමාතා, කුජුත්තරා, චිත්‍රගෘහපති, වේසාලිකා උග්ග, හත්තාලවක, බිම්බිසාර මහ රජු වැනි පුද්ගලයන් කොතරම් සිල්වත් චරිතදැයි සැළකිය යුතු ය.
විශාඛා සෝතාපන්න වූයේ අවුරුදු හතක (7) තරම් කුඩා දැරියකව සිටියදී ය. මෙබඳු උතුමන් ආර්යකාන්ත සීලයේ පිහිටන ලද හෙයින් අමුතුවෙන් සිල් සමාදන්වීමට උවමනා නැති බව සිතිය හැකිය. ආර්යකාන්ත සීලය හෙවත් පංචසීලය ස්ථිරව පිහිටීම මෙබඳු අයගේ ස්වභාවය වන බැවිනි.
සැබැවින්ම මේ උතුම් සීලය මොවුන් වෙතින් කැඩෙන්නේ ද නැත. එනම් අවිඡිද්දය, අසබලය. කමිමාස පුල්ලි නැත. එනම් සීලය කිසිසේත් අපවිත්‍ර නොවේ. එබඳු සීලය ‘සමාධි සංවත්තනික’ යනුවෙන් හැඳින්වෙයි. එනම් සමාධිය පිණිස හේතුවෙයි. මෙබඳු උතුම් සීලයක බුදු, පසේ බුදු, මහරහන් වහන්සේගේ ශාසනයට ලක්වෙයි.
මසකට එක්දිනක් පමණක් හෝ පුරුද්දක් වශයෙන් මෙසේ උපෝසථ සීලය ආරක්ෂා කිරීම උත්තරීතරය. කොතරම් කටයුතු බහුල වුවද බෞද්ධයන් විසින් රැකිය යුතු නිත්‍ය සීලය වන පංච සීලය රකින අතරතුර උපෝසථ සීලයද රැකීමට හුරුවීම, නිවන ලැබීම ඉක්මන් කරන ප්‍රතිපත්තියකි.
අප ඉහතින් දැක් වූ විශාඛා මහෝපාසිකාව වැනි විමුක්ති මඟට නැඹුරු වූ පුද්ගලයන් අතර රජවරු සිටුවරු, දාසයන් වැනි සමාජයේ විවිධ මට්ටම් නියෝජනය කළ අය වූහ. අද පවත්නා සමාජ රටාව එදා නොපැවැතියද මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ද ජීවන කටයුතු බහුලව තිබූ අයම වූහ.
එහෙත් මේ සියලු දෙනා තමාට පවුලට, සමාජයට, රටවැසියට ඉටු කළයුතු සේවයද නොහිපිරිහෙළා ඉටුකළ බවද, එසේම ඉතා දැහැමි දිවි පෙවෙතක් ගතකළ බවද ප්‍රකට ය. එසේ ම ඔවුහු නිතර උපෝසථ සීලය ආරක්ෂා කළ බවද පැහැදිලිය.
කාර්ය බහුලයැයි ඔවුහු කිසි විටෙක, සීලයෙන් බැහැර නොවූහ. වර්තමාන සමාජයේ කාර්ය බහුල බව සමග ද නොසැලී අපගේ ප්‍රතිපත්ති පවත්වා ගැනීම සඳහා උතුම් ශීලයක පිහිටා එය ආරක්ෂා කිරීමට ඉහත දැක් වූ පුද්ගලයෝ කදිම ආදර්ශ සපයති. නොනවතින තරගයෙන් මිදී බෝසත් උතුමකු බවට පත්වීමට ද ඒ ආදර්ශවත් චරිත මඟ නොපෙන්වන්නේ ද?

Wednesday, April 4, 2012

ගිහි ගෙදර ධර්මාවබෝධයට බාධාවක් නොවේ.....


ගිහි ගෙදර ධර්මාවබෝධයට බාධාවක් නොවේ

ධර්මයේ පිහිට රැකවරණය ආරක්ෂාව ලබා ගැනීම ගිහි පැවිදි හැමෝටම අයිතියි. නමුත් ගිහියාගේ ප්‍රතිපදාව සහ පැවිද්දාගේ ප්‍රතිපදාව වෙනස්. ගිහි හා පැවිදි දෙපක්ෂයට ම තිබෙන්නේ එකම නිවන් මාර්ගය යි. නමුත් එහි ගමන්කරන රටාවත් වේගයත් වෙනස් විය හැකියි. ගිහියාට ගිහි ජීවිතයේ තිබෙන බාධා වැඩියි. නමුත් අප ගිහි ජීවිතයේ සිට ධර්මය අවබෝධ කරන්න බැරි යැයි සිතන්නේ ගිහි ජීවිතයේ දී නිවන් මාර්ගයට පැමිණීමට බාධා වැඩි නිසයි. ගිහි ජීවිතයේ තිබෙන බාධා වැඩි කියා. තවත් ආකාරයට කියනවා නම් කෙනෙක් ගමනක් යනවා විශාල බරක් කර තබාගෙන. තවත් පුද්ගලයෙක් ඒ ගමනම යනවා ඔහුට කිසිදු බරක් නැහැ. විශාල බරක් ඔසවා ගෙන යන පුද්ගලයාගේ ගමන හෙමින්. බරක් නැති පුද්ගලයා ඉක්මණින් ගමන නිමා කරනවා. එකම පාරේ දෙදෙනාගේ ගමනේ් වේගය අඩුවැඩි වෙනවා.
ධර්මයේ රැකවරණය ලැබීම ගිහි ජීවිතයේ හෝ පැවිදි ජීවිතයේ සිටීම කියල කතාවක් නැහැ. ගිහි ජීවිතයේ සිටිමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපහසු ය කියා කියනවා නම් ඒකත් පිළිගන්න බැහැ. තමා යම් ධර්මයක් ආරක්ෂා කරනවා නම් ඒ ආරක්ෂා කරන ධර්මයේ රැකවරණය තමාට ලැබෙනවා.
මූලිකවම ගත්විට ගිහියකුගේ ධර්මචාරිබව අපට තේරුම් කරන්න පුළුවන් ඔහුගේ තුන්දොර කෙතරම් සංවරද කියලා දැන ගැනීමෙන්. තුන්දොර සංවර කරගන්න කැමැති පුද්ගලයා මුලින්ම සංවර කර ගන්නවා සිත. සිත සංවර කර ගත් විට කයයි වචනයයි සංවර කර ගන්නට මහන්සි ගන්නවා. පන්සිල් රකිනවා කියන්නේ තවත් ආකාරයකට කය වචනය සංවර කර ගැනීමයි. කය වචනය සංවර වුණේ හිත සංවර කර ගැනීම නිසයි. සිතේ තිබෙන සිතිවිලි සමාධිගත කරන ක්‍රමය තමයි කය වචනය, නරක දේ හොඳ දේ කියන ස්වභාවය. ඒ නරක දේ හා හොඳ දේ කරන්නේ හිතේ ස්වභාවයෙන්. හිත පිරිසුදු කරගත් පුද්ගලයා පමණයි පන්සිල් ආරක්ෂා කරන්නේ. යමෙක් පන්සිල් රකිනවා කියන්නේ ඔහු ධර්මය තුළ ජීවත් වෙනවා කියන එකයි. ගිහියෙක් ලෙස ඔහුට ධර්මයෙන් ලැබෙන ප්‍රධානම රැකවරණය තමා සමාදන්වන නිත්‍යශීලය වන පන්සිල් ආරක්ෂා කිරීම. පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයාගේ මූලිකවම රැකෙන්නේ සිත. තමාගේ සිත රැක ගත්තොත් එය තමාට විශාල ආරක්ෂාවක්. තමාගේ සිත රැකීම තුළින් තමාට පමණක් නොව මුළු සමාජයටම ලැබෙන්නේ ආරක්ෂාවක්. තව ආකාරයකට කියනවා නම් ආරක්ෂාව නැති තැන ඇත්තේ බයයි. මිනිසුන් බයෙන් ඉන්නේ ඇයි? අප වටා සිටින පිරිස සිල්වත් නැති නිසා. සදාචාරසම්පන්න නැති නිසා. ඉන්ද්‍රිය සංවරයක් නැති නිසා. එනිසා අප පන්සිල් රකිනවා නම් තමාට මෙන්ම සමාජයටත් විශාල ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා.
ධර්මයේ පිහිට රැකවරණය ආරක්ෂාව ලබා ගැනීම ගිහි පැවිදි හැමෝටම අයිතියි. නමුත් ගිහියාගේ ප්‍රතිපදාව සහ පැවිද්දාගේ ප්‍රතිපදාව වෙනස්. ගිහි හා පැවිදි දෙපක්ෂයටම තිබෙන්නේ එකම නිවන් මාර්ගය යි. නමුත් එහි ගමන්කරන රටාවත් වේගයත් වෙනස් විය හැකියි. ගිහියාට ගිහි ජීවිතයේ තිබෙන බාධා වැඩියි. නමුත් අප ගිහි ජීවිතයේ සිට ධර්මය අවබෝධ කරන්න බැරි යැයි සිතන්නේ ගිහි ජීවිතයේදී නිවන් මාර්ගයට පැමිණීමට බාධා වැඩි නිසයි. ගිහි ජීවිතයේ තිබෙන බාධා වැඩි කියා. තවත් ආකාරයට කියනවා නම් කෙනෙක් ගමනක් යනවා විශාල බරක් කර තබාගෙන. තවත් පුද්ගලයෙක් ඒ ගමනම යනවා ඔහුට කිසිදු බරක් නැහැ. විශාල බරක් ඔසවා ගෙන යන පුද්ගලයාගේ ගමන හෙමින්. බරක් නැති පුද්ගලයා ඉක්මණින් ගමන නිමා කරනවා. එකම පාරේ දෙදෙනාගේ ගමනේ වේගය අඩුවැඩි වෙනවා. ඒ වගේ තමයි ගිහියාගේ ජීවිතයේ වගකීම් වැඩිනිසා ධර්ම මාර්ගයේ ගමන සිදුවන්නේ සෙමින්.
තථාගතයන් වහන්සේ නමක් ලෝකයේ පහල වන්නේ විශේෂයෙන් කරුණු තුනක් සඳහායි. ඒ තමා මෙලොව සුව, පරලොව සුව, ලෝකෝත්තර සුව කියන කරුණු අපට කියා දීමටයි. මේ සුව ලොවට ලබාදෙන නිසායි තථාගතයන් වහන්සේ “සත්ථා දේව මනුස්සානං” කියලා වන්දනා කරන්නේ. උන්වහන්සේ දෙවි මිනිසුන් සියල්ලටම ශාස්තෘන් වහන්සේ නිසා ගිහි පැවිදි කතාවට වඩා ඉන් එහාට ගිය දෙයක් තිබෙනවා. මේ හැමෝගේම මෙලොව ජීවිත යහපත් කර ගන්න තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා.
මේ ලෝකයේ වගේම පරලොව ජීවිතය වාසනා කර ගැනීම පිළිබඳවත් මැරිලා උපදින තැන සුවපත් කර ගැනීම පිළිබඳවත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. නමුත් උන්වහන්සේ ලොවට පහළ වීමේ ඉලක්කය මේ ලෝකය සුවපත් කර ගන්නටයි, මැරිලා උපදින තැන සුවපත් කර ගන්නට නොවේ. බුදු කෙනෙකු ඊට වඩා ඉතා අර්ථවත් දෙයක් උදෙසා ලොව පහළ වෙනවා.
උන්වහන්සේ මේ ලෝකයේ කරුණු කාරණා යහපත් කරන ආකාරය ධර්මය වදාරණ බව ඇත්තයි. පරලොව ජීවිතය සුවපත් කර ගැනීමට කරුණු කාරණා වදාරණ බවත් ඇත්තයි. නමුත් තථාගතයන් වහන්සේ දන්නවා මේ ලෝකයේ හෝ පරලොව හෝ ඉපදීම දුකයි කියලා. මේ නිසා ඒ උපත නැවැත්වීමට තමයි උන්වහන්සේ මඟ කියා දෙන්නේ. මේ ලොව පරලොව සුවපත් කර ගන්නවා කියන්නේ පැවැත්ම තහවුරු කර ගැනීමයි. පැවැත්මට වඩා භාග්‍යවතුන් වහන්සේ වදාළේ නැවැත්ම තහවුරු වන ආකාරය පිළිබඳව යි.
නැවැත්ම තහවුරු කරන ක්‍රියා තමයි මූලිකවම නිවනට ඉලක්ක වන්නේ. පැවැත්ම තහවුරුවන දේවල් තුළ යුතුකම් ඉෂ්ඨ කරගෙන ගුණදහම් පුරාගෙන පින්දහම් කරගෙන සංසාරයේ දිගින් දිගට යන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ලෝකයේ පහළ වෙලා මේ මාර්ගය දේශනා කරන විට ඒ මාර්ගයේ ප්‍රතිඵල ලබන ගිහි පැවිදි දෙපිරිසම ඒ ප්‍රතිලාභ තුනම ලබා ගන්න පුළුවන්.
විශාඛා සිටු දියණිය සෝවන්ඵලයට පත්වූ අයෙක්. ඇය විවාහකයි. ඒ වගේ ගිහි ගෙදර ඉඳිමින් ඉහළ මාර්ගඵල ලැබූ අයත් බුද්ධ ශාසනය තුළ සිටියා.
එනිසා අප ගිහි ගෙදර සිටියදී වුවද ගිහි ප්‍රතිපදාවත් හොඳින් රැකගෙන සිගාලෝවාද සූත්‍රය ව්‍යග්ගපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය ආදි සූත්‍ර වල තිබෙන කරුණු හොඳින් අධ්‍යයනය කර තමා ළඟ තිබිය යුතු ගුණ ධර්ම දියුණු කරගෙන නැති කරගත යුතු අගුණ ධර්ම අඩුකරගෙන වැඩ කරනවා නම් ධර්මයේ රැකවරණය නිරන්තරයෙන්ම වැඩෙනවා.