Powered By Blogger

Wednesday, March 27, 2013

සිංහල විවාහයේ පළමු ගමන


සිංහල විවාහයේ පළමු ගමන

අපේ පැරණි සිරිත් විරිත් ක්‍රමයෙන් වියැකී යයි. ඒ නිසාම අද මංගල උත්සවය ටික දිනකින් අවමංගල්‍යයක් වේ. නියමිත චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරිහුන විට තුන්රුවනේ ආශිර්වාදයක් කෙලෙස ලබන්නද? දෙවියන් කෙසේනම් ආශිර්වාද කරන්නද? අපේ පැරණි චාරිත්‍ර වාරත්‍ර පිලිබද අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මේ ලිපිය පල කෙරේ.

හෙළදිව විවාහ චාරිත්‍ර බොහෝ විට ගම්බද හඳුන්වනු ලබනුයේ "කසාදය" වශයෙනි. "
ගෘහ ප්‍රවේශය ආරම්භ කිරීමට පෙර මනාලියගේ පියා විසින් මනාලියට අවවාද හා උපදෙස්‌ ලබාදීමේ පුරාතන චාරිත්‍රය අද සිංහල විවාහයේද "මංගල සභාව" දක්‌වා විකාශනය වී ඇති බව පෙනේ. ධනංජය සිටුවරයා විශාඛාවට හා අනේපිඬු සිටුවරයා චුල්ල සුභද්‍රවටද මෙණ්‌ඩක සිටුවරයා දියණියටද අවවාද ලබාදුන් අවස්‌ථාවේ හින්දු සමාජයේ මෙන්ම මෙරට ජනයා අතරද චිර ප්‍රකට මෙකී උපදේශයෝ මෙසේය.
01. ඇතුළත ගින්න පිටත නොදිය යුතුය.
02. පිටත ගින්න ඇතුළට නොගත යුතුය.
03. දෙන්නන්ටම දිය යුතුය.
04. නොදෙන්නාට නොදිය යුතුය.
05. දෙන්නාටද නොදෙන්නාටද දිය යුතුය.
06. සුවසේ හිඳිය යුතුය.
07. සුවසේ අනුභව කළ යුතුය.
08. සුවසේ නිදාගත යුතුය.
09. ගින්න පිදිය යුතුය.
10. ගෘහ දේවතාවුන් වැන්ද යුතුය.

මෙම අවවාද දහය සේම බුදුන් වහන්සේ විසින් ගෘහ ප්‍රවේශ වන්නන් අරභයා දුන් අවවාද පහක්‌ පිළිබඳවද සඳහන් වේ. ඒවාද එදා හින්දු සමාජය තුළ සේම පසුව ආගමත් සමග ලෝකය පුරා ප්‍රචලිත වූ බව පෙනේ.
01. උදෑසන හැමට පළමුව පිබිදිය යුතුය.
02. රාත්‍රියේ හැමට පසුව නින්දට යා යුතුය.
03. ස්‌වාමියා අනුදැන සියල්ල කළ යුතුය.
04. සැමියා සිත් ගන්නා දේ පමණක්‌ කළ යුතුය.
05. ප්‍රිය වචන කතා කළ යුතුය.

හෙළදිව පුරාණ සිරිත වූයේ විවාහය නියම කරගත් පසු මනාලයාගේ මංගල රැවුළ කැපීමයි. එය විවාහයට පෙරාතුව නැකැත් බලලා සිදුකරනු ලැබූවකි. රැවුළ කැපීමේදී එය මාමා කෙනකු විසින් සිදු කළ යුතු බවත් බොහෝවිට මාමා කෙනකු විසින් දැලි පිහියකින් පළමු රැවුල්ගස්‌ කිහිපය කපා යහපත් ගුණධර්මයන්ගෙන් හෙබි කරණවෑමියෙකු ලවා කප්පවා ගැනීම සිරිතක්‌ විය. ඒ සඳහා ඔහුට ගාස්‌තුව වශයෙන් පට ලේන්සුවක්‌, කෝප්පයක්‌ හා මුදලක්‌ දෙනු ලැබීය. අතීත ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස්‌ විය. බොහෝවිට දුර බැහැරින් සම කුලගෝත්‍ර අනුව සිදුවූ විවාහයකදී පල්ලැක්‌කියකින්. දෝලාවකින් හෝ කරත්තයකින් ගියේ වීනම් පළමු ගමන යනුයේ එදින රාත්‍රිය මනාලියගේ නිවසේ නතරවීම සඳහා වේ. සිංහලයන්ගේ සිරිත වූයේ පළමු දිනයේ උදය නැකතින් මනාලයා ඇතුළු පිරිස මනාලයාගේ නිවසේදී කිරිබත්, කැවුම්, කෙසෙල්, කොකිස්‌, අතිරස, ආස්‌මී ආදී කැවිලි පෙවිලි සංග්‍රහ බුක්‌තිවිඳ මනාලියගේ නිවසට යැම සඳහා පිටත්වීමයි. මෙම ගමනට මනාලයාගේ මව සහභාගී නොවීම විශේෂයකි. මෙම ගමන සඳහා හේවායකු, හේවා ස්‌ත්‍රියක්‌, රජකයකු, මනාලියට අන්දවන ඇඳුම්, සුවඳ විලවුන් ආදී මල්ල ගෙන යැමට ළමයකු සහ කපු උන්නැහේද, ප්‍රධාන පිරිස සහභාගීවනු ඇත. ඒ හැර ගෙනයන අඩුම කුඩුම බොහෝය. ඒ අතරට මාමාට සරමක්‌, පට ලේන්සුවක්‌, නැන්දම්මාට කම්බායක්‌, බුලත් 500 හෝ 1000 ක්‌ පමණද ගෙනයනු ලබයි.
මීට අමතරව සමහර පළාතක "මහ බුලත් ඔඩොක්‌කුව, රඹුක්‌කාලම සෙම්බුව, හැරමිටිය, අත් පන්දම, මනාලියගේ හිසට අල්ලනු ලබන "හස්‌තිය" තල් අත්ත, මාන්න පස, රෙදියාර දහයක්‌ (ආච්චිට) ආදියද උඩරට පළාතේ නම් තුවක්‌කුවක්‌ද ගෙනයනු ලබයි. තුවක්‌කුව ගෙනයනු ලබන්නේ මනාලියගේ නිවස ආසන්නයට ගොස්‌ පිරිස පැමිණි බව දැන්වීම සඳහා වෙඩිල්ලක්‌ පත්තුකිරීම සඳහා වේ. මේ සිරිත අද ගමට දැන්වීම උදෙසා රතිඤ්ඤා කැරැල්ලක්‌ දල්වනු ලබයි. මෙම ගමනට මනාලයාගේ පෙළපතේ නෑයන්ට අමතරව දුර හා පවුලේ වත් පොහොසත්කම් අනුව යුවලට ගමන් කිරීම සඳහා දෝලා, පල්ලැක්‌කි, තිරික්‌කල, කරත්ත දෝලා යොදා ගනී. නැට්‌ටුවන් ආවතේව කරුවන්, රජකයා, විරිඳු රබන් කරුවන්, සින්දුකාරයින් හා දක්‍ෂ කවි ගායකයෙකුද සිටීම අවශ්‍ය වේ. ගමන අතරමඟ හමුවන හැම දෙනකුටම බුලත් දීමේ සිරිතක්‌ද පවතී.
පළමු ගමනේදී ගෙනයන ද්‍රව්‍ය අඩුම කුඩුම හඳුන්වා ඇත්තේ "යෙලදා කද" වශයෙනි. එහිදී යමක්‌ කමක්‌ ඇති අය බරට "කත් පෙට්‌ටි" කීපයක්‌ ගෙන යනු ලැබේ. ඒ සඳහා වහුම්පුර මිනිසුන් එදා සමාජයේ වූහ. ඉඟුරු, මිරිස්‌, ගම්මිරිස්‌, අබ, කලුදුරු, සූදුරු, කොත්තමල්ලි ආදියද බුලත්, පුවක්‌ සීයක්‌, කැවුම් හැලියක්‌, හාල් සේරු හැටක්‌, ලෙලිගැසූ පොල් ගෙඩි හැටක්‌, කරවල යනාදියද මෙ කදට අඩංගු වේ. මින් අදහස්‌වන්නේ පිරිස එදින රාත්‍රිය මනාලියගේ නිවසේ නතරවන බැවින් ඊට අවශ්‍ය කෑම වියදම සැපයීමයි. මනාලිය ඇවැස්‌ස නෑකමකින් යුතු නම් මෙම කද ගෙන යනු නොලැබේ. ගමනේදී පිරිසේ ප්‍රධානියා හෝ කපු උන්නැහේ පෙරමුණ ගමන් කරයි. මනාලියගේ ගෙදර සීමාවට පැමිණ තුවක්‌කු සංඥව කර ඉන්පසු ආ පිරිසේ ප්‍රමාණයට බුලත් ගණන් කර දී, මාමා කෙනකු හෝ මස්‌සිනා කෙනෙකු පිටත්කර හරී, ඒ සමග කෑම වියදම සඳහා මුදලක්‌ද යෑවීම සමහර පළාතක දක්‌නට ඇත.
තවත් චාරිත්‍රයක්‌ වන්නේ "කඩුළු බුලත්" දීමයි. එය සිදු වන්නේ මනාලිය මනාලයාගේ ඇවැස්‌ස නෑනා කෙනකු නොවේනම් පමණි. එවිට මනාලියගේ පාර්ශ්වයෙන් මනාලියගේ මස්‌සිනා කෙනෙකු නිවසේ කඩුල්ල ළඟට පැමිණ මනාල පාර්ශ්වයෙන් දෙන "කඩුළු බුලත්" පිළිගත යුතුය. එසේ පිළිගන්නා තුරු කඩුල්ල පැන යැමට අවසර නොලැබේ. බුලත් අත සඳහා කොළ 40 ක්‌ අවශ්‍ය වේ. කොළ 40 ක්‌ ගනු ලබන්නේ වචනය නිදොස්‌, නිබොරු බව සපථ කිරීම සඳහා වන අතර එය බුද්ධ භාෂිතයක්‌ සේ සලකනු ලබන බැවිනි. එනම් බුදුන්ගේ ශ්‍රී මුඛයෙහි දන්තධාතූන් 40 නමක්‌ ඇතැයිද එම ප්‍රමාණයට බුලත් ගැනීමෙන් පොරොන්දුවේ ස්‌ථිරභාවය ඇඟවීමටත්, ගෞරවය උදෙසාත් බුලත් අත යොදාගනු ලබයි. මෙසේ බුලත් පිළිගතහොත් කඩුල්ල පැනීමට අවසරය ලැබේ. මේ සිරිත යෙදී ඇත්තේ නෑනා අයිති මස්‌සිනාටය යන තහවුරු අදහසක්‌ එදා සමාජයේ පැවැති බවිනි. මස්‌සිනාට බලෙන් වුවද නෑනා රැගෙනයැමේ අයිතියක්‌ විය.
පළමු ගමනේ විචිත්‍රමය අවස්‌ථාව වන්නේ තහන්චි කයි කීමයි. කඩුල්ලේ සිට පෝරුවෙන් බහින තුරු කඩුල්ල, පාවාඩය, මඩුව, කෙණ්‌ඩිය, බුලත්, පෝරුව ආදී සියල්ල තහන්චි කරමින් මනාලියගේ පාර්ශ්වයෙන් කවියකු විසින් තහන්චි කවි කියනු ලබයි. මනාලයා ඇතුළු පිරිසට තම පක්‍ෂයේ කවියකු කවියකින් තහන්චි කැපීමෙන් පසු තහන්චිය ඉවත්වෙයි. මෙවැනි තහන්චි කවි අදත් සමහර පළාත්වල කියනු ලබයි. තහන්චි හැරීමෙන් පසු උඩුවියන් යටින් පාවාඩ පිටින් පිරිස මණ්‌ඩපයට පිවිසේ. ගෙට පිවිසෙන තැනදී මනාලයාගේ පා සේදීම කරනුයේ මනාලියගේ බාල සහෝදරයෙකි. එහිදී මනාලයා විසින් දිය බඳුනට මුද්දක්‌ දමන අතර එය පා සෝදවන්නාටද පාවාඩය මතට මනාලයාගේ පාර්ශ්වයෙන් මුදලක්‌ දැමිය යුතු අතර එය රජකයාටද හිමිවේ. මුදල් දමනතුරු ඔහු පාවාඩය නො අකුලා සිටිනු ඇත. මෙය "පාවාඩමස්‌ස" නම් වේ. ගෙට පිවිසීමෙන් පසු ගෙනයන "කත් පෙට්‌ටි" තෑගිකොට සුදුසු හා නියමිත අසුන්වල හිඳගනු ලබයි. අතීතයේදී නම් විවාහ නැකැත් ඇත්තේ පසුදා උදය වරුවේ බැවින් ඉතිරිකාලය විවිධ කතාබස්‌ මතින් ගෙවා දමනු ලැබේ.
වත්මනදී පෙරදා ගමනක්‌ නොමැති අතර ප්‍රථම ගමනේදී විවාහ චාරිත්‍ර සිදුකරනු ලැබේ. එබැවින් එදිනට අදාළව නැකැත් පිළිවෙළට පෝරුවේ චාරිත්‍ර සිදුකරනු ලබයි. පෝරුව සඳහා අද සමහර පළාත්වල තහංචි කවි කියනු ලබන අතර එදා බිරියන් පැහැරගෙන ගොස්‌ සඟවා දින කිහිපයක්‌ තබාගෙන සිටීමේ සිරිතක්‌ පැවැති බවත්, ඊට සහාය වූ පුද්ගලයා අද දෙවන මනාලයා බවත්, සඟවා සිටි කාලය ගෙයින් පිට මධුසමය ගතකරන කාලය ලෙස සැලකෙන බවත් කියනු ලැබේ.
තවත් තැනකදී එය සදහන් වන්නේ. අභියෝගයක් ආ විට එම ගෝත්‍රික තරුණයා කරනුයේ දකුණතින් හෙල්ල ගෙන වමතින් තම බිරිඳ ආරක්ෂා කරමින් සටන් කිරීමයි. ඒ අයුරින්ම අදත් මනාලයා දකුණුපස ද මනාලිය වම්පස ද සිටියි. ගෝත්‍රික විවාහ වලදී මනාලිය ගැන සිත් ඇති වෙනත් තරුණයෙකු මෙහිදී මනාලයා සමගින් සටන් කර මනාලිය පැහැර ගන්නා අවස්ථා ඇතිවිය.මෙයට උපක්‍රමයක් ලෙස ගෝත්‍රික යුවළ සමඟ මනාලයා හා සම වයසේ වූත් එම සවිශක්තියෙන් යුත් තරුණයෙකු රැගෙන ගියහ.
මනාලිය පැහැර ගැනීමට කිසිවකු අවොත් සටන් කරන්නේ මනාලයා නොව ඒ අමතර තරුණයායි. අද දවසේ දෙවෙනි මනමාලයා ලෙස හඳුන්වා ඇත්තේ එදා සිටි ඒ ගෝත්‍රික තරුණයායි. සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇති වන බවට එදා විශ්වාසයක් විය. එබැවින් මනාලියගේ වයසේ සම හැඩරුව ඇති තවත් තරුණියක් මනාලියක් ලෙස සුන්දර සැරසිලි කර මංගල උත්සවයට ඉදිරිපත් කරයි. එවිට භූ®තයින්ට මනාලිය හඳුනා ගැනීමට නොහැකිව දෙදෙනා දෙසම බලපෑම් නොකර බැලීම පමණක් කරයි. භූ®තයන් රැවටීමේ එදා උපක්‍රමය අද දවසේ දෙවෙනි මනාලියන් සැරසීම දක්වා විකාශනය වී ඇත
මේ චාරිත්‍රවලින් පසු අද දවසේ මංගල සභාව පවත්වා උපදෙස්‌ දෙනු ලැබේ. පළමු දිනයේ කටයුතු අවසන් වනුයේ දෙමාපිය වැඩිහිටි අනුශාසනාවලින් පසු ඔවුන් වැඳ අවසරගෙන මනාලයා ඇතුළු නව ඥතීන් සමග නව දිවියට පා තබමින් නිවසින් පිටව යැමයි. දෙවන ගමන සිදුවන්නේ ඊට පසුවදාය.
අතීතයේ විවාහ මංගල්‍යයක්‌ සිදුවූ ආකාරය පිළිබඳ සලකා බලන විට වර්තමාන මංගල උත්සව (වෙඩින්) වල පැහැදිලි වෙනසක්‌ තිබෙන බව දක්‌නට හැකිය. විවාහ උත්සවයක අවස්‌ථා 6 ක්‌ තිබුණි. එනම්,
1. පළමු ගමන,
2. නම් ප්‍රසිද්ධිය,
3. මඟුල් දිනය (පෝරුවට නැංවීම මංගල උත්සවය විවාහය ලියාපදිංචි කිරීම),
4. මනමාලිය කැන්දාගෙන යැම,
5. හිස දියට යැම,
6. නෑදෑ මිත්‍රයන් බලන්නට යැම (ලංකා ජනතාව - නන්දදේව විඡේසේකර)

කුමර කුමරි බඹසර හොඳින් රැකගෙන පැමිණි යුවළකගේ මංගල අවස්‌ථාවෙහි මෙම පෝරුවේ චාරිත්‍ර පැවැත්වීම පුරාතන සම්ප්‍රදායයි.
පෝරුව සෑදීමේදී මනාලයාගේ දකුණු පැත්තෙන් සහ මනාලියගේ වම් අත පැත්තෙන් පිහිටුවන බව කලින් කියවුනි. වටප්‍රමාණය රියන් හතරක්‌ද, උස ප්‍රමාණයෙන් රියන් එකක්‌ද වන සේ තැනිය යුතුය. හංස, ගිරා වැනි සත්ත්ව අනුරූ අනුව නිර්මාණය කරන පෝරුව, මල්කම්, ලියකම්, පුන් කළස්‌, පොල්තෙල් පහන් ආදියෙන් සරසනු ලැබේ. එක්‌ යුවළක්‌ සඳහා නිර්මාණය කළ පෝරුව වෙනත් යුවළක්‌ සඳහා ප්‍රයෝජනයට ගැනීම නොසුදුසුය. එහෙත් මෙකල මංගල පෝරු කුලියට දීම ව්‍යාපාරයක්‌ වශයෙන් කරන බව පෙනෙයි. එවැනි දෙය ප්‍රයෝජනයට ගැනීම මගින් බලාපොරොත්තු වන ආශිර්වාදය නොලැබී යන බව පැවසිය හැක.
පෝරුවේ චාරිත්‍ර ද හැම දෙනාටම කළ නොහැක. එයට දැනුම් තේරුම් ඇති අයකු සිටිය යුතුය. ඔහු දින හතක්‌ ඒ වෙනුවෙන් පේවී සිටීමද වැදගත් වෙයි. එසේම යුවතිපති දෙදෙනාම පිරිසිදු සීලයෙහි පිහිටා සිටීම අනිවාර්ය වෙයි. මත්පැනින් වැළකිය යුතුය. කිළි කුණුවලට හසු නොවිය යුතුය. මස්‌ මාංශවලින් වැළකිය යුතුය. පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියාද සිලවත්, ගුණවත් බහුශෘත සම්භාවනීය අයකු විය යුතුය. එහෙත් වර්තමානයේ බොහෝ විට එවැනි කටයුතුවලට ඉදිරිපත් වන්නේ මත්පැන්වලින් හොඳ හැටි පදම් වූ වාචාල පුද්ගලයන් බව අසන්නට ලැබෙයි. විශේෂයෙන් ඔහු තව කෙනෙකුට ආශිර්වාද කළ හැකි තරම් ගුණගරුක වාග් ශක්‌තිය ප්‍රගුණ කළ අයකු වීම අතිශය වැදගත්ය. එසේ වාග් ශක්‌තියක්‌ නොමැති නම් ගාථා, කවි, ස්‌තෝත්‍ර ගැයීමේදී වැරැදි ලෙස උච්චාරණය කිරීමෙන් සුබ පල වෙනුවට අසුබ පල උදාවිය හැකිය.
මෙම චාරිත්‍ර ඉටු කරන පුද්ගලයා දිනහතක්‌ ඒ වෙනුවෙන් පේවිය යුතු බව සඳහන් වේ. මංගල දින උදෑසන හිස්‌ සෝදා නා පිරිසිදු වී තෙරුවන් නැමද දෙවියන්ට පිං අනුමෝදන් කිරීම නිසා තම මානසික ශක්‌තියද තහවුරු කරගත හැකිය. එවිට තමන්ට ද ආරක්‌ෂාව සැලසෙයි. ශ්වේත වර්ණ වස්‌ත්‍රයෙන් සැරසී පාවහන් ඉවත් කර සුරාවෙන් දුම්වැටියෙන් මිදී මෙම චාරිත්‍ර ඉටුකළ යුතුය.
පෝරුවේ චාරිත්‍රවලදී අනුගමනය කරන කටයුතු අතර විශේෂ අවස්‌ථා කිහිපයක්‌ දැක්‌විය හැකිය. එනම්
1. පහන් දැල්වීම,
2. මඟුල් බෙර වැයීම,
3. රත්නත්‍ර නමස්‌කාරය සහ දේවතාරාධනය,
4. පිරිත් සඡ්ජායනා මැදදේ යුවල පෝරුවට නැංවීම,
5. පෝරුවේ කියමන් (ගායනා),
6. බුලත් හුරුලු පිළිගැන්වීම,
7. තැළි පිළිඇන්ද,
8. දෑඟිලි බැඳ අත පැන් වත් කිරීම,
9. ජයමංගල ගාථා ගායනය,
10. දේව ස්‌ත්‍රොaත්‍ර සහ අෂ්ඨක ගායනා කිරීම,
11. කිරිකඩ හේලය දීම,
12. ඥතීන්ට බුලත් හුරුලු දීම,
13. සෙත් පිරිත් කියා පෝරුවෙන් බැස්‌සවීම (පෝරුවේ චාරිත්‍ර ජගත්සීල කුලතිලක)
යන මේවා ප්‍රධාන වෙයි.
හඟල හුරුලු දීම මීළඟ චාරිත්‍රයයි. මෙහිදී බුලත් මත පඬුරු (කාසි) තබා මනාලයා විසින් මනාලියට දෙන අතර ඈ විසින් එය පෝරුව මතට හෙළනු ලැබේ. නැවත මනාලිය විසින් මනාලයාට පඬුරු සහිත බුලත් හුරුල්ලක්‌ දෙයි. මේ ආකාරයට පඬුරු හතක්‌ මාරු කිරීම සිදු කෙරේ. මෙය බෞද්ධ ආර්ථික ප්‍රතිපදාව විදහා දක්‌වන චාරිත්‍රයකි. සැමියා උපයන දේ නොසඟවා බිරිඳට බාරදෙයි. බිරිඳ ඒවා ආරක්‌ෂා කර සැමියාට දිය යුතුය. කුමකටද? යුතුකම් ඉටු කිරීමටය. සිඟාලෝවාද සූත්‍රයේ එන පරිදි ගිහියකු විසින් පාර්ශ්වයන් හයක්‌ සඳහා යුතුකම් කළ යුතු වේ. මව්පියන් (පෙරදිග), ගුරුවරුන් (දකුණ), දරු පරපුර (පිටුපස), ශ්‍රමණ හෙවත් ආගම (උඩ), යහළුවන් (උතුර) හා සේවකයන් (යට) වශයෙනි. මනාලිය පඬුරු ආපසු දෙන්නේ මේ කොටස්‌ හයට හෙවත් සදිසාවට නමස්‌කාර කිරීම් වශයෙනි. උවමනා විටෙක දන්දීම පතා 7 වැනි බුලත් හුරුල්ල ආපසු දෙන්නේ නැත.
පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියා ඉහත සඳහන් සියලු චාරිත්‍ර ඉටු කිරීම පිළිබඳ මනා අවබෝධයක්‌ තිබෙන අයකු විය යුතුයි. දොහොත් මුදුනෙහි තබා පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියා එම කටයුතු අරම්භ කරන විට මංගල නිවසෙහි සියලු දෙනාම නිශ්ශබ්ද විය යුතුය. මත්පැන් පානය කළ අය සහ කිළි ගෙවල සිට පැමිණි අය පෝරුව අසළට නොපැමිණීමට වගබලා ගත යුතුය.

පෝරුව හා එහි චාරිත්‍ර ඉටු කිරීමේ මූලික අරමුණු
* පුරාණ චාරිත්‍ර අනුව පෝරුමස්ථාරූඩ කරන්නේ කන්‍යාවියන් පමනි.ඒ අනුව නාලියගේ පාරිශුද්දතාව හිත ශාතීන් ප්‍රමුඛ ලොවට පෙන්වීම පෝරුවේ මූලික අරමුණකි.
* නව යුවලට ත්‍රිවිධ රත්නයේ හා දේවාශිර්වාදය ආරක්‍ෂාව පැතීම
* තමා හැදූ වැඩූ හා තමාගේ සහකාරිය සහකරු හැදූ වුඩූ දෙමාපියන්ට කෘතගුණ සැලකීම
* පාරම්පරික සංස්කෘතික අංග ඉදිරි පරම්පරාව වෙත ගෙන යාම.

අතීතයේ සිට අද දක්වා භාවිතා වන පෝරු වර්ග 3ක් ගැන සදහන්ය.
*මහා සමමත ආදී රජුන් සදහා වූ මගුල් පෝරුව
*සිද්ධාර්ථ කුමරු යසෝදරා දේවිය සදහා යොදා ගත් මගුල් පෝරු ආකෘතිය
* සාමාන්‍ය ජනයා සදහා වූ මඟුල් පෝරුව

පෝරුව සෑදීම
වර්තමානයේ හෝටල්වල මංගල උත්සව ගැනීම් වලදී මංගල පෝරුව සදහා හෝටලය විසින් නොමිලේ හෝ සහනදායි මිලට සපයන පෝරු භාවිතා කිරීම් වැඩි වශයෙන් සිදු වුවත් නියම ශාස්ත්‍රාණුකූලව බලන විට එය නුසුදුසුය.වෙනත් යුවලක් නැංවූ පෝරුවක තවත් මනාල යුවලක් නැංවීම සුදුසු නැත.හෝටල්වල හා වෙනත් වෙළඳසැල් වල කුලියට දීමට හා විකිණීමට ඇති පෝරු වැඩි දෙනෙකු පරිහරණය කල ඒවාය.නියමාකාරයට නම් මනාල යුවලක් වෙනුවෙන් අළුත් මංගල පෝරුවක් සැකසිය යුතුය. අතීතයේ මංගල පෝරුව සෑදීම ඉතා බැතියෙන් හා චාරිත්‍රාණුකූලව සිදුකල කටයුත්තකි.මඟුල් පෝරුව සාදන්නා පන්සිල් රකින සිල්වත් ගුණවත් අයකු විය යුතුය.ඉතා හොදින් පිරිසිදුව දින කිහිපයක් මස් මාංශ වලින් වැලකී පේවී ඒ සඳහා සූදානම්වේ.පෝරුව සෑදීම ආරම්භ කරන්නේ සුභ නැකතක් අනුව සුදුසු ස්ථානයක් තෝරා ගෙන එම ස්ථානය හොදින් ශුද්ධ පවිත්‍ර කර ගෙනය.පෝරුව සෑදීම සදහා රත්හදුන්,සුදු හදුන් හෝ කිරි ගසක පළුදු නොවූ අළුත් ලෑලි යොදා ගනී.
පැරණි සම්මතය අනුව පෝරුවේ දිග වඩු රියන් 16 කුත් පළල වඩු රියන් 15 කුත් විය යුතු අතර(වඩු රියනක් යනු දළ වශයෙන් අඟල් 31කි.) දොරටු 4ක් හා මුලු 8ක් සෑදෙන පරිදි සැකසිය යුතුය.(දොරටු 3 මංගල පෝරු වර්තමානයේ බහුලව භාවිතා කරයි.)
පෝරුව තැන්පත් කල යුත්තේ එය තුලට වාත්‍රාශය හොදින් ලැබෙන පරිදිය. වර්තමානයේ හෝටල් ආශ්‍රිතව පෝරුවේ චාරිත්‍ර සිදු කරන විට දෙපාර්ශ්වයේ ඥාතීන් පෝරුව අසල එක්රැස් වීමත් පොටෝ වීඩියෝ කරුවන් ඒ අසල එක්රැස් වීමත් පොල්තෙල් පහන් නිවී යාම වැලක්වීමට විදුලි පංකා ක්‍රියා විරහිත කිරීමත් නිසා පෝරුව අසල කාබන්ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිවේ.මෙවැනි අවස්ථාවලදී පෝරුව මත සිටින මනාළ යුවළ මහත් අපහසුතාවට පත්වන අතර ක්ලාන්ත වීම් වැනි වෙනත් අපහසුතාද ඇතිවේ.(පෝරුව මතදී මනාලිය හෝ මනාලයා ක්ලාන්ත වීම ඔවුන් කුමර කුමරි බඹසර බිදගත්තවුන් බවට ඉඟි කරන බව පැරැන්නන් අතර මතයක් ඇත.)
පෝරුවේ ඉදිරිපස පිහිටිය යුතු දිශාව තීරණය කල යුත්තේ නැකැත් දිනයේ දක්වා ඇති සුභ දිශාව අනුවය.මනාළ යුවල පෝරුවට නැංවීමට පෙර සහල්,ලදපස්මල් ඉස ඒවා සුදු පිරුවටකින් වසා තබයි.පුන්කලස් මත පොල් තෙල් පහන් දැල්වීමට සූදානම් කර තබයි.
පෝරුව සාද එහි චාරිත්‍ර ඉටු කරන තුරු එය තනි නොකළ යුතු අතර මනාළ යුවලගේ ඥාතීන්(යටින් සතුරු) ,සතුරන් වැන්නවුන් සිදු කල හැකි වින බන්ධන වලින් පෝරුව ආරක්‍ෂා කිරීමට කෙනෙකු ඒ අසල සිටිය යුතුය.ඇතැම් පළාත්වල රතු ජටා බැදගත් දූතයන් සතර දෙනෙකු කඩු 4ක් ගෙන පෝරුව සතර කොන පෝරුවේ චාරිත්‍ර අවසන් වන තුරු නොසෙල්වී සිටින්නේ මෙම ආරක්‍ෂාව සංකේතවත් කිරීමටය.සතර කොන සහල් පඩුරු ආදිය පුරවා පිපුණු පොල් මල් දමා පහන් දැල්වීමට සූදානම් කල පුන්කළස් හතරක්ද තබයි.
පෝරුවේ පොදු චාරිත්‍ර
නව යුවළ පෝරුවට නැංවීමට ප්‍රථම ඔවුන් ලවා තෙරුවන්ට හා සතරවරම් දෙවියන්ට පහන් දැල්වීම.තෙරුවන් වෙනුවෙන් දැල්වූ පහන පෝරු චාරිත්‍ර ඉටු කරන්නා විසින් ප්‍රථමයෙන් උඩකින් තබා ඉන්පසු සතර වරම් දෙවි පහන් පෝරුව වටා තබා ඇති පුන් කළස් හතර උඩ තබයි.මෙය සිදුකරන ගමන්ම අෂ්ඨක කියන්නා(පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නා) සභාවෙන් අවසර ගැනීම ත්‍රිවිධ රත්නයට නමස්කාර කිරීම හා සතරවරම් දේවාරාධනාව සිදු කරයි.
අනතුරුව මනාලයා පෝරුවේ දකුණු පසින් හා මනාලිය වම්පසින් දෙදෙනාගේ මාමා වරුන් මනාළ යුවළගේ දකුණු අතින් අල්වා දකුණු පය පෙරට තබා සුභ නැකත් වේලාවට පෝරුවට නැංවීම සිදු කරයි.ඇතැම් පළාත් වල දෙදෙනා පෝරුවට නැංවීම මනාලියගේ මාමාවරු දෙදෙනෙකු විසින් සිදු කරයි.දෙදෙනා පෝරුවට නගින විට යශෝධරා අෂ්ඨකය වැනි පෝරුවට නැංවීමේ කවි අෂ්ඨක කියයි.
මනාලයාගේ දකුණතේ හා මනාලියගේ වමතේ සුළැගිලි දෙක එක්කොට රන් කෙන්දකින් බැද (සමහර පළාත් වල සමන්පිච්ච මල් දැවටූ නූලෙන් බැද) කෙළවර පුච්චා රන් කෙන්ඩියකින් හෝ හක් ගෙඩියකින් පැන් වැඩීම සිදු කරයි.මෙම අවස්ථාවේදී "අටවිසි පිරිත"කියා ආශිර්වාද කිරීම සිදු කරයි.රන් කෙන්ඩියෙන් (හෝ හක් ගෙඩියෙන්) වඩන පැන් පෝරුව මතට නොවැටෙන සේ යටින් දිය බදුන අල්ලා පිරිත අවසන් වන තුරු පැන් වඩා අවසන නූල දෙදෙනාට ගලවා ගැනීමට නියම කරයි.
ආගමික වතාවත් සහ දේව ස්‌ත්‍රොත්‍ර ගායනයෙන් අනතුරුව ඉටුකරන වැදගත් චාරිත්‍රයක්‌ නම් කිරිකඩහේලය පූජා කිරීමයි. එය මනාලියගේ මෑණියන්ට කරන උපහාර පූජාවයි. දස මසක්‌ කුස දරමින් දියණිය තම ජීවිතය මෙන් රැකගෙන නිරුපද්‍රිතව හදා වඩා ගෘහ පාලන කටයුතු පුහුණු කර උතුම් කුල දුවක ලෙස හැදූ වැඩූ මෑණියන්ට කරන උපහාරයක්‌ වශයෙන් සුදු වස්‌ත්‍ර කවිච්චියක්‌ හෝ වෙනත් ඇඳුම් පැළඳුම් පිදීම බෑණනුවන් විසින් සිදුකරන චාරිත්‍රයකි. හැදූ මෑණියන් ජීවතුන් අතර නැති නම් මනාලිය හදා වඩාගත් වෙනත් කාන්තාවකට මෙම පූජාව කරනු ලබයි. මින් පසු සිදු වන්නේ දෙපාර්ශ්වයේ වැඩිහිටි ඥතීන්ට බුලත් හුරුලු පිළිගන්වා ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමයි. මේ සියල්ල නිමවූ පසු කාල වේලාව අනුව මංගලම් කවි ගායනා කර විවිධ ස්‌ත්‍රොaත්‍ර සහ ගාථා මගින් යුවළට සෙත් පතනු ලබයි. මෙම කටයුතු කාල වේලාව අනුවත් ඒවා ඉටුකරන පුද්ගලයාගේ දක්‌ෂතාව අනුවත් දීර්ඝ හෝ කෙටි විය හැකිය.
මංගලම් කවි වශයෙන් මෙවැනි කවි ගායනා කරයි.
“කිඹුල්වත් පුර නුවර ඉපදුන එබෝසත් ජය මංගලම්
අගුල්ලා තිබූ නුවර වාසල් ඇර ගියේ දෙවියන් බෙලෙන්
මඟුල් කඩුවෙන් කේස ධාතුව කපා අහසට හැරී බෙලෙන්
මඟුල් වේවා යුවති පති හට බොහෝ කල් ජය මංගලම්“
“පෙම්මා වඩවන මුණිඳුගෙ තෙද කල
නම්මා බැහැදැක ඇතු සිටිනා කල
වෙම්මා ලොවටම දස පෙරුමන් බල
සම්මා යන පදයෙන් ජය මංගල“

මෙලෙස ගායනා කරන කවි රාශියක්‌ ජන සමාජයේ ප්‍රචලිතව තිබුණි. මෙම සියලුම කවි ප්‍රබන්ධ වී තිබුණේ බුද්ධ චරිතය ඇසුරින්ය. මංගල අෂ්ඨක ගායනයෙන් පසුව සියලු බුදුවරයන් වහන්සේලාගේත්, සියලු දෙවි දේවාතාවුන් වහන්සේලාගේත්, නවග්‍රහයන්ගේත් ආනුභාවයෙන් අපල උපද්‍රව දුරුවේවා" යි ප්‍රාර්ථනා කරමින් පෝරුවෙන් බස්‌සවනු ලබයි. පොල් ගෙඩියක්‌ බිඳීමත් සමගම දකුණු පාදය පෙරට තබා අභිනව යුවළ පෝරුවෙන් බසියි. මෙම සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ පුරාතන මංගල උත්සවයක්‌ යනු හුදු උත්සවයක්‌ පමණක්‌ම නොව, ආගම දහම සත්චාරිත්‍ර අනුව පැවැත්වූ පුණ්‍ය මහෝත්සවයක්‌ද වශයෙන්ද පැවති බවයි.

1. ප්‍රථමයෙන්ම මංගල පෝරුවට නැගීමට වරම් ගන්න. බුද්ධාගම අනුව නම් ප්‍රථමයෙන්ම “නමෝතස්ස” පාඨය තෙවරක් කියවන්න. ත්‍රිවිධ රත්නය වඳින කුමන හෝ ගාථා තුනක් කියවන්න. “සංසාර සාරෝඝ විනීතත නීසං.” වැනි ශබ්ද රසයද ඇති ගාථාවන් නම් ඉතා මැනවි. ඉන් පසු භූමිදේවි නමස්කාරය වූ “ චන්ද කුසුම මාලං” යන්න කියවන්න. ඉන් පසු පෝරවට නැගීම සඳහා අවසර ගන්නා කවියක් හෝ කවි කීපයක් කියවන්න. දැනට එවැනි කවි 6 ක් පමණ භාවිතා කරයි. කාලවේලාව අනුව කවි සංඛ්‍යාව ඔබම තීරණය කරන්න.උදාහරණයක් ලෙස එක කවියක් කියමි.

එදා සිදුහත් කුමරු හට බිම්බා කුමාරිය සරණ පාවා
උදාරව දෙනු ලැබු සුබ කරකාර මගුලෙදි මන පබෝවා
මුදාහල ලෙස යුවලගේ පා මඟුල් පෝරුව මතයි බෝවා
මෙදා පින්බර මෙනව යුවලක් මඟුල් පෝරුව මත නගීවා

2. දැන් සුබ නැකත උදාවී ඇත. මගුල්බෙර නාද මධ්‍යයේ යුවල පෝරුවට භාරකරුවන් යටතේ නඟී. එසේ නැගුනු විට කෙටි ආශිර්වාද සිලෝවක් කියන්න.

3. ඉන්පසු ඇත්තේ සඟල බුලත් හුවමාරුවයි.මෙහිදී බුලත් අතවල් 07 ක් දෙදෙනා අතර හුවමාරු වේ.බුලත් අතකට ඇති උපරිම බුලත් සංඛ්‍යාව 40 කි. අවම සංඛ්‍යාව 02 කි. සඟල බුලත් හුවමාරුවේදී බුලත් අතකට ගන්නේ අවම බුලත් සංඛ්‍යාවයි. බුලත් අතකට කාසියක් ද එකතුවේ. බුලත් අතවල් 07 න් කියවෙන්නේ මේ විශේෂ අවස්ථාවේදී අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, මී ,මුත්තා යන හත්මුතු පරම්පරාව සමරන බවයි. උතුම් ජාතීන් මෙවැනි වැදගත් අවස්ථා වලදී තම අතීත පරපුර සමරති. බුලත් වලින් සංස්කෘතිය ද කාසි වලින් ආර්ථිකයද කියවේ. සඟල බුලත් හුවමාරුවෙන් සංකේත වන්නේ අද සිට දෙදෙනා අතර සංස්කෘතික ලෙස මෙන්ම ආර්ථික ලෙස ද සහජීවනයක් ඇතිවන බවයි.

4. ඉන්පසු ඇත්තේ තැලිපිලි පැළඳීමයි. වෛදික දහම අනුව සැමියාට බිරිඳගේ හිමිකම ලැබෙන්නේ මල් මාලයක් දැමීමෙනි. එදා ඒ මල් මාලය අද වන විට තැල්ලක් සහිත චේන් පොටක් දක්වා විකාශනය වී ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් 4 වෙනි යුතුකම බිරිඳට ඉසුරු සම්පත් පැවරීමයි. 5 වෙනි යුතුකම ඇයට ඇඳුම් හා ආහාරපාන සැපයීමයි.
සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සක්ක සංයුක්තයේ සක්දෙවි මිනිසුන් නමදින අවස්ථාවක් දැක්වේ. මේ සම්බන්ධයෙන් මාතලී දිව්‍ය පුත්‍රයා කරන විමසීමකදී සක්දෙවි පවසන්නේ තම යුතුකම් දන්නා සැමියන් වන්දනා කරන බවයි. මෙයින් පෙනෙන්නේ බිරිඳට යුතුකම් ඉටු කරන සැමියන්ට දෙවියන් පවා ගරු කරන බවයි.

5. ඉන් පසු මුදු මාරු කිරීම සිදුවේ.මුද්ද යනු සදාකාලික භාවයේ සංකේතයි.පෙරදිග වෙද නීතිය අනුව අතේ වෙදගිල්ලේ මුල් පුරුක හදවතට සම්බන්ධතාවයි. විශ්ව නීතිය අනුව ගැහැණියට වමතත් පිරිමියාට දකුණතත් විශේෂ වේ. සිංහල වෙද මහතා ප්‍රතිකාර වලදී පිරිමියාගේ දකුණතේ නාඩි බලයි. ගැහැණියගේ වමතේ නාඩි බලයි. හස්ත රේඛා ශාස්ත්‍රඥයා පිරිමියාගේ දකුණතේ රේඛා බලයි. ගැහැණියගේ වමතේ රේඛා බලයි.ඒ අනුව සදාකාලික බවේ සංකේතය හදවතට සම්බන්ධ වූ වෙදඟිල්ලේ මුල් පුරුකට පැළඳවීම මනාලියගේ වමතේ ද මනාලයාගේ දකුණතේ ද සිදු කරයි.

6. ඊළඟට ඇත්තේ අත පැන් වැඩීමයි. බිම්බිසාර රජු වේළුවනාරාමය පවරා දුන්නේ ද දෙවන පෑතිස් රජු මවමෙව්නාව පූජා කළේ ද වෙස්සන්තර රජු දේපොළ පවරා දුන්නේ ද අතපැන් වැඩීමෙනි. ඔබ කරන පින් ඔබේ මළගිය ඥාතියාට පවරන්නේ කෙසේද? පැන් වැඩීමෙනි.මෙය පැරණිම පවරා දීමේ චාරිත්‍රයයි.තම දියණිය සැමියාට පවරා දීම අත්පැන් වැඩීමෙන් සිදු කරනුයේ වෛදික දහම් නීතිය අනුවයි.

7. ඊළඟට ඇත්තේ මංගල පෝරුව මත දී පැන් වීදුරුව හා රස කැවිලි පිරිනැමීමේ චාරිත්‍රයයි. මෙය උම්මග්ග ජාතකයෙහි අමරාදේවි හා මෙහෞෂධ පඬිවරයා මුනගැසීම සිහිකරන්නකි. ආහාරයට පෙර පැන් පිරිනැමේ.
ඉන් පසු දෙදෙනා සහජීවනයෙන් ආහාර ගැනේ. ඉන් පසු නැවත පැන් පානය කරයි.මේ ජීවත් වීමේ කලාවයි.

8. බුදුරදුන් විවිධ අභියෝග ජයගත් බැවින් ඒ තේජසින් ජය මගුල් ඔබටත් ලැබේවා! යන පැතුම ජය මංගල ගාථා කියවීමෙන් ලැබේ.

9. ඔක්කාක රජ සමයේ සුබ්‍රහ්මා , සෝමසීලි යන බමුණු යුවළට ජාතක වූ බ්‍රහ්මජාලි කුමරිය දීගෙට යන විට මවගේ කිරි වල ණය ගෙවීමේ කථා වස්තුවක උපයෝගි කරගෙන කිරිකඩ සේලය පිරිනැමීමේ චාරිත්‍රය සාදා තිබේ. දියණියක මවකගෙන් පානය කරන ලද කිරි වල ණය කිසිදා පිරවිය නොහැකි බව මේ චාරිත්‍රයෙන් කියන පණිවිඩයයි.

10. ඊළඟට ඇත්තේ වැඩිහිටියන්ට බුලත් දීමේ චාරිත්‍රයයි.මහා මංගල සූත්‍රයේ 3,11,12 යන මංගල කරුණුද සප්ත අපරිහානි ධර්මයේ 4 වෙනි අපරිහානි ධර්මය ද දස පුන්‍ය ක්‍රියා වල 4 වෙනි පුන්‍ය ක්‍රියාව ද සිඟාලෝවද සුත්‍රයේ සදිසා නමස්කාරයෙන් නැගෙනහිර නමස්කාරය ද කිතුණු දස පනතේ 4 වෙනි පනත ද මෙම චාරිත්‍රයෙන් ඔපවත් කරයි.

11. ඊළඟට ඇත්තේ පෝරුවෙන් බැසීමේ චාරිත්‍රයයි.අවිවාහකයන් ලෙස භාරකරුවන් යටතේ පෝරුව දෙපසින් නැඟි යුවල විවාහකයන් ලෙස එකිනෙකාට භාරකරුවන් වෙමින් සුභ දිසාවට මුහුණ ලා පෝරුවෙන් බසී. පෝරුවෙන් බැසීමට පෙර වරම් ගැනීම සඳහා ආශිර්වාද කවි 08 ක් පමණ දැනට ලංකාවේ භාවිතා කෙරේ. කාලවේලාව කළමණාකරණය කරමින් මින් කීපයක් ගායනා කිරීමට පුළුවන.

12. පෝරුවේ චාරිත්‍ර වල අවසාන අංගය පෝරුවෙන් බැස පහන දැල්වීමයි. පහනක් දැල්වෙන විට අඳුර පලා යයි. අඳුර පලා යන විට මඟ හොඳින් පෙනේ.මේ ආලෝකවත් වන්නේ නව යුවලගේ ජීවිතයයි.ජීවන මාර්ගයයි. පහන දල්වන විට මඟුල් බෙර වාදනය කෙරේ.

මේ චාරිත්‍රය කරන විට අවස්ථානුකූ®ලව දළඳා අෂ්ඨකය, ශ්‍රීවිෂ්ණු අෂ්ඨකය, අට විසි විවරණ අෂ්ඨකය, කන්ද කුමාර අෂ්ඨකය, මහා මංගල අෂ්ඨකය, නවග්‍රහ මංගල අෂ්ඨකය, ගණේෂ අෂ්ඨකය, දැඩිමුණ්ඩ අෂ්ඨකය, නාරායන අෂ්ඨකය, බෞද්ධ අෂ්ඨකය,අෂ්ඨදේව, මංගල අෂ්ඨකය පත්මාවතී අෂ්ඨකය, වැනි අෂ්ඨකයන් අතුරින් කීපයක් ගායනා කර චාරිත්‍රය ඔපවත් කිරීමට චාරිත්‍රවේදියා සමත් වෙයි.

සිංහල පාරම්පරික සිරිත් රැකගනුවස් අන්තර්ජාලය ඇසුරින් එරන්ද ලක්මාල්  විසින් ‍ගෞතම බුදුසසුන තුල මේ ලිපිය පලකල වගයි.

Thursday, March 21, 2013

උච්ඡු පේ‍්‍රත වස්තුව

උච්ඡු පේ‍්‍රත වස්තුව



’ස්වාමිනි මට මහ විශාල උක් වනයක් පහළ වෙලා තිබෙනවා. මේක ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ. මේ මොන වගේ කර්මයක විපාකයක් ද? කියා පවසනු මැනවි. එක් උක් ගසක් කන්ට ඕන කියලා මම යම්කිසි උත්සාහයක් ගන්නවා. මම එහෙම අනුභව කරන්නට ඕන කියලා උත්සාහ කරද්දී ඇති වෙන්නේ මහන්සියක්ම යි. උක් කොලවලට මාව කැපෙනවා. එවිට මගේ් ශරීර ශක්තිය නැතිව යනවා. දුකට පත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයේ වැඩ වාසය කරන කාලයේ මෙම දේශනාව වදාළ සේක.
එක්තරා මිනිසෙක් උක්දඬු මිටියක් කර තබාගෙන එක් උක්දඬු කැබැල්ලක රස බලමින් ගමන් ගත්තා. ඒ වෙලාවෙහි සිල්වත් කල්‍යාණ ධර්ම තිබෙන එක් උපාසකයෙක් සමඟ ගමන්ගත් බාල දරුවෙක් උක්දඬු දැක උක්දඬු කැබැල්ලක් ඉල්ලා හඬා වැටුණා උපාසකතුමා හඬන දරුවා දැක උක්දඬු ගෙනයන මිනිසාට කථා කළා. නමුත් අර පුරුෂයා උපාසකයා සමඟ කිසිවක් කථා කළේ නැහැ. උපාසකතුමා හඬන දරුවා පෙන්වා ‘මේ දරුවාට උක්ගස් දඬු කැබැල්ලක් දෙන්නැයි’’ කියා සිටියා. ඒ අසා ඒ මිනිසා නො ඉවසමින් අවමන් සිත් උපදවාගෙන අනාදරයෙන් එක් උක් දඬු කැබැල්ලක් පිටු පසින් වීසි කරනු ලැබුවා.
ඔහු කාලයකට පසුව කළුරිය කොට බොහෝ කාලයක් පුරුදු කරන ලද ලෝභකමේ විපාක ලෙස පේ‍්‍රත යෝනියේ ඉපදුනා. එහි ඵලය නම් ස්වකීය කර්මයට සමාන වුණා. අට කිරියන් (අමුණු තිස් දෙකක්) පමණ පැතිර පවතින වූ මෝල්ගස් පමණ උක්ගස් වලින් ගැවසී ගත් මහත් උක් වනයක ඒ පේ‍්‍රතයා උපත ලැබුවා. උක්දඬු කනු පිණිස පේ‍්‍රතයා උක් වනයට යනවිට උක් ගසේ පත්‍ර ඔහුට හිංසා පීඩා ගෙන දුන්නා. උක් කොළ කෙළින් වී ඔහු කැපී ගියා. පේ‍්‍රතයා ඒ වේදනාවෙන් සිහිසුන්ව වැටුණා.
එක් දිනක් මුගලන් මහ රහතන් වහන්සේ පිඬු පිණිස වඩින අතරමඟදී මේ පේ‍්‍රතයා දුටුවා. ඒ පේ‍්‍රතයා රහතන් වහන්සේ දැක තමන් විසින් කළ කර්මය පිළිබඳව විචාරමින් මෙසේ කියා සිටියා.
’ස්වාමිනි මට මහ විශාල උක් වනයක් පහළ වෙලා තිබෙනවා. මේක ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ. මේ මොන වගේ කර්මයක විපාකයක් ද? කියා පවසනු මැනවි.
එක් උක් ගසක් කන්ට ඕන කියලා මම යම්කිසි උත්සාහයක් ගන්නවා. මම එහෙම අනුභව කරන්නට ඕන කියලා උත්සාහ කරද්දී ඇති වෙන්නේ මහන්සියක්ම යි. උක් කොලවලට මාව කැපෙනවා. එවිට මගේ් ශරීර ශක්තිය නැතිව යනවා. දුකට පත් වෙනවා. මම වැලපෙනවා. මේ විපාකය මට ලැබුණේ් මොන කර්මයක් නිසා ද? මම හොඳටම වෙහෙසට පත්වෙලා බිම ඇදගෙන වැටෙනවා. තද අව්වෙන් රත්වුණු පොළොවේ මාළුවෙක් වගේ දඟලනවා. මම වැළපෙනකොට ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා. ස්වාමිනි, මේ විපාකය මට ලැබුණේ මොන කර්මයක් නිසාද කියලා පැවසුව මැනව.
මම පුදුමාකාර බඩගින්නකින් ඉන්නේ. මට ක්ලාන්තයි. පිපාස යි. අධික පිපාසයෙන් දුක් විඳීන මම මිහිරි සැපයක් නම් විඳල නැහැ. ස්වාමිනි මම ඔය කාරණය ගැනයි අහන්නේ. මට මේ උක් රසය පාවිච්චි කරන්නට ලබා ගන්නේ කොහොමද?
ඔය ඇත්තා පෙර ජාතියක මිනිස් ලෝකයේ ඉන්න කාලේ තමන්ගේම අතින් පව් කෙරිලා තිබෙනවා. මම දැන් ඔබට ඒ විස්තරය කියන්නම්. ඔබ එය අසලා මේ විදිහට දැනගන්න.
ඔබ එක් දිනක් උක් දණ්ඩක් හප හපා ගියා. එතකොට ඔබේ පිටුපස්සේ එක උපාසකයෙක් ආවා. ඔහු ඔබ සමඟ කථා කළත්. ඔබ කථා කළේ නැහැ. එවිට ඔහු ආර්ය පුත්‍රය, උක්දඬු කැබැල්ලක් දෙනු මැනව කියා ඉල්ලා සිටියා. එවිට ඔබ හිත නො පහදවාගෙන පිටිපස්සෙන්ම යි ඔහුට උක් දඬුව දුන්නේ. ඒ කර්මයේ විපාකය යි මේ.
දැන් ඉතින් පේ‍්‍රතය, ඔබත් පිටුපසින් පිටුපසට ගොස් උක්දඬුව ගන්න ඕන. එහෙම අරගෙන ඇතිතාක් කන්න. එවිට එයින් ඔබට සතුටක් ඇතිවේවා. තුටුපහටු වෙලා ඔදවැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්නට පුළුවන් වේවි.
ඒ පේ‍්‍රතයා පිටුපස්සෙන් පිටුපස්සට ගොස් උක්දඬු අරගෙන ඇති තරම් කෑවා. ඒකෙන් ඔහුට සතුටක් ඇතිවුණා. තුටුපහටු වුණා. ඔද වැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්නට පුළුවන් වුණා.
පේ‍්‍රතයා රහතන් වහන්සේට උක්දඬු පූජා කළා. ඔහුට අනුකම්පාවෙන් ඒ උක් දඬු ගෙන උන්වහන්සේ වැළඳුවා. ඉන්පසු පේ‍්‍රතයා විශාල උක්ගසක් රහතන් වහන්සේට පූජා කළා. ඔහුට අනුග්‍රහ පිණිස ඒ උක්ගස මුගලන් මහ රහතන් වහන්සේ විසින් වේළුවනාරාමයට ගෙනවිත් භාග්‍යවතුන් වහන්සේට පිදුවා. උන්වහන්සේ භික්ෂු සංඝයා සමඟ එය පරිභෝග කොට පේ‍්‍රතයාට පින් අනුමෝදන් කළා. පේ‍්‍රතයා පහන් සිත් ඇතිව ඒ පින අනුමෝදන් වුණා. එදා සිට සුවසේ ඔහු උක්ගස් අනුභව කළා.


කුමාර පේ‍්‍රත වස්තුව


තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී පේ‍්‍රතයෝ දෙදෙනෙකු අරභයා මෙම දේශනාව වදාළා.
සැවැත්නුවර වනාහි කොසොල් රජුගේ පුත්‍රයන් දෙදෙනෙකුගේ යෞවන මදයෙන්් මත්වී පරදාර සේවනයේ යෙදෙමින් බොහෝ අකුසල කරමින් ජීවත් වුණා. ඔවුන් කාලයක දී කලුරිය කොට දිය අගලක් මතුපිට පේ‍්‍රතයන් වී ඉපදුනා. ඔවුන් රාත්‍රියේ දී භයානක ශබ්දයකින් කෑ ගැසුවා. මිනිසුන් ඒ අසා බියෙන් තැතිගෙන සිටියා. ඔවුන් සාකච්ඡා කොට බුදුරාජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට වැඩමවා දානයක් පූජා කර මේ සියලු සිද්ධීන් භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියා.භාග්‍යවතුන් වහන්සේ උපාසකවරුනි, ඒ ශබ්දය ඇසීමෙන් ඔබලාට කිසිදු අන්තරාවක් සිදු නොවේ යැයි පෙර කථා ප්‍රවෘත්තියක් මෙසේ වදාළා.
හිමාල පර්වතය පැත්තේ ‘සැවත’ කියලා නුවරක් තිබෙනවා. එහේ රාජ පුත්‍ර වූ කුමාරවරු දෙදෙනෙක් සිටියා. ඔවුන් කාම සම්පත් වලට ප්‍රමාද වුණා. ඒ ජීවිතයේදීි ලැබුණු සැපයට ගිජුවෙලා ගියා. අනාගත ජීවිතවලත් හොඳින් සිටින්න ඕන කියන කරුණු දැක්කේ නැහැ.
ඔවුන් මිනිස් ලොවින් චුතවුණා පරලොවදී පෙරේත ලෝකයට ගියා. ඔවුන් ඒ කලින් ජීවිතයේ දී තමන් විසින්් කරගත්තු පාප කර්ම නිසා මේ නුවරට ආසන්නයේම ඉපදී මේ විදිහට කෑ ගසනවා
අපට දන් දෙන්න ඕන තරම් වස්තුව තිබුණා. දන්පැන් පිළිගන්වන්නට සුදුසු බොහෝ ආර්යයන් වහන්සේලා වැඩ සිටියා. අපට යම් සැප ලබාදෙන සුළු පිනක්වත් කර ගන්න බැරි වුණා.
අප කිසිම කර්මයක් නිසා ඒ රාජ කුලයෙන් චුත වෙලා මේ බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳ විඳ ඉන්න පෙරේත ලෝකයේ ඉපදුනා. ආයේ ඉතින් මීටත් වඩා පවක් තිබෙනවා ද? අප මිනිස් ලොවදී හාම්පුතාලා වෙලා හිටියේ. නමුත් පෙරේත ලෝකයේ දී අප හාම්පුතුන් නොවෙ යි. උසස් මනුස්ස ආත්මයෙන් චුත වෙලා හීන වූ පේ‍්‍රතයන් බඩගින්නෙන් පිපාසයෙන් ඇවිද ඇවිද යනවා. සැප සම්පත්වලින් මත්වෙලා හිටපු නිසයි මේ ආදීනවය හටගන්නේ. මේක තේරුම් ගත් මනුස්සයා සැප සම්පතට ගන්න එක දුරු කරන්න ඕන. එතකොට දෙව් ලොවටම යනවා.

යසස වැඩෙන නොපමා බව

යසස වැඩෙන නොපමා බව



නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම් බුද්ධස්ස

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඪති

පින්වත්නි!

සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාම මහාවිහාරයෙහි වැඩවසන සමයෙහි කුම්භඝෝෂක නම් සිටුපුත්‍රයා නිමිති කරගෙන ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.
රජගහනුවර මහසිටුවරයාගේ මන්දිරයේ සියලුදෙනාම ‘අභිවාතක’ නම් මාරාන්තික රෝගයකින් පීඩා විඳින්නට විය. එමෙන්ම එම පළාතේ පැතිර පැවති එම පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත්වන්නට අවශ්‍ය කෙනෙකු වේ නම් බිතිත්යක් හාරා පලා යා යුතු ය. මෙම සිටුපවුලේ දෙමව්පියන්ද එම රෝගාබාධයයෙන් පීඩිතව මරණාසන්නව තම පුතණුවන් දෙස බලා ‘පුතණුවනි’ දැන් අපේ ජීවිත ගැන අපේක්‍ෂාවක් නැත. ඔබ මෙම රෝගයෙන් බේරී ජීවත්වීමට බිත්තියක් බිඳ ඈත පළාතකට ගොස් ජීවත් වන්න. අසවල් ස්ථානයේ සතළිස් කෙළක් ධනය නිධන්කොට ඇත. යළි පැමිණි දිනක ඒවා රැගෙන වියදම් කරන්න යයි කියා මිය පරලොව ගියහ.
සිටුපුතාද දෙමවුපිය ඔවදන් පිළිගෙන අඬමින් මරණ බියෙන් පලාගොස් කඳුකර පෙදෙසක දොළොස් වසරක් දිවි ගෙවා යළි සිටුගෙදරට අවුත් ධනය නිධන් කළ ස්ථානය පිරික්සා යථාපරිදිව තැන්පත්ව ඇති බව දැනගත්තේ ය. එහෙත් මෙතරම් ධනයක් මාසතුව ඇතත් ඒවා පරිහරණය කිරීම ක්‍ෂණිකව සුදුසු නැතැයි නුවණින් සිතා දුගී දුප්පත් වේශයක් ගත්තේ ය.
වසර ගණනක් ඈත පළාතක සිටිය බැවින්ද, දන්නා හඳුනන අය නැති බැවින්ද, ධන නිධාන සලකුණු රහසිගතව සිතේ තබාගෙන ගෙයින් ගෙට බැලමෙහෙවර කරමින් දිවිගෙවන්නට විය. කලක් ගතවන විට මොහුට දිනපතා කම්කරුවන් ප්‍රබෝධ කරන රැකියාවක් ලැබිණි. ගොවියන් කම්කරුවන් වෙළෙන්දන් පහන්දොර නැඟිටවීම ඔහු සතු කාර්ය විය. හිරු උදාවීමට පෙර ඉතා ශබ්ද නගා කම්කරුවන් අවධිකරවන හඬ නිසා ඔහුට ‘ඝෝෂක’ යන නම ව්‍යවහාර විය.
අලුයම පිබිදී සිටි බිම්බිසාර රජතුමන්ටද මේ ශබ්දය ඇසී රාජසේවකයන් යවා ඔහු කැඳවාගෙන එනලෙස නියම කළහ. බිම්බිසාර රජතුමා ශබ්දයෙන් පුද්ගලයන් හඳුනා ගන්නා ශබ්ද විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමකින් යුක්ත වූහ. මේ නිසා ඝෝෂකගේ ජීවිතය ගැන තොරතුරු විමසා දැන ඔහු සතු හතළිස් කෙළක් ධනය රථවලින් ගෙන්වා මෙතරම් ධනයක් සතු මෙම ඝෝෂක බැලමෙහෙවර කරමින් ජීවත්වීමේ පුද්ගල තතු හා උපාය මාර්ග ජනතාවට පහදා දුන්හ.
තවද රජතුමා මහත් සත්කාර සම්මාන සහිතව සිටු තනතුරු ද ප්‍රදානය කළහ. එමෙන්ම රජතුමා සිටුවරයා සමඟ බුදුරදුන් වෙත පැමිණ සියලු තතුද විස්තර කළහ.
බුදුරජාණන් වහන්සේද මහරජ මෙම ඝෝෂක සිටුගේ ජීවිතය ධාර්මිකය, වීර්යවන්තය, ප්‍රඥා වන්තය. එවැනි අයගේ ජීවිතය ධනයෙන් ඉසුරු බවෙන් ප්‍රභාමත් වන්නේ යැයි දක්වා ඉහත ගාථා ධර්මය දේශනා කළ සේක. “පින්වත්නි” මෙම ගාථා ධර්මයෙන් දහම් කරුණු හතක් පෙන්වා දී ඇත.
උට්ඨානවතෝ උත්සාහවන්තව ක්‍රියා කළ යුතු යි. එය ඇතිවීමට තමා කරන කාර්ය පිළිබඳ සාමාන්‍ය ප්‍රතිඵල සාධන හැඟීමක් තිබිය යුතු ය. සහජ පුරුද්දෙන් සමාජයෙන් සාධනීය කාර්යයෙන් ලබන මූලික අවබෝධය විසින් කායික මානසික ප්‍රබෝධයක් පියවර තැබීමේ වීර්යයක් ඇතිවේ. කුශලානුගත වීර්යය මතුමත්තෙහි ඉදිරි පියවර මානසික වශයෙන් ප්‍රසාරණයක් ඇතිවීම ස්වාභාවික ය.
බෝධි සත්වයන් වහන්සේ නියත විවරණයේ පටන් ආරම්භ කරන පාරමිතාවන් අතර වීර්ය පාරමිතාව නිසා සියලු පාරමී ධර්මයන් ක්‍රියාත්මක කිරීමේ දී පෙරට එන බාධක අභිබවා ගමන් කරති. එමෙන්ම වීර්ය බෞජ්ඣංග ධර්මයකි. එම වීර්යයෙන් බුදු පසේ බුදු මහරහත් පදවි ලබාගන්නට චිත්ත සන්තානයේ නීවරණ ධර්මයන් පහකොට ධ්‍යාන, විදර්ශනා මාර්ගඵල සාධනයට යොමු කෙරේ.
සතිමතො
සෑම කාර්යයකදීම සිහිය අවශ්‍ය වන අතර විශේෂයෙන් දීර්ඝ කාලයක් තුළ පවත්නා සත්ව සන්තානගත ලෝභාදී ක්ලේශ ධර්මයන් නැති කිරීමට ඒවා එකිනෙක හඳුනාගැනීම ප්‍රහාණය කිරීම කමටහන්වලට සිත ආරෝපණය සිහියෙන්ම කළ යුතු වේ. සමථ භාවනාවේ දී චිත්ත ඒකාග්‍රතාවය ඇතිවීමට පදනම වන්නේ සතියයි. සුචිකම්මස්ස - කාය, වාග්, මනෝ කර්ම පිළිබඳ පවිත්‍රතාවය කුසල් කිරීමේදී අවශ්‍ය වේ. විශේෂයෙන් ලෞකික ජීවිතය ආරක්‍ෂාවන්ගේ සමෘද්ධියට පත්වන්නේ කායවාග් කර්මයන්හි පවිත්‍රතාවයෙනි. ප්‍රාණ ඝාත, අදත්තාදාන කාම මිථ්‍යාචාර යන අපවිත්‍ර කර්මවලට සන්තානයේ නම්‍යතාවය බහුලය. එමෙන්ම එවන් කර්ම කිරීමෙන් ලබන ආශ්වාදය මොහොතක් පාසා සිත නීවරණයන්ගේ ප්‍රවාහයෙන් කිලිටිවන්නේ ය. අතෘප්තිකර සන්තානගත ආශ්වාද ජනක චිත්තාවලිය මරණින් මතු සතර අපායට අරමුණු වන්නේ ය.
කෙනකු වචන භාවිතා කරන්නේ සන්තාන ගත අරමුණු අනුවය. සිත අපවිත්‍ර කරන අරමුණු බොහෝ වේලාවක් තබාගැනීමෙන් එයට සමගාමීව වාග් ද්වාරයද ක්‍රියාත්මක වීමෙන් බොරු, කේලාම්, අසභ්‍ය හිස් වචන භාවිතය අපමණ වේ. එයින් තම ආත්මය කිලිටි වේ. තමාට තමා හතුරෙකු බවට පත්වේ. අපවිත්‍ර සන්තානයෙන් කරන කියන සෑම දේම පුද්ගලයාගේ පරිහානියට හේතුවේ. මරණින් මතු සතර අපායේ ඉපදීමට හේතුකාරක වේ. කාය වාග් මනෝ යන ද්වාරත්‍රයේ පවිත්‍රත්ත්වය දසකුසල ධර්ම වර්ධනයට හේතුවේ. එමෙන්ම සමථ විදර්ශනා භාවනාවෙන් දෙලොව ශාන්තිය භවාන්තයේ උතුම් නිවන් සම්පත් ලැබීමට පවිත්‍ර චේතනාවේ ශක්තිය මූලාධාර වේ.
නිසම්මකාරිනෝ
වෛද්‍යවරයෙකු රෝග නිදානය සොයා දැනගෙන රෝගාබාධයට නියමිත ප්‍රතිකාරය ලබාදෙන්නාසේ ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර ජීවිතයද සරුකරගන්නාට විමංසනය අත්‍යවශ්‍ය වේ. මෙයට අභිධර්මයේ මනසිකාරය යයිද දක්වා ඇත. එයට විශේෂ බුද්ධියක් මෙන්ම සිහියක් ද සමාධියක් ද තිබිය යුතු වේ.
සඤ්ඤතස්සච
කය, වචනය, මනස යන ද්වාරත්‍රයේ සංවර බව නිර්වාණ ගාමි ප්‍රතිපදාව වේ. සාර්ථකත්වයට අත්‍යවශ්‍යම වේ. කය වචන දෙකේ සිල් ගුණයද සිතේ සමාධි ගුණයද ලෞකික ලෝකෝත්තර සුබ සාධනයට මූලාධාර වන බව සහේතුකව බුදුරදුන් විසින් යළි යළිත් දක්වා ඇත.
කයින් වචනයෙන් හා මනසින් සෑම කාරණයකදීම සංවරවීම ඉතා යහපත් වේ. එය නිවනට මාර්ගයයි. එයින් සීලයත් සීලයෙන් සමාධියත් ඉන් ප්‍රඥාවත් වර්ධනය වේ.
ධම්ම ජීවිනෝ - ලෞකික ජීවිතය සාරවත් වන්නේ ධාර්මික ජීවන ප්‍රවෘත්තියෙනි. වංචාවෙන් රැස්කරන ධනය සොරසතුරු කරදර අපමණ ඇතිවීමට හේතුකාරක වේ.
අප්පමත්තස්ස
මුලානොවූ සිහි ඇතිබවද දෙලොව ශාන්තියට සසරදුකින් මිදී නිවන් සුවෙන් සැනසීමට මහෝපකාරී වේ. මෙසේ දැක්වූ උතුම් සප්ත ගුණාංගයන් ගෙන් සම්පූර්ණ වූ පුද්ගලයාගේ භෞතික සම්පත් කීර්ති වර්ණනාව වර්ධනය වන්නේ ය. මෙම දහම් කතාවෙන් හා උතුම් ධර්මය අවබෝධ කරගැනීමෙන් ඔබ සැමට ජාති, ජරා මරණාදී සසරදුක් නැතිකොට පරම ශාන්ත නිවනින් සැනසීමට හේතු වාසනා වේවා!
ඔබ සැමට තෙරුවන් සරණයි.