Powered By Blogger

Thursday, June 14, 2012

පුනාරාගමනය කළයුතු ‘‘ආගමනය’...


පුනාරාගමනය කළයුතු ‘‘ආගමනය’’ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේදී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය. ඓතිහාසිකවූත් පෞඩවූත් සභ්‍යවූත්  ජාතියක අනන්‍යතාවය මේ විශ්වය මත තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත්  දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද අනන්‍යතාවයන්   පුනාරාගමනය කිරීමට අවැසිම හා සුදුසුම කාලයයි මේ. මන්ද සියලූම භෞතික අයිතීන් මෙන්ම ගුණ ණැන ආදියද සෑම ආකාරයකින්ම පිරිහෙමින් පවතී. බුදු දහම විනාශ කරන්නට අද පෙරට ඇවිත් ඇත්තේ බහුතර වශයෙන්ම උප්පැන්නයට බෞද්ධ වූවන්ය. එනිසාම තත්ත්වය භායනක වී ඇත. මිත‍්‍ර වේශය හා සතුරු වේශය වෙන් කොට දැකීම පවා අපහසු වී ඇත. මෙවන් සියලූ තත්වයන් මත නියමයෙන් හා අනියමෙන් විනාශ වී යන්නේ ලෝකයේ තවත් බෞද්ධ රටකි. ලෝකයේ එකම සිංහල රටයි. මේ සියල්ල මොන අන්දමින් හඩ ගා කිව්වත් බීරි අලින්ට වීනා වයන්නාක් මෙන් වී ඇත. හුදු දේශපාලනික බලය රැක ගැනීම හා ඒ වටා ගොනු වී ඇති අන්තේවාසිකයන්ගේ සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරන වගකිව යුත්තන් හා බලධාරීන් ටිකෙන් ටික රට උගසට තබ සියදිවි නසාගන්නේ පහන් දැල්ලට ගිජු වූ පළගැටියෙකු එයට පැන දිවි තොරකර ගන්නාක් මෙනි.  ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහක් මෙන් පෙනෙන්නා සේ දවසක උන් ඔක්කෝටම තම තමන් සෘජුව හා වක‍්‍රව කළ විනාශයන් විඳවන්නට වේවි. හැබයි ඒ වන විට පෙරහැර ගිය මගක්වත්  දකින්නට නොලැබෙනු ඇත.
ශ‍්‍රී ලංකාද්වීපය හුදෙක්ම ලෝකයේ පවතින සුවදායි මනරම් දිවයිනක් පමණක් නොව එය තුන් ලොවෙහි ම ශේෂ්ඨතම පුද්ගලයා වන සම්මා සම්බුදුන්ගේ පහස ලද ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියකි. එසේ පහස ලැබ නැණ ගුණයෙන් පිරි සත් පුරුෂ දනන් ද දස දෙස ජීවත් වූ භූමියකි. වර්තමානය එසේ නොවුනද අතීතය පිළිබඳව සාභිමානයෙන් යුතුව කතා කිරීමට හැකි පෞඪ ඉතිහාසයක් අපට හිමි වී තිබුණි. එම ඉතිහාසය පෞඪ වූයේ බුදු දහමේ පූර්ණ ආභාෂයෙන් පෝෂණය ලැබ නැණ ගුණයෙන් පිරිපුන් සත් දනන් විසින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සභ්‍ය වූ සංස්කෘතියක් ගොඩ නැගීම නිසාවෙනි. එම ශ්‍රේෂ්ඨ ක‍්‍රියාදාමයන් වදන් හරඹයන් ඔස්සේ අප ප‍්‍රකාශ කළ ද සැබවින් ම එය අති උත්කර්ෂවත් ක‍්‍රියාදාමයකි. විශේෂයෙන් ම රටක්, ජාතියක් ලෙස ලෝකය ම විශ්ව ගම්මානයක් වූ අද දවසේදී ද උදම් අනන්නේ එම ප්‍රෙෘඪ ඉතිහාසයේ සෙවනැලි පහස විඳිමිනි. අද මෙම සැබෑව සියල්ලට අමතක වෙමින් පවතී එනිසා බුදුදහමට නිසි තැන හා හිමිතැන නොදෙමින් සර්වාගමික පූට්ටුවක් සමාජගත කරමින් එහි වාසියද අන්‍යාගමිකයන්ට ලබා දෙමින් කටයුතු කරති. මහින්දාගමනයෙන් ලද ශ්‍රේෂ්ඨත්වයේ අක් මුල් සිඳලන භයානකම මායාව බවට මේ වන විට මිත්‍යාදෘෂ්ටික සර්වාගමික සංකල්පය පත්ව ඇත.
භෞතික මානයන් ඔස්සේ සංවර්ධිතයැයි පවසන ලෝකය තුළදී අප අපේ අනන්‍යතාව ලෝකයා හමුවේ අදටත් පිළිබිඹු කරවන්නේ පෙර දැක්වූ පරිදි බුදු සමය ආශ‍්‍රයෙන් ගොඩ නැගුණ උදාර සංස්කෘතියේ මහඟු දායාදයන්ගෙනි. අද වන විට නවීන ආකාරයට සරිලන අන්දමින් වෙනස් වී ඇතත් එදා මහින්දාගමනයෙන් ලද මහ`ගු ඵලයක් වූ අටලොස් කුලයන්ගේ සංවර්ධනීය අවස්ථාවක් විද්‍යසාන වනවා මිස සිදුව ඇති පරිවර්ථනයක් නොමැත. මේ බව සියුම්ව පරික්‍ෂාකර බැලීමෙන් මනාව තහවුරු වන්නකි. ‘‘ බලත්ත කුලය ල උයන්පල් කුලයල කුලිංග කුලයල මල්කරු කුලයල කපු කුලයල ඔසද වටු කුලයල සත් කරු කුලයල සරස් කුලයල පෙරහැර කුලයල තුනා කුලයල කුඹුල් කුලයල අරක්කැමි කුලයල කුඹුරු කුලයල ලෝකුරු කුලයල සුවණ්නකාර කුලයල වඩු කුලයල සිත්තරු කුලයල දෙව් කුලය ’’ මේ එම අටලොස් කුලයන්ය. මෙයින් අපට සපථ වන්නේ බුදු දහමින් තොරව මේ දෙරණේ කිසිදු දෙයක් නිම වී නොමැති බවයි. මහින්දාගමනයෙන් එලෙසින් තහවරු වූ නව දේශයක ආරම්භය අද වන විට උගසට තබා මුල අමතක කර දමා ඇත. එය එසේ නොවේ නම් දඹුල්ල පුදබිම අලූත්ම බිල්ල වී මුස්ලිම් අන්තවාදීන් අතින් දුෂණය නොවන්නට ඉඩ තිබිණ.
වර්තමානය වන විට ලහි ලහියේ ම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමට වෙර දරන විධායකයේ සිට පහළට දිවෙන කවුරුත් පාහේ තරයේ සිහියේ තබාගත යුතු එක් සත්‍යයක් ඇත. ඔබ මේ විනාශකර දමන්නට යත්න දරන්නේ මෙරට තුළ උදාර සංස්කෘතියක්  නිර්මාණය කිරීමේ පෙර ගමන්කරු වූ  අනුබුදු  මහා මහින්ද මහ රහතන් වහන්සේගේ උදාර ආගමනයේ ඓතිහාසිකත්වය හා යතාර්ථය බවයි. එය එසේ සිහියේ තබාගැනීමේ වැදගත්කම වන්නේ අතීතය නොතකා නැගී සිටීමට වෙර දරන්නවුන්ට ලෝක ධර්මය තුළදී යළි යළි පසුබෑම්වලට ලක් වන්නට සිදුවන බව අතීතය විසින් ම තහවුරු කර දී ඇති නිසාවෙනි. මෙරට සිංහල බෞද්ධ පදනම හේතුවෙන් රටක් ජාතියක් ලෙස අතීතයේදී ද අප සෑම විටම ආරක්ෂා කර දී ඇත. අනාගතයේදී ද එය එසේ ම සිදුවන බවට අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මන්ද මෙරට සිංහල බෞද්ධ පදනම පිළිගැනීම නිවටකමක් සේ සලකන පරාදීන මිනිසුන්ට කීමට ඇත්තේ ඔවුන්ගේ ස්වාධීන බව හැකිනම් ඇමරිකාවට ගොස් පෙන්වන බවයි. මන්ද අපේ රටේ තරම් ලෝකයේ වෙන කොහේදී නම් අන්‍ය ජාතිකයන්ට අන්‍යාගමිකයන්ට මේ තරම් සහනශීලිත්වයක් ලැබේද? මේ තරම් දියුණු යුගයක, මේ තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය , මේ තරම් මානව හිමිකම් කතාකරන යුගයක පවා අන් කිසිදු තැනක නොමැති නිදසහක් අන් අයට මෙහි ඇත. සමස්තයක් ලෙස සුළුතරය විසින් නිරන්තරයෙන් මහජාතියට හානි පැමුණුවා මිස සුළුතරයට හානී සිදු වී නොමැත. ඒ සභ්‍යත්වය නිරායාසයෙන් බෞද්ධයාට හිමිව ඇත්තේ බුදු දහමෙන් ලැබෙන ශික්‍ෂණයත් සමගය. නමුත් අද  සිදුවෙන සැබෑව නම් බෞද්ධයාගේ ශික්‍ෂණයට අභියෝග කරමින් දිනෙන් දින එය හෑල්ලූ කිරීමයි. පිටස්තරයන් සේම අපේම යැයි කියන්නවුන්ද එසේ හෑල්ලූ කරති.
ලෝක පොලිස්කාරයා ලෙස සලකන ඇමරිකාව ලෝකය දෙස බලන්නේ බහු ජාතික, බහු ආගමික අනුකම්පාවකින් නොව, ඒ බව ප‍්‍රබලව ම තහවුරු වන එක් අවස්ථාවක් පමණක් අපි මෙහිදී දක්වමු. ඇමරිකානු ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට දිවුරුම් දෙන්නේ බයිබලය මත දිවුරාය. එයට අප අපහාස නොකරමු. ඔවුනට හැකිනම් ඔවුන්ගේ අනන්‍යතාව එසේ ප‍්‍රකට කරන්නට, අපිට එහිදී ඇති තහනම කුමක් ද? සිංහල බෞද්ධයෝ එහි වාසය කරන පමණින් එහි සිංහල බෞද්ධ රාජ්‍යයක් කිසිසේත් නිර්මාණය කළ නොහැක. අප එහි යන්නේ නම් අකමැත්තෙන් වුව ද ඔවුන්ගේ මූලික අයිතියට ගරු කරමින් වාසය කළ යුතුය. එහි පමණක් නොව ලෝකයේ කුමන රටක වුව ද තත්ත්වය එසේය. එනිසා මෙරට තව දුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් මිසක් ශ‍්‍රී ලාංකික ජාතියක් නොවන බව අපගේ දැඩි හැඟීමයි. එය එසේයෑයි පිළිගැනීමට අකමැති බටහිරගැති නූතන ක‍්‍රිස්තියානිවාදයට උඩ ගෙඩි දෙන පිරිස් ඉතිහාසය අමු අමුවේ ම විකෘති කරමින් මහින්දාගමනයෙන් ගොඩ නැගුණ මෙරට අදීන ඉතිහාසය නොපිළි ගැනීම පමණක් නොව මෙරටට සුඛාගමනයක් වූ මහින්දාගමනය ද බලහත්කාරකමක් ලෙස හූවා දැක්වීමට යත්න දරති. මෙය කෙටිකාලීන වූ ක‍්‍රියාදාමයක් නොව ඉතා සියුම් ලෙස දශක ගණනාවක් තිස්සේ දරන ලද නින්දිත උත්සාහයක ප‍්‍රතිඵලයකි. මෙරටින් සිංහල බෞද්ධකම සමූලඝාතනය කිරීමට නොයෙක් වේශයන්ගෙන් උත්සාහ කළවුන් එය එසේ කිරීමට අපහසු වූ තැන ඒ සඳහා නොයෙක් සියුම් කූට උපක‍්‍රමයන් භාවිතා කරති. මහා වෘක්ෂයක අතු කොළ සිඳ එය වනසාලිය නොහැකි තැනදී එහි මුදුන් මූල සොයා එය නසාලීමට දරන නින්දිත උත්සාහයක් ලෙස ද මෙය අවිවාදයෙන් ම සැලකිය හැක.
මෙම සංස්කෘතික විනාශයේ විද්‍යමාන මූලාරම්භය සනිටුහන් වනුයේ 16 වැනි සියවසයේ පටන්ය. එනම් ක‍්‍රි.ව. 1505 දී ප‍්‍රථම වතාවට පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙනි. ඔවුන් එසේ පැමිණෙද්දී රෝමානු කතෝලික ආගම ද රැගෙන ආවේය. ලක්දිව ජනයා වෙනත් ආගමකට බලහත්කාරයෙන්, වරප‍්‍රසාද ලබාදීමෙන්, සදාචාර විරෝධීව හැරවීම ආරම්භ කරන ලද්දේ පෘතුගීසින් විසිනි. බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස උදුරාගත් පළමු සතුරු කොටස ලෙස පරංගින් ඉතිහාසයේ ලියෑවී ඇත. ඔවුන් මෙරටට පැමිණි විලාසය හා සිදු කරන ලද ආගමික විනාශය පිළිබඳව කරුණු දක්වන බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව ඒ අඳුරු යුගයේ ආරම්භය මෙසේ සනිටුහන් කර ඇත. (1956) ”ඔවුන් ඉන්දියන් සාගරයේ විද්‍යමාන වූයේ වෙළෙන්දන්, ධර්ම දුතයන්, මූදු කොල්ලකරුවන් යන ත‍්‍රිත්ව ස්වරූපයෙනි. ඔවුන්ට නියමව තිබුණේ ආගම දේශනාවෙන් පටන්ගන්නටත් එයින් වැඩක් සිදු නොවූ තැන කඩුවෙන් තීන්දුව දෙන්නටත්ය”.
පරංගි පාලනය අවසන් වූ 1658 න් පසුව නැවත පරංගි බලය මෙරට ස්ථාපිත කිරීමේ ආගමික වැදගත්කම තේරුම්ගත් පරංගි පූජකයන් විසින් ලියන ලද කේරොස්ගේ ෆර්නා  ඕ ඩික්කේරෝස්ගේ (The Temporal & Spiritïl ntestfo Ceylon) ග‍්‍රන්ථයේ පෘතුගීසි පාලකයන් ආගම පැතිරවීමටත් බලය පැතිරවීමටත් සිංහල බෞද්ධයන්ට කළ අති අමානුෂික වදහිංසා විස්තර කොට ඇත.
අනතුරුව එම විනාශය අඛණ්ඩව දියත් කිරීමේ කාර්ය භාරය ක‍්‍රි.ව. 1638 දී භාරගන්නා ලදී.  ඕලන්දයෝ තම ආගම ලෙස රෙපරමාදු ක‍්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙසින් ඉදිරිපත් කළ ආකාරය පැහැදිලිය. නමුත් මොවුන් සිංහල බෞද්ධයන් විෂයෙහි දැක්වූ ආකල්පය එතරම්ම සාහසික නොවූහ. පරංගීන්ගේ සතුරන් ලෙස මෙහි පැමිණි ඔවුන් සිංහල ජාතිය සමග මිතුරු බවක් පෙන්වමින් තම අරමුණු සාක්ෂාත්කරණයට යොමු වී ඇත. ලන්දේසීන් බුදු දහම කෙරෙහි දක්වන ලද ආකල්පය සහාසික නොවූවක් බවට ජනප‍්‍රිය මතයයි. මෙරටදී ඔවුන්ට ගැටුමක් ඇති වූයේ සිංහල බෞද්ධයන් සමග නොව සිංහල කතෝලිකයන් සමගය. කෙසේ වෙතත් ලන්දේසීන් දේශීය ජනයා රෙපරමාදු ක‍්‍රිස්තියානියට හැරවීමේදී තම අදහස කියා පෑවේ ආඥවකිනි. ඒ බව 1956 දී මුද්‍රණය වූ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවෙන් පැහැදිළිය.
”බෞතීස්ම ලැබීමෙන් රෙපරමාදු සාමාජිකයෙකු බවට නොපැමිණි කිසිම ස්වදේශිකයෙකුට මුදලිකමක් ලැබිය නොහැකි බවත් ආණ්ඩුව යටතේ තනතුරක් දැරීමට හෝ ගොවිතැන් කිරීමට හෝ ඉඩක් නොලැබෙන බවයි”.
අනතුරුව බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ආරම්භ කරන ලද මහා විනාශයේ අනිටු විපාකයන් අද ද නොයෙක් වේෂයන්ගෙන් ක‍්‍රියාත්මක වෙති. 1815 දී මුළු රට ම නතු කරගත් ඉංග‍්‍රීසීන්ට සිංහල බෞද්ධයන්ගේ එක් කොන්දේසියකට යටත් නොවී සිටින්නට සිදු විය. ඒ අන් කිසිවක් නොව විහාරස්ථාන, දේවාල සහිත බුද්ධ ශාසනය රැකීමයි. සිංහල භාෂාවෙන් ලියා අත්සන් කරන ලද එම ගිවිසුමේ වගන්තිය මෙසේ දැක්වේ.
”මෙකී රටවල මුලාදෑනී සහ වැසියනුත් අදහන්නාවූ බුද්ධ ශාසනය ද දේවාගම ද කඩ කළ නොහැකිව පවත්වණ්ඩ  ඕනෑවා සහ එහි කටයුතු ද සංඝයා ද විහාරස්ථානය ද දේවාල ද පවත්වණ්ඩ සහ ආරක්ෂා කරණ්ඩ  ඕනෑය”.
ඔවුන් එසේ පොරොන්දු වුව ද එය හුදෙක් ම රැවටීමක් පමණි. ඒ බව පසක් වන්නේ ඒ ගිවිසුමෙන් පසුව ඔවුන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙනි. වරෙක මෙම ගිවිසුමෙන් බුදු දහමට ආරක්ෂාව සපයා ඇති නිසා උරණ වූ එංගලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ විලියම් විල්බර් ෆෝස් නමැත්තා එවකට මෙරට ආණ්ඩුකාරයා වූ රොබට් බ‍්‍රවුන්රිග් වෙත දොස් පවරා ලිපියක් පවා එවා ඇත. මේ ආදියෙන් බුදු දහමෙන් පෝෂණය ලද මෙරට මහා සංස්කෘතිය අකා මකා දැමීමට අවශ්‍ය සෑම පියවරක් ම ගත්හ. මහා වෘක්ෂයක් විනාශ කර දැමීම අපහසු බව දැනගත් ඔවුන් එය තුළට රිංගා එහි අරටුව සිඳලීමට අවශ්‍ය කටයුතු යෙදීය. එවිට ඒ මහා වෘක්ෂය සිඳලීමට පහසු කරවන්නේය. මෙම ”කඳ පණු” න්‍යාය උපයෝගි කරගනිමින් මෙරටින් මෙම මහා සංස්කෘතිය විනාශකර දැමීමට කටයුතු සැලැස්වූ ඔවුන්ගේ ගමනේදී ඊට අභියෝගයක් වූ ගිහි පැවිදි බෞද්ධයෝ දහස් ගණනකගේ ජීවිත අහිමි කළේය. 1817-18 නිදහස් අරගල සටනේදී 55,000 කට අධික පිරිසක් දිවිපුදා ඇත. නිරායුද කුඩාපොල හිමියන් ම්ලේච්ඡු ලෙස වෙඩි තබා ඝාතනය කළේය. 1948 පමණවිට විහාරස්ථාන මංකොල්ලකෑම් කර විනාශකර කඩාබිඳ දැමීම බි‍්‍රතාන්‍ය සොල්දාදුවන්ගේ විනෝදාංශයක් බවට පත්වූහ. මේ නිසා බි‍්‍රතාන්‍ය පාලනය සමය සැබවින් ම බුදු සසුනේත්, ජාතියේත්, බෞද්ධයන්ගේත් අන්ධකාර සමය විය.
පෙර කී සියල්ල දක්වන ලද්දේ ඉතා සැකවිණි. එමෙන් ම අන් කවරෙකුටවත් පහර ගැසීමක් හෝ අපහසුතාවයට පත් කිරීමක් ද නොව එය හුදෙක් ම ඉතිහාසය විසින් සපථ කරනු ලබන සත්‍යය වූ සිදුවීම්ය. එනිසා මේ පිළිබඳව කවුරුන් හෝ කලබල විය යුතු නැතැයි අපගේ හැඟීමයි. ඇරත් සමහරුන්ට ඇත්ත තිත්ත බව අපි දනිමු. නමුත් කාගේත් හිතසුව පිණිස වූ ඇත්ත තිත්ත නොවන බව ද සිහි තබාගත යුතුය. නමුත් ලක්දිව සභ්‍ය වූ දේශයක් කිරීම උදෙසා ඉවහල් වූ මහින්දාගමනයේදී එවන් අඳුරු, දුක්ඛිත, අතීතයක් කිසි ම තැනක සඳහන්ව නොමැත. එසේ සඳහන්ව ඇත්නම් එය ඔප්පුකර පෙන්වා දෙන ලෙස ද අපි අභියෝග කරන්නෙමු. මහින්දාගමනය සමග විධිමත් ලෙස මෙරටට බුදුදහම හඳුන්වා දීමෙන් එය සැබවින් ම සුඛාගමනයක් මිසක් කිසි ම විට කළු පැල්ලම් සහිත කාරණයකට ඉවහල් නොවීය. මහින්දාගමනයත් සමග මෙරට ජනයා ලද ශික්ෂණය නිසා ම නොයෙක් ජාතීන්ට මෙරටට විත් රිසි සේ කටයුතු කිරීමට ඉඩ දීමට තරම් මෙරට ජනයා ඉවසිලිමත් වූ බව ද අන්තවාදීන්ට සිහි කළ යුතුය. මූලික පදනම වූ බුදු දහම රැුගෙන මිහිඳු මිහියන් මෙරටට වැඩම කළ අවස්ථාවේ සිට මේ දක්වා කිසි ම අවස්ථාවක බලහත්කාරයෙන් කිසියම් පිරිසක් තම ආගමට හරවා ගැනීම සඳහා වද හිංසා කළ බවක් කිසි තැනක සඳහන් වේද? එහෙත් මුස්ලිම් ආගම ජිහාර් යුද්ධය මගින් ද, කතෝලික භක්තිය කුරුස යුද්ධය මගින් ද කරගෙන ගියේ අන්‍යාගමිකයන් කඩුවේ බලයෙන් තම ආගමට හරවා ගැනීමයි. 16 වැනි සියවසේදී මෙලෙස ඉතා උපක‍්‍රමශීලීව ජපන් ජාතිකයන් ක‍්‍රිස්තියානි ආගමට හරවා ජපන් පාලකයන්ට විරුද්ධව උසි ගැන්වීමේ ප‍්‍රතිඵලය වූයේ එසේ රජුට විරුද්ධව උසි ගැන්වූ අහිංසක ජපන් ජාතිකයන් 20000 ක් පමණ මරුමුවට පත් කිරීමයි. පරංගීන්ගේ මෙම කපටිකම් තේරුම් ගත් ජපාන පාලකයන් ජපානයෙන් පරංගින් නෙරපා දැමුවා පමණක් නොව අන් කිසිදු ජාතිකයෙක් ජපානයට ඇතුල් වීම ද තහනම් කරන ලදී. මෙරට පාලකයන් එවැන්නක් නොකළ ගොංකම එවැනි ඉතිහාසඥයන්ගෙන් පැහැදිලි වේ.
නමුත් මෙහිදී අපට විමතියට කරුණ නම් ඇතැම් බටහිර ගැති නූතන ක‍්‍රිස්තියානිවාදීන්ට ආවඩන පිරිස් මහින්දාගමනය ද පරංගි, ලන්දේසී, ඉංග‍්‍රීසි ආදින් විසින් කරන ලද තිරශ්චීන ආක‍්‍රමණයට සමාන කොට දැක්වීමට යත්න දැරීමයි. එයින් නොනැවතුණ ඔවුන්ට අනුව යන අපූර්ව මන්දබුද්ධික ඉතිහාසඥයන් පිරිසක් මෑතක සිට බිහිව ඇත. ඔවුන් පවසන්නේ මෙරට ශ‍්‍රී විභූතිය විදහා දක්වන ජීවමාන ප‍්‍රතිමූර්තිය බඳු අනුරාධපුර, පොළොන්නරුව ආදි යුගයන්ට පෙර සිට මෙරට කතෝලික දහම තිබූ බවටයි. එයින් ඔවුන් උත්සාහ කරන්නේ මෙරට තුළදී සිය ආගමික ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමටය. ඒ සඳහා ඔවුන්ට අයත්ව ඇත්තේ එක ම සාධකයක් පමණි. එනම් අනුරාධපුර යුගයේ තිබී හමු වී ඇති නෙස්ටෝරියන් කුරිසියක් කෙටූ කළු ගල් පුවරුවකි. එම ගල් පුවරුව දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත්කොට ඇත. හුදෙක් එම සාක්ෂිය පදනම් කරගෙන නිර්මාණය කිරීමට යත්න දරන ඉතිහාසය තුළින් ගම්‍ය වන්නේ මෑතකාලීන ලාංකික ඉතිහාසය මැනවින් හා ගැඹුරින් අධ්‍යයනය කර නොතිබීමයි. එවන් එක් සාධකයක් පමණක් හමුවීමේ සම්බන්ධය විමසීමේ දී ක‍්‍රි.ව. 3 – 4 සියවස්වල සිට ලංකාව සහ රෝමය අතර ඉතා දියුණු වෙළඳාමක් පැවති බව ඒ සම්බන්ධව සොයා ගෙන ඇති ”විදේශීය මූලාශ‍්‍ර” සමග ලංකා විශ්වවිද්‍යාලයීය ලංකා ඉතිහාසය පර්යේෂණ ග‍්‍රන්ථයේ විස්තරව දක්වා ඇත. මෝසම් සුළං ආශ‍්‍රයෙන්, රුවල් නැව්වලින් මෙරටට පැමිණි රෝම, ග‍්‍රීක වෙළඳුන් පමණක් නොව අරාබි වෙළෙඳුන් ද තම ආපසු ගමන සඳහා මෝසම් සුළං එන තුරු මෙරට රැඳී සිටි කාලවලදී ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමත් ඔවුන්ට ආගම ඇදහීමට ඉඩදීමට තරම් මෙරට සිංහල බෞද්ධ පාලකයෝ කාරුණික වූහ. මෙම කුරුසිය එවැනි සම්බන්ධයක් ලෙස ගත හැකිය. ඉහතින් අප පැවසූ කරුණ සනාථ කිරීම සඳහා 12 වන සියවසෙහි මහ පැරකුම්බා රජු විසින් නෛනතිවූ හි පිහිටුවා ඇති ශිලා ලිපිය සාධකයකි. එහි විදේශයෙන් පැමිණි මුහුදුබත් වූ හෝ අකරතැබ්බයට පත් වූ නැවියන් හටත් ඔවුන්ගේ අඹුදරුවන්ටත් ආරක්ෂාව සැලසීම විශේෂයෙන් සඳහන්ය.
තර්කානුකූලව විමසා බලන්නේ නම් ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග හෝ වෙනත් රටකට රැකියාවකට යන අයෙකු විසින් ධර්ම චක‍්‍රයක් හෝ වෙනත් බෞද්ධ සංකේතයක් එරටට රැගෙන ගොස් එහි බුදු දහම ව්‍යාප්තව තිබූ බවට පවසන්නාක් මෙනි. මෙනිසා මහා අභියෝග මධ්‍යයෙහි අදටත් ශේෂව පවතින එම ශිෂ්ට සම්පන්න සංස්කෘතිය හා බුදු දහම විනාශ කිරීමට සෑම ප‍්‍රයත්නයක් ම දරන මූලධර්මවාදී පිරිස් ලක්දිව සෑම අතින් ම සභ්‍ය වූ දේශයක් කිරීමට ප‍්‍රමුඛ ඓතිහාසික සන්ධිස්ථානය වූ මහින්දාගමනයට ද නිගා කරමින් මහින්දාගමනයෙන් ලද දායාදයන් භුක්ති විඳීම හාසයට කරුණකි. එමෙන්ම ලාංකීය සමාජයේ මුල සිටන් අග දක්වා සෑම දෙයක්ම ප‍්‍රතිනිර්මාණය වූයේ බුදු දහමේ ආභාෂයෙනි. අද වන විට මේ රටේ ඉතිහාසඥයන් වී ඇත්තේ කළු සුද්දන්ය. අවාසනවක මහත ඉතිහාසය චිත‍්‍රපටවලට නගන්නේද ඔවුන්මය. ඔවුන් ඇත්ත දනිති. එහෙත් කිසිදු විටෙක ඒ ඇත්තට ඉස්මතුවීමට ඉඩ නොතබන්නට තරම් කුහකයන් වී ඇත. ඔවුන් සැබවින්ම ආදරය කරන්නේ රට හෝ ජාතියට නොව බටහිර සංස්කෘතියටයි. උප්පතියෙන් හිමි වූ ලබ්දිය ගතානුගතිකව බදාගනිමින් එහි නැති සුජාතභාවයක් ඇති කර ගැනීමට ප‍්‍රවාද හා බොරු ඉතිහාසයන් ප‍්‍රතිනිර්මාණය කරමින් බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ පදනමට නිර්දය ලෙස පහර දෙති. මේ සියලූ තත්ත්වයන් මත කළගුණ දන්නාවූ ජාතියක් නම් මේ රට ජාතිය නගා සිටුවන්නට වියැකී යන මහින්දාගමනයේ යතාර්ථයන් නැවත ආවර්ජනය කරමින් බෞද්ධ පදනමට මේ රටේ හිමිතැන ස්ථාපිත කරන්නට මිහිඳු ගමනේ පුනරාගමනය අරමුණු හා ඉලක්ක ඔස්සේ යළි ආගමනය කළ යුතුමය. එසේ නොවුනහොත් අයාලයේ ගිය ජාතියක් ජම්යක් නැති සමාජයක් බිහිව වල්මත් වූ තිරශ්චීනයන් පිරිසකගේ පාරාදීසයක් බවට පත්වනු  නොඅනුමානය.
- පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

No comments:

Post a Comment