Powered By Blogger

Saturday, November 3, 2012

බුදුදහම ආභරණයක්‌ පමණක්‌ නොවීමට...


බුද්ධ ශාසනය ආරම්භ වූ දඹදිව නැවතත් හින්දූන්ගේ සහ වෙනත් ආගමිකයින්ගේ ආධිපත්‍යට නතු වූයේ ඇයි දැයි යන ප්‍රශ්නයට තිබෙන සරල පිළිතුර මෝගල් ආක්‍රමණයයි. එහෙත් එහි ආරම්භක හේතුව එය නොවේ. බුදුන් වහන්සේ ගේ නෑ පරපුර විඩූඩභ රජු අතින් විනාශ වී යාම ද එක්‌ හේතුවකි. බුද්ධ පරිනිර්වානයෙන් වසර තුන්සීයක්‌ පමණ ඉක්‌ම ගිය පසු ධර්මාශෝක රජතුමා කරන ලද ශාසනික සේවය නිසා බුද්ධ ශාසනයේ පිබිදීමක්‌ ඇති වුණද එය තිරසාර නොවීය. ඉන්දීයාවේ කුල භේදය විසින් නිර්මාණය කරන ලද පංති පරතරය විසින් සාමාන්‍ය ජනතාව අතරට ධර්මයේ පණිවුඩය යන්නට ඉඩ හැර තිබුනේ නැත. රජ පරපුර අහෝසි වනවාත් සමගම බුද්ධ ශාසනය දුර්වල තත්වයකට පැමිණුන අතර නාලාන්දා වැනි විශ්වවිද්‍යාල විනාශ කිරීම නිසාද සසුනේ ආධිපත්‍ය ගිලිහී ගියේය. නාලන්දා වික්‍රමශීලා වැනි මහා විශ්වවිද්‍යාල වල ථෙරවාදී දර්ශණයන් ඉගැන්වීම දෙවනි තැන තබා සර්ව කාලීන විෂයයන් හා සංස්‌කෘත ආදී එකල ප්‍රමුඛ භාෂාවන් ප්‍රගුණ කිරීමට යාමද බුදු සසුනේ පරිහාණියට එක්‌ හේතුවකි. සූත්‍ර ධර්මයන් වෙනත් භාෂාවකට හැරවීම සහ තේරුම් කර ගැනීමේ පහසුව ඇති කිරීම යහපත් දෙයක්‌ වුවද තවත් බසකට පෙරළීමේ දී ධර්මය විකෘති වන බව කිසිවෙකුත් තේරුම් ගත්තේ නැත.

වර්තමාන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වන්නේ අශෝක ධර්ම චක්‍රයයි. එහෙත් එයින් ප්‍රකාශ වන්නේ ඉන්දීය ප්‍රතිපත්තිය බෞද්ධ වීම නොවේ. මයාවතී මහ ඇමතිනිය ලක්‌නව් නගරය ආශ්‍රිතව බෞද්ධ නගරයක්‌ නිර්මාණය කර ඇත. එහෙත් එයින්ද කියවෙන්නේ ඉන්දියාව බෞද්ධ ගමන් මාර්ගයකට අවතීර්ණ වී ඇති බව නොවේ. ඉන්දියාවට මේ බෞද්ධකම ආභරණයක්‌ පමණකි. එය සංචාරක කර්මාන්තය සඳහා වඩා සරු ලෙස භාවිතා කිරීම ඔවුන්ගේ උපක්‍රමයයි. චෙන්නායිවලදී සිංහල බෞද්ධයින්ට හා අනෙකුත් වන්දනාකරුවන්ට පහර දුන්නද ඉන්දියාව අපගේ දේශපාලනඥයින්ට වඩා සකසුරුවම් ලෙස ඒ ප්‍රශ්නය විසඳා ගන්නවා ඇත.

සිංහලකමත් බුදු දහමත් එකට බැඳී පවතින ආකාරය ගැන ලියෑවුනු අගනා පොත් පිංචක්‌ වූ මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතාගේ සිංහල බුදු සමය අපගේ ජීවන චරියාව මැනවින් පෙන්වා දෙන්නකි. විදේශීය ආක්‍රමණිකයින් සැමදා නොඉවසන ලද්දේ මේ ජීවන චරියාවයි. මනුෂ්‍ය ඝාතනයෙන් සිංහල බෞද්ධකම අතුගා දැමිය හැකි යයි මීට වසර පන්සීයයක්‌ට පෙර කරන ලද අත්හදා බැලීම කොටි ත්‍රස්‌තයින් ලවා ද කරවන්නට බටහිර ධවලයින්ට ඕනෑ විය. නමුත් කිසියම් අත්භූත හේතුවක්‌ නිසා එය මේවන තෙක්‌ සාර්ථක වී නොමැත. එයට එක්‌ හේතුවක්‌ වන්නේ සිංහල ජාතිය වෙලා ගෙන තිබෙන බුද්ධ ශාසනයේ අරටුවයි. සිංහල බෞද්ධයින් ශ්‍රී ලාංකික කිරීමට ගන්නා තැත වර්තමානයේ සිදු වන්නකි. ඒ මගින් සිංහල බෞද්ධයින් ගේ අනන්‍යතාවය නැති කර දමා දෙමළ මුස්‌ලිම් ජන වර්ගයන්හි සලකුණු ඉස්‌මතු කරන්නට සැරසෙන බව ද පෙනේ. මේ අතර බෞද්ධයින් අතර භේද ඇති කරලීමට ද සාම්ප්‍රදායක විහාරස්‌ථාන වලින් බෞදධයින් ඈත් කර තැබීමට ද දේශනා කරන පිරිසක්‌ ද දැන් බිහි වී ඇත.

උපසම්පදාව පවා අතුරුදන්ව ගිය උඩරට රාජධානි කාල වකවානුව තුළ සිදුව තිබූ ශාසනික පරිහානියේ ලක්‌ෂණ වර්තමාන සංඝ සමාජය තුළ දක්‌නට ඇත. පැවිදිව මහණ දම් පුරන භික්‌ෂූන් වහන්සේලාගේ දුර්වලතාවයන් නිසා එසේ සිදු වන්නේ යයි කිය ඇඟ බේරා ගෙන අතපිහදා ගැනීමට අපට පහසුය. එහෙත් එයට අවකාශ නැත. මෙම පරිහානියට ගිහි සමාජයද වග කිව යුතුය. මේ තත්ත්වය වටහා ගෙන බොර දියේ මාලු බෑමට මෙන් විවිධ පුද්ගලයින් සහ භික්‌ෂූන් වහන්සේලා මෙන් පෙනී සිටින අය කරන ක්‍රියා කාරකම් ගැන වර්තමාන සමාජය එතරම් දැනුවත් නැත. ඇතැම් විට මේ පිරිසට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබේ. ඒ ස්‌ථානවල මාළිගා වැනි විහාරස්‌ථාන විවෘත කරලීමට කවුරුත් කැමැත්තක්‌ දක්‌වති. එයින් පෙන්නුම් කරන්නේ එක දෙයකි. දැනට අකර්මණ්‍යව පවතින මහා විහාර සම්ප්‍රදාය අභිබවා එවැනි මූලස්‌ථාන සකස්‌ කර ගෙන බෞද්ධ ජනතාව අතර පෙනී සිටමින් පාලකයින්ද වසඟ කර ගැනීමට තැත් කිරීමයි. එදා අනුරාධපුරයේ විවිධ නිකායන් ගෙන් මෙලෙස බුදුසසුනට ගැහැට පැමිණුනි. මහායාන මත වාදයන් සහමුලින්ම වැළඳ ගැන්මට කරන උත්සාහයන් තිබුණි. නමුත් කලකදී ඒවා අතුරුදහන්ව ගියේය. බෞද්ධ ජනතාවට දැරිය හැකි මත වාදයන් පමණක්‌ සමාජයේ ඉතිරි වුණි.

ජනාධිපති උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ පිරිස හඳුවන්නේ බුදුසසුන වනසන කඳපණුවන් විලසටයි. අංගුත්තර නිකායේ දුක නිපාතයේ එනමේ බුදු වදනද ඉස්‌මතු කරලමින් උන්වහන්සේ මේ ව්‍යසනය වත්මන් සමාජයට මතක්‌ කර දෙන ආකාරය මෙසේය. මහණෙනි යම් භික්‌ෂු පිරිසක්‌ සූත්‍රාන්ත වැරදී ලෙස කියමින් තම වදන පදනම් කර ගෙන අර්ථය ද ධර්මය ද එනම් අටුවාවද පෙළ ද වළහා ලද්ද (තමන් විසින් වැරදි ලෙස ගත් අර්ථය ද ධර්මයද උත්තරීතර ලෙසට පෙන්වා දෙද්ද) ඒ භික්‌ෂූහු බෙහෝ දෙනාට අහිත පිණිස නොසැප පිණිස අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක්‌ පිණිස පිළිපන්නාහ වෙති. ඔවුහු බෙහෝ අකුසල් ද රැස්‌කර ගනිති. මේ සද්ධර්මය අතුරුදහන් කර ගනිති.

වර්තමාන ඇතැම් දේශකයින්ට සහ භික්‌ෂුන්ට මේ පාඨය කෙතරම් අදාළ වන්නේදැයි නාලක හිමියන් දීර්ඝ ලෙසට විග්‍රහ කරති. අතීතයේ සිටම බුදුසසුනට එරෙහිව පැමිණි මතවාදයන් සහ ආක්‍රමණයන් ගැන මේ ග්‍රන්ථයේ විචිත්‍රවත් ලෙසට සඳහන් කර තිබේ. වෙසෙසින්ම බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධර්ම සංගායනා ඇති වීමට හේතුව වූ කරුණු උන් වහන්සේ විග්‍රහ කරයි. බුද්ධ පබ්බජිත සුභද්ද භික්‌ෂුව කලබල ඇතිකළ විට තැනට සුදුසු ලෙසට ක්‍රියා කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පළමු ධර්ම සංගායනාව පවත්වා බුදු සසුන නිරවුල් කළහ. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ගන්නේ ද එම මාවතයි. වර්තමානයෙහි ධර්මාශෝක වැනි අධිරාජයෙක්‌ පහළව නැත. බුදු සස්‌න වෙනුවෙන් ඇල්ම හා උනන්දුව ඇති නරපතියෙකු සිටියහොත් එහිදී සසුනට වන හානියන් ක්‌ෂණික ලෙසට අවබෝධ කරගෙන පිළියම් යෙදීමට උත්සුක වේ. එහෙත් එවැනි සේයාවක්‌ ද දක්‌නට නැත. සෝවාන් සකෘදාගාමීයයි කියා ගන්නා රහත්හු වශයෙන් පෙනී සිටින ජනමාධ්‍ය හරහා නොයෙකුත් විප්‍රකාර දේශනා කරමින් සිය ජනප්‍රියත්වය ඔස්‌සේ මෝඩ බෞද්ධයින් වසඟකර ගෙන සසුනෙහි අනාගතය කෙලසන භික්‌ෂුන් වහන්සේලා යයි කියා ගන්නා පිරිස ගැන බෙංගමුවේ නාලක හිමියන් කරන විග්‍රහය තේරුම් ගත්තෙකු වැරදි මාර්ගයක නොයනු ඇත. එහෙත් බුදු සස්‌න වනසන කඳ පණුවන් ගේ කාරය භාර්යට ද යම් කිසි දේශපාලනයක්‌ ඇති බව විග්‍රහ කර ගන්නේ නැතිව එයට වර්තමානයේ මුහුණ දීමට අසීරු බවද අද අප තේරුම් ගත යුතුය. මේ සියල්ල වසර පන්සීයක්‌ තිස්‌සේ රටේ අක්‌මුල් සොයා කරන විනාශයන් බව අවබෝධ කර ගැනීම වර්තමානයේ සිදු විය යුත්තකි. එසේ වුවහොත් පමණක්‌ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ගේ වෑයම සාර්ථක වන්නේ වේ. එසේ නොමැති වුවහොත් වර්තමාන ඉන්දියාවේ මෙන් සංචාරකයින්ට විවෘත වූ පුරා වස්‌තු ගහන රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වන තත්වයකට පත් වනවා නිසැකය.


උපුටා ගැනීම -මතුගම සෙනෙවිරුවන් 
 


 




No comments:

Post a Comment