Powered By Blogger

Tuesday, June 19, 2012

නොනැසෙන පිළිසරණ......


නොනැසෙන පිළිසරණ

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ධම්මං විනා නත්ථි පීතාච මාතා
තමේම සරණං පතිට්ඨා
තස්මාහි තානං භො කිච්ච මඤ්ඤප්පහාය
සුණාථ ධාරේථ චරාථ ධම්මේ
වාසනාවන්ත පින්වතුනි
බුදුරජාණන් වහන්සේගේ උතුම් දහමින් බිඳක් ඉහතින් මාතෘකා කළා. ඔබ සෑම සතියකම බුදුසරණ මගින් දහම් සරණ යන පිංවතුනි, එසේ ඔබ සරණ යන ධර්මරත්නයේ ඇති අපිරිමිත වටිනාකම කොතෙක්ද කිව නොහැකිය. මේ උත්සාහ කරන්නේ සුළු වශයෙන් වුවද එකී උතුම් ධර්මයේ වටිනාකම පහදා දෙන්නටයි. එබැවින් පළමුව ඉහත ගාථාවේ තේරුම පිළිබඳව සරලව සිතමු.
ලෝක සත්ත්වයාට සසරින් මිදීම පිණිස ධර්මරත්නය ඉවහල් වේ. ධර්මය හැර මවක් පියෙක් සසරින් මිදීමට ලෝකයේ වෙනත් නොමැත. එහෙයින් කටයුතු පසෙක තබා ඉතා මැනවින්ම සමාහිතව ඒ උතුම් ධර්මය නිසිලෙස අසව්! දරව් ඒ අනුව හැසිරෙව්! යන්න මේ ගාථාවෙන් ප්‍රකාශිත වෙනව.
මේ ලෝකයේ තවත් එක් නවාතැන් පලකයි අප නතරවෙලා ඉන්නේ. එහෙම කීවේ අනේක වාරයක් ඉපදි ඉපදී මැරී මැරී ගමන් කරන මේ භවගාමී තත්ත්වය කොතරම් ද කියන එක අපට තීරණය කළ නොහැකි නිසා. එයද බුදුන් වහන්සේ දුටු සංසාර ධර්මයකි. එසේ වූ දීර්ඝ සසර තත්ත්වය අවබෝධ කරගන්නට අපට ඉතාම අමාරුයි. ඒ ධර්මය පිළිබඳව අපට නිසි අවබෝධයක් නොමැති නිසා. එබැවින් ධර්මය යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගනිමු.
ලෝකයේ ඇති අජීවි සජීවි සෑම වස්තුවක්ද ධර්මතාවයනට හසුවේ. ඒ ලෝකස්වභාව ධර්මයයි. ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ යනුවෙන් ප්‍රකාශ වුයේ ධර්මයෙන් දිවි ගෙවන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි කියන එකයි. ධර්මයෙන් තොරව දිවි ගෙවන්නා නරකයට යයි. ධර්මානුකූලව දිවි ඇත්තා සුගතිගාමී වෙයි යනුවෙන් ධර්මය ප්‍රභේද වෙයි. කුසල ධර්ම (හොඳ යහපත් දේ සිතුවිල්ල අකුසල ධර්ම අයහපත් දේ - අයහපත් සිතිවිල්ල)
මේ සැම විටම ධර්මය යන වචනය කියවෙනවා. එය තවත් විස්තර කරන්නට යනවාට වඩා ධර්මතාවයන් එකක් දෙකක් පිළිබඳවත් සිතා බලමු!
උල්පතේ එන වතුර හරිම පිරිසුදුයි. එහෙත් එය පාවිච්චි කිරීමේදී හා පරිහරණය කිරීමේදී අපිරිසුදු වෙනව. ඒ එක ධර්මතාවයක්. මේ අනුව මිනිසා නමැති මේ සත්ත්වයා පොඩි දරුවෙකුව ඉපදි හැදී වැඩි ලොකු වුනාට පසු අපිරිසුදු වෙනවා. ඒ ඇයි’ ‘චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, යන මේ පංච ඉන්ද්‍රියන් සන්තර්පණය කිරීමට යාමේදී විවිධ වූ ආරම්මණයන් කරා සිත යෙදෙනවිට, ඇසට, කණට, නාසයට, දිවට ශරීරයට අවශ්‍ය සම්පත් ලබා දෙන්නට යනවිට, විවිධාකාර ගැටුම් ප්‍රශ්න අවහිර බාධා ඇති වෙනවිට එතනදී අවශ්‍ය වෙනව. ධර්මතාවයන් සිත සනසා ගැනීම පිණිස. එහෙම කීවේ, ඒ පසිඳුරන් මැඩ පවත්වා ගැනීමට මධ්‍යස්ථව කටයුතු කිරීම හා නුවණින් යුතුව ක්‍රියා කිරීම අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මැදුම් පිළිවෙත, එයද ධර්මතාවකි. එහෙම වනවිට මැදහත්ව ක්‍රියා කරන්නෙක් බවට ඔබ පත්වෙනවා. ඔබට සැනසුමක් ඇතිවෙනවා. පසිදුරන් පිනවීමට අනන්ත වූ අපේක්ෂාවන් හිතේ තිබෙන විට දොඩංගොඩ බදාගත්තා සේ සිද්ධවෙනවා. සුපරික්ෂාකාරීව මධ්‍යස්ථ වූ විට ඔහු ධර්ම චාරිපුද්ගලයෙක් වෙනවා. ‘ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති’ (ධර්මය මැනවින් පුහුණු කරන ලද්දේ සුවයෙන් සිටියි) එයද ධර්මතාවයකි.
‘ධම්මං චරේ සුචරිතං න තං දුච්චරිතං චරේ’ සුචරිතයෙහි හැසිරෙන්න ධර්මානුකූ®ලව දුෂ්චරිතයෙන් වළකින්න. මේ සෑම විටම සෑම අවශ්‍යතාව මත මුල් වන්නේ් ධර්මය යි. (දහමට අනුව පැවැත්මයි) ඉහතින් දැක්වූ ඉන්ද්‍රි‍්‍රයන් සැනසීම පිණිස විවිධ ආශාවන් කරා පෙළඹුන විට නිරායාසයෙන්ම දුශ්චරිතයට ඇදෙනව. ධර්මය හෝ ධර්මතාවය පිළිබඳව කෙනෙකුට කියල ඉවර කරන්න බැහැ. අපේ බුදුගුණාලංකාර කතුවරයාණෝ ප්‍රකාශ කළානේ.
සුවාසු දහසක්
යොදුන් ගැඹුරුති මුහුදක්
ගොඩ කරමැයි උදත්
ලෙහෙනු කළ තැත් වැන්න දවසක්
කියල. කලන්දක ජාතකයේ මුහුදට වැටුණ ලේන්පැටවා බේරා ගැනීමට මහා සාගරයේ ජලය ඉසීමට ලේන් අම්මයි, තාත්තයි වලිගෙ තෙමාගෙන ගොඩට ඇවිදින් වලිගය ගසා දැමුවා සේ ඉතින් කෙනෙකුට කියල ඉවර කිරීමට නොහැකි වූ නිසා අදට අපි මූලික මාතෘකාවේ අදහස යළිත් සිතට ගනිමු! ධර්මය මවක් සේ ය. පියෙක් සේය. එබැවින් සත්පුරුෂයිනි සසර දුක නිවා ගැනීම පිණිස ධර්මය අහන්න. ඇසු දහම් සිත්හි දරන්න. සිතට ගත් දහමට අනුව හැසිරීමෙන් ඔබේ උභයලෝකාර්ථ යහපත සැළසේවි.
ඔබට තෙරුවන් සරණයි!

Thursday, June 14, 2012

පුනාරාගමනය කළයුතු ‘‘ආගමනය’...


පුනාරාගමනය කළයුතු ‘‘ආගමනය’’ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේදී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය. ඓතිහාසිකවූත් පෞඩවූත් සභ්‍යවූත්  ජාතියක අනන්‍යතාවය මේ විශ්වය මත තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත්  දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද අනන්‍යතාවයන්   පුනාරාගමනය කිරීමට අවැසිම හා සුදුසුම කාලයයි මේ. මන්ද සියලූම භෞතික අයිතීන් මෙන්ම ගුණ ණැන ආදියද සෑම ආකාරයකින්ම පිරිහෙමින් පවතී. බුදු දහම විනාශ කරන්නට අද පෙරට ඇවිත් ඇත්තේ බහුතර වශයෙන්ම උප්පැන්නයට බෞද්ධ වූවන්ය. එනිසාම තත්ත්වය භායනක වී ඇත. මිත‍්‍ර වේශය හා සතුරු වේශය වෙන් කොට දැකීම පවා අපහසු වී ඇත. මෙවන් සියලූ තත්වයන් මත නියමයෙන් හා අනියමෙන් විනාශ වී යන්නේ ලෝකයේ තවත් බෞද්ධ රටකි. ලෝකයේ එකම සිංහල රටයි. මේ සියල්ල මොන අන්දමින් හඩ ගා කිව්වත් බීරි අලින්ට වීනා වයන්නාක් මෙන් වී ඇත. හුදු දේශපාලනික බලය රැක ගැනීම හා ඒ වටා ගොනු වී ඇති අන්තේවාසිකයන්ගේ සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරන වගකිව යුත්තන් හා බලධාරීන් ටිකෙන් ටික රට උගසට තබ සියදිවි නසාගන්නේ පහන් දැල්ලට ගිජු වූ පළගැටියෙකු එයට පැන දිවි තොරකර ගන්නාක් මෙනි.  ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහක් මෙන් පෙනෙන්නා සේ දවසක උන් ඔක්කෝටම තම තමන් සෘජුව හා වක‍්‍රව කළ විනාශයන් විඳවන්නට වේවි. හැබයි ඒ වන විට පෙරහැර ගිය මගක්වත්  දකින්නට නොලැබෙනු ඇත.
ශ‍්‍රී ලංකාද්වීපය හුදෙක්ම ලෝකයේ පවතින සුවදායි මනරම් දිවයිනක් පමණක් නොව එය තුන් ලොවෙහි ම ශේෂ්ඨතම පුද්ගලයා වන සම්මා සම්බුදුන්ගේ පහස ලද ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියකි. එසේ පහස ලැබ නැණ ගුණයෙන් පිරි සත් පුරුෂ දනන් ද දස දෙස ජීවත් වූ භූමියකි. වර්තමානය එසේ නොවුනද අතීතය පිළිබඳව සාභිමානයෙන් යුතුව කතා කිරීමට හැකි පෞඪ ඉතිහාසයක් අපට හිමි වී තිබුණි. එම ඉතිහාසය පෞඪ වූයේ බුදු දහමේ පූර්ණ ආභාෂයෙන් පෝෂණය ලැබ නැණ ගුණයෙන් පිරිපුන් සත් දනන් විසින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සභ්‍ය වූ සංස්කෘතියක් ගොඩ නැගීම නිසාවෙනි. එම ශ්‍රේෂ්ඨ ක‍්‍රියාදාමයන් වදන් හරඹයන් ඔස්සේ අප ප‍්‍රකාශ කළ ද සැබවින් ම එය අති උත්කර්ෂවත් ක‍්‍රියාදාමයකි. විශේෂයෙන් ම රටක්, ජාතියක් ලෙස ලෝකය ම විශ්ව ගම්මානයක් වූ අද දවසේදී ද උදම් අනන්නේ එම ප්‍රෙෘඪ ඉතිහාසයේ සෙවනැලි පහස විඳිමිනි. අද මෙම සැබෑව සියල්ලට අමතක වෙමින් පවතී එනිසා බුදුදහමට නිසි තැන හා හිමිතැන නොදෙමින් සර්වාගමික පූට්ටුවක් සමාජගත කරමින් එහි වාසියද අන්‍යාගමිකයන්ට ලබා දෙමින් කටයුතු කරති. මහින්දාගමනයෙන් ලද ශ්‍රේෂ්ඨත්වයේ අක් මුල් සිඳලන භයානකම මායාව බවට මේ වන විට මිත්‍යාදෘෂ්ටික සර්වාගමික සංකල්පය පත්ව ඇත.
භෞතික මානයන් ඔස්සේ සංවර්ධිතයැයි පවසන ලෝකය තුළදී අප අපේ අනන්‍යතාව ලෝකයා හමුවේ අදටත් පිළිබිඹු කරවන්නේ පෙර දැක්වූ පරිදි බුදු සමය ආශ‍්‍රයෙන් ගොඩ නැගුණ උදාර සංස්කෘතියේ මහඟු දායාදයන්ගෙනි. අද වන විට නවීන ආකාරයට සරිලන අන්දමින් වෙනස් වී ඇතත් එදා මහින්දාගමනයෙන් ලද මහ`ගු ඵලයක් වූ අටලොස් කුලයන්ගේ සංවර්ධනීය අවස්ථාවක් විද්‍යසාන වනවා මිස සිදුව ඇති පරිවර්ථනයක් නොමැත. මේ බව සියුම්ව පරික්‍ෂාකර බැලීමෙන් මනාව තහවුරු වන්නකි. ‘‘ බලත්ත කුලය ල උයන්පල් කුලයල කුලිංග කුලයල මල්කරු කුලයල කපු කුලයල ඔසද වටු කුලයල සත් කරු කුලයල සරස් කුලයල පෙරහැර කුලයල තුනා කුලයල කුඹුල් කුලයල අරක්කැමි කුලයල කුඹුරු කුලයල ලෝකුරු කුලයල සුවණ්නකාර කුලයල වඩු කුලයල සිත්තරු කුලයල දෙව් කුලය ’’ මේ එම අටලොස් කුලයන්ය. මෙයින් අපට සපථ වන්නේ බුදු දහමින් තොරව මේ දෙරණේ කිසිදු දෙයක් නිම වී නොමැති බවයි. මහින්දාගමනයෙන් එලෙසින් තහවරු වූ නව දේශයක ආරම්භය අද වන විට උගසට තබා මුල අමතක කර දමා ඇත. එය එසේ නොවේ නම් දඹුල්ල පුදබිම අලූත්ම බිල්ල වී මුස්ලිම් අන්තවාදීන් අතින් දුෂණය නොවන්නට ඉඩ තිබිණ.
වර්තමානය වන විට ලහි ලහියේ ම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමට වෙර දරන විධායකයේ සිට පහළට දිවෙන කවුරුත් පාහේ තරයේ සිහියේ තබාගත යුතු එක් සත්‍යයක් ඇත. ඔබ මේ විනාශකර දමන්නට යත්න දරන්නේ මෙරට තුළ උදාර සංස්කෘතියක්  නිර්මාණය කිරීමේ පෙර ගමන්කරු වූ  අනුබුදු  මහා මහින්ද මහ රහතන් වහන්සේගේ උදාර ආගමනයේ ඓතිහාසිකත්වය හා යතාර්ථය බවයි. එය එසේ සිහියේ තබාගැනීමේ වැදගත්කම වන්නේ අතීතය නොතකා නැගී සිටීමට වෙර දරන්නවුන්ට ලෝක ධර්මය තුළදී යළි යළි පසුබෑම්වලට ලක් වන්නට සිදුවන බව අතීතය විසින් ම තහවුරු කර දී ඇති නිසාවෙනි. මෙරට සිංහල බෞද්ධ පදනම හේතුවෙන් රටක් ජාතියක් ලෙස අතීතයේදී ද අප සෑම විටම ආරක්ෂා කර දී ඇත. අනාගතයේදී ද එය එසේ ම සිදුවන බවට අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මන්ද මෙරට සිංහල බෞද්ධ පදනම පිළිගැනීම නිවටකමක් සේ සලකන පරාදීන මිනිසුන්ට කීමට ඇත්තේ ඔවුන්ගේ ස්වාධීන බව හැකිනම් ඇමරිකාවට ගොස් පෙන්වන බවයි. මන්ද අපේ රටේ තරම් ලෝකයේ වෙන කොහේදී නම් අන්‍ය ජාතිකයන්ට අන්‍යාගමිකයන්ට මේ තරම් සහනශීලිත්වයක් ලැබේද? මේ තරම් දියුණු යුගයක, මේ තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය , මේ තරම් මානව හිමිකම් කතාකරන යුගයක පවා අන් කිසිදු තැනක නොමැති නිදසහක් අන් අයට මෙහි ඇත. සමස්තයක් ලෙස සුළුතරය විසින් නිරන්තරයෙන් මහජාතියට හානි පැමුණුවා මිස සුළුතරයට හානී සිදු වී නොමැත. ඒ සභ්‍යත්වය නිරායාසයෙන් බෞද්ධයාට හිමිව ඇත්තේ බුදු දහමෙන් ලැබෙන ශික්‍ෂණයත් සමගය. නමුත් අද  සිදුවෙන සැබෑව නම් බෞද්ධයාගේ ශික්‍ෂණයට අභියෝග කරමින් දිනෙන් දින එය හෑල්ලූ කිරීමයි. පිටස්තරයන් සේම අපේම යැයි කියන්නවුන්ද එසේ හෑල්ලූ කරති.
ලෝක පොලිස්කාරයා ලෙස සලකන ඇමරිකාව ලෝකය දෙස බලන්නේ බහු ජාතික, බහු ආගමික අනුකම්පාවකින් නොව, ඒ බව ප‍්‍රබලව ම තහවුරු වන එක් අවස්ථාවක් පමණක් අපි මෙහිදී දක්වමු. ඇමරිකානු ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට දිවුරුම් දෙන්නේ බයිබලය මත දිවුරාය. එයට අප අපහාස නොකරමු. ඔවුනට හැකිනම් ඔවුන්ගේ අනන්‍යතාව එසේ ප‍්‍රකට කරන්නට, අපිට එහිදී ඇති තහනම කුමක් ද? සිංහල බෞද්ධයෝ එහි වාසය කරන පමණින් එහි සිංහල බෞද්ධ රාජ්‍යයක් කිසිසේත් නිර්මාණය කළ නොහැක. අප එහි යන්නේ නම් අකමැත්තෙන් වුව ද ඔවුන්ගේ මූලික අයිතියට ගරු කරමින් වාසය කළ යුතුය. එහි පමණක් නොව ලෝකයේ කුමන රටක වුව ද තත්ත්වය එසේය. එනිසා මෙරට තව දුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් මිසක් ශ‍්‍රී ලාංකික ජාතියක් නොවන බව අපගේ දැඩි හැඟීමයි. එය එසේයෑයි පිළිගැනීමට අකමැති බටහිරගැති නූතන ක‍්‍රිස්තියානිවාදයට උඩ ගෙඩි දෙන පිරිස් ඉතිහාසය අමු අමුවේ ම විකෘති කරමින් මහින්දාගමනයෙන් ගොඩ නැගුණ මෙරට අදීන ඉතිහාසය නොපිළි ගැනීම පමණක් නොව මෙරටට සුඛාගමනයක් වූ මහින්දාගමනය ද බලහත්කාරකමක් ලෙස හූවා දැක්වීමට යත්න දරති. මෙය කෙටිකාලීන වූ ක‍්‍රියාදාමයක් නොව ඉතා සියුම් ලෙස දශක ගණනාවක් තිස්සේ දරන ලද නින්දිත උත්සාහයක ප‍්‍රතිඵලයකි. මෙරටින් සිංහල බෞද්ධකම සමූලඝාතනය කිරීමට නොයෙක් වේශයන්ගෙන් උත්සාහ කළවුන් එය එසේ කිරීමට අපහසු වූ තැන ඒ සඳහා නොයෙක් සියුම් කූට උපක‍්‍රමයන් භාවිතා කරති. මහා වෘක්ෂයක අතු කොළ සිඳ එය වනසාලිය නොහැකි තැනදී එහි මුදුන් මූල සොයා එය නසාලීමට දරන නින්දිත උත්සාහයක් ලෙස ද මෙය අවිවාදයෙන් ම සැලකිය හැක.
මෙම සංස්කෘතික විනාශයේ විද්‍යමාන මූලාරම්භය සනිටුහන් වනුයේ 16 වැනි සියවසයේ පටන්ය. එනම් ක‍්‍රි.ව. 1505 දී ප‍්‍රථම වතාවට පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙනි. ඔවුන් එසේ පැමිණෙද්දී රෝමානු කතෝලික ආගම ද රැගෙන ආවේය. ලක්දිව ජනයා වෙනත් ආගමකට බලහත්කාරයෙන්, වරප‍්‍රසාද ලබාදීමෙන්, සදාචාර විරෝධීව හැරවීම ආරම්භ කරන ලද්දේ පෘතුගීසින් විසිනි. බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස උදුරාගත් පළමු සතුරු කොටස ලෙස පරංගින් ඉතිහාසයේ ලියෑවී ඇත. ඔවුන් මෙරටට පැමිණි විලාසය හා සිදු කරන ලද ආගමික විනාශය පිළිබඳව කරුණු දක්වන බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව ඒ අඳුරු යුගයේ ආරම්භය මෙසේ සනිටුහන් කර ඇත. (1956) ”ඔවුන් ඉන්දියන් සාගරයේ විද්‍යමාන වූයේ වෙළෙන්දන්, ධර්ම දුතයන්, මූදු කොල්ලකරුවන් යන ත‍්‍රිත්ව ස්වරූපයෙනි. ඔවුන්ට නියමව තිබුණේ ආගම දේශනාවෙන් පටන්ගන්නටත් එයින් වැඩක් සිදු නොවූ තැන කඩුවෙන් තීන්දුව දෙන්නටත්ය”.
පරංගි පාලනය අවසන් වූ 1658 න් පසුව නැවත පරංගි බලය මෙරට ස්ථාපිත කිරීමේ ආගමික වැදගත්කම තේරුම්ගත් පරංගි පූජකයන් විසින් ලියන ලද කේරොස්ගේ ෆර්නා  ඕ ඩික්කේරෝස්ගේ (The Temporal & Spiritïl ntestfo Ceylon) ග‍්‍රන්ථයේ පෘතුගීසි පාලකයන් ආගම පැතිරවීමටත් බලය පැතිරවීමටත් සිංහල බෞද්ධයන්ට කළ අති අමානුෂික වදහිංසා විස්තර කොට ඇත.
අනතුරුව එම විනාශය අඛණ්ඩව දියත් කිරීමේ කාර්ය භාරය ක‍්‍රි.ව. 1638 දී භාරගන්නා ලදී.  ඕලන්දයෝ තම ආගම ලෙස රෙපරමාදු ක‍්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙසින් ඉදිරිපත් කළ ආකාරය පැහැදිලිය. නමුත් මොවුන් සිංහල බෞද්ධයන් විෂයෙහි දැක්වූ ආකල්පය එතරම්ම සාහසික නොවූහ. පරංගීන්ගේ සතුරන් ලෙස මෙහි පැමිණි ඔවුන් සිංහල ජාතිය සමග මිතුරු බවක් පෙන්වමින් තම අරමුණු සාක්ෂාත්කරණයට යොමු වී ඇත. ලන්දේසීන් බුදු දහම කෙරෙහි දක්වන ලද ආකල්පය සහාසික නොවූවක් බවට ජනප‍්‍රිය මතයයි. මෙරටදී ඔවුන්ට ගැටුමක් ඇති වූයේ සිංහල බෞද්ධයන් සමග නොව සිංහල කතෝලිකයන් සමගය. කෙසේ වෙතත් ලන්දේසීන් දේශීය ජනයා රෙපරමාදු ක‍්‍රිස්තියානියට හැරවීමේදී තම අදහස කියා පෑවේ ආඥවකිනි. ඒ බව 1956 දී මුද්‍රණය වූ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවෙන් පැහැදිළිය.
”බෞතීස්ම ලැබීමෙන් රෙපරමාදු සාමාජිකයෙකු බවට නොපැමිණි කිසිම ස්වදේශිකයෙකුට මුදලිකමක් ලැබිය නොහැකි බවත් ආණ්ඩුව යටතේ තනතුරක් දැරීමට හෝ ගොවිතැන් කිරීමට හෝ ඉඩක් නොලැබෙන බවයි”.
අනතුරුව බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ආරම්භ කරන ලද මහා විනාශයේ අනිටු විපාකයන් අද ද නොයෙක් වේෂයන්ගෙන් ක‍්‍රියාත්මක වෙති. 1815 දී මුළු රට ම නතු කරගත් ඉංග‍්‍රීසීන්ට සිංහල බෞද්ධයන්ගේ එක් කොන්දේසියකට යටත් නොවී සිටින්නට සිදු විය. ඒ අන් කිසිවක් නොව විහාරස්ථාන, දේවාල සහිත බුද්ධ ශාසනය රැකීමයි. සිංහල භාෂාවෙන් ලියා අත්සන් කරන ලද එම ගිවිසුමේ වගන්තිය මෙසේ දැක්වේ.
”මෙකී රටවල මුලාදෑනී සහ වැසියනුත් අදහන්නාවූ බුද්ධ ශාසනය ද දේවාගම ද කඩ කළ නොහැකිව පවත්වණ්ඩ  ඕනෑවා සහ එහි කටයුතු ද සංඝයා ද විහාරස්ථානය ද දේවාල ද පවත්වණ්ඩ සහ ආරක්ෂා කරණ්ඩ  ඕනෑය”.
ඔවුන් එසේ පොරොන්දු වුව ද එය හුදෙක් ම රැවටීමක් පමණි. ඒ බව පසක් වන්නේ ඒ ගිවිසුමෙන් පසුව ඔවුන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙනි. වරෙක මෙම ගිවිසුමෙන් බුදු දහමට ආරක්ෂාව සපයා ඇති නිසා උරණ වූ එංගලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ විලියම් විල්බර් ෆෝස් නමැත්තා එවකට මෙරට ආණ්ඩුකාරයා වූ රොබට් බ‍්‍රවුන්රිග් වෙත දොස් පවරා ලිපියක් පවා එවා ඇත. මේ ආදියෙන් බුදු දහමෙන් පෝෂණය ලද මෙරට මහා සංස්කෘතිය අකා මකා දැමීමට අවශ්‍ය සෑම පියවරක් ම ගත්හ. මහා වෘක්ෂයක් විනාශ කර දැමීම අපහසු බව දැනගත් ඔවුන් එය තුළට රිංගා එහි අරටුව සිඳලීමට අවශ්‍ය කටයුතු යෙදීය. එවිට ඒ මහා වෘක්ෂය සිඳලීමට පහසු කරවන්නේය. මෙම ”කඳ පණු” න්‍යාය උපයෝගි කරගනිමින් මෙරටින් මෙම මහා සංස්කෘතිය විනාශකර දැමීමට කටයුතු සැලැස්වූ ඔවුන්ගේ ගමනේදී ඊට අභියෝගයක් වූ ගිහි පැවිදි බෞද්ධයෝ දහස් ගණනකගේ ජීවිත අහිමි කළේය. 1817-18 නිදහස් අරගල සටනේදී 55,000 කට අධික පිරිසක් දිවිපුදා ඇත. නිරායුද කුඩාපොල හිමියන් ම්ලේච්ඡු ලෙස වෙඩි තබා ඝාතනය කළේය. 1948 පමණවිට විහාරස්ථාන මංකොල්ලකෑම් කර විනාශකර කඩාබිඳ දැමීම බි‍්‍රතාන්‍ය සොල්දාදුවන්ගේ විනෝදාංශයක් බවට පත්වූහ. මේ නිසා බි‍්‍රතාන්‍ය පාලනය සමය සැබවින් ම බුදු සසුනේත්, ජාතියේත්, බෞද්ධයන්ගේත් අන්ධකාර සමය විය.
පෙර කී සියල්ල දක්වන ලද්දේ ඉතා සැකවිණි. එමෙන් ම අන් කවරෙකුටවත් පහර ගැසීමක් හෝ අපහසුතාවයට පත් කිරීමක් ද නොව එය හුදෙක් ම ඉතිහාසය විසින් සපථ කරනු ලබන සත්‍යය වූ සිදුවීම්ය. එනිසා මේ පිළිබඳව කවුරුන් හෝ කලබල විය යුතු නැතැයි අපගේ හැඟීමයි. ඇරත් සමහරුන්ට ඇත්ත තිත්ත බව අපි දනිමු. නමුත් කාගේත් හිතසුව පිණිස වූ ඇත්ත තිත්ත නොවන බව ද සිහි තබාගත යුතුය. නමුත් ලක්දිව සභ්‍ය වූ දේශයක් කිරීම උදෙසා ඉවහල් වූ මහින්දාගමනයේදී එවන් අඳුරු, දුක්ඛිත, අතීතයක් කිසි ම තැනක සඳහන්ව නොමැත. එසේ සඳහන්ව ඇත්නම් එය ඔප්පුකර පෙන්වා දෙන ලෙස ද අපි අභියෝග කරන්නෙමු. මහින්දාගමනය සමග විධිමත් ලෙස මෙරටට බුදුදහම හඳුන්වා දීමෙන් එය සැබවින් ම සුඛාගමනයක් මිසක් කිසි ම විට කළු පැල්ලම් සහිත කාරණයකට ඉවහල් නොවීය. මහින්දාගමනයත් සමග මෙරට ජනයා ලද ශික්ෂණය නිසා ම නොයෙක් ජාතීන්ට මෙරටට විත් රිසි සේ කටයුතු කිරීමට ඉඩ දීමට තරම් මෙරට ජනයා ඉවසිලිමත් වූ බව ද අන්තවාදීන්ට සිහි කළ යුතුය. මූලික පදනම වූ බුදු දහම රැුගෙන මිහිඳු මිහියන් මෙරටට වැඩම කළ අවස්ථාවේ සිට මේ දක්වා කිසි ම අවස්ථාවක බලහත්කාරයෙන් කිසියම් පිරිසක් තම ආගමට හරවා ගැනීම සඳහා වද හිංසා කළ බවක් කිසි තැනක සඳහන් වේද? එහෙත් මුස්ලිම් ආගම ජිහාර් යුද්ධය මගින් ද, කතෝලික භක්තිය කුරුස යුද්ධය මගින් ද කරගෙන ගියේ අන්‍යාගමිකයන් කඩුවේ බලයෙන් තම ආගමට හරවා ගැනීමයි. 16 වැනි සියවසේදී මෙලෙස ඉතා උපක‍්‍රමශීලීව ජපන් ජාතිකයන් ක‍්‍රිස්තියානි ආගමට හරවා ජපන් පාලකයන්ට විරුද්ධව උසි ගැන්වීමේ ප‍්‍රතිඵලය වූයේ එසේ රජුට විරුද්ධව උසි ගැන්වූ අහිංසක ජපන් ජාතිකයන් 20000 ක් පමණ මරුමුවට පත් කිරීමයි. පරංගීන්ගේ මෙම කපටිකම් තේරුම් ගත් ජපාන පාලකයන් ජපානයෙන් පරංගින් නෙරපා දැමුවා පමණක් නොව අන් කිසිදු ජාතිකයෙක් ජපානයට ඇතුල් වීම ද තහනම් කරන ලදී. මෙරට පාලකයන් එවැන්නක් නොකළ ගොංකම එවැනි ඉතිහාසඥයන්ගෙන් පැහැදිලි වේ.
නමුත් මෙහිදී අපට විමතියට කරුණ නම් ඇතැම් බටහිර ගැති නූතන ක‍්‍රිස්තියානිවාදීන්ට ආවඩන පිරිස් මහින්දාගමනය ද පරංගි, ලන්දේසී, ඉංග‍්‍රීසි ආදින් විසින් කරන ලද තිරශ්චීන ආක‍්‍රමණයට සමාන කොට දැක්වීමට යත්න දැරීමයි. එයින් නොනැවතුණ ඔවුන්ට අනුව යන අපූර්ව මන්දබුද්ධික ඉතිහාසඥයන් පිරිසක් මෑතක සිට බිහිව ඇත. ඔවුන් පවසන්නේ මෙරට ශ‍්‍රී විභූතිය විදහා දක්වන ජීවමාන ප‍්‍රතිමූර්තිය බඳු අනුරාධපුර, පොළොන්නරුව ආදි යුගයන්ට පෙර සිට මෙරට කතෝලික දහම තිබූ බවටයි. එයින් ඔවුන් උත්සාහ කරන්නේ මෙරට තුළදී සිය ආගමික ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමටය. ඒ සඳහා ඔවුන්ට අයත්ව ඇත්තේ එක ම සාධකයක් පමණි. එනම් අනුරාධපුර යුගයේ තිබී හමු වී ඇති නෙස්ටෝරියන් කුරිසියක් කෙටූ කළු ගල් පුවරුවකි. එම ගල් පුවරුව දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත්කොට ඇත. හුදෙක් එම සාක්ෂිය පදනම් කරගෙන නිර්මාණය කිරීමට යත්න දරන ඉතිහාසය තුළින් ගම්‍ය වන්නේ මෑතකාලීන ලාංකික ඉතිහාසය මැනවින් හා ගැඹුරින් අධ්‍යයනය කර නොතිබීමයි. එවන් එක් සාධකයක් පමණක් හමුවීමේ සම්බන්ධය විමසීමේ දී ක‍්‍රි.ව. 3 – 4 සියවස්වල සිට ලංකාව සහ රෝමය අතර ඉතා දියුණු වෙළඳාමක් පැවති බව ඒ සම්බන්ධව සොයා ගෙන ඇති ”විදේශීය මූලාශ‍්‍ර” සමග ලංකා විශ්වවිද්‍යාලයීය ලංකා ඉතිහාසය පර්යේෂණ ග‍්‍රන්ථයේ විස්තරව දක්වා ඇත. මෝසම් සුළං ආශ‍්‍රයෙන්, රුවල් නැව්වලින් මෙරටට පැමිණි රෝම, ග‍්‍රීක වෙළඳුන් පමණක් නොව අරාබි වෙළෙඳුන් ද තම ආපසු ගමන සඳහා මෝසම් සුළං එන තුරු මෙරට රැඳී සිටි කාලවලදී ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමත් ඔවුන්ට ආගම ඇදහීමට ඉඩදීමට තරම් මෙරට සිංහල බෞද්ධ පාලකයෝ කාරුණික වූහ. මෙම කුරුසිය එවැනි සම්බන්ධයක් ලෙස ගත හැකිය. ඉහතින් අප පැවසූ කරුණ සනාථ කිරීම සඳහා 12 වන සියවසෙහි මහ පැරකුම්බා රජු විසින් නෛනතිවූ හි පිහිටුවා ඇති ශිලා ලිපිය සාධකයකි. එහි විදේශයෙන් පැමිණි මුහුදුබත් වූ හෝ අකරතැබ්බයට පත් වූ නැවියන් හටත් ඔවුන්ගේ අඹුදරුවන්ටත් ආරක්ෂාව සැලසීම විශේෂයෙන් සඳහන්ය.
තර්කානුකූලව විමසා බලන්නේ නම් ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග හෝ වෙනත් රටකට රැකියාවකට යන අයෙකු විසින් ධර්ම චක‍්‍රයක් හෝ වෙනත් බෞද්ධ සංකේතයක් එරටට රැගෙන ගොස් එහි බුදු දහම ව්‍යාප්තව තිබූ බවට පවසන්නාක් මෙනි. මෙනිසා මහා අභියෝග මධ්‍යයෙහි අදටත් ශේෂව පවතින එම ශිෂ්ට සම්පන්න සංස්කෘතිය හා බුදු දහම විනාශ කිරීමට සෑම ප‍්‍රයත්නයක් ම දරන මූලධර්මවාදී පිරිස් ලක්දිව සෑම අතින් ම සභ්‍ය වූ දේශයක් කිරීමට ප‍්‍රමුඛ ඓතිහාසික සන්ධිස්ථානය වූ මහින්දාගමනයට ද නිගා කරමින් මහින්දාගමනයෙන් ලද දායාදයන් භුක්ති විඳීම හාසයට කරුණකි. එමෙන්ම ලාංකීය සමාජයේ මුල සිටන් අග දක්වා සෑම දෙයක්ම ප‍්‍රතිනිර්මාණය වූයේ බුදු දහමේ ආභාෂයෙනි. අද වන විට මේ රටේ ඉතිහාසඥයන් වී ඇත්තේ කළු සුද්දන්ය. අවාසනවක මහත ඉතිහාසය චිත‍්‍රපටවලට නගන්නේද ඔවුන්මය. ඔවුන් ඇත්ත දනිති. එහෙත් කිසිදු විටෙක ඒ ඇත්තට ඉස්මතුවීමට ඉඩ නොතබන්නට තරම් කුහකයන් වී ඇත. ඔවුන් සැබවින්ම ආදරය කරන්නේ රට හෝ ජාතියට නොව බටහිර සංස්කෘතියටයි. උප්පතියෙන් හිමි වූ ලබ්දිය ගතානුගතිකව බදාගනිමින් එහි නැති සුජාතභාවයක් ඇති කර ගැනීමට ප‍්‍රවාද හා බොරු ඉතිහාසයන් ප‍්‍රතිනිර්මාණය කරමින් බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ පදනමට නිර්දය ලෙස පහර දෙති. මේ සියලූ තත්ත්වයන් මත කළගුණ දන්නාවූ ජාතියක් නම් මේ රට ජාතිය නගා සිටුවන්නට වියැකී යන මහින්දාගමනයේ යතාර්ථයන් නැවත ආවර්ජනය කරමින් බෞද්ධ පදනමට මේ රටේ හිමිතැන ස්ථාපිත කරන්නට මිහිඳු ගමනේ පුනරාගමනය අරමුණු හා ඉලක්ක ඔස්සේ යළි ආගමනය කළ යුතුමය. එසේ නොවුනහොත් අයාලයේ ගිය ජාතියක් ජම්යක් නැති සමාජයක් බිහිව වල්මත් වූ තිරශ්චීනයන් පිරිසකගේ පාරාදීසයක් බවට පත්වනු  නොඅනුමානය.
- පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

කපුටන්, බල්ලන් වන්නට කැමති නම් නිදන් හාරන්න


කපුටන්, බල්ලන් වන්නට කැමති නම් නිදන් හාරන්නපුරාවිද්‍යා දෙපාර්තමේනතුව ප්‍රකාශ කරන පරිදි පසුගිය වර්ෂයේ නිදන් හෑරීම් 1063 ක් වාර්තා වී ඇත.මෙහි උච්චතම සිද්දිය වාර්තා වූයේ මහ විලච්චිය පළාතෙනි. එහි වැව ඉස්මත්තේ බැකෝ යන්ත්‍ර යොදා වලවල් හෑරීමේ නිරත වූ විශේෂ කාර්ය බලකා සෙබලු කණ්ඩායමක් ගම්මුන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් නිදන් හොරකම් ගැන රජයට ද ඇඟිල්ල දික් වූයේය.ඉපැරණි ශිෂ්ඨාරයක් හිමි රටක මෙවැනි තත්වයක් උදාවීම බෙහෙවින්ම ඛේදනීය කරුණකි.
ලංකාවේ බෙහෝ පළාත්වල පැරණි රාජධානි පිහිටා තිබූ බව ඉතිහාසයේ සදහන්ය. බස්නාහිර තෙත් කලාපයේ පවා වනදුර්ග අතර මෙවැනි බලකොටු පිහිටා තිබී ඇත. නමුත් වැඩි වශයෙන්ම පැරණි රජරට නොහොත් උතුරේද රුහුණේද නැගෙනහිර පළාතේද මෙවැනි රාජධානි දීර්ඝකාලයක් පැවතී ඇත. එසේම මේ පළාත්වල සෑම වැවක් ආසන්නයේද පැරණි සිද්ධස්ථානයක් පිහිටා තිබුණු තරමටම බුද්ධ ශාසනය ලංකාව පුරාම ව්‍යාප්ත වී තිබුණි.මෙවැනි ස්ථාන  දාගැබ් පෙති පිළිම මෙන්ම බොහෝ පුරාවස්තු වලින් ගහනය. සතුරු ආක්‍රමණ වලින් පසුව මේ ස්ථාන නටබුන් වී ගිය පසු ගඩොල් ස්ථර ඇරුණු කොට ඉතිරිව ඇත්තේ ගලින් නෙලන ලද විවිධාකාරයේ පුරා වස්තු පමණකි. ඉතිහාසයේ සඳහන් පරිදි මේ ස්ථානයන් සඟසතු කොට පූජා කරන අවස්ථාවලදී ධාතු නිදානයන් කර ඇත.
ඇතැම් සැදැහැවත් රජවරු මෙන්ම උපාසක ඇත්තන්ද තමන්ගේ ශ්‍රද්ධාව නිසා තමන් පරිභෝග කළ නොයෙකුත් වස්තූන් ඒවායේ තැන්පත් කළහ. එම නිසා ධාතු නිදාන හා චෛත්‍ය නිදාන යනුවෙන් සඳහන්කළ ක්‍රියාවලියක් තිබූ බව අප පිළි ගත යුතුය. එසේම සිංහල වෛද්‍යවරු තමන් සතුව පාරම්පරිකව පැවත ආ වෙදකම මෙන්ම ප්‍රතිකාර ක්‍රමයන්ද ඇතුලත් පුස්කොළ පොත් මෙන්ම හෙණරාජ තෛලය වැනි බලගතු තෙල් වර්ග යම් යම් ස්ථානයන්හි තැන්පත් කරන ලද්දේ සතුරන් ගෙන් ආරක්ෂා කර ගැනීම පිනිසය. ඒවා හැඳින්වෙන්නේ බෙහෙත් නිදාන ලෙසිනි.
මීට අමතරව රජරට වැව් ශිෂ්ඨාචාරය පණ ගැන්වූ රජවරු මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම මහා වැව්  නඩත්තු කරනු පිණිස වැව් අසබඩ වස්තුව නිදහන් කළ බව පැවසෙයි. මේවා හැඳින්වෙන්නේ වැව් නිදහන් වශයෙනි. මේ සියල්ලටම වඩා වෙනස් නිදන් වර්ගය වස්තු නිදන් යනුවෙන් හැඳින්වේ. රජවරුන් අමාත්‍යවරුන් සතුරු ආක්‍රමණයන් අවස්ථාවලදි පලා යන විට හෝ සැඟවී ගත් විට ඔවුන්ගේ වස්තුව නිදන් කිරීම මෙහිදී සිදුවෙයි. අපවත් වී වදාල පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් මේ පිළිබඳව වෙසෙසි විමර්ශණයක් කර ඇති බව උන් වහණ්සේ ගේ ලිපි ලේඛන විමසා බැලීමෙන් පෙනේ.
අනුරාධපුර රාජධානිය වැඩි වර්ධනය වන විට බුද්ධ ශාසනය ට වෙසෙසි රාජ්‍ය අනුග්‍රහයක් හිමි විය.රජවරු ශ්‍රද්ධා භත්තියෙන් විහාරස්ථාන වලට ඉඩකඩම් පූජා කළහ. ඉන් පසු ඒ දීමනාවන් ගැන ජනතාවට දැන ගත හැකිවන පරිදි අත්තාණි කණු පිහිටවූහ. ඇතැම් විට ගල් පර්වත වල සටහන් කර තැබූහ. පසු කාලයේදී බහුලව තඹ සන්නස් මගින් මේ ඉඩ කඩම් පූජා කළහ. මෙවැනි ගල් ටැම්වල දීමනා පාඨ වලින් පසු කපුටා බල්ලා වටාපත ආදී සළකුණු ද කොටා තිබේ. මෙයින් අදහස් කරන්නේ යම්කිසිවෙකු මේ ප්‍රදේශ වල තිබෙන පෙති පිළිම චෛත්‍ය ආදියට හානියක් කරන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු තිරිසන් ආත්ම වල උප්පත්තිය ලබන බවයි. කවුඩු බලු වෙත්වා යන පාඨය මෙහිදී අවධානය කර ඇත. මෙලෙස ශාසනික පරිභෝගික වස්තූන්ට හානි කිරීම බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. වැව් ආශ්‍රිතවද යම් යම් වස්තූන් නිදහන් කරන ලද්දේ වැවේ නඩත්තුව පිණිසයි.  කෙනෙකු එම වස්තුව ගොඩ ගෙන පුද්ගල පරිභෝජනයට ගනී නම් එයද බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. බෞද්ධ ධර්ම දේශනා වල හරය මැනවින් තේරුම් කර ගෙන සිටි පැරණි ජනතාව පවට බිය ඇති පිරිසක් වූහ. එසේම රාජ නීතියටද බිය වූහ. මේ නිසා ඔවුන් අතින් මේ පූජා වස්තු වලට කිසිම හානියක් සිදු නොවූහ. සතුරු ආක්‍රමණ වලදී දාගැබ් බිඳ වස්තුව පැහැර ගත් අවස්ථා රාශියක් වාර්තා වී ඇත. එහිදී වුවද සාමූහිකව එම ස්ථාන ආරක්ෂා කර ගන්නට සටන් වැදුණු ජනතාව ගැන ඉතිහාසයේ ඇත.
වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය.මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා  වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම   බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය. යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බොහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
වර්තමානයේදී මේ සියලු පාපකර්මයන් වලට පෙළඹිමක් සමාජය තුල ඇතිවී තිබේ.කොටි ත්‍රස්වාදීන් හෝ යුරෝපීය යටත් විජිතවාදීන් නොකළ තරමේ විනාශයක් රටේ පූජ්‍ය ස්ථාන වල සිදු වේ. ආරක්ෂක අංශවලින් පවා මෙවැනි අපරාධ වලට රුකුල් දීමක් සිදු වන බව වාර්තා වේ. මෙම තත්වය පාලනය කිරීමට පත් කර ඇති පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව කටයුතු කරන ආකාරය දෙස බලන කල්හි අඩුපාඩු රාශියක් ම දක්නට ලැබෙන බව කිව යුතුය. පළවැනි කාරණය නම් පැරණි නිදන් වස්තු පිළිබඳ ඔවුනට තිබෙන අනවබෝධයයි. උදාහරණයක් වශයෙන් යම්කිසි ගල් පර්වතයක් බෝර ගසා එහි තුල තිබෙන යම්කිසි වස්තුවක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දෙපාර්තමේන්තුව නිරුත්තර වේ. ඊට හේතුව සළකුණු සෙල්ලිපි හෝ භෞතික ඉඳිකිරීම් නොමැත්තේ නම් එම ස්ථානය පුරවිද්‍යා ස්ථානයක් ලෙසට ඔවුන් නොපිළිගැනීමයි. නමුත් නවීන ස්කෑන් යන්ත්‍ර පවා ගෙන්වා ගෙන නිදන් කොල්ලකරුවන් ඒ ස්ථාන වල තිබෙන භෞතික වස්තූන් නිරීක්ෂණය කරති. එවැනි ස්ථාන රාශියක් ගැනම දිවයින සෑම තැනින්ම වාර්තා වී ඇත. මේ ස්ථාන ගැන තිබෙන නොතේරුම් කම නිසා ඇතැම් විට නිළධාරීන් විසින්ම මේ ගල් පර්වතයන්හි ගල් වලවල් දැමීමට අවසර පත්‍ර නිකුත් කරති.නිදන්හාරන්නන් මේ මගින් නිදන්හෑරීමට නීතිමය ආවරණයක් ලබා ගනිති.
යටත් විජිත සමයේ පිහිටුවා ලූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවමත් ක්‍රියා කරන්නේ එම මානසිකත්වය අනුවයි. ඔවුන් ගේ බෙහෝ වාර්තාවන් හෝ සෙල්ලිපි සංග්‍රහයන් සිංහල භාෂාවෙන් පළවන්නේ නැත. මේ නිසා සෙල් ලිපි ගැන හෝ වෙනත් පුරා වස්තු ගැන සාමාන්‍ය ජනතාවට අවබොධයක් නැත. මේ නිසා ටැම් ලිපි රාශියක්ම නිදන් හාරන්නන්ගේ යකුලු පහරට ලක් වී ඇත. කෙසේ වෙතත් පාසල් අවදියේ සිටම මේ පූජනීය වස්තු ගැන වැටහීමක් ලබා දිය යුතුය. පවට බිය ඇති කීරීම මෙන්ම අදාල නීති නිසියාකාරව ක්‍රියාකිරීමද අත්‍යවශ්‍ය කරුණකි. පොළව යට තිබෙන නිධි රජය සතු වුවත් ඒවා දේශපාලකයිනට ලබා ගැනීමට අයිතියක් නැත. මේ පුරා වස්තු විනාශයට ප්‍රධාන හේතුව රජය සිය කාර්යභාරය මග හැර සිටීම යයි කිය යුතුය. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයට දක්වන කුඩම්මාගේ සැලකිල්ලෙන්ම ඒ බැවි සනාථ වේ.
- මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspo

Wednesday, June 13, 2012

බුදු සිරිතේ වෑදගත් සිදුවීම්.....





























බුදුදහම කවුරුන් සඳහාද?


බුදුදහම කවුරුන් සඳහාද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අට්ඨ ඛෝ භික්ඛවේ මහාපුරිස විතක්කේ දේසිස්සාමිති. තං සුනාථ, සාධුකං මනසිකරෝථ, භාසිස්සාමීති, ඒවං භන්තේති ඛෝ තේ භික්ඛු භගවතො පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.
පින්වතුනි,
අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාව අනුරුද්ධ සූත්‍රය යි. බුදුරජාණන් වහන්සේ ‘සුංසුමාරගිරි’ කියන ප්‍රදේශයේ භේසකලාවන මිගදාය නම් වනයෙහි වැඩවෙසෙන කාලයේ අනුරුද්ධ හාමුදුරුවෝ චේති ජනපදයේ ප්‍රාචීනවංශ අභය භූ®මියෙහි වැඩ සිටියා. අනුරුද්ධ හාමුදුරුවෝ ව්වේකයට හරි කැමැති යි. ඒ නිසා හුදෙකලාව වැඩවසන්න මේ ප්‍රදේශයට වැඩම කළා. විවේකීව වැඩ වෙසෙන විට උන්වහන්සේට මහා පුදුම විදිහේ අදහස් කීපයක් පහළ වුණා.
‘අප්පිච්ඡායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස’
මේ ධර්මය අල්පේච්ඡ අයට යි. මහා බලාපොරොත්තු ගොන්නක් ඇති අයට නොවෙයි. බොහෝ ආශා ඇති අයට නොවෙයි යනු අනුරුද්ධ හාමුදුරුවන්ට ඇතිවුණා අදහසක්.
බුදුදහම ප්‍රායෝගික යි. අල්පේච්ඡ ජීවිත ගතකරන ඕනෑ ම කෙනෙකුට මේ දහම පිළිගන්න පුළුවන්. නූතන සමාජය මෙවැනි මානසික ධර්මතාවයන් නොමැති නිසා ප්‍රශ්නවලට මැදිවී සිටිනවා. බුදුදහමේ නිසිඵල නෙලාගැනීමට හැකිවන්නේ අල්පේච්ඡ බව අගය කරන අයට යි. ගිහි පැවිදි කාටත් සතර අකාරයකින් අලේපේච්ඡ වීම වැදගත් බව පෙන්වා දෙනවා. අප කාටත් අවශ්‍ය කරන ප්‍රත්‍යය සතරක් තිබෙනවා.
ඇදුම් පැළඳුම් ආහාර නිවාස සහ බෙහෙත් යන මූලික අවශ්‍යතාවන්. මේ මූලික අවශ්‍යතා පිළිබඳව සරල බවත්, චාම් බවත් තිබෙන්නට ඕනේ. අවුරුද්ද කිට්ටුවෙන කොට සමහර අය ඇඳුම් ගන්න පෝලිමේ බොහෝ දෙනෙක් ප්‍රමාණයට වඩා ඇඳුම් එකතු කරගෙන ඇඳුම් වලින් අල්පේච්ඡ වෙලා නැහැ.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට නියම කළේ තුන් සිවුරයි. පාත්තරය යි. එය කොතරම් සරල ද චාම් ද කියා සිතා බලන්න. ගිහි ජනතාව මංගල උත්සවයෙන් උත්සවයට අලුත් ඇඳුම් ගන්නවා. මේ ආකාරයට ජීවත්වෙන්න ගියාම ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා ඇඳුම් පැළඳුම්වලින් අල්පේච්ඡ වීම වාසිදායක යි.
දෙවනුව කෑම් බීම් වලින් අල්පේච්ඡ වීම වැදගත්. අද විවිධ ආකාරයේ ආහාර. බොහෝ දෙනෙක් කැමැති ක්ෂණික නිෂ්පාදන කෑම වලට. නමුත් ඒවා රසකාරක වලින් බහුල යි. අපව ඉක්මනින් රෝගී තත්ත්වයට පත්කරනවා. ආයුෂය, බලය අඩු කරනවා. කෑම වලින් අල්පේච්ඡ වෙනවා කියන්නේ නොකා නොබී සිටීම නොවෙයි. දුටු දුටු බොහෝ දේවල් අනුභව කරනවාට වඩා ශරීර සෞඛ්‍යයට හිතකර දේ පමණක් ගැනීම වැදගත් වෙනවා.
තෙවනුව සෙනසුන්වලින් අල්පේච්ඡ වීම, අපේ සමහර අය මේ අංශයෙන් ද අල්පේච්ඡ වී නැති බව පෙනෙනවා. කුරුල්ලකුට වුණත් ඉන්න කූඩුවක් අවශ්‍ය කරනවා. ගිහි සැමටත් ඉන්න නිවසක් අවශ්‍ය යි. එය අල්පේච්ඡ වුණ තරමට සිතට සැනසීමක් ලැබෙනවා.
තෙවන කරුණ සෞඛ්‍ය ය. සමහර අයට මේ රටේ ඉහළ ම රෝහල්වලට ගොසින් ප්‍රතිකාර ලබන තුරු රෝගය සුව වන්නේ නැහැ
තවත් කෙනෙකුට කොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වම සුවපත් භාවය ලැබෙනවා. ඒ නිසා මේ අංශයෙන් ද අල්පේච්ඡ වුණ තරමට හොඳයි. මේ කියන ඇඳුම්, ආහාර, සෙනසුන්් සෞඛ්‍යය යන අංශවලින් අල්පේච්ඡ ජීවිත ගතකරන අයටයි බුදුදහම.
පරියත්ති අල්පේච්ඡතාවයක් ඇති අයටයි බුදුදහම. සමහර අය නැති ගුණ පෙන්වන්න යනවා. නො ලබා ඇති මාර්ග ඵල පිළිබඳ පෙන්වන්න උත්සහ කරනවා. සෝවාන්ඵල ලාභී අසවලාගේ පොත කියවන්න කියල පුවත්පත්වල දැන්වීම් පවා පළ කරනවා. තමන් ධර්මය දන්න කෙනෙක් බව අමුතුවෙන් ලෝකයාට ප්‍රසිද්ධ කරන්නේ නැහැ නියම බෞද්ධයා. මෙන්න මේ කාරණාවලින් අල්පේච්ඡ ඕනෑම කෙනකුට බුදුදහම පිළිපදින්න පුළුවන් බව සිතට ගන්න.
බුදුදහම කා සඳහා ද? යන ප්‍රශ්නයට අදාළ දෙ වන පිළිතුර ඊළඟට පහදා දෙන්න අපේක්ෂා කරනවා. අප ප්‍රශ්න කළොත් වැඩිහිටියකුගෙන් හරි තරුණ කෙනකුගෙන් හරි බුදුදහම කා සඳහා ද? කියල පිළිතුරු ලැබේවි කළකිරුණු අයට යි. නැත්නම් වයසක උදවියටයි එසේත් නැත්නම් බෞද්ධයන්ට යි කියලා. නමුත් ධර්මානුකූ®ලව කල්පනා කරන විට ඊට වඩා හාත්පසින්ම විරුද්ධ පිළිතුරක් ඇතුළත් වෙලා තිබෙනවා ධර්මයේ. ඒ තමා, සන්තුට්ඨායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස’ මේ දහම සතුටෙන්, සන්තෝෂයෙන් ඉන්න අයට යි. අසතුටෙන් අසන්තෝෂයෙන් අමනාපයෙන් ඉන්න අයට නො වෙයි. මේ සන්තෝෂය සතුට ජීවිතයට ඉතා වැදගත්. මනස සැහැල්ලු තරමට කය සැහැල්ලු තරමට අප නිරෝගිමත් වෙනවා.
බුදුහාමුදුරුවන්ගේ් දේශනාවට අනුව උත්සාහයෙන් වීර්යයෙන් ධාර්මිකව හරිහම්බ කරන්න තහනමක් නෑ. බාධාවක් නෑ. වෙර වීරියෙන් හම්බකරල හුඟක් ලැබුණත්, ටිකක් ලැබුණත් ඒ ලැබෙන ප්‍රමාණයට සතුටට පත්වෙන්න, සෑහීමට පත්වෙන්න හැකියාව තිබෙනවා නම් එය ඉතා උසස් ගුණාංගයක්. එය ධර්මයේ උගන්වන්නේ යථාලාභ සන්තෝෂය කියලයි. සමහර අයට කොපමණ ලැබුණත් මදි. අතෘප්තිකරයි. බොහෝ ය සතුටින් නො වෙයි ඉන්නේ. ඒ නිසා පින්වතුනි බුදුදහම එබඳු අයට නොවෙයි. අපි කවුරුත් කැමති නැහැ කාගෙවත් වැඩකාරයො වෙන්න. එනමුත් අපි දන්නෙම නැතුව එක අයකුගෙ වැඩකාරයො වෙලයි ඉන්නේ. ඒ තමයි තෘෂ්ණාවේ වැඩකාරයෝ අපි. අපේ ආශාවන්ට ඕන විධියටයි අපි කවුරුත් හැසිරෙන්නේ. මේ තත්ත්වය වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනෙ. නැතිනම් අපේ සතුට පලා යනවා. අසහනය ළඟා වෙනවා. එතකොට ප්‍රශ්න වැඩිවෙනවා.
මොකක්ද? මේ අසහනය. අද සමාජයේ නිතර නිතර ඇසෙන වචනයක් මෙය. අපෙ බලාපොරොත්තු වැඩියි. ප්‍රාර්ථනා එමට යි. නමුත් හිතන තරමට ලැබෙන්නේ් නැහැ. ලැබෙන ප්‍රමාණය යි බලාපොරොත්තුª ප්‍රමණය යි අතර විශාල පරතරයක් තියෙනවා. මේ හිඩැස තමයි අසහනය. අන්න ඒ නිසා වුවමනාවට වඩා බලාපොරොත්තු ඇතිකර ගත්තහම ඒවා ඉෂ්ට කරගන්න බැරිවන විට සිතට කිසිම සතුටක් නැහැ. සහනයක් නෑ. එනිසා තම තමන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ආශාවන් පාලනය කරගෙන කටයුතු කළ යුතු කාලයක තමයි අප ජීවත් වන්නේ. අපේ හිතේ් තිබෙන ප්‍රශ්න අඩුකරගෙන සිත සැහැල්ලු කරගෙන ජීවත්වීම තමයි වටින්නේ. එතකොට ඒ ජීවිතය තමන්ටත් බරක් නෑ. අනුන්ටත් බරක් නෑ. සමාජයටත් බරක් නෑ. සැහැල්ලු ජීවිතය තමන්ට ම සතුට ගෙන දෙනවා. සතුට පවතින්නේ් භෞතික භාණ්ඩ මත නොවෙයි. සමහර අය සිතන්නේ ගෙවල් දොරවල්. මිල මුදල් යාන වාහන තිබුණම සියල්ල සම්පූර්ණයි කියලා.
සතුට අධ්‍යාත්මය හා සම්බන්ධ යි. සමහර අයට යාන වාහන රැකී රක්ෂා තිබෙනවා. නමුත් ජීවත්වන්නේ සතුටෙන් නොවෙයි. සමහරු බොහොම දැන උගත් නමුත් සතුට නැහැ. සමහර අය බොහොම ලස්සන යි.
නමුත් සතුට නැහැ. ඒත් පාරේ ඉන්න අහිංසක මනුෂ්‍යයෙක් ළඟ අර බොහෝ දේවල් තිබෙන අය ළඟ නැති සතුට තිබෙනවා. ජීවිතයේ සැඳෑ සමයේ ආපසු හැරී බලනවිට සතුටු වියහැකි ජීවිතයක් ගතකර තිබෙනවා නම් එය වටිනවා. මගෙන් සමාජයට ආගම දහමට දරුවන්ට නෑදෑයන්ට රටට සේවයක් සිදුවී ඇතැයි අවංකව ම සතුටුවිය හැකි නම් ඒ ජීවිතය වටිනවා. එබඳු සතුටක් භුක්ති විඳින අයට බුදුදහම අර්ථවත් ලෙසට පිළිපදින්න පුළුවනි. පින්වතුනි තුන් වෙනුව
‘පවිවිත්තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංසරිකාරාමස්ස’ බුදුදහම විවේක ඇති අයට යි. රංචු ගැසී කාලය කා දමන අයට නො වෙයි.
කාලය රන් හා සමාන යයි අතීතයේ කීවා. අද කියන්න වෙලා තිබෙන්නේ කාලය මිල කළ නො හැකියි. කාලය සීමා සහිතයි. ඒ සීමා සහිත කාලයෙන් අසීමිත කාර්ය භාරයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව හැමදෙනාම සිතට ගැනීම වැදගත්. කාර්ය බහුලව සමූහ වශයෙන් ඉන්න අයට බුදුදහම පිළිපදින්න අපහසු යි. පිළිපදින්නට හැකිවන්නේ විවේකය පි‍්‍රය කරන අයට යි.
විවේකය කියන්නේ වැඩ පල නොකර පැත්තකට වෙලා
ඉන්න එක නො වෙයි. ධර්මානුකූ®ලව විවේකය කායික විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය කියා කොටස් තුනකට බෙදා තිබෙනවා. කාය විවේකය කියන්නේ ශරීරයට විවේක දීම.
දෙ වන කරුණ චිත්ත විවේකය යි. එයින් අදහස් කරන්නේ සිතට විවේක දීම. වත්මන් සමාජය හරිම සංකීර්ණයි. හැම තැන ම විවිධ ප්‍රශ්න ගැටලු. මේ අභියෝගවලට මුහුණ දීල ජයගන්න නම් මානසික විවේකය අවශ්‍ය යි. මානසික විවේකය ලබාගෙන මොහොතක් බුදුගුණ, දහම් ගුණ, පරිත්‍යාගය, මරණය ගැන මෙනෙහි කරන්න. එසේ කිරීමෙන් නිතිපතා අපිරිසුදු වන ඔබේ සිත මොහොතකට හෝ පහන් වේවි. පිවිතුරු මනස සැප එළවනවා.
තුන් වන කාරණය තමා උපධි විවේකය. ජීවිතයක් සාර්ථක කරගන්න කෙලෙසුන්ගෙන් විවේක ගැනීම අවශ්‍ය යි. නමුත් සමහර අය කෙලෙස් වැඩිකර ගන්නවා. මුළු දවසෙම හම්බ කරනවා. හැන්දෑවට බීල ඇවිත් වටේම ඉන්න අයටයි අම්මටයි තාත්තටයි බැනල නිදා ගන්නවා. එහෙම නැතුව කෙලෙස් අඩුකර ගන්න අයත් ඉන්නවා.
හතරවන කාරණය තමා මේ බුදුදහම වීර්යවන්ත අයට යි කියන එක. එසේ නැතුව කුසීතව කම්මැලිව ඉන්න අයට නොවෙයි. සෑම මිනිසකු තුළ ම අනිවාර්යයෙන් ම තිබිය යුතු ගුණංගයක් තමයි වීර්ය ය. ඒ තත්ත්වය තමා ළඟ නැත්නම් තම චරිතයට ජීවිතයට සමීප කරගත යුතුම ය. අකුසල් දුරුකර ගැනීමටත් කුසල් දියුණු කර ගැනීමටත් වීර්යය අවශ්‍ය ම ය. වීර්යය යන ගුණ ධර්මය ප්‍රගුණ කළ නිසා පුරුදු පුහුණු කළ නිසා සියල්ල දත් බුදුහාමුරුවන් වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් නමක් ගැන අපට ඉගෙන ගන්න ලැබුණා. ඒ චරිතයෙන් අප අපගේ ජීවිතයට උපරිම ලෙස චරිතාදර්ශ එකතු කරගන්න උත්සාහ කරමු. ජීවිතයට අභියෝග ආ විට අඬ අඬා ඉන්නේ නැතිව පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නේ නැතුව අභියෝගය ජයගන්න උත්සාහ කිරීමයි අවශ්‍ය වන්නේ. එබඳු උත්සාහය වීර්යය ඇති අයට තමයි මේ බුදුදහම.
පින්වතුනි, උපට්ඨිත සතිස්සායං ධම්මෝ නායං ධම්මෝ මට්ඨස්සතිස්ස’ බුදුදහම එළඹ සිටි සතියෙන් යුක්ත අයට යි. සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරන අයට නොවෙයි. මතක ශක්තිය දුර්වල වුණාම බොහෝ අවැඩ සිද්ධ වෙනවා. අතපය කඩන්නේ නැතුව දුක් මහන්සි වෙලා හදා වඩා ඇතිදැඩි කළ දෙමව්පියන් සමහර දරුවන්ට අමතක වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සතිය හැම තැන ම අවශ්‍ය දෙයක් බව. හිතන කියන දේවලට පමණක්් නොවෙයි ඉන්ද්‍රිය මගින් සිදුකරන සෑම ක්‍රියාදාමයකට ම සිහිය නැත්නම් සතිය අවශ්‍ය යි. ඒ එක්කම භාවනාවකින් සිත එකඟ කරගන්නත් සතිය හොඳට පුරුදු පුහුණු කරල තිබීම අවශ්‍ය කරනවා.
විවේකීව වැඩ සිටින අනුරුද්ධ හාමුදුරුවන්ට මෙහෙම අදහසක් පහළ වෙනවා. ‘සමාහිතස්සායං ධම්මො නායං ධම්මො අසමාහිතස්ස’ මේ දහම තැන්පත් සිතක් ඇති අයට යි. සිත විසිරිලා විකෂිප්ත වෙලා ඉන්න උදවියට නොවෙයි. කාරණා පහක් සිතේ් බලවත්වන විට සිත හරිම වික්ෂිප්ත යි. කලබලයි. ඒ තමා පංචනීවරණ ධර්ම. ඉඳුරන් පිනවීමට යාමෙන් සිත වික්ෂිප්ත වෙනවා. ඒවා හැකිතාක් පාලනය කර ගත්තොත් ආර්ථික වශයෙන් ද සෞඛ්‍යමය වශයෙන් ද වැදගත් වෙනවා. දෙ වන කරුණ තමා තරහව. මේ තරහව අපේ සිත වසා ගත්තම ඇතිවන තත්ත්වය විස්තර කළ හැකියි. සිතේ තරහව ඇති වුණාම හොඳ නරක තේරුම් ගත නො හැකියි. කරන කියන දේ ගැන ඉන්න තැන ගැන අවබෝධයක් නැහැ.
තුන්වන බලවේගය තමයි ථීනමිද්ධ ය. සිතේ සහ කයේ ඇතිවන මැලි ගතිය තමයි ථීනමිද්ධ කියන්නේ, සිතේ් නිදිමත ගතිය අලසකම ඇති නොවීමට වැඩ සැලසුම් කර ගැනීම දියුණුවේ ලක්ෂණයක් බව සිතට ගන්න. සිත නො සන්සුන් කරන අනෙක් කාරණය තමයි උද්දච්ච කුක්කුච්ඡ ය. එයින් කියන්නේ සිතේ නොසන්සුන්කම යි. සමහර අය හරි කලබල යි. කලබලයට වැඩ කරන්න ගිහින් විවිධ විපත්වලට මුහුණ පානවා. සිත කැලඹුණ විට නො සන්සුන් වූ විට මතකය අවදිවන්නේ නැහැ. එනිසා කලබල වන්නේ නැතුව වැඩ කරන්න කල්පනාකාරී වන්න.
අනෙක් කරුණ තමයි විචිකිච්ඡාව. සෑම දෙයක් ගැනම සැක කරනව. ප්‍රධාන වශයෙන් තුණුරුවන් ගැන සැක කරනවා ඉපදීම ගැන. දෙමව්පියන් ගැන සැක කරනවා. සැකය දියුණුවට බාධාවක්. ඉක්මණින් ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් සංවර වූ සිතක් ඇති අයට මිස අසංවර වූ සිතක් ඇති අයට නො වෙයි.
අවසාන වශයෙන් පින්වතුනි, මේ බුදුදහම බුද්ධිමත් අය සඳහා ඳස මෝඩ අයට නො වන බව බුදුපියාණෝ මෙහෙම දේශනා කරල තියෙනවා. මේ දහම ප්‍රඥාවන්ත අයට මිස මෝඩ අයට නො වේ. බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රඥාවට මුල් තැනක් දෙන දර්ශනයක්. එය භක්ති මාර්ගයක් නොවෙයි. බුද්ධි මාර්ගයක්. ප්‍රඥාව මිනිසකු සතු උසස් ම වස්තුවක්. යම් පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක වන්නනම් ඒ පුද්ගලයා ගුණයෙන් පිරුණු කෙනෙක් වෙන්නත් ඕන. ප්‍රඥාවෙන් යුක්ත වෙන්නත් ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළා. ඔහු සිල්වතෙක්, ගුණවතෙක් කියලා. ඒ නිසා සීලය යි. ප්‍රඥාව යි ලෝකයෙ අග්‍රයි කියලා දක්වලා තිබෙනවා. එහෙම නම් අප ඕනෑ ම කෙනකු ළඟ තිබිය යුතු වැදගත් ම ගුණාංග දෙකක් තමයි සීලය යි. ප්‍රඥාව යි.
නැත්නම් ගුණය යි. නුවණ යි. ගුණවත් නො වී නැණවත් නොවී මොන තරම් දේ කළත් අර්ථයක් නැහැ.
බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කරල තිබෙන්නේ අධික තෘෂ්ණාවෙන්, වැරැදි අදහස්වලින්, අධික මානයෙන් ඉන්න අයට නොවෙයි. ඒවා අවම කරගන්න උත්සාහ දරන නිවන් සොයන, නිවනට ඇළුණු අයට යි. අපගේ ජීවිතය කෙටියි. ඒ කෙටි කාලය තුළ ගුණදම් පුරන්නට යුතුකම් ඉටුකර ලන්නට, හැකිතාක් නුවණ වැඩෙන ක්‍රියා කරන්නට කටයුතු කිරීම වැදගත්. අපේ සිත්වලට ගලා එන පවිටු චේතනා පවිටු අදහස් බැහැර කරමු. සෝදා හරිමු. සිත් සතන් පිරිසුදු කර ගනිමු.
ඔබ සැමට
සම්මා සම්බුදු සරණයි!

Friday, June 8, 2012

සසර ගමන පුරා ගෙන යන මග වියදම්........


සසර ගමන පුරා ගෙන යන මග වියදම්

නමො තස්ස
භගවතො අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

අප්පමාදෙන මඝවා
දෙවානං සෙට්ඨතං ගතො
අප්පමාදං පසංසන්ති
පමාදො ගරහිතො සදා
පින්වත්නි,
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයෙක්හි මහාලී නම් ලිච්ඡවී රජු විසින් දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජුගේ ඉසුරු සම්පත් පිළිබඳව පිළිවිසි පැන විසඳීම සඳහා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.
දිනක් මහාලී ලිචිඡවී බුදුරදුන් වෙත පැමිණ ‘ස්වාමිනී’ බුදුරජාණන් වහන්ස! සක්දෙව් රජු ගැන මෙතරම් වර්ණනා කරන්නේ දැක දැනගෙන දැයි ප්‍රශ්න කළේය. එවිට බුදුරජාණන්වහන්සේ මහාලිය මම ශක්‍රයාද හොඳින් හඳුනමි. ශක්‍ර පදවිය සඳහා කළ පින්දහම්ද දනිමියි, උත්තර දෙමින් ශක්‍රයාගේ අතීත චරිත කතාවද දේශනා කළ සේක.
මෙම සක්දෙව් රජ පෙර මනුලොව ඉපිද මඝනම් මානවකව බොහෝ පින්දහම් කළ බැවින් මඝවා යන නමින්ද ප්‍රකට වේ. පෙර දානාදී පින්දහම් කරන්නේ සැම දෙනාටම ප්‍රථමයෙන් පුරෝගාමීව සිටි නිසා පුරින්දද යයිද එකල ආවාස කොට ජනයාගේ ප්‍රයෝජනයට පරිත්‍යාග කළ බැවින් වාසව යයිද කියනු ලැබේ.
තවද පින්වත්නි මෙම සක්‍ර දේවරජතුමා අතීතයෙහි මගධ රට මචලග්‍රාමයේ මඝනම් මානවකව තවත් තෙතිසක් යහළු තරුණයන් සමඟ තම කැමැත්තෙන්ම මංපෙත් පවිත්‍ර කිරීමාදී මහජන සුබ සිද්ධිය සඳහා විවිධ ශ්‍රමදාන කරන්නට ඉදිරිපත් වූහ.
මඝමනාවක ප්‍රධාන පිරිසගේ සත් ක්‍රියාවන් දෙස ඊර්ෂ්‍යාවෙන් කීප දිනක් බලාසිටි ග්‍රාම ප්‍රධානියා තමන්ගේ් වාසිය තත්වය නැතිවේදෝයි සිතා රජුට කේලම් කියා දඬුවම් පැමිණවීමට ක්‍රියා කළේය. මෙම කුමන්ත්‍රණය නොදත් රජතුමා රාජපුරුෂයන් යවා මඝමානවක ප්‍රධාන පිරිස ගෙන්වා රාජාංගනයේ ඇතුන් ලවා පාගා මරන්ට නියම කළහ. මඝමානවකයන්ගේ ස්ථානෝචිතව ක්‍රියාකොට රජතුමන් ඇතුළු සියලු දෙනාටම මෛත්‍රී පැතිරවීමේ බලයෙන් ඇතුන් පෑගීම තවා ළඟටවත් කිට්ටු නොවූයෙන් පසුව සියලු සිද්ධීන් යථා පරිදි අවබෝධ කරගත් රජතුමා පිරිස නිදහස් කළා පමණක් නොව මචලගම ප්‍රධාන පළාත දියුණු කරන්නට රාජ්‍ය තාන්ත්‍රික බලතල ද පැවරූහ.
මඝමානවකයෝද ඉතා ප්‍රසන්න මනසින් තම යහළුවන් සමඟ තිරසර අදිටනින් ඉතා උසස් පින්කමක් කරමු යයි කතිකා කරගෙන සිව්මං සමීපයේ මහජන ශාලාවක් හදන්නට පටන් ගත්හ. වඩුවන් කාර්මිකයන් ශාලාව ඉදිකරගෙන යනවිට මඝමානවකයන්ගේ් සුධම්මා නම් භාර්යාව ශාලාවේ කැණිමඩල සකස් කරවා සුධම්මා යන නමද ලියවා තැබුවාය. නන්දා බිරිය සිත්කළු පොකුණක්ද චිත්තා ශාලාවට පිවිසෙන ප්‍රදේශයේ මල්ඵල ඇති මනහර උයනක්ද කරවූවාය.
මෙසේ සත් කි‍්‍රයාවන් කරගෙන යන්නෝ සප්තවත් පදයක්, පිළිවෙතක් අනුගමනය කළහ.
මාතාපෙත්තිභරං ජන්තුං - කුලජෙට්ඨාපචායිනං
ඝණ්හං සඛිල සම්භාසං - පෙසුන්‍යෙප්පහායිනං
මච්ඡේරවිනයෙ යුත්තං - සච්චං කොධාභිභූං නරං
තං වෙදෙවා තාවතිංසා - ආහු සප්පුරිසො ඉති
මව්පිය උපස්ථානය, කුලදෙටුවන්ට සැලකීම, සත්‍ය භාෂිතය නපුරු වචන නොකීම, කේලාම් නොකීම, දන්දීම, ක්‍රෝධ නොකිරීම යන පිළිවෙත් අනුගමනය කොට දිවි කෙළවර තව්තිසා දෙව්ලොව උපන්හ.
මඝමානවක මිනිස් ලොවදී කළ මහඟු පින්කම් අතර ආවාස දානමය පුණ්‍යබල මහිමය දෙවියන් සහිත ලෝකයට ප්‍රකට කරවමින් තිව්තිසා භවන, වෛජයන්ත ප්‍රාසාදය, සුධර්මා සභාශාලාව චිත්‍රා උයන, නන්දා පොකුණ ඓරාවණ හස්තිරාජා ආදී සම්පත් හා පරිවාර දෙවියන් දෙවඟනන් විශ්ම කර්ම දිව්‍ය පුත්‍රයා ආදී සිතූ පැතූ සම්පත් ‘ඉච්ඡිත’ පරිදි ලබන්නට හේතූපකාර විය. මේ සියල්ලටම හේතුවූයේ අප්‍රමාදව පින්කම් කිරීමයි. එය සිතීම් මාත්‍රයක් නොව ශුද්ධාවත් සම්මාදිට්ඨියත්, සෝමනස්සයත් ස්වච්ඡන්දයත් එක් අරමුණක වැඩි වේලාවක් මනස පිහිටුවා ගත් කුසල චේතනාවයි. ‘පුඤ්ඤ’ යන නමින් කුසල චෛතසිකයක් නොමැත. එය පවිත්‍රත්වයේ පරියාය නාමයයි.
සිතක් පවිත්‍රව විශ්වය පුරා සකල සත්ත්ව සන්තතිය කෙරෙහි විවෘත වන්නේ සිහිබුද්ධියෙන් ලෝභය දෝෂය, මෝහය යන අකුසල මූලයන් තදංග වසයෙන් හෝ වික්ඛම්භන වශයෙන් හෝ සිතින් අයින් වූ විටය. අරමුණේ් බොහෝ වේලාවක් නැවත නැවත චිත්තක්‍ෂණ වීථි ගමන් කරන්නේ පුහුදුන් ලෝභය නිසාය. එය කුසල චෛතසික වශයෙන් ඇතිවන චේතනා පින්කම් කිරීමට අත්‍යාවශ්‍ය වේ. අරමුණේ ගැටීම සංඛ්‍යාත ද්වේෂයද, හරි අරමුණක් තෝරා බේරා ගැනීමේ තිරසර අධිෂ්ඨානය නැතිවන්නේ මෝහය මගිනි. මේ නිසා පින්කම් කරන්ට කුසල චෛතසික වර්ධනය කරගන්නට සිහිබුද්ධියෙන් හෙවත් අප්‍රමාදයෙන් අකුසල මුල අයින් කළ යුතු වේ.
ලෝභාදී අකුසල මූලයන් නැති කර දානාදී පින්කම් කරන්ට ක්‍රමක්‍රමයෙන් තදංග වික්ඛම්භන සමුච්ඡේද ප්‍රහාණයෙන් නැතිකොට ආලෝභදී කුසල මූලයන් වර්ධනය කරමින් ආර්යඤාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් සුවයෙන් සදා සැනසීමට අප්‍රමාදය අවශ්‍යම වේ.
රාග, ද්වේශ මෝහාදී අනන්ත කෙලෙස් මලින් අපවිත්‍ර චිත්ත සන්තානය ක්‍රමයෙන් පවිත්‍ර කිරීමේ මූලික පදනම වන්නේ අප්‍රමාදයෙන් ආරක්ෂා කරන සීලය යි.
කිකීව අණ්ඩං චමරීව වාලිධිං
පියංව පුත්තං නයනංව ඒකකං
තථෙව සීලං අනුරක්ඛමානො
සුපේසලා හොථ සදා සගාරවා
කිකිළිය බිජු රකින්නා සේ, සෙමරා වලිගය ආරක්ෂා කරන්නා සේ, මවක් තම එකම පුතා ආරක්ෂා පෝෂණය කරන්නා සේ භික්ෂූන් විසින් සීලය ආරක්ෂා කරගෙන සුපේසලව වාසය කළ යුතුªබව බුදුරදුන් විසින් දේශනා කොට ඇත. අප්‍රමාදයේ ප්‍රතිවිපාක වශයෙන් සිහිබුද්ධියෙන් හොඳ නරක තීරණය කර තුන්දොර සංවර කර ගැනීමෙන් සීලය ආරක්ෂා වේ.
අප්‍රමාදය පිළිබිඹුකරණ චරිත කතා සියගණන් බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන නමුත් මඝමානවක චරිත කතාව තරම් සජීවී එමෙන්ම තම පරමාර්ථය සඳහා එකම අධිෂ්ඨානයක් ඇතිව ක්‍රියාකළ ජීවන චරිත අල්ප වේ. ඔහු හා පිරිස අවංකත්වය, ස්ථිර අධිෂ්ඨානය නිර්භීත පෞරුෂත්වය යන උත්තරීතර ගුණාංග මොනවට ක්‍රියාත්මක කොට අවසානයේ ජයග්‍රහණය ලබාගෙන ඉතිහාසයේ සටහන් සංලක්ෂණ කළහ.
දානය, සීලය, භාවනාව, පින්දීම, අනුමෝදනය, වතාවත් කිරීම වෘද්ධාපචායනය, ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, සම්මා දිට්ඨි යන දසවිධ පුණ්‍යක්‍රියා නිතර කිරීමෙන් කෙලෙස් ශමණය වේ. පින්කම්වල නිතර යෙදීමෙන් කෙලෙස් අවම වන අතර සුගති සංඛ්‍යාත දේවමානුෂිකාදී සම්පත් ලැබීමටද අප්‍රමාදව සමථ විදර්ශනා භාවනා කිරීමෙන් නාම රූප ධර්මයන්ගේ ස්වලක්ෂණ ප්‍රත්‍යක්ෂවීමෙන් උතුම් නිවන් සම්පත් ලබාගැනීමට වාසනාභාගී වන්නේය. මානසික පාලනය කයින් ශික්ෂණය වාචසික අර්ථවත්භාවය කෙනෙකුගේ සමාජමය ජීවිතයේදී අත්‍යාවශ්‍ය වන්නේ උසස් ශිෂ්ටාචාරයක පසුබිමක් වශයෙනි. ලෞකික ලෝකෝත්තර සම්පත්තිදායක වූ ධනාත්මක සසර ගමනකට සීලය භාවනාව, නිතර නිතර ක්‍රියාත්මක කළයුතු වන්නේය. සත්ක්‍රියාවන්ගෙන් රැස්කරගන්නා කුසල චෛතසිකයන් විවෘත මනසින් සියලු සත්වයන් කෙරෙහි පැතිරීමෙන් විශ්වයේ එක් තැනක සිට සමස්ත විශ්වයම තමාට වශී කරගන්නට උපනුපන් ජාතිවල සුබවාදීව ජීවත්වන්නට භවාන්තරයේ සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් බුදු පසේබුදු රහත් යන ලෝකෝත්තර පදවි ලැබීමෙන් අමාමහ නිවනින් සැනසුමට වාසනාභාගී වන්නේය.
ඔබ සැමට දෙලොව ශාන්තිය උදාවේවා.

‘මී පැණි’ අමිහිරි වන හැටි...........


‘මී පැණි’ අමිහිරි වන හැටි


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම් බුද්ධස්ස
මධුවා මඤ්ඤති බාලො
යාව පාපං නපච්චති
යදා ච පච්චතී පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති

පින්වත!
බාලයා නැතහොත් අනුවණයා පව්කම් කරනුයේ යම්තාක් කාලයක් එය විපාක නොදේද, ඒ තාක් එය මී පැණි සේ සිතයි. යම් කලෙක පව විපාක දීමට පටන් ගනීද එවිට හේ අතිශය දුක් වේදනාවන්ට පත්වන්නෙහිය යන්න ඉහත ගාථාවේ අදහස යි.
පුහුදුන් මිනිසාගේ ආධ්‍යාත්මය, මෛත්‍රිය - කරුණාව පරිත්‍යාගශීලි බව ආදී සත්ගුණයන්ගෙන් පිරී ඇත්තා සේම වෛරය, ඊර්ෂ්‍යාව, මානය, ලෝභකම ආදී ක්ලේශයන්ගෙන් ද පිරී ඇත්තකි. ක්ලේශ ප්‍රහාණය නොලත් පෘථග්ජන සත්වයාගේ ස්වභාවය ස්වකීය සිත, කය, වචනය මගින් විවිධ හේතු සාධක පදනම් කොට ගෙන කුසල අකුසල කර්ම සිදු කිරීමයි. සත්ත්වයන් විසින් සිදු කරනු ලබන කර්ම විපාක සහ ගත බවට පත්වනුයේ චේතනාව පවත්නා ස්වභාවය අනුව බව බුදුදහම අවධාරණය කරයි.
චෙතනාහං භික්ඛවේ කම්මංවදාමි
චෙතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා වා
මහණෙනි! මම චේතනාව කර්මය යැයි කියමි. කර්මය සිතාමතා කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ කරන්නේ වෙයි යන්න එහි සරල අදහස වේ.
කර්මය හෝ කර්ම විපාක පිළිබඳව අටුවා ටීකා සහිතව විස්තර කළයුතු නැත. හොඳ දෙයක් කළ විට සැප වේදනා සහිත සුඛදායී විපාක ලැබෙන බවත්, වැරැදි දෙයක් කළවිට දුක් වේදනා සහිත දුක්ඛදායි විපාක විඳීමට සිදුවන බවත් බොදු සමාජයේ කුඩා දරුවා වුවද දන්නා සාමාන්‍ය කරුණකි.
එහෙත් සමාජය තුළ පවත්නා අභාග්‍ය සම්පන්න බව නම් මේ පිළිබඳව සැලකිලිමත් නොවීමයි. වරද අල්ප වුවද එයින් තමන්ටත් සමාජයටත් වන විපාක අල්ප වුවද එවැනි කුඩා නමුදු වරදෙහි බිය උපදවා ඉන්වැළකී සිටිය යුතුය යනු බුදු දහමෙහි ඉගැන්වීමයි. (අනුවජ්ජෙසු වජ්ජෙසු භය දස්සාවි)
නොනවත්වා බාහිර වශයෙන් මිනිස් ලෝකය දියණුව කරා ඇදෙද්දී මිනිස් අධ්‍යාත්මය වේගවත්ව පරිහානිය කරා ඇදීම නවතාලීමට වැට ඉනි බැඳීම මහත් අපහසු කර්තව්‍යයක් විය හැකිය. එහෙත් අනලස්සව අපි එයට වෙර දැරිය යුතු වෙමු.
පාපය , වරද තුළ පවත්නා බාහිර සුන්දරත්වය, මිහිරි බවට සත්ත්වයෝ මුළාවන්නාහුය. අයහපත් අමිහිරි දෙය ඉතා සුන්දර වේශයකින් ලොව තුළ විද්‍යාමාන වන බවත් යහපත් එමෙන්ම වරද රහිත දෙය අමිහිරි දුෂ්කර ස්වභාවයකින් පවත්නා බවත් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

අසතං සාත රූපෙන
පිය රූපෙන අප්පියං

වරද රහිත වුවද යහපත් වුවද එහි බාහිරව පවත්නා කටුක අමිහිරි ස්වභාවය නිසා නිරායාසයෙන් කෙලෙස්බර සත්වයාගේ් සිත සුන්දරව මිහිරිව පවත්නා වූ අයහපත් දෙයට නැමෙන්නේය.
මැනවින් සෙවිලි නොකළ ගෙය වැසි දියෙන් තෙමී යන්නා සේ අභාවිත සිත නිරන්තරයෙන් ක්ලේශයන්ගෙන් වැසී යන්නේ ය.

යථා අගාරං දුච්ඡන්නං
වුට්ඨි සමති විජ්ජති
එවං අභාවිතං චිත්තං
රාගො සමති විජ්ජති

දුක්විපාක සහිත දෙය ලොව මිහිරිව සුන්දරව පෙනෙන්නට ඇති නිසා සහ කර්ම විපාක පිළිබඳව සැලකිලිමත් නොවීම වැනි හේතු නිසා මිනිසා වරද සහිත වූද, අකුසල කර්ම පාප කර්ම නිරන්තරව සිදු කිරීමට පෙළඹී ඇත.

නුවණැති පින්වත්නි!

ඔබ කරන හොඳ නරක දෙකෙහි වගකිව යුත්තා ඔබමය. විපාක දැරිය යුත්තේද ඔබ විසින්ම ය. සිදු කිරීමට උපදෙස් දෙන උදව් දෙන කිසිවෙකුටවත් ඔබ විපාක විඳින කල ඔබව එයින් ගලවාගත නො හැකි බව වටහා ගන්න. එබැවින් මානසික වශයෙන් මෙන්ම සාමාජිත වශයෙන් ද ආර්ථික වශයෙන් මෙන්ම කායික වශයෙන්ද මෙලොවදී මෙන්ම පරලොවදීද ඔබ ලබා ගන්නා ජීවිතය අන්ත අසරණ වුවක් නොවන්නට වද වේදනා විඳිමින් මුළු ජීවිත කාලයම ගත කිරීමට සිදු නොවන්නට වගබලා ගත යුතු වන්නේ් ඔබ විසින් ම බව තේරුම් ගත යුතු කරුණක් වේ.
ඔබ අද ජීවිතය ගැටගසා ගැනීමට සැප සම්පත් ළඟා කර ගැනීමට ධනය රැස්කර ගැනීමට ඇතැම් විට සිදුකරන දෙය කුමක්දැයි සිතා බලන්න. දූ දරුවන් ජීවත් කරවන්නට වැරැදි සහගත ආයෝජන මාර්ගයක් හෝ රැකියාවක් හෝ සිදු කරන්නේද එමගින් ලබාගන්නා ධනයෙන් දූ දරුවන් පෝෂණය කරන්නේද ඔබගේ් දූ දරුවන්ට ගිනිගත් යකඩ ගුලි ගිලින්නට දීම එයට වඩා යහපති.
යාන වාහන ඇඳ පුටු වෙනුවට විදුලිසැර ක්‍රියාත්මක වන යකඩින් නිම වූ කුටියකට ඔබද ඔවුන් සමග වැද එවැනිම ආසනවල හිඳ සැතපී ශරීරය දැවී අළු වී යනතුරු සිටීම යෙහෙකි.
එවිට ඒ ආකාර වූ දුක් වේදනා විඳිනුයේ එහි අවසානය වූ මරණ වේදනාවට පැමිණෙනුයේ මේ භවයේදී පමණි. එහෙත් සමාජයට අහිතකර ලෙස ඔබ ගොඩනගන්නට වෙර දරනා සැප සම්පත්වල අවසානය මේ භවයේ යම් දිනෙක පටන් මතු මුළු මහත් සසර පුරාම අසීමිත දුක් කන්දරාවකට බඳුන් වීමට හේතුවක් බව සිහිතබා ගත යුතුය.

අදමින් ජීවත් වනවා වෙනුවට
දැහැමෙන් මියයනු සොඳමයි දනහට

සමාජය දෙස බලනවිට පෙනෙන්නට ඇති ප්‍රවණතා නම් ඇතැම් විට අධාර්මික ලෙස ධනය රැස්කරන අය මහත්වූ පව්කම් කරන අය සැප සම්පත් සහිතව සමාජය තුළ ඉහළින් වැජඹෙන අතර අන්ත දුක්විඳිමින් ධාර්මිකව ජීවත්වන පුද්ගලයින් සැමදාම සැප නොලබා පීඩිත ජීවිත ගෙවන ආකාරය යි.
මේ තත්ත්වය දෙස අවබෝධයෙන් තොරව බලන ධාර්මිකව ජීවත්වන අය තුළ ඇතිවන මුලා සහගත සිතිවිලි නම් ධාර්මිකව ජීවත් වන්නට ගියහොත් කිසි දිනෙකවත් දියුණුවීමට නොහැකිය යන්නයි. එබැවින් තමන්ද කුමන දේ හෝ සිදුකොට සම්පත් ළඟාකර ගත යුතුය යන්න කල්පනා කිරීම වැරැදි සහගතය.
සැබෑම කාරණය නම් අධර්මිෂ්ටව පාපයෙහි නියැලී කටයුතු කරන කිසිවෙකුත් සැබෑ සම්පතක් සතුටක් විඳින්නේ් නැත යන්නයි.
සැබෑ සතුට සුවිසල් මැදුරු තුළ හෝ යාන වාහන වල කන බොන ආහාර තුළ හෝ ඇත්තේ නැත. උතුම් සතුට නම් තම ජීවිත පිළිබඳව සිතන විට තමන්ගේ් නිවැරැදි බව පිළිබඳව ඇතිවන අධ්‍යාත්මික සැනසිල්ලයි. අදමින් ධනය උපයා බාහිර ලෝකයට සැප විඳින සේ පෙනෙන අය තුළ එකී අධ්‍යාත්මික සැනසිල්ල තිබේ යැයි ඔබ සිතන්නෙහිද?
පාපය විපාක දෙනතුරු මී පැණි මෙන් රසවත් වුවද එය විපාක දෙනවිට පසුතැවීම් වේදනා තත්පරයක් පාසා ඇති කරවයි.
කාරණා මෙසේ හෙයින් ජීවිතය ගත කරන මේ කෙටි කාලය තුළ කුඩා වුවද වරදෙහි බිය දක්නා සුළුව කුසගින්නෙහි මිය ගියද, වරද ලෙස සම්පත් නොසොයා සසර පුරා උපදින හැම ජීවිතයකදීම කදීම කායික - මානසික සුවය ඇතිවන පරිදි කටයුතු කිරීමට ඔබ සැමගේ නුවණැස පහළ වේවා!

Tuesday, June 5, 2012

කල් පවතින සැබෑ දියුණුවකට නොවරදින මාවත....


කල් පවතින සැබෑ දියුණුවකට නොවරදින මාවත

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සුවිජානෝ භවං හෝති
සුවිජානෝ පරාභවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරාභවෝ
පින්වත්නි,
සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කළ එක් රාත්‍රියක දේවතාවෙක් පැමිණ, පුද්ගලයකු පිරිහීමේ දොරටු මොනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පරාභව පිරිහීමට හේතුවන මෙම ගාථාධර්මය දේශනා කළසේක.
දියුණුවන්නා මෙන්ම පිරිහෙන්නා ද ඉතා පහසුවෙන් දැනගත හැකි බව කෙනකුගේ චිත්තන ධාරා ප්‍රසාරණයෙන් පෙන්නුම් කෙරේ. එම පරිහාණි දොරටුවල මූලය වශයෙන් දියුණු වන්නා දහමට හා දැහැමියාට රුචිවන අතර පිරිහෙන්නා අදහමට මෙන්ම අධාර්මිකයාට රුචිකරණ බව මෙම ප්‍රථම ගාථාවෙන් ප්‍රකාශනය වේ.
දියුණුව යනු නැති දෙයක් ඇති කර ගැනීම හා ඇතිදේ වැඩි කර ගැනීමත් ය. භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික ගුණදම් වශයෙන් එසේ වර්ධනය කරගත හැකි ය.
පුද්ගලයකුට තම රුචිය අනුව භෞතික සම්පත් හෝ කුසල් හෝ වර්ධනය කරගත හැකි ය. එහෙත් මානව ධර්මය අනුව නම් කුසල් වර්ධනය කරගැනීමත් එමඟින් භෞතික සම්පත් අවශ්‍ය ප්‍රමාණය අනුව වර්ධනය කරගැනීමත් ශිෂ්ඨ සමාජය වශයෙන් සම්මත වේ.
එය පුද්ගලයාගෙන් සමාජයට වන උපරිම සේවාවයි. උදාර මානුෂික හැඟීම් පුද්ගලාන්තරව ක්‍රියාත්මක කිරීමට නම් අප බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ පිරිහීමේ දොරටු දැනගෙන හැකිතරම් දුරට ජීවිතයෙන් එය බැහැර කළ යුතු වේ.
එමෙන්ම මෙහි මිනිසා ධාර්මිකවීම මිනිසාගේ යුතුකමක් මිස ආගමෙන් නීතියෙන්, දර්ශණයෙන්, විද්‍යාවෙන් කෙරෙන සම්ප්‍රේෂණයක් නොවේ. කුමන ඉගැන්වීමකින් හෝ මිනිස් චින්තනය සමාජයට අනම්‍ය වේ නම් එය සපුරා අධර්මයක් වන අතර ශිෂ්ඨ සමාජය විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.
කුශලා’කුශල කර්මයන්ගේ ප්‍රතිවිපාකයන්ට සාපේක්‍ෂව ධර්මා’ ධර්මය විනිශ්චය කිරීම විනා මනුලොවේ ප්‍රත්‍යක්‍ෂ නොව දේවභූත ආශ්චර්යකින් සිදුවන දෙයක් ලෙස තීරණය කොට බුද්ධියට සීමා පැනවීමක් බුදුදහමේ කිසිම තැනක සඳහන් නොවේ.
සත් ධර්මය රුචිනොකරන අසත්පුරුෂයන්; අසත් ධර්මයට හා එවන් පුද්ගලයන්ටම කැමැතිවීම හා සත් ධර්මයට හා සත් පුරුෂයන්ට ද්වේෂ කිරීම ලෝකයේ ඇති ප්‍රධානතම ගැටලුවයි. සත් අසත් භාවය නිසග බුද්ධියෙන් හඳුනාගත් මිනිසාගේ උදාර චින්තනය හා ක්‍රියාකාරීත්වය, දියුණුවේ උපරිම තලයට පියවර තැබීමට පදනමකි.
නිද්දාසීලී සභාසීලී
අනුට්ඨා තාච යෝ නරෝ
අලසෝ කෝධ පඤ්ඤානෝ
තං පරාභවතෝ මුඛං
යෝ මාතරංවා පිතරංවා
ජිණ්ණකං ගත යොබ්බනං
පහුසන්තෝ නභරති
තං පරාභවතෝ මුඛං
පුද්ගයෙකුගේ උසස් ක්‍රියාකාරීත්වය අක්‍රීය වන්නට උපන් පරිසරය ප්‍රධානවශයෙන් බලපාන බව මානව සමාජ විද්‍යාව අනුව තීරණය කළ හැකි වූවද එයද වෙනස් කිරීමේ ශක්තියක් මිනිසාට ඇත.
චින්තනයේ අක්‍රිය භාවය, අනවශ්‍ය සමාජ ආශ්‍රය ක්‍රෝධය යන බාල සිතිවිලි පැමිණෙන්නේ සන්තානයේ උදාර හැඟීම් පිළිබඳ රික්තයක් ඇතිවූවිට ය. මේ නිසා පුස්ගලයා පිරිහීමට පත්වීම ස්වාභාවික ය. පුද්ගලාන්තර සම්බන්ධයේ දී දෙමවුපිය, ගුරුවර ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් පිළිබඳ ප්‍රතිචාරයද සද්භාවයෙන් උදාරත්වයට පැමිණීම සඳහා කුඩා කළ පටන් පරිචිත අභ්‍යාසයක් තිබිය යුතු වේ. ආගමික ජාතික සිරිත් විරිත් වලින් නම්‍යශීලීවන තැනැත්තාගේ ආකල්ප ප්‍රසන්න නිසා දානය පරාර්ථ සේවය වැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාවලින් ජීවිතය අර්ථවත් වන්නේ ය. ආත්මාර්ථකාමී පුද්ගලයාගේ අසත්භාවය නිසා ධනය, ජාති, කුල, ගෝත්‍ර යන සංකල්ප ජාලය තුළම පල්වී විනාශ වන්නේ ය. පරාභව සූත්‍රයේ දක්නට ඇති පරිහානි දොරටු විවෘත කරගන්නේ එම පුද්ගලයා විසින්ම ය.
ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං
 
සේහි දාරේහි සන්තුට්ඨෝ
වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසු
තං පරාභවතෝ මුඛං
නීතිය මගින් මිනිස් චින්තනයට සීමා පැනවිය නොහැකිවූවද සමාජ අවනතියට හේතුවන පුද්ගල ක්‍රියාකාරීත්වය පිළිබඳව පහත් ආකල්ප හා එයින් වන අභාග්‍ය තත්ත්වය පෙන්වීමට ආගමෙන් හැකිවන අතර නීති මගින් පාලනය කිරීමට හැකියාව ඇත.
සුරාව දුරාචාරය, වංචාව, සූදුව ආදී පහත් ක්‍රියාවන් පරිසරය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර එකිනෙකට වෙලී පැටලී විෂමාචාර සමාජයකට හේතු වේ.
ඉත්ථි සොණ්ඩිං විකිරණිං
පුරිසංවාපි තාදිසං
ඉස්සරියස්මිං ඨපාපේති
තං පරාභවතෝ මුඛං
අවිද්‍යාව, තණ්හාව, රාගය, ක්‍රෝධය වැනි පහත් අධම හැඟීම් ක්‍රියාත්මක වන ආකාරය අප බුදුරජාණන් වහන්සේ විසින් මනෝවිද්‍යානුකූලව චිත්‍රාකාරව පෙන්වා දී ඇත. පුද්ගලයා හීනදීන හැඟීම්වලින් වහලෙකු වූ විට ලෝකය සම්බන්ධ යථාර්ථය අවබෝධ නොවේ. ඔහුගේ දූෂිත සන්තානය ඔහුටම පිරීහීම ඇති කරන්නේ ය.
බුද්ධ කාලීන භාරත සමාජය, තුළ පැවති විෂමාචාර ක්‍රියාවන්ට මූලිකවූයේ දුරාචාරය හා සුරාපානයයි. සමාජයේ උසස් අය වශයෙන් සම්මත රජවරු ඇතුළු ප්‍රභූ පිරිස් පවා මේ සඳහා පෞද්ගලික හැඟීමෙන් ධනය, කාලය ශ්‍රමය යෙදීමෙන් ජීවිත ගත කළ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් ප්‍රකටවේ. බුදුදහම අනුව එය දෙලොව අභිවෘද්ධිය වසාලන ප්‍රමාද දෝෂයකි. අපායට යන දොර විවර කිරීමකි.
ඒතේ පරාභවේ ලෝකේ
පණ්ඩිතෝ සමවෙක්ඛිය
අරියෝ දස්සන සම්පන්නෝ
ස ලෝකං භජතේ සිවන්ති.
අප බුදුරදුන් විසින් මෙම පරාභව සූත්‍රයෙන් පිරිහීමේ දොරටු දොළසක් පෙන්වා දී ඇත. මිනිස් කයක් ලබාගත් සෑම සත්වයාම උපන්දා පටන් කරන ප්‍රධාන කාරනය නම් කුමන අංශයකින් හෝ නැති දේ ඇති කර ගැනීමත් ඇති දේ වැඩි කර ගැනීමත් ය.
කායික වශයෙන් ලබන පෝෂණයට සමගාමීව මානසික පෝෂණයත් ලැබේ. එහෙත් ගුණදහමින් පෝෂණය වීමට අවශ්‍ය පරිසරය ලබන්නේ පෙර සසරදී කළ දසකුසල් දහම්වල ප්‍රතිවිපාක වශයෙනි.
මානුෂික චින්තනයක් මානුෂික ශරීරයත් ලබාගත් තැනැත්තා උසස් පරිසරයට අනුව විමර්ශණ ඤාණයෙන් ආගම දහම, නීතිය දැනගෙන දියුණුවේ මඟ පියවර තැබීමට අප්‍රමාදව ක්‍රියා කළ යුතු වේ.
එවන් පුද්ගලයා ගුණ නුවණින් සම්පූර්ණව ආර්ය දර්ශනය ඤාණයෙන් කෙදිනක හෝ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්‍ෂ කොට උතුම් නිවන් සුවෙන් සදා සැනසුම ලබන්නේ ය.
ඔබ සැමට තෙරුවන් සරණයි.

ගැටලු ලිහන සදහම් මාවත............


ගැටලු ලිහන සදහම් මාවත

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ජේතවනාරාමාධිපති, ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ
ඤාණිස්සර නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
අන්තෝ ජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි
කෝ ඉමං විජටයේ ජටං
සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපි නිපකො භික්‍ඛු
සො ඉමං විජටයේ ජටං
කාරුණික පින්වත,
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකික ජනතාවට ඉතා වැදගත් දිනයක්. සඟමිත් මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමත්, මෙරට ජනතාව බොහෝ කාලයක සිට බලාපොරොත්තු වන ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹෙන පොහොය දිනයත් වීම අසිරිමත් වේ.
අපගේ ජීවිතය ඇතුළත පිටත ඇතිවන ගැටලු විසඳිය යුත්තේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූ පැනයකට දේශනා කර වදාළ පිළිතුරු ගාථාවක් ඉහත මාතෘකා කළේ.
මේ ලෝකයේ ඇතුළතත් පිටතත් ගැටලු, මෙසේ ගැටලුවලින් පිරි ලෝකයක ඒ ගැටලු, අවුල් විසඳන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා දේවතාවෙක් විමසීමක් කළා.
යම්කිසි ප්‍රඥාවන්ත කෙනකු ශීලයෙහි පිහිටා සිත වර්ධනය කර ඤාණය දියුණු කළහොත් ඒ පුද්ගලයා මේ ගැටලුවලට විසඳීමක් කරන බවයි ඉහත ගාථාවෙන් පැහැදිලි වන්නේ.
සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාව තුළින් යම් කෙනකුට විමුක්තියක්, නැතහොත් ඇතුළත ගැටලු පිටත ගැටලු යන දෙ ආකාර ගැටලු විසඳා ගැනීමට මාවතක් ලෙස එම ත්‍රිශික්‍ෂාව සඳහන් කර තිබෙනව.
අපේ චිත්ත සන්තානවලට ඇතිවන ගැටලු පිළිබඳ ඔබ මොහොතක් සිතා බලන්න. සිත තුළ ඇති වන බලවේග නිසා වරෙක සිතෙහි අභ්‍යන්තරයෙහි සැඟවී ඇති සිතිවිලිත් ඉස්මතු වන අවස්ථා තිබෙනවා. සිත තුළ යටපත් වී තිබෙන කෙලෙස් පිළිබඳ තත්ත්වය එයින් පැහැදිලි වනවා. ඒ අනුසය අවස්ථාවයි. පරිවුට්ඨාන කියන අවස්ථාවෙන් සිතිවිලි නැගී සිටින අවස්ථාව පෙන්නුම් කළා. එය තවදුරටත් ඉස්මතු වී වචනයෙන් හෝ වේවා ශරීරයෙන් හෝ වේවා ක්‍රියාත්මක වීමේ අවස්ථාව වීථික්‍රම අවස්ථාවයි. එසේනම් ඒ අවස්ථා තුන මර්දනය කිරීමයි. නිවනට මාවත වශයෙන් සඳහන් වන්නේ.
පංච දුශ්චරිත සිල්වත් තැනැත්තාගෙන් සිදු වන්නේ නෑ. ඒ තැනැත්තාට සීලය තුළින් සංවරයක් ඇති වනවා. එය සීලයෙන් සිදු වන්නක්. සමාධියෙන් සිදු වන්නේ සිත තුළ සැඟ වී ඇති ක්ලේශ ධර්ම නැඟී සිටින අවස්ථාවෙහිදී එය එසේ නැගී සිටීමට අවස්ථාව නොදී මර්දනය කිරීමයි. සිතෙහි අභ්‍යන්තරයෙහි නිදාගෙන සිටින, සැඟවී සිටින සියලු ක්ලේශ ධර්ම ඉවත් කිරීමයි ප්‍රඥාවෙන් සිදු වන්නේ.
උදාහරණයක් ලෙස බලන්න. ඔබ අටසිල් සමාදන් වූ දවසක අවස්ථාවක ඔබේ සිත තුළට වෛරය, කෝපය, ද්වේශය ඇති නොවන්න පුළුවන්. එහෙත් එම ක්ලේශ ධර්ම ඉස්මතු වන ආකාරයේ සිද්ධියක් යම් තැනැත්තකු පැමිණ සිද්ධ කළහොත්, එතෙක් සිත තුළ සැඟ වී සිටි ක්ලේශයන් එකවරම නැගී සිටිනවා. ඒ අවස්ථාව දුරුකිරීමයි ප්‍රඥාවෙන් සිදු කරන්නෙ.
මින් ඔබට පැහැදිලි වනවා ඇති, සිතෙහි ඇතුළත නැතිනම් අභ්‍යන්තරයෙහි සිතිවිලි සැඟ වී තිබෙන ආකාරය. එම ක්ලේශයන් හෙවත් පාපී සිතිවිලි නැගී සිටින්නේ යම් අරමුණක් සිත තුළට පැමිණි විට පමණයි.
මාර්ග ඵල ලැබීමෙන් කෙනකුගේ සිතෙහි ඇතිවන ඒ පාපී සිතිවිලි ඉවත් වනවා. නිවන හෙවත් සිවුසස් දහම දැකීමෙන් ඒ සියලු ක්ලේශයන් ඉවත් කැරෙනවා. සෝවාන් සකෘදාගාමි, අනාගාමි අර්හත් යන සතර මාර්ගය තුළින් එමෙන්ම සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් යන සතර ඵල තුළින් සැනසීමක් උදාකර ගන්නවා. එතෙක් අපේ සිත තුළ මේ ක්ලේශ ධර්මයන් තැන්පත් වී තිබෙනවා.
ඒ නිසා අපේ සිතෙහි ඇතුළත පිටත ඇතිවන ගැටලු විසඳීම සඳහා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව උපයෝගී කර ගැනීමෙන්, අපගේ සිත තුළ රැඳී පවතින කෙලෙස් හෙවත් ක්ලේශයන් ඉවත් කරන්නට ප්‍රඥාවෙන් හැකියාව ලැබෙනවා. සිතෙහි වරින් වර නැඟී සිටින පාපී සිතිවිලි මර්දනය කිරීමට සමාධියෙන් අවස්ථාව ලැබෙනවා.
කයෙන් හා වචනයෙන් සිදු වන පාපී සිතිවිලි සීලයෙන් යටපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.
මේ අනුව පෙනෙනවා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාව තුළින් සිතෙහි බාහිර සහ අභ්‍යන්තරව හට ගන්නා සියලු පාපී සිතිවිලි යටපත් කිරීමට ශක්තිය හා හැකියාව ලැබෙන බව. ඒ වටිනා මාවත ඔස්සේ ගමන් කිරීමට, නිතර නිතර උත්සාහ කිරීම බෞද්ධයා සතු වගකීමක් බව මෙනෙහි කරන්න. සිතට කවර කරදර බාධක ගැටලු අවුල් ඇති වූවද සිතෙහි නිරවුල් බව ඇති කර ගැනීමට, නිරවුල් මනසක් ගොඩනඟා ගැනීමට සම්බුදු දහම තුළින් ලැබෙන මග පෙන්වීම සුළු පටු නොවේ.
එබැවින් මානසික අස්වැසිල්ලක් සැනසීමක් සොයා භව කතරේ සැරිසරන හැමට තුනුරුවනේ බලයෙන් සදා සැනසීම ලැබේවා.